සත්ත්වෝද්‍යානය යන වචනය ඉක්මවමින් ලාංකික අපට වඩා සමීපව ඇත්තේ සත්තු වත්ත යන්නය. එහිදී සත්තු වත්ත යන්න නිරායාසයෙන්ම දෙහිවලට සම්බන්ධ වනුයේ ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වෝද්‍යානය එහි පිහිටා තිබීම හේතුවෙනි. ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ආයතන කිහිපයක් ඇති නමුත්, වැඩි වශයෙන්ම හොඳට හෝ නරකට ඉහළ අවධානයක් දිනාගෙන ඇත්තේද දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයයි. සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වෝද්‍යානය දක්වන දායකත්වය පිළිබඳ කතිකාව මඳකට පසෙක තබමින් ලොව පිළිගත් සත්ත්වෝද්‍යාන සංරක්ෂණයට දායක වන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම ප්‍රථමයෙන් වැදගත් වනු ඇත.
ප්‍රවේශ දෙකක්
මෙය මූලිකව ප්‍රවේශ දෙකක් ඔස්සේ ආරම්භ කළ හැකිය. එහිදී පළමුවැන්න ආචාරධාර්මික ප්‍රවේශය ලෙස නම් කළ හැකිය. එනම් ඇතැමුන්ට සත්ත්වෝද්‍යානය යනු සතුන්ගේ නිදහස සීමා කරමින් ඔවුන් හිංසාකාරී ලෙස රඳවා තබාගන්නා %හිංසන මධ්‍යස්ථාන^ යන්නය. ඔවුන්ගේ තර්කය නම් මිනිසාට තම විනෝදය සඳහා සතුන් එලෙස සිරකර තබා ගැනීම යුතු නොවේ යන්නයි. මෙහි දෙවැනි ප්‍රවේශය %සංරක්ෂණ ප්‍රවේශය^ ලෙස නම් කළ හැකියි. සතුන් සිරකර තබා ගැනීම සිදුවුවත් එය කේවල ව්‍යාපෘතියක් වශයෙන් සිතනු වෙනුවට, එම විශේෂය ආරක්ෂා කර ගැනීම සඳහාත් එසේම ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන රැකගැනීම සඳහා පුද්ගලයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථාන වශයෙන් ඇති වැදගත්කමත් මෙහිදී අවධාරණයට ලක් කෙරෙයි. එය මිනිසුන් සහ සතුන් අතර සම්බන්ධය ඇතිකරන සහ දීර්ඝකාලීනව විද්‍යාත්මකව සංරක්ෂණය සඳහා පදනමක් සපයන බව පිළිගැනෙන අතර, %විනෝදය^ යන සාධකයද එහිදී බැහැර නොකෙරෙන්නේය.
ලොව සත්ත්වෝද්‍යාන ආරම්භ කිරීමේ පදනම සපයනුයේද විනෝදය පිණිස වනසතුන් එකතු කරන්නන් විසිනි. දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය මුලදී ආරම්භ කෙරී ඇත්තේද එසේ සතුන් එකතු කරන මධ්‍යස්ථානයක් වශයෙන් වන අතර, ලෝකය පුරා මෙවැනි ආකාරයේ අත්දැකීම් දැකිය හැකිය. මහනුවර යුගයේදී දෙවැනි රාජාධි රාජසිංහ රජුටද පෞද්ගලික සතුන් එකතුවක් තිබූ බවට සහ එහි සිටි දුර්ලභ කළු දිවියෙකු සහ සුදු ගෝනෙකු පිළිබඳවද රොබට් නොක්ස් තම වාර්තාවේ සඳහන් කොට ඇත.
කෙසේවුවද මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම ප්‍රභූන් යැයි නම්කරන ලද සමාජ කණ්ඩායම් පෞද්ගලික වනසතුන් එකතුවක් පවත්වාගෙන යාමට උනන්දුව ඇති බව හඳුනාගත හැකිය. ලොව විවිධ ප්‍රදේශවලින් වනසතුන් එකතු කිරීම යටත්විජිත අවදිවලදී යුරෝපය කේන්ද්‍ර කරගෙනද, පසුව නව ලෝකය නමින් හැඳින්වූ ඇමෙරිකාව සම්බන්ධ කරගනිමින්ද පුළුල් ලෙස ක්‍රියාත්මක වී තිබේ. ඇතැම් අවස්ථාවලදී ගෝත්‍රික ප්‍රජාවන්ද මෙසේ වනසතුන් ලෙස ප්‍රදර්ශනයට යොදාගෙන ඇති බව සඳහන්ය. එය මින් වෙන්කොට කතා කළයුතු ඛේදනීය කතාන්දරයක් වන අතරම එවැනි පසුබිමක අදාළ අවධිවලදී සතුන් සම්බන්ධයෙන් පැවැති තත්ත්වයන් යම් ප්‍රමාණයකට සිතාගත හැකි වනු ඇත.
