සංරක්ෂණ කතිකාව ලෝකය සහ අපි


ශ්‍රී ලංකාවේ වර්තමානයෙහි පරිසර සංරක්ෂණය, වනජීවී සංරක්ෂණය, වන සංරක්ෂණය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය ආදී වශයෙන් සංරක්ෂණ කතිකාව පුළුල් වපසරියක් තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ සඳහා වූ වැඩසටහන් සහ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වන බවද පෙනෙන්නට තිබේ. ඒවාට විශාල මුදලක්, ශ්‍රමයක් සේම පුළුල් ප්‍රචාරයක්ද ලබාදෙන බව අසන්නට දකින්නට ලැබේ. නමුත් ඊට සාපේක්ෂව මෙම ව්‍යාපෘති හරහා ලබාගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය හැකිද? මේ ලිපියෙන් අවධානය යොමු කරන්නෙ ලෝකයේ සංරක්ෂණ කතිකාවේ දිශානතිය සහ ඒ තුළ ශ්‍රී ලංකාව ස්ථානගත වන්නේ කොතැනද යන්න පිළිබඳව හඳුනා ගැනීමටයි.


ගෝලීය ප්‍රවණතාව

විශේෂ සංරක්ෂණය සම්බන්ධයෙන් ලෝකයේ ඇතැම් ව්‍යාපෘති විශිෂ්ට ප්‍රතිඵල ලබා තිබේ. අසල්වැසි ඉන්දියාවේ සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස 2014දී 2,226ක් වූ ඉන්දියාවේ කොටි ගහනය 2018 වසර වන විට 2,967ක් දක්වා 32෴කින් වර්ධනය වී තිබෙන බව ඉන්දීය වනජීවී වාර්තා සනාථ කරයි. මේ සාර්ථකත්වය ඉන්දියාවේ රජය සහ ආයතන, ප්‍රතිපත්ති සම්පාදකයන්, ජාතික සහ ජාත්‍යන්තර වනජීවී සංරක්ෂණ සංවිධාන සහ ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ලත් ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. 

ලෝකයේ පළමුවෙනි කාබනික රාජ්‍ය ලෙස භූතානය ප්‍රකාශයට පත්වන විට ඊට සමගාමීව එම රාජ්‍යයම ලොව පළමුවන සහ එකම කාබන් විමෝචනය අවම රාජ්‍ය ලෙසත් ප්‍රකාශයට පත්විය. රාජ්‍යයක් ලොව සතුටින්ම සිටින පුරවැසියන් සහිත රාජ්‍යයක් වන්නේ පුරවැසියන්ගේ නිරෝගීතාව, ඔවුන් ජීවත්වන පරිසරයේ නිරෝගීතාව අතර ඇති බැඳියාව මොනවට පෙන්වා දෙන්නේ නම් පමණි. ජෝර්දානය ගතහොත් එහි පුරවැසියන්ට පමණක් නොව, වනජීවීන්ටද නිදහසේ සංචරණය කිරීම සඳහා එහි ඇති සෑම ප්‍රදේශයක්ම එකිනෙක හා යාවූ පද්ධතියක් ලෙස සැලසුම් කර තිබේ. එයින් මිනිසුන් සහ වනජීවීන් අතර ගැටුම් අවම කරගනිමින් දෙපාර්ශ්වයටම වාසිදායක භූමි පරිහරණ රටාවක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

