කෙරවළපිටිය යුගදනවි තාප විදුලි බලාගාරය ආරම්භ කරනු ලබන්නේ 2008 වසරේදීය. මෙම බලාගාරයේ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ LTL Holdings සමාගම වන අතර එය මෙරට ඉංජිනේරුවන්ගෙන් සමන්විත සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සමාගමකි.
ජාතික විදුලිබල පද්ධතියේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස
යුගදනවි තාප විදුලි බලාගාරය දැනට ශ්‍රී ලංකාව සතු විශාලතම පුද්ගලික විදුලි බලාගාරයයි. මෙම විදුලි බලාගාරය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් ජනනය කරනු ලබයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දැනට පවතින විදුලිබල අවශ්‍යතාවෙන් 15%ත් 20% අතර ප්‍රමාණයක් සපුරාලීමට යුගදනවි බලාගාරය සමත්ව තිබේ. මේ නිසා ජාතික විදුලිබල පද්ධති ජාලයේ පැවැත්මට සැලකිය යුතු විශ්වසනීය සේවයක් මෙම බලාගාරයෙන් සැලසේ.
කෙරවළපිටියේ බලශක්ති මාධ්‍ය ඩීසල් නොවේ
යුගදනවි තාප විදුලි බලාගාරය සතුව සුවිශේෂීතා කිහිපයක්ම පවතියි. ඕනෑම ඉන්ධන වර්ගයක් භාවිත කරමින් මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීමට හැකිවීම මෙය සතු එක් විශේෂත්වයකි. කෙරවළපිටිය බලාගාරය ක්‍රියාත්මක වන්නේ ඩීසල් ඉන්ධන භාවිතයෙන් යැයි පවතින්නේ සාවද්‍ය මතයක් වන අතර සැබවින්ම මෙය %දැවිතෙල්^ බලශක්ති මාධ්‍ය ලෙස යොදා ගනිමින් ක්‍රියාත්මක වන බලාගාරයකි. දැවි තෙල් යනු පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදයේදී අපද්‍රව්‍යයක් ලෙස ඉතිරිවන අතුරුඵලයකි.
ගල් අඟුරු බලාගාරයන්ට වඩා 45%ක කාර්යක්ෂමතාවක්
දැවිතෙල් දහනය කිරීම මගින් මෙම බලාගාරයේ පවතින අතිවිශාල ගෑස් ටර්බයින් ද්විත්වකින් මෙගාවොට් 200ක ධාරිතාවක් ජනනය කෙරේ. එහිදී නිකුත් කෙරෙන %අපතාපය^ පරිසරයට නිකුත් කිරීමකින් තොරව නැවතත් බලශක්ති මාධ්‍යයක් ලෙස පරිවර්තනය කර තාප ටර්බයිනයක් ආධාරයෙන් තවත් මෙගාවොට් 100ක විදුලි ප්‍රමාණයක් ජනනය කරනු ලබන අතර එම ටර්බයිනය ක්‍රියාකරවීමට කිසිදු ඉන්ධනයක් භාවිත කෙරෙන්නේ නැත. යුගදනවි විදුලි බලාගාරය සිය මෙගාවොට් 300ක සැපයුම සම්පූර්ණ කෙරෙන්නේ ඒ අයුරිනි. යුගදනවි තාප විදුලි බලාගාරය සාමාන්‍ය ගල් අඟුරු බලාගාරයකට වඩා 45෴ක පමණ කාර්යක්ෂමතාවකින් ක්‍රියාත්මක වන සංයුක්ත චක්‍ර බලාගාරයකි. එමෙන්ම ලෝකයේ තාප විදුලි බලාගාර සඳහා යොදාගන්න අති නවීනතම තාක්ෂණයන් සහ යන්ත්රසූත්ර මෙහි භාවිත කිරීම නිසා මෙරට පවතින නඩත්තු සහ බිඳ වැටීම් අඩුම විදුලි බලාගාරය ලෙස යුගදනවි බලාගාරය සලකනු ලබයි. හදිසි බිඳවැටීමක් සිදුවුහොත් මිනිත්තු 40ක 50ක කාලයක් තුළ බලාගාරය යළි යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව තිබේ. එමෙන්ම මෙම බලාගාරය ස්වාභාවික වායු බලාගාරයක් (LNG) බවට පරිවර්තනය කිරීම එක් දිනක් තුළ සිදු කළ හැකිය. ඒ අනුව මෙම බලාගාරය ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින් නිමවුණු අද්විතීය නිර්මාණයක් ලෙස සැලකීම අතිශයෝක්තියක් නොවේ.
විදුලි බලාගාරයක් තුළ නිමැවුණු දැවැන්ත ජල පවිත්‍රාගාරයක්
විදුලි ජනනය කිරීමට පෙර මෙහි බලශක්ති මාධ්‍ය ලෙස යොදා ගන්නා දැවිතෙල් නියමිත ප්‍රමිතිය අනුව පිරිසිදු කළ යුතුය. එහිදී නවීන තාක්ෂණය යොදා ගනිමින් දැවිතෙල් ජලය සහ රසායනික යොදා සේදීමක් සිදු කරයි. මේ සඳහා යොදාගැනෙන්නේ මුහුදු ජලයයි. මුහුදට ආසන්නයෙන් ඉදිකර ඇති පොම්පාගාරයක් ඔස්සේ මුහුදු ජලය නළ මාර්ග ඔස්සේ විදුලි බලාගාරයට පොම්ප කෙරේ. එම මුහුදු ජලයද මෙම බලාගාරය තුළදී නවීන තාක්ෂණ උපකරණ පද්ධතියක් ආධාරයෙන් අදියර කිහිපයක් ඔස්සේ ලවණ ඉවත් කර පිරිසුදු කරමින් පානීය ජලයටත් වඩා අතිශයින්ම පිරිසිදු තත්ත්වයට පත් කරයි. අදාළ ක්‍රියාවලියෙන් පසු ඉතිරිවන උණුසුම් අපජලය නැවත පිරිසුදු කර දැවැන්ත සිසිලන යන්ත්‍ර මගින් සිසිල් කර නැවත මුහුදවෙත මුදාහරිනු ලබයි. තවද මෙම බලාගාරයේ සියලුම ජල අවශ්‍යතා සපුරා ගන්නේද මුහුදු ජලය පිරිසුදු කිරීම මගිනි.
