සංචරණ තොරතුරු ආරක්ෂාකාරීව සටහන් කරන ‘සුවෙන් සිටිමු’ පද්ධතිය


කෝවිඩ් 19 දෙවන රැල්ලත් සමග නැවතත් රටේ පුරවැසියන් තුළ කෝවිඩ් බියක් ඇතිවිය. රටේ සියලු ප්‍රදේශවලින් ආසාදිතයන් අඩු වැඩි වශයෙන් හමුවීම නිසා සතියකට වැඩි කාලයක් බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවිණ. කෙසේනමුත් ඊයේ (09දා) දින බස්නාහිර පළාතට පැනවූ ඇඳිරිනීතිය ඉවත් කළේ කෝවිඩ් අර්බුදයත් සමග ජනතාව සිය සාමාන්‍ය ජනජීවිතය ගත කළයුතු බැවිනි.


සාමාන්‍ය ලෙසට ජනජීවිතය ගත කිරීමේදී පසුගිය කාලය පුරා අපි යම් ආයතනයකට ඇතුල් වීමේදී අපගේ මූලික දත්තයන් කිහිපයක් පොතක ලියා සටහන් කිරීමක් සිදු කළෙමු. ඒ මේ අයුරින් කෝවිඩ් ආසාදිතයෙකු හමු වූ විට ඔහුගේ සංචරණ තොරතුරු සහ ආශ්‍රිතයන් සොයා ගැනීමට පහසුවීම සඳහාය. මෙම වැඩපිළිවෙළ යම් අසාර්ථකභාවයකට ලක්වූයේ විවිධ හේතු නිසා සිය තොරතුරු ඇතැම් පුද්ගලයන් ලබාදීමට මැලිවූ බැවිනි.

එබැවින් මෙයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් පුද්ගලයන්ගේ දත්ත සහ සංචරණ තොරතුරු එක්රැස් කළ හැකි ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දුනි. මෙම පද්ධතිය Stay Safe නැතහොත් ‘සුවෙන් සිටිමු’ ලෙස හඳුන්වයි.

Stay Safe ව්‍යාපෘතිය යනු

කෝවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග රට ඉදිරියට ගෙන යාමේදී පුද්ගලයන් සියලුදෙනා නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. එහිදී ආසාදිතයකු වාර්තා වීමෙන් පසුව ඔහු ආ ගිය ස්ථාන, ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා ගැනීම අතිදුෂ්කර කාර්යයක් වේ. එම නිසා රෝග ව්‍යාප්තිය බොහෝ වශයෙන් අවම කර ගැනීමට අපහසුය. මෙයට පිළියමක් වශයෙන් ‘ 'Stay Safe' ව්‍යාපෘතිය නිර්මාණය වේ.

 Stay Safe යනු පුද්ගලයන් ගමන් ගන්නා ස්ථාන පිළිබඳව දත්ත එක්රැස් කරන ඩිජිටල් පද්ධතියකි. ‘Stay Safe' මගින්  දත්ත එක්රැස් කිරීම සිදුවන්නේ ‘QR කේතය ස්කෑන් කිරීම තුළින් හෝ කෙටි පණිවුඩ සේවාවක් මගිනි.

Stay Safe සමග ලියපදිංචි වන්නේ කෙසේද?

පුද්ගලයන් මෙන්ම මහජනතාව වැඩියෙන් එක්රැස් වන ස්ථාන වන වෙළෙඳ සැල්, වෙළෙඳ සංකීර්ණ, රාජ්‍ය හා පෞද්ගලික ස්ථාන, පොදු ස්ථාන සියල්ලම පළමුවෙන්ම zStay Safe^වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතුයි. යම් ආයතනයක් නම් ලියාපදිංචි වීමේදී වෙබ් අඩවිය මගින් ආයතනය පිළිබඳ මූලික දත්ත කීපයක් ගනු ලබයි. එම දත්ත පද්ධතිය ඇතුළත් කරගත් පසු බාගත කළ හැකි පෝස්ටරයක් ලැබෙනු ඇත. මෙය භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණය වී ඇති අතර, එහි QR කේතයක් සහ Location ID  එකක් සඳහන් වේ. එම පෝස්ටරය ආයතනයට පිවිසෙන දොරෙහි හෝ ඒ ආසන්න ස්ථානයක ඇලවිය යුතු වේ.

