සංචාරක කර්මාන්තය වෙනුවෙන් උපරිම ලාභ ලබන්නට නුවරඑළිය තවමත් දියුණ කර නැතිලු


නුවරඑළිය නගරයේ පරිපාලන කටයුතු සිදුකරනු ලබන මහ නගර සභාවේ ආදායම් තත්ත්වය පිරික්සා බැලුවත්, සංචාරක ව්‍යාපාරය එම නගරයට කොතරම් වැදගත්දැයි දැකගත හැකිය. නගර සභාවට ලැබෙන ආදායම තීරණය වන්නේ එහි එන සංචාරකයන්ගේ ප්‍රමාණය මතයි. මහ නගර සභාවට ආදායම් ලැබෙන ප්‍රධානම ප්‍රභවයන් වන්නේ සංචාරකයන්ගෙන් පිරී පවතින වික්ටෝරියා හා ග්‍රෙගරි උද්‍යානයි. එය නගර සභාවට ලැබෙන සමස්ත ආදායමෙන් 40%ක, 50%ක පමණ විශාල ප්‍රතිශතයක් ගනියි. ඊට අමතරව සංචාරක අමාත්‍යාංශයේ ලියාපදිංචි හෝටල් විසින් 1%ක බද්දක් නගර සභාවට ගෙවිය යුතු වේ. සංචාරක හෝටල් හිමියන් 2019 වසරේදී එසේ ගෙවූ මුදල ලක්ෂ 133කි. සංචාරකයන්ට සනීපාරක්ෂක පහසුකම් සැපයීම, වාහන නැවතීමේ ගාස්තු අය කිරීම් හා තාවකාලික කඩ කුලී මගින් නගර සභාව අතිවිශාල ආදායමක් උපයා ගනියි.

නගර සභාවට ලැබෙන ආදායම් එසේ වෙද්දී, ඊට වඩා විශාල මුදල් ප්‍රමාණයක් සංචාරකයන් හේතුවෙන් නුවරඑළියට ගලා එයි. එහෙත් එය තවමත් නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුවන සංචාරක ව්‍යාපාරයක් බව කිව යුතුමය. බොහෝ විදෙස් සංචාරකයන් නුවරඑළියේ ගත කරන්නේ එක් රැයක් පමණි. නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධානතම මැසිවිල්ල සංචාරය කළ හැකි ස්ථාන නොමැති වීමයි. එහි සත්‍යතාවයක්ද ඇත. වික්ටෝරියා උද්‍යානය, හග්ගල උද්භිද උද්‍යානය, හෝර්ටන්තැන්න වැනි ස්ථාන හඳුන්වා දී ඉතා දිර්ඝ කාලයක් ගතවී ඇත. මෑත කාලයේ ජනප්‍රිය වූ ග්‍රෙගරි උද්‍යානය සංචාරකයන් අතර ප්‍රචලිත වී දැනට වසර ගණනාවකි. ඊට අමතරව හඳුන්වා දුන් සඳතැන්න පාරසරික සංචාරක කලාපය තවමත් ඇත්තේ ඉතා ප්‍රාථමික මට්ටමිනි.

වෙනත් රටවල කිලෝමීටර් සිය ගණනක් ඇතුළත එකදු දියඇල්ලක් හෝ දක්නට නොමැති වුවත්, ලංකාවේ පැය පහක් හයක් ඇතුළත දිය ඇලි ගණනාවක් දැක බලා ගැනීමට හැකියාව ලැබේ. ඒත් අවාසනාවට ඉන් බහුතරයක බෝඩ් ලෑල්ලක්වත් සවිකර නොමැත. කලකට පෙර එක් දිනක් ඇතුළත නුවරඑළිය නගරය ආසන්නයේ දිය ඇළී 21ක්, විවිධ අභයභූමි, කුරුලු උයන්, සුන්දර ගම්මාන, ජලාශ හා ඓතිහාසික ස්ථාන නැරඹීම සඳහා සංචාරකයන්ට මගපෙන්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළද, ඒ සියල්ල සැලසුම්වලට පමණක් සීමා විය.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් සීගිරිය, දඹුල්ල, පොළොන්නරුව ඔස්සේ, නුවරට පැමිණ, පේරාදෙණිය, නුවරඑළිය, ඇල්ල, වැල්ලවාය හරහා දකුණේ මුහුදු තීරයට ගොස් දින කීපයක් ඇතුළත ලංකාවෙන් පිටවේ. දේශීය සංචාරකයන්ගේ තත්ත්වය ඊටත් වඩා ඛේදජනක අතර ඉන් බහුතරයක් පිරිමි සංචාරකයන් තම සංචාරයන් මත්පැන් සාදවලට පමණක් සීමා කර තිබේ.

