සංවර්ධනය නිදහස ලෙස


ලෝක පූජිත ඉන්දියානුවෙකු වන අමර්ත්‍යා සෙන් 1998 වසරේ දී නොබෙල් ත්‍යාගය හිමි කර ගත්තේය. ඒ ආර්ථික විද්‍යාව සඳහායි. ඔහු ඉතා වැදගත් කෘතියක් ලියා තිබේ. එහි නම සංවර්ධනය නිදහස ලෙස (Development as Freedom ) යන්නයි. 

අමර්ත්‍යා සෙන් මෙහිදී ඉතා වැදගත් කරුණක් මතු කරයි. ලෝකයේ යම් දුර්භික්ෂයක් ඇති වූ රාජ්‍යයක් ඇත්නම් ඒ සෑම රාජ්‍යයකම පැවත ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් බවයි. මෙහි සත්‍යයක් පවතී. ඇතැම් අප්‍රිකානු රටවල දුර්භික්ෂ පවතින අතර, ඒවායේ සෑම විටම පැවතී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයන්ය. 

එනයින්, මිනිසුන් සතුව නිදහස පවතින අවස්ථාවලදී ඒ මිනිසුන්ගේ සංවර්ධනයද සිදු වෙයි. භාෂණයේ නිදහස, සාකච්ඡා කිරීමේ නිදහස ආදිය සංවර්ධනය සමග සම්බන්ධ වන්නේ කෙසේද යන්න කෙනෙකුට බැලූ බැල්මට ප්‍රශ්නයක් විය හැකිය. එහෙත් මිනිසුන් විඳින නිදහස ඔස්සේ සමාජයක් තුළ ආර්ථික ක්‍රියාවලිය වඩා සුමට ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. 

සමාජයකට ප්‍රශ්න කිරීමේ ශක්තිය ලැබෙන විට විවෘතභාවය වර්ධනය වෙයි. විවෘතභාවය වර්ධනය වූ සමාජයක දූෂණය පහත වැටෙයි. දූෂිත සමාජයක් නිරන්තරයෙන් අසමබරය. සමාජයේ එක් මිනිස් කොට්ඨාසයක් සම්පත්වලින් වැඩි ප්‍රමාණයක් අයථා ලෙසින් භුක්ති විඳින අතර, තවත් කොටසක් දරිද්‍රතාවේ පතුලට ඇද‍වැටෙයි. 

නිදහස යනු සංවර්ධනයේ පාදම යැයි නොබෙල් ත්‍යාගලාභී අමර්ත්‍යා සෙන් කරන සඳහන අලුත් දැනුමක් නොවේ. එය අවුරුදු 2,600කට වඩා ඈත අතීතයකට අයිති දැනුමකි. බුදුන් වහන්සේ විසින් රාජා භවතු ධම්මිකෝ යනුවෙන් දෙශනා කරන ලද්දේ ද අමර්ත්‍යා සෙන් කියන දෙයමයි. නිරිඳා සෑම විටම දැහැමි වන විට කලට වැසි වසී, කෙත් වතු සාර‍ වෙයි, ලොවෙහි ප්‍රීතිය වැඩි වෙයි.  වසර දෙදහසකට අධික කාලයේ දී ද එවැනි දැනුමක් පැවතීම විශ්මයාවහය. 

අමර්ත්‍යා සෙන් විසින් සංවර්ධනය සමග බැ‍ඳෙන නිදහස තුන් ආකාර‍යකින් දක්වයි. එකක් නම් දේශපාලන නිදහසයි. මෙම දේශපාලන නිදහස පවතින විටදී මිනිසුන් අතර පාරදෘශ්‍යභාවය රජ කෙරෙයි. අනෙක් නිදහස නම් මිනිසුන්ට අවස්ථා ලැබිය යුතුය. මිනිසුන්ට සම්පත් සහ අරමුදල් සඳහා ප්‍රවේශ වීමේ ඉඩකඩ තිබිය යුතුය. විශ්මයට කරුණ නම් රජෙකු විසින් ජනතාවගේ කර්මාන්ත ආදිය කරගැනීමට අවශ්‍ය සම්පත් සැපයීම වගකීමක් ලෙස බුදුන් වහන්සේද වදාරා තිබීමයි. 

ජනතාව දරුණු දිළිඳුභාවයෙන් (abject poverty) නිදහස් කිරීමයි. උදාහරණයක් ලෙස විරැකියාව ආදියට පිළියම් පැවතිය යුතු වන අතර, ආදායමක් නැතිනම් ඔවුනට සහනාධාරයක් හෝ ලැබීමේ ක්‍රමයක් රජය සතුව තිබිය යුතු බව අමර්ත්‍යා සෙන් පෙන්වා දෙයි. 

දිළිඳුකම යනු ආර්ථික ක්‍රියාවලිය සඳහා මිනිසුන්ට සම්බන්ධ වීමට නිදහසක් නොමැතිකම වශයෙනුයි අමර්ත්‍යා සෙන් හඳුනා ගන්නේ. ඒ අනුව, හුදෙක් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කිරීම, ඒකපුද්ගල ආදායම වර්ධනය කිරීම ආදියෙන් සංවර්ධනය නොවන බව අමර්ත්‍යා සෙන් පෙන්වා දෙයි. 

අමාර්ත්‍යා සෙන්ට අනුව සැබෑ සංවර්ධනයක් යනු ආර්ථික ඉලක්කමකට වඩා සමාජයේ සියලු අක්මුල් පුරා පැතිරී පවතින නිදහසක් ආරක්ෂා කිරීමයි. 

දර්ශන අශෝක කුමාර 

 



Recommended Articles