ශාසනික සේවාව කිරීම සඳහා මේ තනතුර මට නිකන්ම ලැබුණේ නැහැ


මෙම ලිපියේ පූර්ව සැකසුම සිදුවූයේ කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන් වෙඩි ප්‍රහාරයකට ලක් වීමට දින කිහිපයකට පෙරය. නමුත් එකී අනපේක්ෂිත සිදුවීම කරණ කොටගෙන එම ලිපිය පළකිරීම පමා කෙරිණි. උන්වහන්සේ සුව අතට හැරෙමින් සිටින මෙම මොහොතේ  එම සාකච්ඡාව මෙසේ ගෙන එමු. 


වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට මහසෙන් දේවාලය හිටපු ප්‍රධාන කපු මහතා අත්අඩංගුවට ගෙන සිටිනවා. ඔබවහන්සේ සමග මේ විරසකය කුමක්ද? 

මේ කපුමහතා පත්කරන්නේ අපේ අපවත් වී වදාළ සෝරත නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ සමයේ ඉඳන් මොහු සේවකයෙක් විදියට වැඩ කරනවා. විහාර දේවාලගම් පනත අනුව විහාරස්ථාන භූමියක තිබෙන දේවාල අයත් වන්නේ එම විහාරස්ථානයට. ඉතින් ඒ අනුව එම දේවාලවල සේවය කරන සියලු දෙනාම විහාරස්ථානයේ සේවකයන් ‍ෙවනවා. ඒ අනුව මෙම දේවාල කිසි පුද්ගලයෙකුට තනි අයිතිවාසිකමක් කියන්න බැහැ.
කොහොම හරි සෝරත නායක හාමුදුරුවෝ අපවත් වුණායින් පසුව මේ පුද්ගලයා දේවාලයට ලැබෙන පඬුරු තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගන්න පටන් අරන් තියනවා. එය වැරැද්දක්. මොකද මේවා ජනතාව දෙන්නෙ එම දේවාලයට සහ විහාරස්ථානයට. ඒවා ප්‍ර‘යෝජනයට ගන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ විහාරස්ථානය මගින්. එමෙන්ම මේවා ශාසනයේ උන්නතිය සහ පොදු ජනතාවගේ ප්‍ර‘යෝජනය වෙනුවෙන් තමයි යොදවන්න ඕන. නමුත් මෙම පුද්ගලයා ඒවා දිගින් දිගටම තම පෞද්ගලික භාවිතයට ගත්තා. මේ පිළිබඳ කිහිප විටක් අවවාද කළත් ඒවා මායිම් කළේ නැහැ. ඉන්පසු තමයි පඩියක් දෙන්න තීරණය කළේ. නමුත් ඔහු ඊට එකඟවුණේ නැහැ. එහෙම එකඟනොවී ජනතාව ලබාදෙන මෙම මුදල් හා පඬුරු නැවත සුපුරුදු පරිදි අවභාවිත කරන්න පටන් ගත්තා. ඒ අනුව තීරණය කළා සැමදාම එකම තැනක කපු මහතුන් නොතියා මාරු කරන්න. ඒ අනුව තමයි මොහු මැර කණ්ඩායමක් සමග පැමිණ දේවාලය බලෙන් අයිති කරගත්තේ. 

ඉන්පසු මොකද වුණේ?

මේ වේලාවේ පොලීසියේ මැදිහත්වීමෙන් නැවත දේවාලය විහාරස්ථානයට භාර දෙනවා. ඊට පස්සේ මෙම පුද්ගලයා දේවාලයේ අයිතිය ඉල්ලලා නඩු පවරනවා. තිස්සමහාරාම සහ හම්බන්තොට අධිකරණවල පැවරෙන මෙම නඩු දෙකෙන්ම මොහු පරාජය වෙනවා. ඒ අනුව උසාවිය තීරණය කරනවා මෙම මහසෙන් දේවාලයේ අයිතිය විහාරස්ථානය සතු බව. ඊට පස්සේ මොහු බොහෝ තැන්වල ප්‍රකාශ කර තිබුණා මෙසේ මාව ඝාතනය කරන බව. මේ පිළිබඳ අප සියලු තැන්ද දැනුවත් කර තිබුණා.