ඒ අනුව මෙම ප්‍රවණතාව වර්තමානය දක්වාම විවිධ අයුරින් හා මුහුණුවරයන්ගෙන් සිදුවන දෙයකි. උදාහරණයක් ලෙස මැදපෙරදිග රටවල ධනවතුන් එවැනි පෞද්ගලික වනසතුන් එකතූන් පවත්වාගෙන යාම සුලභ දෙයක් වන අතර, ඒ සම්බන්ධයෙන්ද විවේචන රාශියක් ඇති බව සඳහන් කළ යුතුය.
සංරක්ෂණයට පදනම
ප්‍රධාන වශයෙන් රඳවාගෙන සිටින සතුන් බෝකිරීම (Captive breading) පර්යේෂණ සහ පුහුණු කටයුතු, අධ්‍යාපන සහ දැනුවත්භාවය ගොඩනැංවීම, ස්ථානීය සංරක්ෂණ (In-situ conservation) කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම සහ ඇතැම්විට සෘජුව ස්ථානීය සංරක්ෂණ ව්‍යාපෘති පවත්වාගෙන යාමත් මූලික වශයෙන්ම සත්ත්වෝද්‍යාන වෙතින් සංරක්ෂණය උදෙසා සිදුවෙතැයි අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධයෙන් වන වැදගත් කරුණු රාශියක් Alexandria Zimmermann විසින් සංස්කරණය කරන ලද Zoos in the 21st century; Catalysis for conservation? යන කෘතියේ සංග්‍රහකොට ඇත. ඒ සියල්ල පිළිබඳව අවධානය යොමු කිරීමේ හැකියාවක් නොමැති වුවද තෝරාගත් කරුණු කිහිපයක් පිළිබඳ පමණක් මෙහිදී අවධානය යොමු කිරීමට සිතමු.
විවිධ රටවල් ඒ ඒ රටවල පවත්නා නීති රෙගුලාසීන්ට අමතරව අන්තර්ජාතික වශයෙන්ද සත්ත්වෝද්‍යාන සහ මින්මැදුරු පවත්වාගෙන යාම සහ ඒවා සංරක්ෂණයට දක්වන දායකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ. ලෝක සත්ත්වෝද්‍යාන සහ මින්මැදුරු පිළිබඳ සංවිධානය (The World Association of Zoos and Aquariums –WAZA) යනු මේ සම්බන්ධව ක්‍රියා කිරීමට පිහිටුවාගෙන තිබෙන ප්‍රධානතම සංවිධානයකි. සැබැවින්ම එය ජාලයක් ලෙස හැඳින්වීම නිවැරදිය. 2015 වසරේදී ඔවුන් තම උපායමාර්ගික සැලසුම්වල සංරක්ෂණය සඳහා සත්ත්වෝද්‍යානවල දායකත්වය පැහැදිලිවම සඳහන්කොට ඇති අතර, ඒ අනුව එය පුළුල් දැක්මක් සහිතව ක්‍රියාත්මක වන්නක් බව පැහැදිලි වේ.
එසේම 2006 වසරේ සත්ත්වෝද්‍යාන පිළිබඳව ඔවුන් සංවර්ධනය කොට ඇති නිර්වචනයේද මෙම පුළුල් දැක්ම අන්තර්ගත කොට තිබේ. කෙසේ වුවද ලොව සෑම සත්ත්වෝද්‍යානයන් හා මින්මැදුරු මේ අකාරයට පවත්වාගෙන යන බව ඉන් අදහස් වන්නේ නැත. එහෙත් පවත්වාගත යුතු තත්ත්වයන් පිළිබඳව පුළුල් අවබෝධයක් සහ අවධානයක් යොමුව ඇති බව
ඉන් කියැවේ.
