විදේශිකයන් පවා ශ්‍රී ලංකාව මිහිපිට පාරදීසයක් ලෙස හැඳින්වීමට මෙහි ඇති පරිසර පද්ධති, ඓතිහාසික උරුමයන්, සෞම්‍ය කාලගුණය සහ සාරවත් පොළොවක් සහිත රටක් වීම ප්‍රධාන වශයෙන්ම බලපා ඇති සාධකයන් වේ.ඉන් නොනැවතී සොබාදහම විසින් අප රටට උරුම කර ඇති වටිනා දායාදයන්ද බොහෝය. ලෝකයේ මහත් ඉල්ලුමක් පවතින සහ විශාල වාණිජමය වටිනාකමක් සහිත ස්වභාවික සම්පත් ගණනාවක් ශ්‍රී ලංකාව තුළ දැකගත හැකිය. ඒ අතරින් මේ විශේෂාංගය ඔස්සේ ගෙනහැර දක්වන්නේ ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි සම්පත පිළිබඳ තොරතුරු බිඳකි.
ඛනිජ වැලි
කාලයාගේ ඇවෑමෙන් සිදුවන ආග්නේය පාෂාණ ජීර්ණය සහ විවිධ දේශගුණික තත්ත්වයන්ට ලක්වීමෙන් ඛනිජ වැලි නිධි නිර්මාණය වේ. වසර මිලියන 60ත් 200ත් අතර කාලයක් පැරණි, ගංගා හා මුහුදුවල තිබූ ජලය සහ සුළඟ සංයෝග වී පාෂාණ තුළ වූ ඛනිජ ලවණ විජලනය වීම හේතුවෙන් ඒවා සාන්ද්‍රණයට භාජනය වීමෙන් මුහුදු වෙරළවල් සහ වැලිපර ඇති වී තිබේ.
එහි අවසාන ප්‍රතිඵලය වී තිබෙන්නේ වර්තමාන මුහුදු මට්ටමට වඩා ඉහළින් විවිධ මට්ටම්වලින් ඛනිජ වැලි නිධි තැන්පත් වීමයි. සමහර තැන්පත්වීම් සිදුවී ඇත්තේ කිලෝමීටර් 35ක පමණ දුරක් රට අභ්‍යන්තරයෙනි.
ශ්‍රී ලංකාවෙන් හමුවන ඛනිජ වැලි
ශ්‍රී ලංකාවේ ඊසාන, නැගෙනහිර, ගිනිකොන, නිරිත හා වයඹ යන වෙරළබඩ ප්‍රදේශවල ඛනිජවැලි නිධි හමුවී ඇත.
උදා - කුච්චවේලි, තිරුක්කෝවිල්, පුල්මුඩේ සහ දෙව්නුවර
මෙරට හමුවන ඛනිජ වැලි අතරින් ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන්, මොනොසයිඩ් හා ගාර්නට් ප්‍රධාන කොට සැලකිය හැකිය.
එමෙන්ම සිලිකා වැලි හෙවත් වීදුරු වැලි නිධි ශ්‍රී ලංකාවේ මාරවිල, මාදම්පේ, නාත්තන්ඩිය, යාපනය හා වල්ලිපුරම් යන ප්‍රදේශවලින් හමුවේ. මෙය සුදු පැහැයක් ගන්නා බැර ඛනිජ 1%කට වඩා අඩු ප්‍රතිශතයක් සහිත පිරිසුදු වැල්ලකි. වීදුරු නිෂ්පාදන කර්මාන්තයට මෙය ප්‍රධාන වශයෙන් යොදා ගැනේ. ඊට යොදා ගැනීමට නොහැකි විශාල කැට අඩංගු වැලි විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය, ගෙවතු අලංකරණය සහ ඇඟලුම් කර්මාන්තය ආශ්රිත ඇතැම් කටයුතු සඳහා යොදා ගැනේ.
ඛනිජ වැලිවල භාවිතයන්
ඛනිජ වැලි ප්‍රධාන වශයෙන් කඩදාසි නිෂ්පාදන කර්මාන්තය, තීන්ත නිෂ්පාදනය, යකඩ කර්මාන්තය, රබර් කර්මාන්තය, ප්ලාස්ටික් නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, ඇඟලුම් කර්මාන්තය හා ගුවන්යානා නිෂ්පාදනය ආදී කටයුතු සඳහා යොදා ගැනෙන අතර, ලෝකයේ මේ සඳහා විශාල ඉල්ලුමක් දක්නට ලැබේ.
ඉල්මනයිට් කර්මාන්තයේදී හා වීදුරු කර්මාන්තයේදී - ඉල්මනයිට් කර්මාන්තයේදී උඳුන් දාර සෑදීමට හා වීදුරු නිෂ්පාදනයේදී අච්චු සෑදීම සඳහාද ඛනිජ වැලි යොදා ගැනේ. ඒවා සතුව පවතින අධික උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාව ඊට හේතුවේ.
මිශ්‍ර ලෝහ නිෂ්පාදනය - රූටයිල් හා ඉල්මනයිට්වල ඉහළ ටයිටේනියම් ප්‍රමාණයක් අඩංගු වන නිසා ඒවා ටයිටේනියම් මිශ්‍ර වෙනත් ලෝහ නිෂ්පාදනය කිරීම සඳහා භාවිත වේ.