මෙම සිද්ධියේදී පොලීසියේ හැසිරුන ආකාරය පිළිබඳ කොහොමද දකින්නේ?

සිද්ධිය සිදු වුණායින් පසුව පොලීසිය වහාම ක්‍රියාත්මක වුණා. නමුත් කිරිවෙහෙර ආසන්නය අවසර පතක් නැතුව කිසිම අයෙකුට වාහන රැගෙන එන්න බැහැ. නමුත් රාත්‍රී 11ට පමණ මොවුන් පැමිණ තිබෙනවා. ඒ පිළිබඳ අපිට යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා.

ඔබ වහන්සේ මෙම තනතුරට පත්වන්නේ බොහෝ කරදර පීඩා මැද නේද?

ඒක ඇත්ත, ශාසනික සේවාව කිරීම සඳහා මේ තනතුර මට නිකන්ම ලැබුණේ නැහැ. ඒ සඳහා බොහෝ දුෂ්කර මගක්, දුෂ්කර කාලපරිච්ඡේදයක් ගෙවීමට සිදුවුණා. අදටත් පවතින ජීවිත තර්ජන මධ්‍ය‘යේ තමයි මට මේ තනතුර භාරගැනීමට සිදුවුණේ. කොහොම වුණත් මේ තනතුර ලැබීමේ මහා දෙයක් මට නැහැ. මම මේ තනතුර ලැබීම ගැන ප්‍රසංශනාත්මකව සිටින්නේ. ඒ හරහා මට ශාසනයට මෙන්ම සමාජයට කිරීමට හැකිව තිබෙන සේවාව නිසයි.

කුමක්ද මේ ගැටලුව?

ඒක දීර්ඝ කතාවක්. ඒක වුණේ මෙහෙමයි. මම මහණ වෙන්නේ 1986 වර්ෂයේ. ඒ මේ කිරිවෙහෙරේදීම හොරණ කොබවක නමින්. ඒ අවස්ථාවේ මා සමග තවත් පස් නමක් පැවිදි දිවියට ඇතුළත් වුණා. ඉන්පසු මම හොරණ විද්‍යාර්ථ පිරිවෙනේ අධ්‍යාපනය ලැබීම ආරම්භ කළා. ඒ කාලයේදී මට අවශ්‍ය වුණේ හරිහැටි අධ්‍යාපනය ලැබීමටයි. ඒ හැර මෙම තනතුරු ආදිය පිළිබඳ කිසිම ආශාවක් හෝ හැඟීමක් මට තිබුණේ නැහැ. 
මෙහෙම මම අධ්‍යාපනය ලබමින් ඉන්න විට මම සමග පැවිද වුණ අනිත් ස්වාමීන් වහන්සේලා හතර නමක් මට පෙර පැවිදි දිවියට එළඹ තිබූ අනෙක් ස්වාමීන් වහන්සේලාත් උපැවිදි වුණා. මේ වකවානුවේ හිටිය ලොකු හාමුදුරුවො වුණේ පොළොන්නරුවේ රේවත හිමි. මේ අතර වාරයේ තමයි උන්වහන්සේ මට කිව්වේ පානදුරේ කැලේ පන්සලට ගිහින් එහි වැඩකටයුතුවලට සහභාගි වෙන්න කියල. ඒ අනුව මම පානදුර කැලේ පන්සල නමින් හඳුන්වන පානදුර කෙසෙල්වත්ත පන්සලට ගියේ. 

