ශ්‍රී ලාංකික දමිළ සිනමාවක් ගොඩනගලා යුද්ධය අමතක කරපු හොඳ චිත්‍රපට නිර්මාණය වනවා නම් සංහිඳියාව වඩා සාර


තම අසල්වැසියන් ලෙස සිංහල ජනතාව පැමිණෙනවාට තමන් දැඩි කැමැත්තක් දක්වන බව මහාචාර්ය මයුර සමරකෝන් මහතා ප්‍රමුඛ අධ්‍යයන කණ්ඩායමක් වෙත පසුගියදා අදහස් දක්වා තිබුණේ උතුරේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව විසිනි. අප අපේක්ෂා කරන රටට ඇවැසිව තිබෙන සැබෑ සංහිඳියාව ජනතාවගේ සිත් තුළ එසේ ගැබ්ව තිබෙන නමුත් අවස්ථාවාදී මුග්ධ දේශපාලනය සහ කණ්ඩායම් තවමත් ව්‍යාජ අර්බුද මවාපාමින් ශ්‍රී ලාංකිකයන් භේද බින්න කරමින් සිටිති. එබැවින් මේ පිළිබඳ විග්‍රහයක් ගෙන ඒමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී මහාචාර්ය මයුර සමරකෝන් මහතා සම්බන්ධ කර ගැනීමට %අද^ අපි සිතුවෙමු.


ඊළමක් නොදකින උතුරේ ශ්‍රී ලාංකිකයෝ

පැහැදිලිවම උතුරේ ශ්‍රී ලාංකික ජනතාවට කිසිදු දිනක ඊළමක හෝ වෙනත් ස්වාධීන පාලනයක අපේක්ෂාවෙන් සිටියේ නැහැ. එවැනි අපේක්ෂාවක් ඔවුන් තුළ ඇත්තේත් නැහැ. එය හොඳින්ම පැහැදිලි වන එක් කාරණයක් තමයි එල්.ටී.ටී.ඊයේ සිටි ළමා සොල්දාදුවන් සහ තරුණ පිරිස් බහුතරයක් බඳවාගෙන තිබුණේ බලහත්කාරයෙන් වීම.  ඒ වගේම යුද්ධයේ අවසන් සමයේ එල්.ටී.ටී.ඊ යේ විරෝධය නොතකා දමිළ ජනතාව රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණීම. 

එය සැබෑ ජනතා අරගලයක් වුණා නම් ඒ ආකාරයේ තත්ත්වයක් ඇතිවෙන්නේ නැහැ. මෑතකාලීනව උතුරේ ඇති වුණු ආපදා තත්ත්වයන්වලදී ආරක්ෂක අංශ විසින් ඔවුන් වෙනුවෙන් සිදුකළ මෙහෙයුම් පිළිබඳව ඒ ජනතාවගෙන් ලැබෙන ප්‍රසාදය මීට කදිම උදාහරණයක්. 

ඊළම කියන්නේ හුදෙක් ජාතිවාදී දේශපාලනඥයන් සහ කල්ලි කණ්ඩායම් විසින් ඒ අහිංසක ජනතාව වෙත බලහත්කාරයෙන් ඇතුළත් කළ දෙයක් පමණයි. අද වුණත් උතුරේ ජාතිවාදී දේශපාලනඥයන්ගේ ඇතැම් විරෝධතා සඳහා ජනතා සහභාගිත්වය ඉතාමත් අවමයි. 

ඒ පැමිණෙන පිරිසත් එම දේශපාලනඥයන්ට ගැතිකම් කරමින් යම් යම් වරප්‍රසාද ලබන පිරිස් පමණයි. අපිට ප්‍රශ්නයක් තිබෙනවා උතුරට වෙනම පාලන බලතල දෙන්න කියලා හඬ නගන මේ ඇතැම් සංවිධානවල පිරිස් අඩුම තරමින් උතුරේ ජනතාවත් සමග පැයක් හෝ ගතකර තිබෙනවාද කියලා. ඔවුන් සමග දිනක් හෝ ගතකළ කෙනෙක්ට වැටහෙනවා ඊලමක අපේක්ෂාවක් කිසිසේත්ම ඔවුන් තුළ නැහැ කියලා.