මීට අතිරේක වශයෙන් අපගේ කලාපයේ ඉන්දියාවෙන් තවත් උදාහරණ කීපයක් ගෙන බලමු. ඉන්දියාවේ පළමුවෙනි කාබනික ප්‍රාන්තය ලෙස සිකිම් ප්‍රාන්තය 2019 වසරේදී ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම එහි ගංගාවන් ආරක්ෂා කර, පිරිසුදුව පවත්වා ගැනීම අරමුණු කොටගෙන ආරම්භ කරන ලද පවිත්‍ර ගංගා වැඩසටහනද සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් තිබේ. 
බලශක්තිය සම්බන්ධයෙන් සැලකුවහොත් ගෝලීය ප්‍රවණතාව වන්නේ විකල්ප සහ පුනර්ජනනීය බලශක්ති මූලයන් වෙත නැඹුරු වීමයි. එනම් අවම පරිසර හානියක් සහිත සහ ලාභදායී තිරසර බලශක්ති මූලයන් වෙත ප්‍රවේශ වීමයි. අප්‍රිකානු කලාපයේ දිළිඳු රටක් වන කෙන්යාව පුනර්ජනනීය බලශක්ති මූලයක් වන සුළං බලයෙන් විදුලිය ජනනය කරන ඒකක 365ක් මෙම වසරේදී ස්ථාපිතකොට සම්පූර්ණ කරන ලදී. ඉන් සියයට දහතුනකින් සමස්ත විදුලි උත්පාදනය වැඩි 

කිරීමේ අරමුණ සාධනය කරගෙන තිබේ. ඔවුන්ගේ ඉලක්කය වන්නේ 2100 වසරේදී සියයට සියයක් පුනර්ජනනීය විදුලි උත්පාදන මූලාශ්‍ර වෙත එළඹීමයි.
කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ඇත්තේද ඉදිරිගාමී දැක්මකි. බොහෝ රටවල් කසළ සලකනු ලබන්නේ බැහැර කළ යුත්තක් ලෙස නොව, තවත් නිෂ්පාදනයක අමුද්‍රව්‍යයක් වශයෙනි. ඊට වැඩි ඉදිරිගාමී ආකල්පය වන්නේ හැකිතරම් කසළ ජනනය වීම අවම වන ලෙස පුද්ගලයන් තම ජීවන ව්‍යවහාරයන් වෙනස් කර ගැනීමට යොමු වීමයි. එනම් අධිපරිභෝජනය වෙනුවට අවම වූ දැරිය හැකි පරිභෝජන රටාවන් තෝරා ගනිමින් සිටීමයි. රාජ්‍ය මෙන්ම පෞද්ගලික සංවිධාන සහ ආයතනද ඒ වෙනුවෙන් පහසුකම් සපයමින් සිටී. විශේෂයෙන්ම ආධ්‍යාත්මික වශයෙන්ද කෙරෙන බලපෑම් පුද්ගල චර්යාවන් ඉදිරිගාමී ලෙස වෙනස් කිරීමට බලපානු දැකිය හැකිය.

2018 වසරේ කරන ලද පර්යේෂණයකට අනුව ලොව ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සාර්ථකවම සිදු කරන රට ලෙස හඳුනාගෙන තිබෙන්නේ ජර්මනියයි. ඔස්ට්‍රියාව එහි දෙවැනි තැනත්, දකුණු කොරියාව සහ වේල්සය තෙවැනි තැනත් සමව ලබාගෙන තිබේ. ජර්මනිය හොඳම කසළ ප්‍රතිචක්‍රීකරණය කරන රට බවට පත්ව ඇත්තේ ඔවුන් නිපදවන කසළවලින් සියයට 52෴-56෴ අතර ප්‍රමාණයක් ‍ප්‍රතිචක්‍රීකරණයට යොමුකරන නිසාවෙනි. 

වනාන්තර හරණය සහ හායනය වළක්වා ගනිමින්, වන ආවරණය වැඩිකර ගැනීම දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා වන ශක්තිමත් සහ තිරසර ප්‍රතිචාරයක් ලෙස බොහෝ රටවල් හඳුනාගෙන තිබේ. එපමණක් නොව එය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීම, දරිද්‍රතාව දුරුකිරීම, මන්දපෝෂණය අඩු කිරීම, අධ්‍යාපන අවස්ථාවන් වැඩි කිරීම සහ අවසාන වශයෙන් ප්‍රජාවන්ගේ 

ජීවන තත්ත්වය ඉහළ නැංවීම යන සාධක සමග බද්ධ කර ගනිමින් ඒකාබද්ධ ප්‍රවේශ නිර්මාණය කරමින් තිබේ.