කොහොම හරි මම එහෙම පන්සලේ ඉන්න අතරවාරයේ රේවත නායක හාමුදුරුවෝ අපවත් වුණා. ඒ සමගම මාස 09 ක් ඇතුළත ඊළඟ ජ්‍යෙෂ්ඨ හිමිනම වුණ පරත්තේ ශ්‍රී ආනන්ද ස්වාමීන් වහන්සේත් අපවත් වුණා.
ඉන්පසුව මෙම කිරිවෙහෙරේ සහ කිරිවෙහෙරට සම්බන්ධ සියලු වෙහෙර විහාරවල භාරකාරීත්වය ලැබුණේ ආචාර්ය අලුත්වැව සෝරත නායක ස්වාමින් වහන්සේට. ඉන්පසු මට නිරන්තරයෙන් උන්වහන්සේට ශක්තියක් වෙමින් පානදුර කෙසෙල්වත්ත පන්සල බලාගෙන එහි කටයුතු කරමින් පන්සලද වැඩි දියුණු කළේ.

ඔය අතරවාරයේදී තමයි සෝරත ලොකු හාමුදුරුවෝ 2012 වර්ෂයේ දරුණු ලෙස අසනීප තත්ත්වයකට ගොදුරු වෙන්නේ. මේ අවස්ථාවේදී උන්වහන්සේට සම්පූර්ණයෙන් උවටැන් කරන්නේ මම. උන්වහන්සේ වසර එකහමාරක කාලයක් රෝගීව සිට 2013 සැප්තැම්බර් 27 වැනිදා අපවත් වනතුරුම මම තමයි දානමාන සකසමින්, ඒවා පිළිගන්වමින් සියලු උපස්ථාන කටයුතු කළේ. 

සෝරත ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසුද ඔබ වහන්සේ මෙම තනතුරට පත්වුණේ?

ඉන්පසුව තමයි, හැබැයි උන්වහන්සේ අපවත් වුණායින් පසු තමයි මට සියලුම කරදර ආරම්භ වුණේ. මොකද ඉන්පසු නායකකම හම්බවෙන්නේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවෙන්. ඒ අනුව මීළඟ භාරකාරීත්වය හිමිවිය යුතුව තිබුණේ මට. නමුත් මාගේ ගෝල හිමිනමක් සහ අනෙක් ඇතැම් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විහාරාධිපතීත්වය වෙනුවෙන් ඉදිරිපත් වීමත් සමග විශාල අර්බුදයක් නිර්මාණය වුණා. මෙහිදී උන්වහන්සේලාගේ ක්‍රියාකලාපය බෞද්ධ භික්‍ෂූන්ට කිසිසේත්ම උචිත නොවන පරිදි වුණා. 

ඇත්තෙන්ම අපි බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා. මේ මිහිපිට තිබෙන උතුම්ම දර්ශනයේ අනුගාමිකයන්. බුදුන් වහන්සේගේ දර්ශනයට අනුව ජීවත්වීමේ මූලිකම සහ පළමු වගකීම පැවරෙන්නෙ භික්‍ෂූන් වන අපිට. එකී දර්ශනයේ පළමු ඉගැන්වීම තමයි ලෝභීත්වය නැති කරගැනීම. නමුත් මෙහිදී අපේ අනෙක් හිමිවරු සිටියේ, ඊට හාත්පසින් වෙනස් පැත්තක. මෙම විහාරාධිපති තනතුර ලබාගැනීමට උන්වහන්සේලා කළ කී දෑ පුදුම සහගතයි. මට මගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට, මාගේ චරිතය ආරක්ෂා කරගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්න සිදුවුණා. මගේ ජීවිතය පවා තිබුණේ විශාල අවදානම් තත්ත්වයක. ඇතැම් පන්සල්වලට මම වැඩම කළාම දානය ලබාගන්නවත් අඩුම තරමේ ලිපියක් ලබාගන්නවත් අවස්ථාවක් මට තිබුණේ නැහැ. විවිධ බලපෑම් නිසා එහෙම වෙන්න ඇති. මේ අවස්ථාවේදී බෞද්ධ භික්‍ෂුවක් වශයෙන් මම කළේ ඉවසීමෙන් පසෙකටවී සිටීමයි. මන්ද ශාසනික සහ සමාජීය සේවාවක් කිරීමටයි මට අවශ්‍ය වුණේ. ඒ සඳහා මට තනතුරු අවශ්‍යම යැයි මම ඒ මොහොතේ විශ්වාස කළේ නෑ. අවසානයේ ඉවසීමෙන් සැනසීම ලැබේ කියන වදන නැවත පසක් කරමින් මල්වතු පාර්ශ්වයේ මහා විහාරයේ මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වින්සද් වර්ගික කාරක මහා සංඝ සභාව නිවැරදිව සංඝ සමාජය තුළ තිබෙන ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරා සම්ප්‍රදායට අනුව මාව එම තනතුරට පත් කළා. එතැන් සිට මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභාව මෙන්ම මල්වතු මහානායක හිමිපාණන්ගේ අනුශාසනා අනුව මම සියලු වැඩකටයුතු කරගෙන යනවා. 