උසස් තාක්ෂණ අභ්‍යවකාශ ව්‍යාපෘති - උසස් තාක්ෂණ අභ්‍යවකාශ සැලසුම්වලදීද ටයිටේනියම් ලෝහය යොදාගනියි. මූලිකව ගුවන් යානාවල සැකිල්ල හා ගුවන් යානා නිර්මාණයට, මිසයිලවල සංඝටක සෑදීමටද ටයිටේනියම් භාවිත වේ. සැහැල්ලු සහ බර දරා ගැනීමේ හැකියාව ඊට හේතුවී තිබෙන අතර, වර්තමානයේ ශල්‍යකර්මවලදී කෘත්‍රිම සන්ධි හා ආවරණ නිර්මාණයටද යොදා ගනියි.
වර්ණ ද්‍රව්‍ය නිෂ්පාදනය - වෙරළබඩ තැනිතලා තීරයන්ගෙන් හමුවන උසස් තත්ත්වයේ ඛනිජ යොදා ගනිමින් ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු වර්ණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරගැනීමට හැකිය. එහි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස රූටයිල් හා ඉල්මනයිට් යන ඛනිජ ද්‍රව්‍ය භාවිතා කෙරේ. රූටයිල් හා ඉල්මනයිට් ඉතා ඉහළ වර්ගයේ ඩයොක්සයිඩ් වර්ගයේ වර්ණක නිර්මාණය කරයි. ප්ලාස්ටික්වල වර්ණ ගැන්වීම් සඳහාද භාවිත කරයි.
වර්ණක නිෂ්පාදනය - වර්ණක නිෂ්පාදනයේදීද මූලික සංයෝගයක් ලෙස ටයිටේනියම් යොදා ගැනේ. මෙහිදී වර්ණක යනු පාට පරාවර්තනය කරන හෝ ආලෝකය, පාටක් බවට පරිවර්ථනය කිරීමට හැකියාවක් සහිත ද්‍රව්‍යකි. මෙය එළියක් විහිදුවීම හරහා ඇතැම් ආලෝක තරංග අවශෝෂණය කරගනියි. පාට වර්ග, තීන්ත, සුවඳ විලවුන්, ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය සාදා ගැනීමට වර්ණක යොදාගනු ලැබේ.
ගඩොල් නිෂ්පාදන කර්මාන්තය - ගඩොල් නිෂ්පාදනයේදී සහ උඳුන් දාර සකස් කිරීමේදී සර්කෝන් අමුද්‍රව්‍යක් ලෙස යොදා ගන්නේ එය සෙල්සියස් අංශක 2500ක උෂ්ණත්වයකදී උණුවන නිසාය.
පිඟන් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය - පිඟන් භාණ්ඩ නිෂ්පාදනයේදී විශේෂිත වූ ලෝහ මාධ්‍යයක් ඛනිජ ද්‍රව්‍ය ලෙස යොදා ගනී.
න්‍යෂ්ටික ඉන්ධන ගබඩා කිරීමට - න්‍යෂ්ටික ඉන්ධන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා යොදා ගන්නා බහලුම් නිෂ්පාදනය කරගැනීමට පිරිසිදු සර්කෝන් අවශ්‍ය වේ.
බල්බ සහ දෘෂ්‍ය මොනිටර් නිෂ්පාදනය - රූපවාහිනීවල එන වර්ණ සහ තිර රඳා පවතින්නේ මොනොසයිඩ්වලින් වෙන්කර ලබාගන්නා දුර්ලභ පස් වර්ග යොදාගෙන නිෂ්පාදනය කරන නිසාවෙනි. එම දුර්ලභ පස් වර්ග ඉහළ කාර්යක්ෂමතාවක් සහිත බල්බ සහ දෘෂ්ටි මොනිටර් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වේ.
මීට අමතරව පරිගණක, ඉලෙක්ට්‍රොනික, සහ වෛද්‍ය යන ක්ෂේත්රවල අනාගත තාක්ෂණික සංවර්ධනය සඳහා ඛනිජ වැලි යොදා ගැනීමට නියමිතය.
මැණික්, රූටයිල්, ඉල්මනයිට්, සහ මිනිරන් අප රට සතු ඉතා වටිනා සුලබ සම්පත්ය. ලොව ඉහළම වටිනාකමක් සහිත රූටයිල්, ඉල්මනයිට්, සර්කෝන් සහ මොනොසයිට් පවතින්නේ ශ්‍රී ලංකාව තුළය. මෙම සම්පත් කාර්යක්ෂමව සහ අවබෝධයෙන් යුතුව භාවිත කිරීම හරහා විශාල වශයෙන් විදේශ විනිමය උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී. පතල් හෑරීම, ශුද්ධ කිරීම සහ ඛනිජ සම්පත් අපනයනය සඳහා පිහිට වූ ශ්‍රී ලංකා ඛනිජ වැලි සමාගමේ හිමිකාරීත්වය පවතින්නේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය සතුවය. රටේ වත්කම් සහ අගනා සම්පත් පිටරැටියන්ට නොවිකුණා අනාගත පරපුරේ භාවිතයටත් ආරක්ෂා කරගනිමින් රටේ දියුණුව සඳහා මෙම සම්පත් යොදා ගැනීමට පාලකයන් ක්‍රියා කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අර්බුදයන් ගණනාවක්ම විසඳී යනු ඇත.
නඳුන් ශ්‍යාමාල්