ශ්‍රී ලංකාවේ උග්‍රතම කුල භේදය උතුරෙන් 

උතුරේ ජන සමාජය තුළ තමයි තවමත් ශ්‍රී ලංකාවේ දරුණුතම කුල භේදය පවතින්නේ. ප්‍රධාන වශයෙන් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වන්නිය වැනි ප්‍රදේශ සැලකුවොත් ඒ ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාව මේ කුල භේදය නිසා දැඩි පීඩාවකට වගේම පීඩනයකට ලක්ව තිබෙනවා. අපට පෙනී යන ආකාරයට මේ කුල භේදය තමයි අවසානයේදී ත්‍රස්තවාදයක් ලෙස ඔවුනොවුන් අතර මූලිකවම ඇතිවුණේ.

එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ නායකයා වුණු වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එහි කාඩර්වරුන් පවා උතුරේ කුල භේදය නිසා පීඩා වින්ද පිරිස්. මේ උග්‍ර කුල භේදය පසුකාලීනව පන්ති වෛරයක් බවට පරිවර්තනය වෙලා ඉහළ යැයි සම්මත කුලවල සහ පහළ යැයි සම්මත කුලවල ද්‍රවිඩ ජනතාව අතර වෛරීය තත්ත්වයක් ගොඩනැගුණා. ඒ තත්ත්වය දකුණේ ජනතාව අතරත් මතුවුණු තත්ත්වයක්. 

මේ කුලවාදී හැඟීම හරහා තමයි  ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනතාව එක් තැනකට ගොනු වෙන්නේ. ඒ ගොනුවීමට බංකොළොත් සහ බලතණ්හාවෙන් පිරී ගිය උතුරේ දේශපාලනඥයන් යම්කිසි දේශපාලනික තත්ත්වයක් ලබාදුන්නා. ඒ ඔස්සේ ඔවුන් මේ උතුරේ ශ්‍රී ලාංකික  ජනතාව පීඩාවිඳි කුලභේදයේ වෛරය දකුණේ ශ්‍රී ලාංකික ජනතාව වෙත පතුරවමින් මෙය ජාතිවාදී ගැටුමක් බවට පත්කළේ උතුරේ ජාතිවාදී දේශපාලනඥයන් විසිනුයි. ඔවුන් තමයි උතුරේ ශ්‍රී ලාංකික ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින තත්ත්වයකට තල්ලු කළේ.

දකුණ පිළිගත යුතු සත්‍ය

නමුත් අපි පිළිගත යුතු සත්‍ය සහ අප අමතක නොකළ යුත්තක් තමයි යුද්ධයට පෙර උතුරේ ශ්‍රී ලාංකික ජනතාව කිසිදු සංවර්ධනයක් නොමැතිව දැඩි පීඩනයකින් සිටි බව. 60 දශකයේ සිට අපේ දේශපාලනඥයන් උතුර භාවිතා කළේ, අදටත් භාවිතා කරන්නේ තමන්ගේ අධිපත්‍යයට අවනත නොවන රාජ්‍ය නිලධාරීන් මැඬලීමට දුෂ්කර සේවා මාරු හෝ දඬුවම් මාරු ලබාදෙන ප්‍රදේශයක් ලෙස පමණයි. එවැනි තත්ත්වයක් විනා උතුරේ ජනතාවගේ ජීවිතය සංවර්ධනයකට ලක්කරන්න හෝ උතුරේ භෞතික සංවර්ධනයක් ඇති කරන්න එම දේශපාලනඥයන්ට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැහැ. 
උතුරේ දේශපාලනඥයන් පවා එවැනි සංවර්ධනයක් සිදුකරන්න උත්සුක වුණේ නැහැ. මන්ද එය සිදුවුණොත් ඔවුන්ගේ ජාතිවාදී න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න බාධාවක් ඇතිවන නිසා. ඒ වගේම ඒ සංවර්ධනය නොමැති වීම උතුරට පමණක් සීමා වුණේ නැහැ. ඒ පීඩනය දකුණේ ජනතාවටත් හොඳින්ම තිබුණා. 

