සංස්කෘතියක් සදාචාරයක් නොමැති රටක් නිර්මාණය වෙමින් තිබේද?


වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් පුරා මේ රටේ ජනතාව ගොඩ නැගූ අභිමානය වර්තමාන පරපුර විසින් බිමට සමතලා කරමින් තිබේ. අතීතයේ සිටි පාලකයන් මේ රටේ ආර්ථිකය ගොඩනැගීමට සාපේක්ෂව සංස්කෘතිය, සාරධර්ම හා සමාජ තත්ත්වයන් ඇති කිරීමටද බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ අතර, මේ නිසාම ශ්‍රී ලංකා නාමය ලෝකයේ ඉහළින්ම වැජඹුණ නාමයක්ද විය. එහෙත් අද දවස වන විට මෙරට පාලක පන්තිය විසින් සිය බලය රැක ගැනීමට සිදු කරන අරගල නිසාවෙන් මෙරට සමාජයේ ඉහළ සිට පහළටම ගුණ දහම්, සාරධර්ම, සමාජ යුතුකම, එකිනෙකාට ගරු කිරීම, අන් මතවලට ගරු කිරීම, එකිනෙකාට උදව්පදව් කර ගැනීම යන සියල්ලම පිරිහෙමින් තිබේ.


අපේ රටේ ජනතාව අතීතයේ සිටම බොහෝ කැප කිරීම් සිදු කර තිබෙන අතර, මෙරට ජනතාවගේ ඉවසීම ඉතාමත් ඉහළ මට්ටමක පැවැති බවටද අතීතයේ සිදු කළ නිර්මාණවලින් පවා පෙන්නුම් කර තිබේ. කැපකිරීම, ඉවසීම, ප්‍රගුණ කළ ජාතියක් වූ නිසාවෙන්ම සීගිරිය වැනි ලෝක උරුමයන්ද අපට දායාද වී ඇත. මීට අමතරව කර්කශක ගොරෝසු කළුගල් පවා සියුමැලි කිරීමටත්, යෝධ ඇලේ බැස්ම සැතපුමකට අඟලක් බවට පත් කිරීමටත් දක්ෂ නිර්මාණශීලී මිනිසුන්ද මේ හරහා බිහි වී තිබේ.

වැවෙන්, ඇළෙන් දිය දෝතක් බීමෙදී පවා වැවට, ඇළට පින් දුන් මිනිසුන් සිටි මෙරට අද වන විට සුළු සිද්ධියට කැති, පොලු අමෝරා ගන්නා පහත්ම තත්ත්වයට වැටී ඇත. අද වන විට අප රටේ සාරධර්ම පිරිහීමකට ලක්වෙමින් තිබෙන අතර, මේ නිසාවෙන් තාත්තා දුව අපයෝජනය කරන, සහෝදරයා සහෝදරියව අපයෝජනයට ලක්කරන සමාජයක් ගොඩ නැගෙමින් පවතී.

රටක් ගොඩනැගීම පාලක පන්තියේ වගකීම වුවද, අද දවස වන විට රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තුව තුළදී පවා සමහර පිරිස් හැසිරෙන්නේ සංවිධානාත්මක අපරාධකරුවන් ලෙසටය. මේ නිසාම රටේ උත්තරීතර පාර්ලිමේන්තුව මාසයකට අධික කාලයක් තිස්සේ පවතින්නේ පොර පිටියක් ආකාරයටය.

අම්මා තාත්තා වැරදි පාරේ යන විට බොහෝ දරුවන්ද වැරදි පාරේ යන ආකාරයට රටේ සමහර පුද්ගලයන්ද ගමන් කරමින් තිබෙන්නේ වැරදි මාර්ගවලය. මේ නිසාම සුළු වචන හුවමාරු පවා කෙළවර වන්නේ ජීවිත අහිමි වීමෙනි.

සමාජයේ පවතින පිරිහීම හේතුවෙන් සමහර දරුවන් දෙමවුපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගරු කරන්නේ නැත. සමහර පිරිස් කොතරම් වැරදි වැඩ සිදු කළත් යම් කෙනෙකු ලබාදෙන උපදෙස් පිළිපදින්නේද නැත. මීට අමතරව සමාජය කොතරම් කුරිරු වී ඇතිද යන්න පැවසුවහොත් ගහ මරා ගන්නා අවස්ථාවලදී එ්වා වැළැක්වීම අමතක කර ජංගම දුරකථන හෝ වෙනත් උපකරණවලින් ඒවා වීඩියෝ ගතකර සමාජ ජාලාවලට මුදාහරින තත්ත්වයකට පත්ව තිබේ.

