ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් අතර ඇතිවී තිබෙන අර්බුදයේ අලුත්ම තත්ත්වය වන්නේ මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ පවුලේ තේරීම බවට ශිරන්ති රාජපක්ෂ පත්වෙමින් තිබීමයි. රාජපක්ෂවරුන්ගේ දේශපාලන බලයේ මර්මස්ථානය, නැතහොත් කේන්ද්‍රය වන්නේ මහින්ද රාජපක්ෂයි. එබැවින් මහින්ද රාජපක්ෂගේ න්‍යෂ්ටික පවුලේ දේශපාලන අභිලාෂයන් ඔවුන්ගේ දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ න්‍යෂ්ටික පවුලේ දේශපාලන අනාගතය යනු නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයයි. මහින්ද රාජපක්ෂ ඔහුගේ දේශපාලන තීරණ සියල්ලම ගනු ලබනුයේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය පමණක් නොව රෝහිත රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂගේ අනාගතයද ආරක්ෂාවන සහ පැවැත්මක් ඇතිවන නිවැරදි දේශපාලන තීන්දු තීරණ ලෙසය.
මෙහිදී සිංහල බෞද්ධ බලවේගවල හා මහින්ද රාජපක්ෂ සමග එකතු වන මිලිටරි බලවේගවල ප්රමුඛ තේරීම ගෝඨාභය රාජපක්ෂ වුවද බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ ප්රමුඛ තේරීම වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයයි. නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය වෙනුවෙන් මේ අවස්ථාවේදී රාජපක්ෂවරුන්ට ගතහැකි හොඳම තීන්දුව වන්නේ ජී.එල්. පීරිස් මහතා හෝ ශිරන්ති රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමය. මන්දයත් එසේ දේශපාලන අධිකාරියට විශාල අභියෝගයක් එල්ල විය හැකි යැයි මේ පිළිබඳව ඉතා හොඳ තක්සේරුවක් ඇති මහින්ද රාජපක්ෂ කල්පනා කරනුයේ රට තුළ ගොඩනැගෙමින් පවතින විපක්ෂයේ දේශපාලන බලවේග සියල්ල ගොනුකර ගතයුත්තේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය මත ගන්නා තීන්දු තීරණවලට බවයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොදුජන එක්සත් පෙරමුණද වෙනත් දේශපාලන බලවේගවලට මුහුණ දිය හැකි එම කුරිරු සරදමට මුහුණදීමට රාජපක්ෂවරු තවදුරටත් සූදානම් නැති බව ඔවුන්ගේ වර්තමාන දේශපාලන හැසිරීමෙන් හොඳින්ම විද්‍යමාන වේ.
නාමල් රාජපක්ෂද මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හෝ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙකු වීමට තවත් අවුරුදු හත අටක් සිටිය යුතු අතර, එතෙක් රාජපක්ෂවරුන්ගේ අභිලාෂය වන්නේ රාජපක්ෂවරුන් සතුව ඇති දේශපාලන වාසිය ශ්‍රී ලාංකික සමාජය තුළ තවදුරටත් පවත්වාගෙන යෑමය. සැබැවින්ම ඔවුන් නාමල් රාජපක්ෂ සූදානම් වීමට පෙර නැවත බලයට පැමිණිය හොත් එම අවස්ථාව ගිලිහී යනු ඇති බව ඔවුන්ගේ තක්සේරුවයි.
එසේම ඔවුන් උත්සහ කරනුයේ එම අවස්ථාවද හැකිතාක් දුරට නාමල් රාජපක්ෂට සමීප බලවේගයකට ලබාගැනීමටය. මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයාට ඉදිරිපත්වීම තාර්කික නොවන අතර ඔවුන්ගේ ප්රමුඛ සහ එකම තේරීම බවට පත්විය හැක්කේ ශිරන්ති රාජපක්ෂ මහත්මියයි. නාමල් රාජපක්ෂගේ දේශපාලනය වෙනුවෙන් තම ජීවිතය කැප කළ හැකි එකම මෙලොව වෙසෙන අය වන්නේ නාමල් රාජපක්ෂගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියයි.
ඒ අනුව 2020 ජනාධිපතිවරණයේදී අපට බොහෝ විට හමුවිය හැක්කේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය බව මාගේ පෞද්ගලික තක්සේරුවයි. බැලූ බැල්මට ඔවුන්ගේ ගණන් බැලීම වන්නේ සිංහල බෞද්ධ ඡන්ද මහින්ද රාජපක්ෂ ප්රමුඛ බලවේග ගොඩට ලබාගත හැකි අතර, ද්‍රවිඩ හා සිංහල කතෝලික ඡන්ද ලබාගැනීමට ශිරන්ති රාජපක්ෂගේ නායකත්වයෙන් ඉතා පහසු වන බව ඒකාබද්ධ විපක්ෂයේ ශිරන්ති රාජපක්ෂට සහයෝගය දක්වන පිලෙහි තක්සේරුවයි. අප එකඟ වන්නේ මහින්ද රාජපක්ෂගේ තීන්දුවට බව පුනපුනා කීමේ කතාන්දරයේ යථාර්ථය වන්නේ ඔවුන් එකඟ වන්නේ ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂකත්වයට බවයි.