කිරිවෙහෙර කියන්නේ දායකයන්ගේ ධන පරිත්‍යාගයන් විශාල වශයෙන් ලැබෙන තැනක්. ඒ නිසාද මෙම සියලු අර්බුද?

ඒ පිළිබඳ නම් හරියටම මට කියන්න වැටහීමක් නැහැ. කෙසේ වෙතත් මම මේ තනතුරට පත්වෙද්දී විහාරස්ථාන ගිණුමේ තිබ්බේ ඉතා අල්ප මුදලක් පමණයි. නායක හාමුදුරුවන්ගේ අපවත්වීමෙන් පසු මම මෙම තනතුරට පත් වෙනකම් කාලය තුළ ගිණුමේ තිබූ මුදල් පමණක් නෙවෙයි පන්සලට අයත්ව තිබූ වාහන ඇතුළු තවත් වටිනවා බොහෝ දෑ අස්ථානගතව තිබුණා. නමුත් ධනය රැස්කිරීම මගේ ක්‍රමය නෙවෙයි. ඒ නිසා නැවත දායක පිංවතුන්ගේ උදවු උපකාරයෙන් මම පන්සල ගොඩනැගුවා. නැතිවුණ දේවල් හොයන්න ගියේ නැහැ. ඒ වගේම තමයි පන්සලට ලැබෙන ධන පරිත්‍යාගයන්ගෙන් අපි විශාල ශාසනික සහ සමාජීය සේවාවන් රැසක් මේවන විට දියත් කර තිබෙනවා. එයින් ඇතැම් දෑ සෝරත නායක හිමි නවත්වපු තැනින් පටන්ගත් දෑ. 

කතරගමට හරි ප්‍රශ්න නේද අපේ හාමුදුරුවනේ?

ප්‍රශ්න නැත්තේ කොහේද? පසුගිය කාලයේ දේවාලය සම්බන්ධ ප්‍රශ්නයත් වෙන්න ඇති ඔබතුමා අදහස් කළේ. ඔව්. එහෙම නිලමේවරුන්ගේ කපු මහත්වරුන්ගේ ප්‍රශ්න ඇතිවුණා. ඒ මා සාධාරණද අසාධාරණද දන්නේ නම් නැහැ. නමුත් දෙවියන් පිළිබඳ තිබූ විශ්වාසය නම් ජනතාවගේ යම් හානියකට මේ ඔස්සේ පත්වුණා. නමුත් ඒ පිළිබඳ සැක ඇති කරගන්න ඕන නැහැ. දෙවියන්ගේ බලය, පිහිට එලෙසම කියනවා. මොකද දෙවියන් අතරින් කතරගම දෙවියො තමයි වැඩිපුරම පින්ගන්නේ. ඒවගේම ජනතාවට පිහිට වන්නේ. ඒනිසා තමයි මේ තරම් පිරිසක් කතරගම පිහිට පතා එන්නේ.