දෙපිරිසක් අතර ගැටුමක් ඇති වන අවස්ථාවේදී එයට මැදිහත් වී සමථයකට පත්කළ හැකිව තිබුණත් බොහෝ පිරිස් එම වගකීම ඉටු කරන්නේ නැත. මේ නිසා සමාජය පිරිහීමකට ලක්ව තිබෙන්නේ කුමන කරුණක් නිසාද යන්න සොයා ගැනීමටත් එයට පිළියම් යෙදීමටත් ආගමික නායකයන්, රටේ පාලක පන්තිය හා විද්වතුන් පෙරමුණ ගත යුතුය. මීට අමතරව තම දරුවන් කුඩා කල සිටම ආචාර ධර්මවලට හුරු කිරීම දෙමාපියන්ගේ වගකීමකි.

උකුණන් වඳ කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමත් සමග කුඩා කලදී මව සහ දරුවන් අතර ඇති වී තිබූ සම්බන්ධතාව සහමුලින්ම බිඳ වැටුණි. අතීතයේදී දරුවාගේ හිසේ සිටිනා උකුණන් ඉවත් කිරීම මව විසින් දරුවන් උකුලේ තබාගෙන සිදු කරනු ලැබීය. මේ නිසා දරුවන්ට මව පිළිබඳවත්, මවට දරුවන් පිළිබඳවත් විශාල ඇල්මක් ඇති විය.

මෙම ඇල්ම නිසාම දරුවන් සහ මව අතර විශාල සබඳතාවක් ගොඩ නැගුණු අතර, ඒ හරහා දරුවන්ට ඇතිවන බොහෝ ප්‍රශ්න විසඳා ගනු ලැබුවේ මව සමග කතා බහ කිරීමෙනි. එහෙත් උකුණන් වඳ කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය සොයා ගත් දා සිට මව සහ දරුවන් අතර ඇති වී තිබෙන සම්බන්ධතාව සහමුලින්ම බිඳ වැටී තිබේ.

මීට අමතරව උපකාරක පන්ති සෙල්ලම නිසා දරුවන්ට ඉරිදා දින පැවැත්වෙන දහම් පාසල මග හැරී ගොස් තිබේ. මේ නිසා වර්තමාන පරපුරට පන්සල, කෝවිල, පල්ලිය සමග ගනුදෙනු කිරීමට නොහැකි වී තිබේ. මේ තත්ත්වය නිසා යම් පුද්ගලයෙකුට, ශිෂ්‍ය‘යෙකුට ගැටලුවක් ඇති වූ විට විසඳුම් සොයාගෙන යන්නේ ගමේ ත්‍රීවිල් නැවතුම් පොළටය. එසේ නොමැති නම් බොරු චණ්ඩිකමක් මවා පාගෙන සිටින කණ්ඩායම ළඟටය.
මේනිසා ප්‍රශ්නයට විසඳුම් සෙවීමට යන්නේ ආයුධවලින්ය. එසේ නොමැති නම් අතපය විසි කිරීමෙනි. මේ නිසා ආදරය ප්‍රකාශ කරන තරුණයාට තරුණිය අකමැති වුවහොත් පිහියෙන් ප්‍රතිචාර දක්වන සමාජයක් බිහි වී තිබේ.
ආදරය ප්‍රකාශ කරන තරුණියට තරුණයා  අකමැති වුවහොත් තරුණයන් කණ්ඩායමක් ගොස් තරුණයාට පහර දෙන තත්ත්වයක්ද රට තුළ නිර්මාණය වී ඇත. සමහර අවස්ථාවල පාසලේ ඇති වන සුළු කතා බහ අවසන් වන්නේ විශාල රණ්ඩුවක් බවට පරිවර්තනය වීමෙනි. සමහර පෙම් සබඳතා බිඳ වැටුණු පසු තමන් ආදරය කළ පෙම්වතිය බෙල්ල මිරිකා මරා දමන තත්ත්වයට පත් වූ පෙම්වතුන්ද සමාජය තුළින් බිහි වෙමින් තිබේ. 
පැය 24 පුරාම ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන රටේ මේ වසරේ ගෙවී ගිය මාස 10ක කාලය තුළදී ලිංගික හිංසන සිද්ධීන් 511ක් වාර්තා වී තිබේ. ලිංගික අතවර කිරීම් සිද්ධීන් 273ක්ද මෙහිදී වාර්තා වී ඇත. ලංකාවේ පවතින සමාජ තත්ත්වයට අනුව බොහෝ ලිංගික අතවර හිංසන ක්‍රියා පොලීසියට හෝ නීතිය ක්‍රියාත්මක කරන වෙනත් ආයතනවලට පැමිණිලි කරන්නේ නැත. ජාතික ළමා ආරක්ෂණ අධිකාරීය සඳහන් කරන ආකාරයට ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8746ක් ගෙවී ගිය මාස 10ක කාලය තුළ ලැබී තිබේ.