මේ සම්බන්ධයෙන් භූතාන අත්දැකීම් යළි සලකා බැලුවහොත්, 2015 වසරේදී ස්වේච්ඡා සේවකයන් සිය දෙනෙකු විසින් පැයකදී පැළ පනස්දහසක් රෝපණය කරමින් ගිනස් වාර්තාවක් තැබීමට සමත්ව තිබේ. එමෙන්ම 2016 වසරේදී භූතාන රජ පවුල්ට උපන් කුමරුගේ උපත සැමරුවේ රට පුරා පැළ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් රෝපණය කරමිනි. ඉතාම මෑත කාලයේ එනම් මෙම වසරේදී ඉතියෝපියාවේ දුටු උදාහරණය නම් එක් දිනකදී පැළ මිලියන 353ක් රට පුරා රෝපණය කිරීමයි. මෙම ව්‍යාපෘති හුදු දේශපාලන සන්දර්ශන පමණක් නොවන බව පෙනී යන්නේ ඒවායේ සාර්ථක ප්‍රතිඵල දක්නට ලැබෙන නිසාය. ඉන් අදහස් වන්නේ සාමාජීය වශයෙන් පුද්ගල ආකල්ප වෙනස් කරමින්, අනාගතයේ තිරසරව භෞතික වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය පදනම සකස් කළයුතු බවයි.

මෙවැනි වූ ව්‍යාපෘති හරහා මහජනතාව වඩා සක්‍රීය වී තිබෙන බවත්, දිරිගැන්වෙන බවත්, රජයන් ඒ සඳහා කැප වී තිබෙන බවත් සාක්ෂාත් වේ. ඒ සඳහා තවත් ඉන්දීය නිදසුන් කීපයක් දෙස අවධානය යොමු කරමු. 2019 වසරේදී ඉන්දියාවේදී සිවිල් පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය දිනාගත්තේ, තුරු මව නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන 106 හැවිරිදි කේරළ මිත්තණිය වූ Saalumarsda Thimmakka නම් කාන්තාවකි. ඒ ඇය විසින් තම ජීවිත කාලය තුළ කරන්නට යෙදුණු රුක් රෝපණ සත්කාරය වෙනුවෙන් ඉන්දීය රජය ඇයට තම කෘතඥතාව පුද කළ ආකාරයයි. එවැනි පුද්ගල චරිත රාශියක් ඉන්දීය භූමිය තුළදී ඔබට සම්මුඛ විය හැකිය.

පරිසර හිතකාමී වර්තමාන පුරවැසියා නිර්මාණය කිරීම සහ අනාගත පුරවැසියා බිහිකරගැනීම සඳහා බොහෝ රටවල් වැඩිහිටියන්, යෞවනයන්, තරුණයන් සහ 
ළමයින් කේන්ද්‍රකරගෙන බහුවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. සොබාදහම සමග සම්බන්ධ වීම හෝ පරිසරය සමග බද්ධ වීම යන නාමකරණයන් යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් යුරෝපයේ සුලභය. විශේෂයෙන් දරුවන්ට සංරක්ෂණ අධ්‍යාපනය ලබාදීම සහ හැකිතරම් සොබාදහමට සමීප කර එයින් ලැබෙන අත්දැකීම් හරහා දරුවන්ට සංවර්ධනය වීමට අවස්ථා ඇති කිරීම එබඳු රටවල අධ්‍යාපනඥයන්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ එළැඹුම් වී තිබේ.