පුද්ගලයෙකු ලියාපදිංචි වන්නේ නම් Stay Safe වෙබ් අඩවියට පිවිස ‘පුද්ගලයින් සඳහා ඇති කොටසට පිවිස එහි ඇති QR  කේතය ස්කෑන් කර එහි ඇති මූලික දත්ත ලබාදීම සිදුකළ යුතුය. ඉන්පසුව මෙම පද්ධතිය සහ පුද්ගලයා ලියාපදිංචි වූ බවට තහවුරු කරනු ඇත. එසේ නැතහොත් 5S REG ජා.හැ.අ. යොදා 1919 අංකයට කෙටි පණිවුඩයක් යැවීමෙන් ලියාපදිංචි විය හැකිය. ඉන් අනතුරුව ඕනෑම ස්ථානයකට කිසිඳු බියක් නොමැතිව ගොස් සිය කටයුතු සිදුකර ගැනීමට හැක.

මෙය භාවිත කළ හැක්කේ, පුද්ගලයන් ලියාපදිංචි වීමෙන් පසුව ඔබ ගමන් කරන ඕනෑම ස්ථානයක ඇති QR කේතය සහිත පෝස්ටරය තමන්ගේ ජංගම දුරකථනයෙන් ස්කෑන් කිරීමයි. මෙය එම ස්ථානයට පිවිසීමේදී සහ පිටවීමේදී සිදුකළ යුතුය.

ඔබට Smart ජංගම දුරකථනයක් නොමැති නම් පෝස්ටරයේ යට ඇති Location ID අංකය 1919 දුරකථන අංකයට කෙටි පණිවුඩයක් යැවිය හැක. ඔබ එම ස්ථානයට එක් දිනක් තුළ කිහිප විටක ගියත්, ඒ සියලු අවස්ථාවන්හිදී මෙය සිදුකළ යුතුය. එහිදී අදාළ ස්ථානයට පැමිණි වේලාව, රැඳී සිටි වේලාව සහ පිට වූ වේලාව දත්ත පද්ධතියට ඇතුළත් වේ.

පද්ධතියට ඇතුළත් වන දත්තවල සුරක්ෂිතභාවය

මෙම ‘Stay Safe^ පද්ධතියට ඇතුළත් වන සියලුම දත්තයන් ගබඩා වන්නේ රාජ්‍ය දත්ත මධ්‍යස්ථානයේය. වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයකට මෙම දත්ත ලබාගැනීමට හෝ බැලීමට හැකියාවක් නොමැත. එහෙයින් දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කෙරෙයි.

කෝවිඩ් 19 අසාදිතයෙකු හමුවූ විට

'Stay Safe' පද්ධතියේ ලියාපදිංචි පුද්ගලයෙකු පීසීආර් පරීක්ෂණයේදී කෝවිඩ් 19 රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය මෙම පද්ධතියට ඇතුල් කළ පසු ඔහු ආ ගිය ස්ථාන වෙලාවන් සමග බලා ගැනීමට හැකිය. එහිදී ඔහු සිටි ස්ථානවලට ගොස් ඔහු ආශ්‍රය කළ පුද්ගලයන්ගේ තොරතුරු ලබාගනිමින් ඔවුන්වද නිරෝධායනය කිරීමේ කටයුතු වලට යොමු කළ හැකිය. මීට පෙර සිදුකළ ක්‍රියාවන් වලදී අසාදිතයාට තොරතුරු අමතක වීම, අතිශය පෞද්ගලික හේතූන් මත නිවැරදි තොරතුරු ලබාදීමට නොහැකි වීම වැනි දේ සිදුවිය.