විශේෂ සංරක්ෂණය
ලොව පුරෝගාමී සංරක්ෂණවේදියෙකු ලෙස සැලකෙන Gerald Durrell විසින් ආරම්භ කරන ලද බ්‍රිතාන්‍ය දූපත්වල ඇති ජර්සි සත්ත්වෝද්‍යානය (Jersey Zoo) ඉහත දක්වන ලද බොහෝ සංරක්ෂණ උපායමාර්ග ක්‍රියාවට නංවා ඇති ආයතනයක් ලෙස දැක්විය හැකිය. උදාහරණයක් ලෙස ඔවුන් ස්ථානීය සංරක්ෂණ ව්‍යාපෘති වශයෙන් වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින ඉන්දියාවේ කුරු ඌරන් (Pygmy Hog), මැඩගස්කරයේ Madagascar Pochard නම් පක්ෂි විශේෂයත්, Ploughshare Tortoise නම් ඉබ්බන් විශේෂයත් ආදී වශයෙන් තවත් විශේෂ රාශියක් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලොව පුරා සංරක්ෂණ ව්‍යාපෘති පවත්වාගෙන යයි. එහිදී වඳ වීමේ දැඩි තර්ජනයට ලක්වූ සහ කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ විශේෂ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබේ. ඒ සඳහා වූ අරමුදල් සත්ත්වෝද්‍යානය හරහා ඒකරාශී කෙරෙන අතර, ඔවුන්ගේ කාර්යමණ්ඩල පුහුණු කිරීමත්, පරීක්ෂණ සිදුකිරීමත් එම දැනුම ලොව පුරා සිටින සංරක්ෂකයන් සමග බෙදාහදා ගැනීමත්, මෙම ක්‍රියාවලිය වෙතින් සක්‍රීයව සහ ආකර්ෂණීය ලෙසත් සිදුවනු දැකිය හැකිය. එවිට සත්ත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නෙකු සෘජුවම සංරක්ෂණ ක්‍රියාවලියට දායක වන අතර, ඒ බව ඔහුට හෝ ඇයට ඒත්තු ගැන්වීමට තරම් මෙම යාන්ත්‍රණය ශක්තිමත්ව ඇති බවද සඳහන් කළ යුතුය. ඒ අනුව මෙලෙස ඇතිවන ආකල්පමය වෙනස දීර්ඝකාලීනව වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් අතිශය වැදගත්ය.
මීට අමතරව සත්ත්වෝද්‍යානය ලොව වඳ වීමේ තර්ජනයට දැඩිව මුහුණදුන් විශේෂ නැවත බෝකර ඔවුන් ජීවත් වූ ස්වාභාවික පරිසර පද්ධතිවලට නැවත එකතු කරන්නටත් (Recovery and Reintroduce) සමත්ව ඇත. සය වන මහා නෂ්ට වීම නම් මානවකාරක විශේෂ මිහිතලයෙන් අතුගෑවී යාමේ අභියෝගයට මුහුණ දී සිටින මානවයාට මෙය යම් ආකාරයක අස්වැසිල්ලක් විය හැකිය. මධ්‍ය ආසියානු තෘණ බිම්වලින් වඳවී ගියා යැයි සැලකුණු Przewalski’s wildhorse, උතුරු ඇමරිකානු කලාපයේ සිට වඳ වී ගියා යැයි සැලකුණු Black footed ferret සහ California condor වැනි විශේෂවල පැවැත්ම තහවුරු කරන්නට සත්ත්වෝද්‍යාන විශාල කාර්යභාරයක් සිදුකර තිබේ. එසේවුවද තවත් විශේෂ රාශියක්, විශේෂයෙන්ම සත්ත්වෝද්‍යානවල සහ නරඹන්නන්ගේ අවධානයට ලක් නොවූ කෘමි, උරග සහ උභයජීවී කාණ්ඩවලට අයත් විශේෂ බොහොමයක් මේ වනවිටද මිහිතලයෙන් වඳවී ගොස් ඇති අතර, තවදුරටත් එසේ වඳ වෙමින් පවතින බවද විශේෂඥයන් පෙන්වා දී තිබේ.