මෙම තත්ත්වය තුළ කෝවිඩ් වසංගතය පහවුවද අප රටේ සංචාරක ව්‍යාපාරයේ නව පිබිදීමක් දක්නට නොමැති වනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දිශානතිය කුමන දිසාවකට සකස් විය යුතුද යන්න පිළිබඳව අප කළ විමසීමේදි රුහුණ විශ්වවිද්‍යාලයේ පාරිසරික භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංජුල කරුණාරත්න මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.

"නුවරඑළිය දිස්ත්‍රික්කය කියන්නේ සංචාරක ආකර්ෂණය වැඩිම ප්‍රදේශයක්. කෙසේ වුවත් එම සංචාරක විභවතාවයන් උපරිම ලෙස ප්‍රයෝජනයට ගන්නවාද යන්න පිළිබඳව තිබෙන්නේ සැකයක්. ඒකට හේතුව තමයි නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ඉතා සීමිත භූ අවකාශයක පමණක් නොව සමාජ ආර්ථික හා සංස්කෘතික වශයෙන්ද ඉතාම සුළු වපසරියක පැතිරී තිබීම.

භූ අවකාශීය පැතිරීම ලෙස හඳුන්වන්නේ සංචාරකයන් මූලික වශයෙන් තම සංචාරක ගමනාන්තයන් ලෙස හඳුනා ගන්නා ප්‍රදේශයි. දෙවැන්න එනම්, සාමාජීය, සංස්කෘතික සහ ආර්ථික අවකාශය යනුවෙන් මා අදහස් කළේ එම සංචාරක කර්මාන්තයේ ඍජු හා වක්‍ර ප්‍රතිලාභය ලබන පිරිස වේ. මෙම තත්ත්වය මා දකින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට තිබෙන සම්පත් පදනම අවතක්සේරු කොට එමගින් ලැබිය හැකි උපරිම ප්‍රතිඵල ලබාගැනීම බැහැර කොට හෝ නොසලකා හැරීමක් හැටියටයි. ඒකට හේතුව විදිහට මූලිකවම පෙනෙන දෙය නම් ඒ සංචාරක විභවතාවයන් පිළිබඳව සැලසුම්කරුවන්ට සහ වගකිවයුතු ආයතනවලට නිසි අවබෝධයක් නොතිබීමයි.

නුවරඑළියට දේශීය සංචාරකයන් ආකර්ෂණය කරගන්නා ප්‍රධානම සාධකය තමයි එහි තිබෙන ශීත දේශගුණික තත්ත්වය. මෙවැනි දේශගුණයක් සහිත ස්ථාන ලංකාවේ හමුවන්නේ සාපේක්ෂව අඩු වශයෙන් වීම එයට හේතුවක්. විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් නම් දේශගුණය වගේම බ්‍රිතාන්‍ය උරුමය හා ගෟහ නිර්මාණ ශිල්පය, තේ වගාව සහ ජෛව විවිධත්වය වැනි සාධකද එකතු වෙනවා.

ඒ අනුව පැහැදිලි වන දේ තමයි නුවරඑළියට සංචාරකයන් ආකර්ෂණය වන සාධක බහුතරයක් ස්වභාවික මූලයන් මිස මිනිසුන් විසින් වැඩිදියුණු කරන ලද හෝ හඳුන්වා දෙන ලද මූලයන් නොවන බව. සංචාරක හෝටල්, නවාතැන් පොළවල්, ආපන ශාලා ආදී සියල්ලම කේන්ද්‍රගත වී තිබෙන්නේ නුවරඑළිය නගරයේ සහ එයට ඉතා සමීපව. ඒ වගේම ඊට පහසුකම් සපයන ආයතනද කේන්ද්‍රගත වී තිබෙන්නේ නගර සීමාව තුළයි. නැත්නම් ඊට ආසන්න වටපිටාවක් තුළ පමණයි. මෙය නගරය කේන්ද්‍ර කරගත් සංචාරක ආකර්ෂණයක් ලෙසටයි හඳුනාගත හැක්කේ. ඒ නිසා මෙම සංචාරක කේන්ද්‍රයේ පරාසය පුළුල් කිරීමටත්, එය විමධ්‍යගත කිරීමටත්, ඒ වටා තිබෙන උපකේන්ද්‍රයන් හඳුනාගැනීමටත් කටයුතු කළ යුතුයි. එම කාර්ය කිරීමට මේ වන විටත් සැලසුම්කරුවන්ට හැකි වී නැති බවයි පෙනෙන්නේ. නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් සැලකූ විට ඉතාම හොඳින් නිර්මාණය කළ සැලසුමකින් පසුව එය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙනවා.