ජාත්‍යන්තර වශයෙන් ඇගයීම් රැසක්
යුගදනවි විදුලි බලාගාරය ශ්‍රී ලාංකික ආයතනයක් වශයෙන් ජාත්‍යන්තරයේ පවා ලබා ඇති ප්‍රගතිය ඉතා සාධනීය මට්ටමක පවතියි. කාර්මික සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ලෝකයේ අනෙකුත් ප්‍රධාන රටවල් අබිබවමින් බ්‍රිතාන්‍යයේ කාර්මික සුරක්ෂිතතා කවුන්සිලයේ ඉහළම ඇගයීමට පත් ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම බලාගාරය මෙයයි. එමෙන්ම 2016 වසරේ හොඳම විදුලි බලාගාරය සහ නව්‍යතා සම්පාදකයා ලෙස අන්තර්ජාතික සම්මාන රැසකින් යුගදනවි බලාගාරය පිදුම් ලබා තිබේ.
බලශක්ති ක්ෂේත්රයේ නව්‍යතා සම්පාදකයෙකු ලෙස
හුදෙක් බලක්ති උත්පාදනයෙන් පමණක් නොනැවතී බලශක්ති උත්පාදන ක්ෂේත්රයේ නව්‍යතා සම්පාදකයෙකු ලෙස යුගදනවි විදුලි බලාගාරයේ ඉංජිනේරුවරුන් විසින් බොහෝ පර්යේෂණ සිදු කරමින් අන්තර්ජාතික පර්යේෂණ සැසි, අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකා හා පර්යේෂණ සඟරා වෙත දායක වී තිබේ. ඉහළ කාර්යක්ෂමතාවක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සාර්ථකම තාප විදුලි බලාගාරයක් ලෙස සිය පැවැත්ම සලසා ගැනීමට එම පර්යේෂණ බෙහෙවින් ඉවහල්ව තිබේ. එමෙන්ම යුගදනවි විදුලි බලාගාරය සිය අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර සුරක්ෂිතතාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ මුතුරාජවෙල වැනි සංවේදී පරිසර කලාපයක් ආශ්‍රිතව මෙය පිහිටා ඇති බැවිනි.
ලංකාවෙන් නොනැවතී ලෝකයම එළිය කරන්නට සැරසෙන සමාගමක් ලෙස
මෙරටින් බිහිවන තරුණ ඉංජිනේරුවරුන්ගේ දැනුම පිටරටකට ඇදී යාමට ඉඩ නොදී රට තුළම රඳවා ගැනීමට දේශීය සමාගමක් ලෙස LTL Holdings සමාගම සමත්වීම පැසසිය යුතුය. LTL Holdings සමාගම 1982 වසරේ ආරම්භ කෙරෙන්නේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය කරන සමාගමක් ලෙස වන අතර අද වන විට අතිනවීන ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය කරමින් මෙරට ඉල්ලුම සැපිරීමන් අනතුරුව විදෙස් වෙළඳපොළ වෙතද ඉහළ ඉල්ලුමක් මධ්‍යයේ අපනයනය කරනු ලබයි. මෙරට ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකික සමාගමක් වන මෙය වර්තමානය වනවිට බංග්ලාදේශය, කෙන්නියාව, ඉතියෝපියාව ආදී රටවල් කිහිපයකම සාර්ථක ලෙස විදුලි උත්පාදන බලාගාර ව්‍යාපෘති සිදුකරගෙන යනු ලබයි.
එවැනි ජාත්‍යන්තර මට්ටමින් පවා සාර්ථකත්වයට පත්ව තිබෙන මෙම ලාංකික සමාගම LNG බලාගාරයට අඩුම මිල ගණන් ඉදිරිපත්කර තිබියේදීත් ඇතැම් බලධාරීන් අත්තනෝමතික ලෙස එය රටට විශාල පාඩුවක්ද ඇතිකරමින් මිල අධික විදෙස් සමාගමකට පැවරීමට උත්සාහ කිරීම සැබවින්ම කනගාටුදායකය.
ඉදිරියේදී වැඩි වන අධික විදුලි ඉල්ලුම හමුවේ ඊට විසඳුම් සෙවීම පසෙක තබා හදිසි විදුලි මිලදී ගැනීමකට අර අදිමින් කොමිස් කුට්ටිවලට ගිජුකම් කරන එවැනි කොමිස් කාක්කන් එලවන තුරු රටේ යහපැවැත්මක් ඇති කළහැකිදැයි රටේ ජනතාව, හිට්ලර්ලාගෙන් මෙන්ම චැප්ලින්ලාගෙන්ද ප්‍රශ්න කළ යුතුය.
සටහන සහ ඡායාරූප - නඳුන් ශ්‍යාමාල්