2017 වසරේදී ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 9014ක් ලැබී තිබෙන අතර, ලිංගික හිංසන සිද්ධීන් 501 වාර්තා වී ඇත. බරපතළ ලිංගික අපයෝජන සිද්ධි 309ක් හා දූෂණය කිරීම් පිළිබඳ සිද්ධි 340ක් වාර්තා වී ඇත. මේ අනුව ඇති වී තිබෙනා සිද්ධීන් මේ වසර තුළදී ඉහළ ගොස් තිබේ. මීට අමතරව වෙඩි තබා ගැනීම්, තියුණු ආයුධවලින් පහරදීම් ඇතුළු ඝාතනය කිරීම්ද දිනෙන් දිනම ඉහළ යමින් පවතී.
මත්ද්‍රව්‍ය, මත්පැන්, නිවාරණ වැඩසටහන් කොතරම් දියත් කළද ඒවාට ගොදුරු වන තරුණ පිරිස් ප්‍රමාණය ඉහළ යමින් පවතී. මත්ද්‍රව්‍යවල, මත්පැන්වල ආදීනව කියාදීමට ආණ්ඩු කටයුතු කළද, ආණ්ඩුවද නීත්‍යානුකූලව මත්පැන් අලෙවි කරමින් සිටියි. දුම්වැටි ශරීරයට අහිතකර බවට ජනතාව දැනුවත් කරන ආණ්ඩුවම දුම්වැටි රට තුළ අලෙවි කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් තිබේ. එවන් තත්ත්වයක් තුළ මතින් තොර රටක් බිහි කර ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වේදැයි සිතිය නොහැකිය.

සංග්‍රහශීලී ජනතාවක් සිටින රටක් ලෙසට ලෝකය පුරාම අතීතයේදී ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්ව තිබුණි. එහෙත් ආහාර ද්‍රව්‍යවලට වස විස එකතු කරන ලෝකයේ ප්‍රමුඛතම රටක් බවට මේ වන විට ශ්‍රී ලංකාව නම් වී තිබේ. කුඩා දරුවන්ගේ කුසගින්න නිවීමට ලබාදෙන කිරිපිටි ටිකට පවා මේ වන විට වස විස එකතු කිරීමට තරම් විදේශීය ජාතිකයන් අමානුෂික වී තිබේ.
වසවිස සහිත කිරිපිටි රට තුළට පැමිණීම වැළැක්වීම පාලක පන්තියේ වගකීමකි. එහෙත් බහුජාතික සමාගම් මගින් අතයටින් ලබාදෙන මුදලට කෑදරවී සිටිනා පාලක පන්තිය මේ රටේ දරුවන්ගේ ජීවිත අනතුරට ලක්කිරීමට අවස්ථාව ලබාදී වගකීම් විරහිත පිරිසක් බවට පත්වී සිටියි. 

