සංවරණ හා සංතුලන


සංවරණ හා සංතුලන (Checks and Balances) යනු නූතන ප්‍රජාතන්ත්‍රවාදය විසින් ආණ්ඩු කිරීම සඳහා දායාද කරන ලද සංකල්පයකි. ආණ්ඩුකරණයේ කිසියම් පාර්ශ්වයක් බලයෙන් වැඩිවීම වැළැක්වීම සංවරණ සහ සංතුලනවල අරමුණයි. 

ව්‍යවස්ථාවන් පාදක කර ගනිමින් ආණ්ඩු ක්‍රියාත්මක වන රාජ්‍යයන් සඳහා මෙම සංවරණ සහ සංතුලන මගින් මූලික කාර්යභාරයක් ඉටු කරයි. 
තනි පුද්ගලයෙකු අත බලය පවත්වා ගැනීම වෙනුවට බලය බෙදා පාලනය කිරීමේ මිශ්‍ර ක්‍රමයක් සම්බන්ධයෙන් මුලින්ම අදහස් දැක්වීමක් ලැබෙනුයේ ඇරිස්ටෝටල් වෙතිනි. ඉපැරණි ග්‍රීසියේ පෞර රාජ්‍යයන්හි පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ඔහුගේ %පොලිටික්ස්^ නම් කෘතියේදී යෝජනා මාලාවක් ගෙන එයි. 

ඉපැරණි ග්‍රීක යුගයේ පටන් මෙම සංකල්පය පිළිබඳ අදහස් ක්‍රියාත්මක විය. උදාහරණයක් ලෙස ග්‍රීක ඉතිහාසඥයෙකු වන පොලිබියස් අතීත රෝම ආණ්ඩු ක්‍රමය තුළ බලය බෙදී තිබූ ආකාරය විග්‍රහ කළේය. එහිදී රජු සතුව (කොන්සුල්වරයෙකු මගින් නියෝජනය කරන ලද) යම් බලයකුත්, රදළයන් සතුව බලයකුත් මහජනතාව සතුව බලයකුත් වශයෙන් තුන් ආකාරයකින් මෙම බල බෙදීම සිදු වූ බව පොලිබියස් පෙන්වා දෙයි. ඉපැරණි ග්‍රීක යුගයේ පැවැති මෙම සංකල්පය පසු කාලීනව සංවරණ සහ සංතුලන සංකල්පය ගොඩනැගීම සඳහා විශාල වශයෙන් බලපෑවේය. 

ජෝන් කැල්වින් විසින් 16 වැනි සියවසේදී හඳුන්වා දුන් ආණ්ඩුකරණ ක්‍රමයද අමතක කළ නොහැක්කකි. ප්‍රජාතන්ත්‍රවාදයත්, රදළ ක්‍රමයත් මිශ්‍ර වූ පාලනමය ක්‍රමයක් ඔහු විසින් අනුදත් අතර, පොදු ජනතාව විසින් තමන්ගේ පාලකයන් තෝරා පත්කර ගැනීම සමාජයේ පැවැත්ම සඳහා අතිශයින් වාසිදායක වන බව ඔහුගේ අදහස විය.  මේ අනුව සංවරණ හා සංතුලන ක්‍රියාත්මක වීම සඳහා පවත්වා ගත යුතු දේශපාලන ආයතන ගණනාවක්ද ඔහු විසින් යෝජනා කරන ලදී. 

ත්‍රෛපාර්ශ්වික ආණ්ඩු ක්‍රමයක (tripartite governments) දී මෙම සංකල්පයේ වැදගත්කම ඉතා හොඳින් කැපී පෙනේ. උදාහරණයක් ව‍ශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආණ්ඩු ක්‍රමය තුළ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය  වශයෙන් ත්‍රෛපාර්ශ්වික පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. 

ඇමෙරිකා ආණ්ඩුක්‍රමය නිර්මාණය කිරීම සඳහා විශාල අනුප්‍රාණයක් ලබාදුන් චින්තකයන් වන මොන්ටෙස්කියු, විලියම් බ්ලැක්ස්ටෝන් ආදීන් පෙන්වා දුන් කරුණක් වූයේ මිනිසුන් නිදහස සාක්ෂාත් කිරීමට ආරක්ෂාව තහවුරු කිරීමට සංවරණ සහ සංතුලන අතිශයින් වැදගත් වන බවයි. මේ තුළින් කිසිවෙකුටත් පරම බලයක් ලැබීම අහිමි වේ. 

මෙම චින්තකයන්ගේ අදහස වූයේ මනුෂ්‍ය ස්වභාවයම දුෂ්ටත්වය කරා යොමු වූවක් බවයි. බලය ලැබෙන්න ලැබෙන්න මිනිසුන් කරන්නේ යහපත් ක්‍රියාවන්ට වඩා දුෂ්ට ක්‍රියාවන්ය. මේ නිසා මෙම මනුෂ්‍ය ස්වභාවය යටපත් කිරීමට නිසි ක්‍රමවේදයක් ආණ්ඩු ක්‍රමය සඳහා යොදාගත යුතු බවට මුල් කාලීන ලිබරල්වාදී චින්තකයෝ කල්පනා කළහ. 

මේ නිසා ත්‍රෛපාර්ශ්වික ආණ්ඩු ක්‍රමයක් පවතින බොහෝ රටවල ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ ක්‍රියාවන් පරීක්ෂාවට ලක්කිරීමේ හැකියාව අධිකරණයට ලැබේ. එබැවින් උසාවිය ඉදිරියට කිසිවෙකුට නෑවිත් නොසිටිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළදී සංවරණ සහ සංතුලන ඉතා උත්කර්ෂයට නැ‍‍ගෙන සංකල්පයක් වුවද ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම තුළද සංවරණ හා සංතුලන ක්‍රියාත්මක වූ අවස්ථා දැක ගැනීමට ලැබේ. ඒකාධිපති පාලන තන්ත්‍රයන් තුළ හෝ තනි පක්ෂ ආණ්ඩු පවතින රාජ්‍යයන්ගේද ඇතැම් අවස්ථාවලදී එසේ සිදුවන බව පෙනී ගොස් තිබේ. 

 



Recommended Articles