ප්‍රධාන වශයෙන්ම ඉදිකිරීම්වලදී පරිසර හිතකාමී වීමට ඔවුන් පෙලඹී තිබේ. නිර්මාණ ශිල්පයේ එය අනිවාර්ය අංගයක් වී තිබෙනවා පමණක් නොව, අඩු වියදම්, අඩු සම්පත් ප්‍රයෝජනයක් සහිත දෙමුහුන් නිවාස ආකෘතිවලට වැඩි පිළිගැනීමක් ලැබෙමින් පවතී. වඩා සැලසුම්සහගත හරිත නගර යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. මාර්ග පද්ධති, නිවාස, වෙනත් ගොඩනැගිලි ආදී සියල්ලම හරිත නගර සංකල්පයට අනුව ප්‍රතිනිර්මාණය වෙමින් ගොඩනැගෙමින් තිබේ. ඒවායේ මිනිස්සුන්ට පමණක් නොව සෙසු ජීව රූපවලටද ඉඩ දෙමින්, ඒවායේ පැවැත්ම තහවුරු කරමින් නාගරික වන විද්‍යාව, නාගරික වනජීවී විද්‍යාව වැනි විෂයයන් සංවර්ධනය වෙමින්ද ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින්ද තිබේ. නිදසුනක් ලෙස මෙක්සිකෝවේ බොහෝ නගරවල අධිවේගී මාර්ග පද්ධති රථවාහන ධාවනයට පහසුකම් සපයනවාට අමතරව, සුළඟින් සහ සූර්යාලෝකයෙන් බලශක්තිය නිපදවන බලාගාර ලෙසද එකවිටම ක්‍රියා කරයි. එසේම එහි කොන්ක්‍රීට් කුලුනු සරල තාක්ෂණයක් භාවිත කරමින් හරිත කුලුනු ලෙස සකස් කර ඇත. එය නගර අලංකරණයට අමතරව ශබ්ද දූෂණය, වායු දූෂණය සහ ආලෝක දූෂණය අවම කරන අතර, නාගරික වනජීවීන්ට නේවාසික සපයයි. සාමාජීය, ආර්ථික වශයෙන් සැලකුවහොත් මේවාට දායක කරගෙන තිබෙන්නේ නාගරික දිළිඳු ජනතාවයි. මෙම ක්‍රියාවලිය ඔවුන්ට පරිසර හිතකාමී ආදායම් මාර්ග නිර්මාණය කර දී තිබේ.
අපි කරමින් සිටින්නේ කුමක්ද? 

වනාන්තර ආරක්ෂා කරගැනීම සහ වන ආවරණය වැඩි කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රතිපත්තිය කුමක්ද? අරමුණ කුමක්ද? ප්‍රායෝගිකව දක්නට තිබෙන තත්ත්වය නම් ඉතිරි වී තිබෙන ස්වාභාවික වන ආවරණය විවිධ නාමකරණ යටතේ වෙනත් භූමි පරිහරණ රටාවන්ට යට කරමින් තිබීම සහ දේශපාලන සන්දර්ශන සහිතව දුරාවාරයේ කරන පැළ සිටුවීමේ ව්‍යාපෘති ගණනාවකට සීමා වී පැවතීමයි.

කසළ සම්බන්ධයෙන් ගතහොත් පළාත් පාලන රෙගුලාසි අනුව කසළ සම්පතක් ලෙස පිළිගනිමින්ම හිසරදයක් කරගෙන තිබේ. විද්‍යාත්මක යැයි මුසාවාද දොඩමින් එක් තැනක කසළ තවත් තැනක ගොඩගැසීමේ පසුගාමී ව්‍යාපෘතියක් දියත් කර තිබේ. එපමණක් නොව විදේශීය කසළද ලාභය සඳහා මෙරටට ගෙන්වා ගොඩගසා ගැනීමට රහසේම ගිවිසුම්ගත වෙයි.

