සංවර්ධනය වෙනුවෙන් සැමට අවස්ථාව ලබාදෙමු


මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ආරම්භයේදීම අපි අතරින් වෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාට නිවන් සුව අත්වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමු.  අපි අතරින් වෙන්වූ සටන් සගයා පැතූ වැඩ කරන රට නිර්මාණය කිරීම වෙනුවෙන් අපි උපරිමයෙන්ම කැපවන බව මෙහිදී සපථ කරන්නෙමු. 

මේ අතර නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සුවිශේෂී දක්ෂතා දක්වමින් තිබේ. එහිදී කැපී පෙනෙනම දක්ෂතාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දැක්වූ අතර ඔවුන්ට සුබපැතුම් එක්කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි. දැන් අපි මේ සතියේ මාතෘකාවට යොමු වෙමු,

ශ්‍රී ලංකාව යනු එහි සාරධර්මවලින් හා නවීන දෘෂ්ටියකින් යුත් රටකි. මෙම කුඩා රටට කොතරම් විභවයක් තිබේද යත්, ගෝලීය ආයෝජකයන් අපගේ වටිනාකම පිළිබඳව හොඳින්ම දැනුවත්ය. අපගේ පිහිටීමේ සිට අපගේ පසේ සාරවත් බවත් නිසා ආයෝජකයන්ට නිමක් නැති වාසි අත්ව තිබේ.

මේ 21 වැනි ශතවර්ෂයේදී ඕනෑම රටක් සමෘද්ධිමත් වීමට නම් එම රටේ තරුණ පරම්පරාව යුහුසුළුව ක්‍රියාත්මක විය යුතුය. මීට වසර 30කට පෙර තාරුණ්‍යය හා සසඳන විට නව පරම්පරාවේ අභිලාෂයන් වේගයෙන් වෙනස් වී තිබේ.

නිදසුනක් වශයෙන්, මීට වසර 30කට පෙර, යෞවනයෙකුගෙන් ඔහුගේ කැමැත්ත පිළිබඳව ප්‍රශ්න කරනු ලැබුවහොත්‘ පොතක් කියවීම යැයි පිළිතුරක් ලැබිය හැකිය. නමුත් අද වන විට අපේ තරුණ තරුණියන්ගේ අභිලාෂයන් වෙනස්ය. ඔවුන් තාක්‍ෂණයෙන් යාවත්කාලීන වී තිබේ. එක් ක්ලික් කිරීමක් තුළින් ලෝකය ඔවුන් ඉදිරියේ දිස්වෙයි. 

වර්ධනය වන ගෝලීය ප්‍රවණතා තිබියදීත්, අපේ අතීත හා වර්තමාන තරුණ තරුණියන් අතර  ඇතැම්  අභිලාෂයන්හි පොදු තත්ත්වයක්ද දක්නට ලැබේ.  තමන් ජීවත් වන ඕනෑම රටක තරුණ තරුණියන් හොඳ අධ්‍යාපනයක්, රැකියාවක්, හොඳ ජීවන තත්ත්වයක්, හොඳ ආදායම් මාර්ගයක්, යහපාලනයක්, ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සහ දූෂණ විරෝධී ක්‍රියාවන් සඳහා ආශාවෙන් සිටිති.
1948දී නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රධාන තරුණ නැගිටීම් තුනකට මුහුණ දුන් අතර, එමගින් අපට ජීවිත 300,000කට වඩා අහිමි විය. මේ කාලය තුළ මිලියන 4කට අධික තරුණයන් පිරිසක් ශ්‍රී  ලංකාව අත්හැර ගියේය.

1971දී දකුණේ පළමු තරුණ නැගිටීමට ශ්‍රී ලංකාව මුහුණ දුන් අතර, 1983දී උතුරේ තරුණ නැගිටීම වසර 30කට වැඩි කාලයක් පැවතුණි. මෙම නැගිටීම ලෝකයේ කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක් නිර්මාණය කළේය. එවැනි නැගිටීමක් සිදුවීමට වැරැද්ද කුමක්දැයි සොයා බැලීම සඳහා රජය 1989දී කොමිසමක් පත් කළ අතර, මෙය එවකට පැවති රජයන් තරුණයන්ගේ අභිලාෂයන් සපුරාලීමට අපොහොසත් වී ඇති බවට පැහැදිලිව පෙන්වා දුන්නේය.