තවත් මතයක්
සත්ත්වෝද්‍යාන සංරක්ෂණයට දක්වන දායකත්වය ප්‍රශ්න කෙරෙන අවස්ථාවන්ද නැතිවා නොවේ. ඔවුන්ට එල්ල වන ප්‍රධාන චෝදනාවක් වනුයේ සංරක්ෂණය සඳහා වුවද ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුවී ඇත්තේ ආකර්ෂණීය විශේෂ (Iconic Species) වෙත වන බවටයි. නරඹන්නන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට මූලික කර ගනිමින් මෙය සිදුවන බව පැහැදිලිය. මේ පිළිබඳව විද්‍යා සඟරාවක් (The Science Journal) විසින් ලොව පුරා ආයතන 800ක සතුන් මිලියන 2.6ක් ඇසුරෙන් කරන ලද විශ්ලේෂණයකදී අනාවරණය වී තිබුණේ ලොව පක්ෂි විශේෂවලින් 25%ක්ද, ක්ෂිරපායී විශේෂවලින් 20෴ක්ද, උරග විශේෂවලින් 12෴ක් සහ උභය ජීවීන්ගෙන් 4%ක් සත්ත්වෝද්‍යානවල නියෝජනය වන බවයි. ඒ අනුව මුලින් සඳහන් කළ කරුණ සනාථ වනු ඇත.
එසේම එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ එම විශේෂ අතරින් වඳවීමේ අවදානමට ලක්ව සිටින විශේෂ (Endangered) ගණන 20%-25% අතර අගයක් ගන්නා බව සහ දැඩිව වඳවීමේ තර්ජනයට ලක්වූ (Critically Endangered) විශේෂ ප්‍රමාණය 9෴ක් පමණක් වන බවය. මෙම දත්ත සංරක්ෂණය සම්බන්ධයෙන් සත්ත්වෝද්‍යාන දක්වන දායකත්වය නැවත ප්‍රශ්න කෙරෙන නමුත්, ඇතැම් සත්ත්වෝද්‍යාන සම්බන්ධයෙන් මෙම චෝදනාව වලංගු නොවනු ඇති බවද කිවයුතුය. කෙසේවුවද රඳවා ගත් සතුන් බෝකිරීම (Captive breading) අධික වියදම් සහගත ක්‍රියාවලියක් බව විශේෂඥයන් පැහැදිලි කර ඇති අතර, සතුන්ගේ ශරීර ප්‍රමාණය වැඩි වන තරමට වියදමද වැඩි වන බව ඔවුහු පෙන්වා දී තිබේ. ඒ අනුව නරඹන්නන් ආකර්ෂණය කර නොගෙන මේ යාන්ත්‍රණය පවත්වා ගැනීමද අභියෝගයකි.
මතභේදයට තුඩු දෙන තවත් තත්ත්වයන්
මේ වනවිටද මිහිතලයෙන් වඳ වී ගිය විශේෂ නියෝජනය සඳහා සත්ත්වෝද්‍යාන පාදක කරගෙන වැඩසටහන් සහ පර්යේෂණ කිරීම සඳහාද අවධානය යොමු වී තිබේ. 2016 වසරේදී මේ සම්බන්ධව ලෝක ස්වභාව සංරක්ෂණ සංගමය (International Union for Conservation of Nature -IUCN) විසින් මාර්ගෝපදේශ (Creating Proxies of Extinct Speciesfor Conservation Benefit) පවා සකස්කොට ඇති අතර, මෙයද මතභේදයට ලක්ව ඇති කරුණකි. කෙසේවුවද මෙවැනි ප්‍රතිපාදන හරහා අනාගතයේදී වඳවීමේ අවදානමට ලක්ව ඇති විශේෂ හෝ රැක ගැනීමට මඟ සැලසීම වැදගත්ය.
මේ අතර ඇතැම් සත්ත්වෝද්‍යානවල සංරක්ෂණයේ හෝ කළමනාකරණයේ නාමයෙන් සිදුකරන ලද කාර්යන් බහුතරයක් මහජනතාව අතර අප්‍රසාදයක් ඇති කිරීමට සමත්ව තිබෙනු දැකිය හැකිය. සතුන් ඝාතනය කිරීම (Culling animals in zoos) ඉන් ප්‍රධාන වන අතර, එම ක්‍රියාකාරකම නව්‍ය කරුණක් නොවුණද ඒවා බොහෝමයක් සිදුවනුයේ අප්‍රකටවය. කෙසේවුවද 2014 පෙබරවාරි 14 වැනි දින තරුණ පිරිමි ජිරාෆයෙකු අනාගත ප්‍රජනන කාර්යන් සඳහා අයෝග්‍ය යැයි (Genes were too common) නිගමනය කොට මරා දැමුණේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් සත්ත්වෝද්‍යානයේදීය. එපමණක් නොව ඔවුන් මරා දැමූ සත්ත්වයාගේ කාය විච්ඡේදනය පවා නරඹන්නන් ඉදිරියේ බොහොම විද්‍යානුකූලවත් විස්තරාත්මකවත් සිදුකර අවසානයේ සත්ත්වෝද්‍යානයේ සිංහයන්ට එම ශරීර කොටස් ආහාරයට දෙනු ලැබීය. මෙය විද්‍යාත්මකව නිවැරදි විය හැකි වුවද, අදාළ සිද්ධිය සත්ත්වෝද්‍යානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පොදුජනතාවගේ ආකර්ෂණය අඩු කිරීමට හේතු වී යැයි සැලකේ.
