සංස්කෘතික මානව විද්‍යාව යනු මිනිසුන් අතර සංස්කෘතික විචලනය අධ්‍යයනය කිරීම සඳහා යොමු වූ මානව විද්‍යාවේ කොටසකි.
සංස්කෘතික මානව විද්‍යාව සිය අධ්‍යයනය තුළදී අනුගමනය කළ ක්‍රමවේද ගණනාවක් වේ. සෙසු මානව ශාස්ත්‍රයන්ට සාපේක්ෂව සංස්කෘතික මානව විද්‍යාවේ දක්නට ලැබෙන සුවිශේෂිත ලක්ෂණයක් වනුයේ පර්යේෂණ ක්‍රමවේදයක් වශයෙන් සහභාගිත්ව නිරීක්‍ෂණය සඳහා වැඩි ඉඩක් ලබාදීමයි.
එනම් ක්ෂේත්‍රයට ගොස් මිනිසුන් සමග ගැවසෙමින් සිය නියැඳිය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. මේ හේතුවෙන් සංස්කෘතික මානව විද්‍යාව සම්බන්ධ පර්යේෂණවලට ගතවන කාලය සාපේක්ෂව වැඩිය. සම්මුඛ සාකච්ඡා සහ සමීක්ෂණ සඳහා මෙහිදී පර්යේෂණාත්මක වශයෙන් වැදගත්කමක් හිමි වේ.
%සංස්කෘතිය^ යන වචනය සඳහා මානව විද්‍යාත්මක අර්ථයෙන් මුලින්ම අර්ථ දැක්වීමක් සිදු කරනු ලැබූයේ ශ්‍රීමත් එඩ්වඩ් ටයිලර් විසිනි. ඔහු 1871 වසරේදී සිය ලේඛනයක් තුළ සටහන් කළේ "සංස්කෘතිය හෙවත් ශිෂ්ටාචාරය යනු , එහි පුළුල්, ජනවාර්ගික අර්ථයෙන් ගත් විට, කිසියම් පුද්ගලයෙකු කිසියම් සමාජයක සාමාජිකයෙකු වශයෙන් එම සංකීර්ණ සමස්තයට අදාළව අත්පත කර ගනු ලබන දැනුම, විශ්වාසය, කලාව, සදාචාරය, නීතිය, චාරිත්‍රය ආදී වූ හැකියාවන් සහ පුරුදු වේ.” යනුවෙනි.
පසු කාලයකදී සංස්කෘතිය සම්බන්ධයෙන්ද ශිෂ්ටාචාරය සම්බන්ධයෙන්ද වෙන් වෙන් වශයෙන් අර්ථ නිර්මාණය වන්නට විය. සංස්කෘතිය පුළුල් අර්ථයකින් භාවිත වූ අතර, ශිෂ්ටාචාරය යන්න සුවිශේෂිතව ගොඩනැඟිණි.
මිනිසුන් සංස්කෘතිය අත්පත් කර ගනුයේ අනුසංස්කෘත්‍යායනය (Enculturation) හා සමාජානුයෝජනය (Socialization) නිසා බැවින්, විවිධ ස්ථානවල හෝ විවිධ තත්ත්වයන් යටතේ ජීවත්වන මිනිසුන් විවිධ සංස්කෘතීන් නිර්මාණය කර ගන්නා බව පෙනී යයි.
එබැවින් අප්‍රිකාවේ ජීවත් වන මිනිසෙකුගේ සංස්කෘතිය, ලතින් ඇමෙරිකාවේ ජීවත් වන මිනිසෙකුගේ සංස්කෘතියෙන් වෙනස් වන අතර, ලතින් ඇමෙරිකාවේ ජීවත් වන මිනිසෙකුගේ සංස්කෘතිය ජපානයේ ජීවත් වන මිනිසෙකුගේ සංස්කෘතියෙන් වෙනස් වේ. මේ හේතුවෙන් එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා උස් හෝ පහත් යැයි නූතන සංස්කෘතික මානව විද්‍යාඥයෝ නොසලකති. සෑම සංස්කෘතියකටම සුවිශේෂතා ඇති අතර, ඒවා නිර්මාණය වී අත්තේ ඒ ඒ ජන සමාජවල ජීවත් වන මිනිසුන්ගේ උවමනාවන් මතය.
සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳ හැදෑරීම්වල වර්ධනය සිදු වූයේ 19 වැනි සියවසේ අගභාගයේදීය. එම යුගයේදී සංස්කෘතිවල ඇති ප්‍රාථමික බව සහ ශිෂ්ට සම්පන්න බව පිළිබඳ තියුණු විවාදයක් පැවතිණි. මෙය මාක්ස් සහ ෆ්‍රොයිඩ් වැනි චින්තකයන් කෙරෙහි පවා බලපෑවේය. එහෙත් අද වනවිට ප්‍රාථමික බව සහ ශිෂ්ට සම්පන්න බව පිළිබඳ කථිකාව අහෝසි වී ගොස් ඇති අතර, සෑම සංස්කෘතියකටම ගරු කිරීමේ චින්තාවක් ඇති වී තිබේ. ඇතැම් සංස්කෘතීන් ප්‍රාථමික යැයි සැලකීමේ අදහස යටත් විජිතවාදය සමග ගැට ගැසී තිබුණු අතර, යටත් විජිතවාදීහු තමන් යටපත් කරගත් සංස්කෘතීන් ප්‍රාථමික ලෙස නාමකරණය කිරීමට යොමු වූහ.