විශේෂයෙන් වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම වැනි අය ගෝඨාභය රාජපක්ෂට එල්ල කරනු ලබන ප්‍රධානතම චෝදනාවක් වන්නේ ශ්‍රී ලංකාවේ දේශීය ධනපති පන්තියේ ගැහැනුන් හා පිරිමින් මෙන්ම හමුදාමය නායකත්වයෙන් යුත් නායකයන්ගෙන් සමන්විත වූ ගෝඨාභය රාජපක්ෂගේ බලවේගය මේ රටට ඉතාම අහිතකර හා මේ රටේ ජනතාව හා සමාජය සූරාකන්නන්ගේ අභිලාෂයන් ඉටු කරන්නක් බවයි. එම නිසා එම තත්ත්වයෙන් මිදීමට මෙන්ම වහා ක්‍රියාත්මක වන පරිදි මහින්ද රාජපක්ෂගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම උදෙසාද ගෝඨාභය රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ හෝ වෙනත් කිසිදු රාජපක්ෂවරයකු හෝ වෙනත් අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ජයගැනීමට ඇති ඉඩකඩ අහුරාගැනීමක් බව ඔවුන්ගේ මතයයි.
එසේම දෙමළ මුස්ලිම් හා කතෝලික ඡන්ද දිනාගැනීමට ශිරන්ති රාජපක්ෂ වැනි අයෙකු යොදාගැනීම ඉතා හොඳ තීරණයක් බව එම පිලේ දේශපාලන විශ්ලේෂකයන්ගේද මතය වී තිබේ. විශේෂයෙන් විධායක ජනාධිපති ධුරය වැනි භාරධූර තනතුරක් දැරීමට ශිරන්ති රාජපක්ෂට හැකියාවක් ඇත්ද යන්න පිළිබඳව යම් අය ප්‍රශ්න කරන නමුදු ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලබන තර්කය වන්නේ ශිරන්ති රාජපක්ෂ මේ රටේ ජනාධිපති ධුරයට පත්වුවහොත් සැබෑ ලෙසම මේ රට පාලනය කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ විසින් බව ජනතාවට ඒත්තු ගැන්විය හැකි බවයි. මගේ පෞද්ගලික මතය නම් මෙම තර්කය මේ රටේ හෝ ලෝකයේ ඇති සියලුම සීලාචාර දේශපාලන ක්‍රමවේදයන්ට පටහැණි මුග්ධ තීන්දුවක් බවයි.
කෙසේ වුවත් විපක්ෂයේ මෙම ව්‍යාකූල තත්ත්වය තුළ ආණ්ඩුව උපරිම වාසි ගනිමින් ආර්ථික හා සමාජ දේශපාලනික සංශෝධන සිදු කරමින් තිබේ. විශේෂයෙන් ඉදිරි සති දෙක තුළ බදු සංශෝධන පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විගණන පනත දැනට සතියකට පමණ පෙර සම්මත කරගත්තේය. ඒ අනුව මෙම ආණ්ඩුව බලයට පැමිණීමේදී ලබාදුන් බොහෝ පොරොන්දු ඉටුකරමින් තිබෙන බව කිව හැකිය. නමුත් මේ රටේ පොදු ජනතාව සමග ඉතාම පරිස්සමෙන් කටයුතු කළ යුතු අසීරු දේශපාලන කාරණා සමග ගනුදෙනු කිරීම නිසාම මේ ආණ්ඩුවට එක්තරා ආකාරයක හානියක්ද සිදුවී තිබෙන බව කිවයුතුය.
කෙසේ නමුත් 2015 ජනවාරි 8 වැනිදා බලයට පැමිණ මෙසේ ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ මෙම ආණ්ඩුව බැඳී සිටී. ඒ වෙනුවෙන් ගෙවීමට ඇති වන්දිය කෙතරම් බරපතළ වුවද ජනවරමට පිටුපා යෑම කිසිදු ආණ්ඩුවකට කළ නොහැකිය. කෙසේ වෙතත් ජනවරම මත රැඳී සිටිමින් ඔවුන්ට පොරොන්දු වූ පොරොන්දු ඉටුකිරීම කළ යුතුය. එක්සත් ජාතික පක්ෂය හෝ ආණ්ඩුව ප්‍රකාශ කර සිටින්නේ ශිරන්ති රාජපක්ෂගේ අපේක්ෂකත්වය පොදු දේශපාලන අවස්ථාවක තර්ජනයක් ලෙස නොසලකන බවයි.