 

‘Stay Safe^ මෘදුකාංග පද්ධතිය ඔබ කෝවිඩ් 19 අසාදිතයෙකු වෙත නිරාවරණය වුවහොත් ඒ බව දැනුම්වත් කිරීම සඳහා ඇති පහසු සහ කෙටිම ක්‍රමය වේ. QR ස්කෑන් පහසුකම හේතුවෙන් ඔබ පිවිසෙන ආයතනයට කිසිදු අපහසුතාවකින් තොරව පිවිසීමටත්, පිටවීමටත් හැකිය. බොහෝ අවස්ථාවලදී කාන්තා පාර්ශ්වයන් පොතෙහි තම තොරතුරු සටහන් කිරීමට මැලිවන්නේ ඉන් පසුව එම දත්ත ලබාගෙන විවිධ පුද්ගලයන් විවිධ අකටයුතුකම් සිදුකිරීමට පෙළඹෙන බැවිනි.

නමුත් මෙම 'Stay Safe^  ‘මෘදුකාංග පද්ධතිය හරහා එවැනි ක්‍රියාවන් සිදුකිරීමට ඉඩක් නොලැබේ. Smart ජංගම දුරකථනයක් නොමැති අය හටද තමා සතුව ඇති ඕනෑම ජංගම දුරකථනයකින් මෙම පද්ධතිය සමග එක්වීමට හැකියාව ඇත. ස්කෑන් පහසුකම ඇති බැවින් තොරතුරු ලබාදීමේදී ස්පර්ශයක් සිදුනොවීමද මෙහි ඇති සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයකි. කෙටි පණිවුඩයක් මගින් තොරතුරු ලබාදීමේදී ලියාපදිංචි වන අවස්ථාවේදී පමණක් මූලික දත්ත ලබාදිය යුතු වන අතර, ඉන්පසුව ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමෙන් අනතුරුව මෙය භාවිත කළ හැකි වීමද ඔබට ලැබෙන තවත් ප්‍රයෝජනයකි.

එමෙන්ම ආයතනයක් මෙම පද්ධතිය සමග ලියාපදිංචි වීමෙන් ආයතනයකට කිසිදු අපහසුවකින් තොරව සිය ව්‍යාපාර කටයුතු සිදුකර ගෙන යා හැකිය. කාර්යබහුල අවස්ථාවන්හිදී වුවත් පහසුවෙන් සිය පාරිභෝගිකයන්ට මෙම සේවය ලබාගැනීමට හැකි වීමද ආයතනයන්ට ලැබෙන තවත් ප්‍රයෝජනයකි. කෝවිඩ් 19 රෝගය තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩසටහන් වලට මෙයින් ඔබ ලබාදෙන දායකත්වය ඉමහත්ය.

කෙටි පණිවුඩ සේවාව මගින් දත්ත ඇතුළත් කිරීමේදී දැනට සාමාන්‍ය කෙටි පණිවුඩයකදී අය වන මුදල් අය වන අතර, ඉදිරි කාලයේදී එම සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෝවිඩ් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ‘%සුවෙන් සිටිමු’ වැඩසටහනේ සංවර්ධන ප්‍රධානී සමීර ජයවර්ධන මහතා ‘අද’ට පැවසීය.

ලියාපදිංචි වීමට - www.staysafe.gov.lk නැතහොත් 5S REG ජා.හැ.අ. යොදා 1919 අංකයට කෙටි පණිවුඩයක් යැවීමෙන් සිදුකළ හැකිය.

වැඩිදුර විස්තර - www.staysafe.gov.lk වෙබ් අඩවිය හෝ staysafelk ෆේස්බුක් පිටුව හරහා ලබාගත හැකිය.



Recommended Articles