ශ්‍රී ලංකාව වැනි රටක නම් එය බොහෝ ගැටලු ඇති කරනු නිසැකය.
ශ්‍රි ලංකාවේ ජාතික සත්ත්වෝද්‍යානය
මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වෝද්‍යානය සම්බන්ධයෙන් ඇත්තේද යහපත් වාර්තාවන් නොවන බවට සඳහන් කළ හැකිය. ගතවූ කාලයේ දෙහිවල සත්ත්වෝද්‍යානය මත්කුඩු බෙදාහරින මධ්‍යස්ථානයක් ලෙසට එහි සේවකයන් කිහිපදෙනකු විසින් පවත්වාගෙන ගොස් ඇති බවටද මාධ්‍ය වාර්තාකර තිබූ අතර, දීර්ඝ කාලයක සිට විවිධ සිද්ධි මගින් සත්ත්වෝද්‍යානයේ පරිහානිය පෙන්නුම් කර දී තිබිණි.
නොසැලකිලිමත්කම සහ දුර්වල පරිපාලනය යන කරුණු මෙම පසුගාමීත්වයන්ට බලපා ඇති බව පැහැදිලිවම දක්නට ලැබෙන බව විද්වතුන් පෙන්වා දෙන අතර, ඒ සඳහා උදාහරණ ලෙස පහත කරුණු මාධ්‍ය වාර්තා වෙතින් උපුටා දැක්විය හැකිය.
හම්බන්තොට සෆාරි උද්‍යානයේ හම්බාවන් දෙදෙනෙකු දෙහිවල සත්ත්වෝද්‍යානයට ගෙනැවිත් ඇති අතර, මාස 2ක් තුළ ඔවුන් දෙදෙනාම මිය ගොස් තිබේ. එසේම රයිනෝසිරස් සත්ත්වයන්ගේ මළපහ ඔවුන්ගේ ආහාර සමග මිශ්‍ර වීමෙන් මාරාන්තික රෝගී තත්ත්වයකට අදාළ සත්ත්වයා ගොදුරු වී ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.
තවද ජාත්‍යන්තර ආචාරධර්ම උල්ලංඝනය කරමින් අබලන් කූඩු තුළ සතුන් රැඳවීම හේතුවෙන් අවස්ථා තුනකදී සතුන් අස්ථානගත වීමද, අවස්ථා 5කදී වෙනත් සතුන් විසින් ප්‍රදර්ශනය කරන සතුන් කා දැමීමද, අවස්ථා 6කදී සතුන්ට තුවාල වීම්ද වාර්තා වී තිබේ.
මීට අමතරව, පින්නවල අලි අනාථාගාරයේ උසාවි නියෝග මත රඳවා සිටින අලි ඇතුන් 18 දෙනා හේතුවෙන් සත්ත්ව හා සේවක සුබසාධක ගැටලුවක්ද පැන නැගී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සතුන්ට ප්‍රතිකාර කිරීමට නිසි රඳවනයක් නොමැති වීමෙන් සේවකයන් අනතුරට ලක්වීමේ අවදානමක්ද ඇති බව අනාවරණය වී තිබේ.
මීට හේතු ලෙස පෙන්වා දී තිබුණේ රෝගාබාධ, එක් ස්ථානයකින් තවත් ස්ථානයකට මාරු කිරීමේදී පශු වෛද්‍ය උපදෙස් අනුව කටයතු නොකිරීම, අලි ඇතුන්ට අඛණ්ඩව ප්‍රතිකාර නොකිරීම ඇතුළු කරුණු ගණනාවකි.
එසේම ඉතා මෑතකදී මාධ්‍ය වාර්තා කොට තිබුණේ 2014-2019 වසර 5 තුළදී ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආයතනවලදී සතුන් 806ක් මියගොස් ඇති බවයි.