මෙම ගැටලු විසඳීම සඳහා රටක් ලෙස ශ්‍රී ලංකාව කර ඇත්තේ කුමක්ද? අපගේ අතීත වැරදිවලින් අප ඉගෙන ගත්තේ කුමක්ද? මෙම ගැටලු විසඳීම සඳහා අපි තරුණ අමාත්‍යාංශයක්, තරුණ කවුන්සිලයක් සහ බොහෝ තරුණ වැඩසටහන් නිර්මාණය කළෙමු.

2005දී එවකට ජනාධිපති ලෙස දිවුරුම් දුන් මගේ පියා සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ රජය එක්ව ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කළ යුතු යැයි තීරණය කළේ දැඩි ලෙස කැළල් ඇති තරුණ තරුණියන් නිසාය. වසර හතරක් ඇතුළත ත්‍රස්තවාදය අතුගා දැමීමට ඔහුගේ රජය සමත් වූ අතර, ඉන්පසු රට තුළ පුනරුත්ථාපන, සංහිඳියාව සහ නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන ලදී. 
මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාව සියයට 7.2ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට සමත් වූ අතර, 2009 යුද්ධය අවසන් වීමෙන් පසු අපගේ ඒකපුද්ගල ආදායම දෙගුණ කිරීමටත්, විරැකියා අනුපාතය සියයට 5ට අඩු කිරීමටත් හැකි විය. එසේම තරුණ තරුණියන් ව්‍යවසායකයන් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් බැංකු පොලී අනුපාත අඩු කරන ලදී.

කෙසේවෙතත් ආපසු හැරී බලන විට, ශ්‍රී ලංකාවේ තරුණ පරපුර වෙනුවෙන් තවත් බොහෝ දේ කළයුතු බව අපි දනිමු. අප රජයක් වශයෙන් සහ ජාතියක් වශයෙන් අවබෝධ කරගෙන ඇති පරිදි තරුණ තරුණියන්ට අපගේ ආර්ථික වර්ධනයේ කොටසක් වීමට පමණක් නොව, පරිපාලනයේ කොටසක් වීමටද වැඩි අවස්ථාවන් නිර්මාණය කළ යුතුය. නව පරපුරේ තරුණ පරපුරට බොහෝ දේ ලබා දිය හැකි බව අපි විශ්වාස කරමු. ඔවුන් දේශපාලන කටයුතුවලදී ශක්තිමත් කාර්යභාරයක් ඉටු කළ යුතු අතර, පාලන ක්‍රියාවලියේ කොටසක් විය යුතුය.

මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාව පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා සඳහා සියයට 25ක තරුණ නියෝජනයක් යෝජනා කළේ මේ නිසාය. අද පළාත් පාලන ආයතනවල ශක්තිමත් තරුණ නියෝජනයකට අමතරව, නව අන්තර්වාර රජයට ආණ්ඩුවේ නව ප්‍රතිපත්ති හා න්‍යායපත්‍ර සඳහා දායක වන සමාන තරුණ නියෝජනයක්ද ඇත.

ලොව පුරා පවතින ඉල්ලුමට සරිලන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව නව රජය දැඩි ලෙස විශ්වාස කරයි. නවෝත්පාදන ආරම්භක සහ ව්‍යවසායකත්වයට සහාය වීම සඳහා අරමුදලක් ආරම්භ කිරීමටද අපි යෝජනා කරමු. මූල්‍යකරණයට අමතරව, මෙම අරමුදල තරුණ තරුණියන්ට මඟපෙන්වීම සහ වැඩිදුර ව්‍යාපාර පුළුල් කිරීම් සහ හවුල්කාරීත්වයන් සඳහා උපදේශනය ලබා දෙනු ඇත.
ඉදිරි වසර 5 තුළ නව රජයට අනිවාර්යයෙන්ම විශාල බාධකවලට  මුහුණදීමට සිදුව තිබේ. නමුත් රටේ වර්ධනයේ කොටසක් විය හැකි වන පරිදි සැමටම අවස්ථාව ලබාදීමේ පිටියක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.



Recommended Articles