අපි උදාහරණ කීපයක් ඇසුරෙන් මේ තත්ත්වය තේරුම් ගන්න උත්සාහ කරමු. නුවරඑළිය කියන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත උරුමය තුළ ඔවුන් විසින් නිර්මාණය කරන ලද නගරයක්. එහි බ්‍රිතාන්‍ය උරුමයේ නෂ්ටාවශේෂ අදත් තිබෙනවා. නමුත් මෙම උරුමයන් සංරක්ෂණය කිරීමටත්, ඒවා සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන බවට පත් කිරීමටත්, එම සංස්කෘතික උරුමය ජනතාවට, සංචාරකයන්ට දැන හඳුනා ගැනීමටත්, එය ලොව පුරා ප්‍රවර්ධනය කිරීමටත් මේ සියල්ල හරහා ආදායම් උපදවා ගැනීමටත් අප ගෙන තිබෙන පියවර මොනවාද? මෙම උරුමයන් ආරක්ෂා කිරීමටත්, ප්‍රදර්ශනය කිරීමටත් අප එකදු කෞතුකාගාරයක් හෝ ඉදිකර තිබේද?

සංචාරකයන් තම ගමනාන්තයට පැමිණි පසු ඔවුන්ට නියුක්ත වීමට ක්‍රියාකාරකම් නිර්මාණය කළ යුතුයි. ඒවා එහි භූ දර්ශනයන්ට, ජෛව විවිධත්වයට, සමාජ සංස්කෘතික පරිසරයට අනුගතව සිදු කළ යුතුව තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් සැලකුවොත් එම ක්ෂේත්‍රවල ඉතාම පුළුල් විවිධත්වයක් තිබෙනවා. එම විවිධත්වය පදනම් කරගෙන සංස්කෘතික ක්‍රියාකාරකම්ද විවිධත්වයකින් යුතුව නිර්මාණය කළ යුතුයි. එවිටයි සංචාරක කර්මාන්තය වඩාත් ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ. ඒ වගේම මිනිස්සුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, පහළ තලයන් වෙත සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ගලා යාමටත් ඒ මගින් මග පෑදිය හැකියි.

හැකියාව තිබුණත් කිව හැක්කේ අප එවැනි කිසිදු පියවරක් ගෙන නොමැති බව සහ ඒවා ඉතාම අවතක්සේරුවෙන් බැහැරකොට ඇති බවයි. නුවරඑළිය නගර මධ්‍යයේ තිබුණු එවැනි පැරණි ගොඩනැගිල්ලක් මේ වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. මේවා සැලකිය හැක්කේ නුවරඑළිය නගරයේ උරුමය නොසලකා හැර කරන ලද ක්‍රියාකාරකම් විදිහටයි.         

ග්ලේන්ෆෝල් දියඇල්ල නුවරඑළිය නගරයට, එහි සංචාරක ආකර්ෂණයට හේතු වූ දිය ඇල්ලක්. අද මෙය පවතින්නේ මියැදුණු මට්ටමේයි. එයට හේතුව තමයි දිය ඇල්ලට ජලය සැපයෙන ජල මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් වගා බිම් සඳහා ජලය ලබා ගැනීමත්, ජල පෝෂකයේ තිබූ වනාන්තර ආවරණයට හානි සිදුකිරීමත්. මේ දිය ඇල්ලේ මිය යාම ඇසුරින් අපට තේරුම් කර ගැනීමට අවශ්‍ය දේ තමයි සංචාරක කර්මාන්තයත්, අනෙකුත් සමාජ, ආර්ථික, දේශපාලනික කාරණා එකිනෙකින් වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතින බව. මධ්‍ය කඳුකරයේ භූමි පරිහරණ රටාවන් ඉතාම සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් පසුවයි එහි වෙනස්කම් කළ යුත්තේ. එසේ නොමැති වුවහොත් සමස්ත පද්ධතියටම වගේම එහි විවිධ අංශවලටත් අප අපේක්ෂා නොකරන මට්ටමේ අහිතකර බලපෑම් එල්ල විය හැකියි."    

කෝවිඩ් වසංගතයෙන් පසුව විශාල සංචාරක පිරිසක් ලොව පුරා විවිධ ගමනාන්තයන් වෙත හුවමාරු වීමට නියමිතව තිබෙනවා. එය ලොව පුරාම ඇති විය හැකි ප්‍රවණතාවයක් ලෙසයි පුරෝකථනය කොට තිබෙන්නේ. ඉන් උපරිම වාසි ලබා ගැනීමට දැන් සිටම සූදානම් විය යුතු බව මංජුල කරුණාරත්න මහතා පවසයි.

සටහන හා ඡායාරූප- නුවරඑළිය සම්පත් ජයලාල් 



Recommended Articles