මේ තත්ත්වයට තමයි පසුකාලීනව දේශපාලන මුහුණුවරක් ලබාදීලා, ප්‍රභාකරන් කෙනෙක් නිර්මාණය කරලා, ජාතිවාදී ගැටුමක් ඇති කළේ. පැහැදිලිවම ප්‍රභාකරන් කියන්නේ විශේෂයෙන් උතුරේ සහ දකුණේ ජාතිවාදී දේශපාලනඥයන්ගේ රූකඩයක් පමණයි.

උතුරු ශ්‍රී ලාංකික ජනතාවගේ සංහිඳියාව

උතුරු ප්‍රදේශ ගණනාවක මෑතකාලීන අධ්‍යයනවලදී කාන්තා පාර්ශ්වය සඳහන් කළේ ඔවුන් දැන් ජීවත් වන්නේ දැඩි බියකින් බවයි. ඊට හේතු ලෙස අපිට හඳුනාගන්න ලැබුණා මෙම ප්‍රදේශවල මේ වන විට තරුණ පිරිස් උග්‍ර විරැකියාවෙන් පෙළීම නිසා මත්ද්‍රව්‍ය සහ විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සඳහා පෙළඹීම මත කාන්තා පාර්ශ්වයට දැඩිසේ හිරිහැර සිදුවන බව. හමුදා ඉඩම් හා ස්වයං පාලන පිළිබඳ කෑගහන ඇතැම් සංවිධාන උතුරේ මේ සැබෑ ගැටලු පිළිබඳව වචනයක් හෝ කතා නොකිරීම හාස්‍යජනක කාරණයක්. 

ඒ වගේම උතුරේ දමිළ ජනතාව සිංහල රාජ්‍ය නිලධාරීන්ට විශාල ගෞරවයක් වගේම පිළිගැනීමක් දක්වනවා. ඒ ජනතාව තමන්ගේ ආරවුල් විසඳීමට පවා සිංහල ජාතික පොලිස් නිලධාරීන් පැමිණෙනවාට කැමැත්තක් දක්වනවා. ඊට හේතුව වන්නේ උග්‍ර කුල හේදය නිසා දමිළ පොලිස් නිලධාරීන්ගෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන්. සිංහල ජාතික පොලිස් නිලධාරීන් කුල පිළිබඳ නොසලකා සාධාරණ ලෙස කටයුතු කරන බවට ඒ ජනතාවගේ විශ්වාසයක් තිබෙනවා. 

උතුරේ ශ්‍රී ලාංකික ජනතාව ප්‍රියකරන සිංහල කලාකරුවන් රාශියක් සිටිනවා. ඒ වගේම උතුරේ ජනතාව ප්‍රියකරන දේශපාලන චරිත අතර දකුණේ දේශපාලනඥයන් රාශියක් සිටිනවා.
අපගේ අධ්‍යයනවලදී හමුවුණු උතුරේ ඇතැම් ගම්මානවල ජනතාව තම ප්‍රදේශයේ තිබෙන හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳ දැඩි විරෝධයක් පළ කරනවා. ඔවුන් පවසන්නේ ඕනෑම කරදරයකදී හෝ ආපදාවකදී තමන්ගේ සහයට පැමිණෙන්නේ අරක්ෂක අංශ පමණක් බවයි.

රැකියා නොමැති පිරිස්වලට ස්වයං රැකියා සිදුකරගන්න අවශ්‍ය පහසුකම්, ආධාර හමුදාව විසින් ඔවුන්ට සපයාදීම සහ පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව සහ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබාදීම පිළිබඳ දැඩි ප්‍රසාදයක් ඔවුන් තුළ පවතිනවා. ඒ වගේම පසුගිය සමයේ පැවැති %ආවා^ කල්ලියේ ක්‍රියාකාරකම් හේතුවෙන් භීතියට පත්ව සිටි තමන්ට හමුදාව එම ප්‍රදේශවල සිටීම හේතුවෙන් ආරක්ෂිත බවක් දැනෙන බවත්, තමන්ගේ ආරක්ෂකයන් හමුදාව බවත් ඔවුන් අප සමග ප්‍රකාශ කළා. 