අප රටේ බලශක්තිය අර්බුදයද ඊට දෙවැනි නොවන අතර, පුනර්ජනනීය, විකල්ප බලශක්ති මූලයන් වෙනුවට පරිසරයට හානි කරන, අධික වියදම්කාරී, යල්පැන ගිය, නිලධාරීන්ට හා බලධාරීන්ට උපරිම ලාභ කැන්දන ව්‍යාපෘති කරළියට පැමිණෙමින් තිබේ. ඊට සාපේක්ෂව ජෛව විවිධත්වයෙන් පොහොසත් සහ වෙනත් ආදායම් මාර්ග උපදවා ගැනීමේ විභවතාවක් සහිත දියඇළි හා ගංගා පරිසර පද්ධති තම හිතවතුන්ට ලාභ ලැබීම සඳහා පවරා දීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ.

වසරකට විවිධ  ම්ලේච්ඡ ක්‍රම ඔස්සේ අලි ඇතුන් 250ක් පමණ මරා දමන ශ්‍රී ලංකාව මිනිස් -වනජීවී ගැටුමට පිළියමක් ලෙස යෝජනා කරන්නේද වනජීවීන් මරා දමන යෝජනාවලියකි. මෙරට සංවේදී පරිසර පද්ධති රාශියක් සහ ඒවා නේවාසික කොටගෙන සිටින සත්ත්ව විශේෂ බොහොමයක් තම පැවැත්ම පිළිබඳ තර්ජනයන්ට මුහුණපාමින් සිටී. සංවර්ධනය හෝ සංරක්ෂණය නමින් ලේබල් කර වනසතුන් තැන තැන හුදකලා කර දමයි. මුල් බිම්වලින් උදුරාගෙන ගොස් අවතැන්කොට තැන තැන ගාල් කර දමයි. වගකීම් දරන ආයතනම පවසන පරිදි මෙරට කොරල්පර වලින් සියයට අනූවක්ම මියගොස් ඇත. සාගර දූෂණයට දායක වන ජාතීන් අතර ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉහළම ස්ථානයකි. 

කෘෂිකර්මය ගතහොත් බිම් සැකසීමේ සිට ආහාර සැකසීම දක්වාම ඇත්තේ අතිශය විෂ සහිත ක්‍රියාවලියකි.  එහි ඇති භයානක තත්ත්වය රජයද, මහජනතාවද පොදුවේ පිළිගෙන නිහඬවම එම විෂ සහිත ආහාර භුක්ති විඳිති. පසුව ඉන් ඇතිවන බලපෑම්වලට ප්‍රතිකර්ම කිරීමේ ලාභදායී ව්‍යාපාර සහ දේශපාලන ව්‍යාපෘතිවලම නියුක්ත වෙති. 

නව ඉදිකිරීම් ආකෘති වෙනුවට යල්පිනූ වේළි ඉදිකිරීම සහ මහා ව්‍යාපෘති මතම යැපෙමින් වනාන්තර වනසා දමා එක් රැයකින් හරිත නගර ඉදිකර හරිත වීරයෝ බිහිවෙති. දෙමුහුන් නිවාස, ඉදිකිරීම් සඳහා සිරස් අවකාශය යොදා ගන්නවා වෙනුවට ගිනිපෙට්ටි නිවාස ව්‍යාපෘති මගින් භූමිය නාස්ති කිරීම හෝ අහුරා දැමීම රාජ්‍ය ප්‍රතිපත්තිය කරගෙන තිබේ. 

අවසානයේ කිවහැක්කේ වර්තමානයේ කෙසේ වෙතත් අනාගතයේ හෝ වගකීම් සහගත පුරවැසියා නිර්මාණය කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවයි. අඩුම තරමේ එවැනි දැක්මක් ඇති නායකත්වයක් හෝ පැවතිය යුතුය. අපේ ලෝකය අවප්‍රමාණය වී තිබෙන්නේ මෙවන් තත්ත්වයක් රට තුළ නිර්මාණය නොවන බැවිනි. කිසිදු දිනක සංරක්ෂණ කතිකාවෙන් පමණක් එය වියුක්ත කළ නොහැකිය. 

මංජුල කරුණාරත්න - රුහුණ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය



Recommended Articles