හොඳම දේ දරුවන්ට බවට ජනවහරේ කතාවක් පැවතුනත් සිය දෙතනට එරෙනා කිරි ටිකවත් ලබානොදෙන මවුවරුන් පිරිසක් මෙරට තුළ බිහි වී තිබේ. දරුවාගේ පෝෂණයට අමතරව මවු කිරි ලබාදීමට මව දරුවා තුරුල් කරගැනීම හරහා බොහෝ බැඳීම් ඇති වන බවටද මේ වන විට ලෝකයා සොයා ගෙන තිබේ. එහෙත් සිය දරුවන් ගැන නොසිතා තමන්ගේ රූපයේ හැඩය ගැන සිතනා මවුවරුන් පිරිසක් බිහිවීමත් සමග මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

පොතපත කියවීම මිනිසා සම්පූර්ණ කරන බවට සඳහන් වුවත් බොහෝ දරුවන්ට පොත වෙනුවට අතට ලැබෙන්නේ ස්මාට් දුරකථනයකි. අන්තිමට ඒ මගින් දරුවන්ට පොතේපතේ දැනුම නැති වී යෑමට අමතරව සමාජ දැනුමද අහිමි වී ගොස් තිබේ. තාක්ෂණය රටේ දියුණුවට, තමන්ගේ දියුණුවට යොදාගත යුතු වුවද මේ රටේ තරුණ පරපුරෙන් අතිබහුතර ප්‍රමාණයක් තාක්ෂණය භාවිත කරන්නේ වැරදි ආකාරයටය. මේ නිසා නැති ප්‍රශ්න මෙරට තුළ ඇති වෙමින් තිබෙන අතර, රටේ සිදුවන බොහෝ නීතිවිරෝධී කටයුතු සිදුවීමට තාක්ෂණය වැරදියට භාවිත කිරීම මූලික වී තිබේ.

දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුත්තේ සමාජයේ යහපත් පුරවැසියන් වීමටය. එහෙත් අද වන විට රටේ අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ විභාග ප්‍රතිඵල ඉලක්ක කරගනිමිනි. මේ නිසාවෙන් දරුවන්ට ළමා කාලය සම්පූර්ණයෙන්ම අහිමි වී ගොස් ඇති අතර, ළදරු මොළයට දරාගත නොහැකි ආකාරයට දැනුම රඳවා ගැනීමට සිදුව තිබෙන බැවින් බොහෝ දරුවන්ගේ ළමා ගතියද අහිමි වී ගොස් තිබේ.
ක්ෂණිකව දරුවන් උස්මහත් කර ගැනීමට වස විස සහිත ආහාර ලබාදීම හේතුවෙන් දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කුමන හෝ රෝගයකට ලක්ව තිබේ. මීට අමතරව වැරදි ආහාර රටාව නිසාවෙන් පාසලේදීත්, උසස් අධ්‍යාපන ආයතනවලදීත් සමහර දරුවන් කලහකාරී වැඩ කරන චරිත බවට පත්ව ඇත. මේ නිසා තවත් ශිෂ්‍ය‘යෙකු අත්වැරදීමකින් ඇඟේ හැපුනත් එය මහා අපරාධයක් ලෙස දකින තත්ත්වයට පත්ව තිබේ. මේනිසා ඇතැම් අවස්ථාවල සිදු කරන රණ්ඩුසරුවල් අවසන් වන්නේ ජීවිතයක් අහිමි වීමෙනි.

පාසලට පැමිණෙන මෙවැනි දරුවන් යහමග ගැනීම පාසලේ ගුරුවරුන්ට පැවරී තිබෙන වගකීමක් වුවත් උපකාරක පන්ති රැල්ල නිසා සමහර ගුරුවරුන් මෙම වගකීම අමතක කරමින් ඉදිරියට ගමන් කරමින් තිබේ. අවසානයට සිදුව තිබෙන්නේ ලෝකයේ උතුම් රැකියාවක් ලෙස හඳුන්වන ගුරු වෘත්තියත් ලංකාව තුළදී ලෝකයේ පැරණිම වෘත්තියේ තත්ත්වයට පත් වීමයි.
ඇස්, මස්, ලේ දන් දෙන ජාතියක් සිටින රටක් ලෙසට ලංකාව ප්‍රසිද්ධියට පත්ව තිබුණද අද වන විට සාමාන්‍ය ජනතාව අතට අවි ආයුධ පත්වීම හේතුවෙන් ලෙයට ලෙය ඉල්ලන, මරණයට මරණයෙන් පිළිතුරු දෙන රටක් බවට ශ්‍රී ලංකාව හංවඩු ගැසී තිබේ.