මෙහි විශේෂිතම දේ තමයි ඔවුන් ඉතාමත් කැමතියි දකුණේ සිංහල ජනතාව තම ප්‍රදේශ වෙත පැමිණෙනවාට. බොහෝමයක් පිරිස් තම අසල්වැසියා ලෙස සිංහල ජාතික පවුලක් පැමිණෙනවාට දැඩි කැමැත්තක් දක්වනවා. ආවා ක්‍රියාකාරකම් හේතුවෙන් දකුණේ ජනතාව උතුරට පැමිණීම පසුගිය කාලයේ දැඩි ලෙස සීමා කර තිබුණා. ඒ තත්ත්වය පිළිබඳව උතුරේ ජනතාව වගේම විශේෂයෙන් උතුරේ ව්‍යාපාරික ප්‍රජාව එම ප්‍රදේශයේ දේශපාලනඥයන් සමග සහ %ආවා^ කල්ලි සාමාජිකයන් පිළිබඳ දැඩි වෛරයකිනුයි පසුවුණේ.

සංහිඳියාව වෙනුවෙන් ශ්‍රී ලාංකික දමිළ සිනමාවක් 

උතුරේ ශ්‍රී ලාංකික ජනතාව කලාවට සහ විශේෂයෙන් සිනමාවට දැඩි ලැදියාවක් දැක්වුවත් ඒ රසවින්දනය ලබාගන්න ඔවුන්ට පවතින අවස්ථා ඉතාමත් අවමයි. එම ප්‍රදේශවල හරි ආකාරයේ සිනමා ශාලාවක් නැහැ. ඔවුන්ට නිරන්තරයෙන්ම නරඹන්න සිදුවෙලා තිබෙන්නේ දකුණු ඉන්දියාවේ චිත්‍රපට පමණයි. ඒවායේ ඇති සටන් ජවනිකා සහ උද්වේගකර දර්ශන උතුරේ තරුණ පිරිස් දැඩිසේ අනුකරණය කරන්න පෙළඹී සිටිනවා. ඒවායිනුත් මේ උතුරේ ඇති කලබලකාරී වාතාවරණයට යම් රුකුලක් ලැබී තිබෙනවා. ශ්‍රී ලාංකික දමිළ සිනමාවක් ගොඩනගලා යුද්ධය අමතක කරපු හොඳ චිත්‍රපට නිර්මාණය වනවා නම් සංහිඳියා වැඩපිළිවෙළ වඩාත් සාර්ථක කරගැනීමට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා.

උතුරේ දෙබිඩි දේශපාලනය

හමුදා කඳවුරු ඉවත් කරන්න කියන, උතුරට සිංහල එපා කියන උතුරේ දේශපාලනඥයන්ට තිබෙන්නේ දෙබිඩි ස්වරූපයක්. එසේ කෑමොර දෙන ඔවුන් තමන්ගේ ආරක්ෂකයන් ලෙස තබාගන්න වඩාත්ම ප්‍රිය කරන්නේ සිංහල පොලිස් නිලධාරීන්. මෙහිදී දකුණ මතක තබාගත යුතු කාරණයක් තමයි උතුරේ දේශපාලනඥයන් මාධ්‍ය ඉදිරියට පැමිණ ඉදිරිපත් කරන මතවාද ඔවුන්ගේ පුද්ගලික මතවාද මිසක් උතුරේ ශ්‍රී ලාංකික සහෝදර ජනතා මතය නොවන බව. 

ඒ අමනෝඥ දේශපාලනඥයන්ගේ පුද්ගලික මතවාදවලට මහා වටිනාකමක් දෙමින් නිරන්තරයෙන් ඒවා ප්‍රචාරය කරමින් ඇතැම් මාධ්‍යන් සිදුකරන්නේ ඉතාමත් අනර්ථකාරී ක්‍රියාවක්. එයින් සිදුවන්නේ මේ අර්බුද තව තවත් දිග්ගැසීම පමණයි. ඒ නිසා වටිනාකමක් නොමැති ජාතිවාදී චරිත සහ ප්‍රකාශ උලුප්පා දැක්වීමෙන් මාධ්‍ය වැළකී සිටිය යුතුයි. 

නඳුන් ශ්‍යාමාල්



Recommended Articles