මොකක්ද මේ කිරිවෙහෙර තුළ තිබෙන මහසෙන් දේවාලය?

මෙය කිරිවෙහෙර තුළ තිබෙන ප්‍රධාන ස්ථානයක්. ක්‍රිස්තු පූර්ව හයවැනි ශතවර්ෂයේදී තමයි කිරිවෙහෙර ඉදිවන්නේ. බුදුන් වහන්සේ රහතුන් වහන්සේලා පන්සිය නමක් සමග මෙහි වැඩම කරන සමයේ මෙම ප්‍ර‘දේශයේ ප්‍රාදේශීය පාලකයා වන්නේ මහාඝෝෂ, ඔහු බණ අසා රහත් වනවා. ඉන්පසු ඔහු බුදුන්ගෙන් ජීව හිසකෙස් වන්දනීය භාණ්ඩයක් ලෙස ලබාගන්නවා. පසුව බුදුන් ජීවමානව වැඩහිටි සමයේම හිසකේ නිධන් කර මෙම කිරිවෙහෙර ඉදිකරනවා. එම වෙහෙර ඉදිකළ මහාඝෝෂ පසුව මහසෙන් බවට පත්වූ බවයි කියැවෙන්නේ. ඉන්පසු ඔහු ආත්මය ලබන්නේ දෙවිකෙනෙකු බවට පත්වයි. ඉන්පසු තමයි මහසෙන් දෙවි වැඳුම් පිදුම් ලබන්න පටන් ගන්නේ.

නමුත් ජනප්‍රවාදයේ මෙසේද කියැවෙනවා. ඒ තමයි මහාඝෝෂ කියන්නේ කතරගම දෙවියන්ගේ අවධියක්ම බව. දැන් සමහරුන්ට ගැටලුවක් තියෙනවනේ කතරගම දෙවියන් සිංහලද හින්දුද කියලා. කෙසේ වෙතත් ජනප්‍රවාදයට අනුව දුටුගැමුණු රජුන් එළාර සමග යුද්ධයට පෙර කතරගම දෙවියන්ට භාරවෙනවා. ඒ කියන්නෙ කතරගම දෙවියන් සිංහල වීමේ වැනි ප්‍රවණතාවක් තියෙනවා. 

මේ දේව සංකල්පයට ඇතැම් බෞද්ධ ජනතාව තුළින්ම මෙන්ම ඇතැම් භික්ෂූන්ගෙන්ද විරෝධයක් එල්ල වෙනවා නේද?

ඔව්. පසුගිය කාලේ තිබ්බ චෝදනාවක් තමයි දෙවියන් කියල කෙනෙක් නැහැ. මෙය බුදු දහමට පටහැණියි කියන කාරණාව. නමුත් දම්සක් පැවතුම් සූත්‍ර ‘දේශනාව බුදුන් වහන්සේ කරද්දී දෙවිවරු විශාල සංඛ්‍යාවක් එය ශ්‍රවණය කිරීම සඳහා පැමිණි බව කියැවෙනවා. ඒ වගේම තමයි බුද්ධ දේශනාවෙන් දෙව්ලොව කිහිපයක් ගැනම සඳහන්ව තියෙනවා. ඒනිසා හරිම පැහැදිලියි මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒවගේම තමයි බුදුන් ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම පවරන්නේ විෂ්ණු දෙවියන්ට. 

ඔබ වහන්සේගේ ශාසනික සේවාව හා එකතුවෙන්න කැමති කවුරුහරි ඉන්නව නම් කොහොමද සම්බන්ධ වෙන්නේ?

047-2235237 යන විහාරස්ථානයේ දුරකථන අංකය හරහා මම සමග ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන්.



Recommended Articles