ඇමෙරිකානු දේශපාලන විද්‍යාඥයෙකු වන සැමුවෙල් පී. හන්ටින්ටන් විසින් %ශිෂ්ටාචාරයන් අතර ගැටුම^ මැයෙන් අදහසක් ගෙන එනු ලැබීය. මෙය උපන්‍යාසයක් වන අතර හන්ටින්ටන්ට අනුව සීතල යුද්ධය අවසන් වීමෙන් පසු මිනිසුන් අතර ගැටුම් ඇති වන්නේ සංස්කෘතික සහ ආගමික අනන්‍යතාවන් මත පාදකව වේ.
සීතල යුද්ධය පැවැති සමයේදී ලෝකයේ බල අරගලය පැවැතියේ දෘෂ්ටිවාද මත පදනම්වය. ලෝකය ධනවාදය සහ සමාජවාදය වශයෙන් කඳවුරු දෙකකට බෙදී තිබුණි. ඇමෙරිකා එක්සත් ජනපදය ධනවාදී කඳවුරට නායකත්වය ලබාදුන් අතර, සෝවියට් දේශය සමාජවාදී කඳවුරට නායකත්වය ලබා දුන්නේය.
1980 දශකයේ අගභාගයේදී සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු සමාජවාදී කඳවුර පරාජයට පත් වූ අතර, සමාජවාදයද, ධනවාදයද යන කඳවුරු දෙක මත ගොඩනැගී තිබූ ඝට්ටනය තවදුරටත් ප්‍රධාන මාතෘකාවක් නොවන තත්ත්වයක් උදා විය.
හන්ටින්ටන්ගේ අදහස වූයේ පශ්චාත් සීතල යුද සමය තුළදී ලෝකය බෙදා වෙන් කරන ගැටුම් ඇති කරවන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ ආගමික සහ සංස්කෘතික බෙදීම් යනුවෙනි. හන්ටින්ටන්ගේ මතය එක්තරා දුරකට සත්‍ය බව හෙළිදරව් කරමින් ඉස්ලාමීය අන්තවාදය පශ්චාත් සීතල යුද සමය තුළදී පෙරමුණට පැමිණි අතර, ශ්‍රී ලංකාවේ අපද පාස්කු ඉරිදා ප්‍රහාරයේදී අත්වින්දේ එයයි.
මාක්ස්වාදී විග්‍රහයට අනුව පන්ති අතර ඝට්ටනයෙන් ඉතිහාසය නිර්ණය වන බව පැහැදිලි කෙරේ. එහෙත් හන්ටින්ටන් පවසන්නේ සීතල යුද්ධය අවසන් වීමත් සමග පන්ති අතර භේදය වෙනුවට ආගමික සහ සංස්කෘතික කණ්ඩායම් අතර ඇති වන ඝට්ටන ඔස්සේ ඉතිහාසය නිර්මාණය වනු ඇත.
සීතල යුද්ධයෙන් පසු ලෝකය ඉදිරියට යමින් සිටින්නේ බටහිර වටිනාකම් මත පාදකවය. රුසියාවේ වුවද, චීනයේ වුවද ඉදිරියට පැමිණෙන්නේ බටහිර වටිනාකම්ය. බටහිර වටිනාකම්වල ආක්‍රමණශීලී ව්‍යාප්තියට එරෙහිව ආගමික සහ සංස්කෘතික ප්‍රතිචාරය බිහිසුණු ආකාරයෙන් ඉදිරියට පැමිණීම වැළැක්වීමට නොහැකිය.
හන්ටින්ටන් පෙන්වා දෙන ආකාරයට විශ්වීය ධර්මතා වශයෙන් බටහිර ලෝකය පෙන්වා දෙමින් සිටින්නේ තමන් විසින් පිළිගනු ලබන අදහස් පද්ධතියකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්මාණය වන්නේද බටහිර ජාතීන්ගේ වටිනාකම් මත හෙවත් දෙවැනි ලෝක යුද්ධයේ ජයග්‍රාහකයන්ගේ වටිනාකම් මතය. එනයින්, එක්සත් ජාතීන්ගේ විශ්වීය ප්‍රඥප්ති තුළ ගැබ්ව ඇත්තේ බටහිර වටිනාකම් බව හන්ටින්ටන්ගේ අදහසයි. මෙලෙස නාමකරණය වූ වටිනාකම් මනුෂ්‍යයා කෙරෙහි සැබැවින්ම යහපත්ද, අයහපත්ද යන්න පිළිබඳව වෙනම සාකච්ඡාවක් ඇරඹිය යුතු වන නමුත්, බටහිරින් නිර්මාණය වී ඇති එම විශ්වීයවාදය වර්තමාන සහ අනාගත ලෝකය තුළ ගැටුම් නිර්මාණය කිරීමේ පාදම වන බව හන්ටින්ටන්ගේ අදහසයි.
හන්ටින්ටන්ගේ අදහස වන්නේ හෙජෙමොනික බලයක් සහිතව චීනය නැගී ඒම ඉදිරි ලෝකය තුළ බරපතළම අර්බුදය නිර්මාණය කරන බවයි. චීන ශිෂ්ටාචාරය සිනික් ශිෂ්ටාචාරය ලෙස හඳුන්වන ඔහු %කොන්ෆියුසිස්වාදය^ අනුව ධූරාවලිගතව නිර්මාණය වී ඇති එය ආර්ථික බලවතෙකු වශයෙන් කලාපීය මෙන්ම ගෝලීය සබඳතා මෙහෙයවීම ආරම්භ කිරීම තුළ ශිෂ්ටාචාර අතර ගැටුමක් දැනටම නිර්මාණය වී ඇති බව පෙන්වා දෙයි. ඒ අනුව චීනයේ සමාජවාදයට වඩා කොන්ෆියුසියස්වාදය ඉතිහාසය සම්බන්ධයෙන් බරපතළ මැදිහත් වීමක් කරනු ඇත.
දර්ශන අශෝක් කුමාර