යුරෝපයේ හෝ වෙනත් දියුණු රටවල ඇති තාක්ෂණික පහසුකම් හෝ සම්පත්වල යම් යම් හිඟතාවයක් පැවතුණද මෙලෙස නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම් සම්බන්ධයෙන් කිසි ලෙසකින් මෙම ආයතනවලට වගකීමෙන් මිදී යාමේ හැකියාවක් නොමැත. සැබැවින්ම ලෝකයේ හොඳම සත්ත්ව උද්‍යානයක් ලෙස සැලකෙන සිංගප්පූරු ජාතික සත්ත්වෝද්‍යානය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එහි සතුන්ට නිර්මාණය කර දී ඇති නිදහස් පරිසරය සහ නරඹන්නන්ට අත්කර දෙන සංරක්ෂණ අධ්‍යාපනය, විනෝදාත්මක අත්දැකීම ශ්‍රී ලංකාවේදී නම් කිසි ලෙසකින් අත්විඳින්නට ලැබෙන්නේ නැත. නැතහොත්
ශ්‍රී ලංකාවේදී නම් එය කලකිරීමක් හෝ කෝප ගැන්වීමක් විය හැකිය.
ඒ අනුව ඉහත සඳහන් කරන ලද ආචාරධාර්මික ප්‍රවේශය සහ සංරක්ෂණ ප්‍රවේශය යන ප්‍රවේශ දෙකෙහිම සංකලනයක් ලෙස සත්ත්වෝද්‍යාන පවත්වා ගත යුතු බව නොවන්නේද යන්න අවධානය යොමු කළයුතු වඩා වැදගත් කරුණක් ලෙස සිතමු. විශේෂයෙන්ම සතුන්ට කාරුණිකව සලකනවා කියන හැඟීම නරඹන්නන් බලාපොරොත්තු වෙන දෙයකි. දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට හෝ පින්නවල අලි අනාථාගාරයට යන සංචාරකයෙකුට එම අත්දැකීම ලබා ලබාගන්නට හැකිවේදෝයි අප නැවත නැවතත් සිතා බැලිය යුතු වන්නේය. ඒ අනුව සියලුම නිලධාරීන් සහ සේවකයන් නොසැලකිල්ලෙන් සහ අකාරුණික ලෙස කටයුතු කරන බවට ඉන් අදහස් නෙකෙරෙන බවද කිව යුතුය. කෙසේවුවද පින්නවල අලි අනාථාගාරයද ඇතුළත්ව සංචාරකයන්ගේ තෘප්තිමත්භාවය සම්බන්ධව කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් හරහාද සතුන්ට අකාරුණික සැලකීම පිළිබඳ සංචාරකයන්ගේ පැහැදීමක් නොමැති බවට තහවුරුකොට ඇති බවද කිය යුතුය. ඒ අනුව මෙවැනි පසුගාමීත්වයන්ගේ බලපෑමෙන් සිදුවනුයේ ජනතාව සත්ත්වෝද්‍යානවලින් පමණක් නොව සමස්ත සංරක්ෂණ කතිකාවෙන්ද ඈත්වීමට මගපෑදීමකි.
සංරක්ෂණය මෙන්ම අදාළ විෂයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහ මනා දැක්මක් ඇති පරිපාලන සහ කාර්යමණ්ඩලයක අවශ්‍යතාව දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් මගින් පෙන්නුම් කෙරේ. මෙසේ පසුගාමී සහ අප්‍රසාදයට ලක් වූ සත්ත්වෝද්‍යානයක් පවත්වාගෙන යාම විද්‍යාත්මකව හෝ ආචාරධාර්මිකව තාර්කික නොවන්නේය. කෙසේවුවද සිදුවිය යුත්තේ හැකිතාක් ජාතික සත්ත්වෝද්‍යානයක් ලෙස එහි සංරක්ෂණ අරමුණු සාධනය කරගනිමින් සහ නරඹන්නන් තෘප්තිමත් කරමින් ඉහළ ගුණාත්මක තත්ත්වයක් යටතේ අන්තර්ජාතික අාචාරධාර්මික පද්ධතීන්ට ගරු කරමින් පවත්වාගෙන යාම නොවන්නේද?
(රුහුණ විශ්වවිද්‍යාලයේ, භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ, පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංජුල කරුණාරත්න මහතා සමඟ සිදුකරන ලද සාකච්ඡාවක් ඇසුරින් සකස් වූවකි)