උතුම් සම්පත දරුවන් බවට සඳහන් කළද තම කුසින් උපන් දරුවන් මහ මග දමා යන, ගංගා, ඇළ දොළට විසි කර දමනා කාන්තාවන්ද රට තුළ බිහි වී තිබේ. වැඩිහිටියන්ට ගරු කිරීම ශ්‍රී ලාංකේය සමාජයේ සුවිශේෂී ලක්ෂණයක් වුවත් වර්තමානය වන විට අවුරුදු 80ත් 90ත් වයසැති වැඩිහිටියෙකු බස් රථයකට ගොඩ වූ පසු අසුන පිරිනැමීමට මැලිකමක් දක්වන ජන කොට්ඨාසයක් මෙරට තුළ බිහිවී තිබේ.
උතුම් පදවිය මවු පදවිය බවට සමාජය තුළ පවතින සුවිශේෂී වදනක් වුවත් බස් රථයකට ගොඩ වන ගැබිනි මවකට, කුඩා දරුවෙකු වඩාගත් මවකට අසුන පිරිනැමීමටද මේ වන විට මෙරට ජනතාව අමතක කරමින් තිබේ. මේ නිසාම ගැබිනි මාතාවක් වෙනුවෙන් අසුනක් වෙන් කිරීමට බස් රථ හිමියන්ට සිදු වී තිබේ. පොදු වැසිකිළියට ගිය පසු එය පිරිසුදු කරන ලෙසට දැන්වීම් පුවරු මගින් ජනතාව දැනුවත් කිරීමට සිදුව ඇත.
මිනිසාට ජිවත් වීමට පරිසරය අත්‍යවශ්‍යම දෙයක් වුවත් පරිසරය රැක ගන්නා ලෙසට අඛණ්ඩව ජනතාව දැනුවත් කිරීමට සිදුව තිබේ. වැඩිහිටියන්ට සැලකීම උතුම් ක්‍රියාවක් වුවත් බොහෝ දරුවන් තම වයසක දෙමවුපියන්ව වැඩිහිටි නිවාසවලට ගාල් කරමින් තිබේ. එසේත් නොමැති නම් මහ මග අතහැර දමා යයි.

ලෝකයේ උතුම් රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව තුළ මෙවැනි ක්‍රියා සිදු විය හැකිද? එහෙත් අවාසනාවට කරුණ වී තිබෙන්නේ අද දවස වන විට රටේ සදාචාරය, සංස්කෘතිය පිරිහීමකට ලක්ව තිබීමයි. එය පාලක පන්තියේ සිට පහළම මට්ටමේ ජනතාව දක්වා පැතිර ගොස් තිබේ. තවදුරටත් මේ තත්ත්වය යටතේ මෙරටට ඉදිරියට ගමන් කිරීමට නොහැකි තැනට රට අර්බුදයකට ලක් වී ඇත.
මේ නිසා පාලකයන් අනුන් හැදීමට පෙර තම තමන් සිරිත් විරිත්වලින් පරිපූර්ණ, සංස්කෘතිය සදාචාරය අගයන මිනිසුන් බවට පත් විය යුතුය. දෙමවුපියන්, ගුරුවරුන් ඇතුළු පිරිස් තනි තනිවම සදාචාරය, සිරිත් විරිත් රකිනා පිරිස් බවට පත් විය යුතුය.

මෙම ආදර්ශය රට තුළ වැපිරීමට හැකියාව ලැබුණහොත් මේ රටේ අනාගත පරපුර යහපත් පරපුරක් බවට පත් කර ගැනීමේ කටයුත්ත එතරම් දුෂ්කර වන්නේ නැත. රටක් දියුණු වීමට සදාචාරය, සංස්කෘතිය ආරක්ෂා විය යුතුය. මීට අමතරව වගකීම නිසි ලෙස ඉෂ්ට කළ යුතුය. එසේ නොමැතිව ආර්ථික වශයෙන් පමණක් රටක් දියුණු වී ඵලක් නොමැත. රටකට මුලින්ම අවශ්‍ය වන්නේ යහපත් පරපුරකි. යහපත් පරපුරක් බිහි වූ පසු රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට අපහසු නැත.



Recommended Articles