archaeology.lk කියන්නේ ලංකාවේ තරුණයින් පිරිසක් විසින් නිර්මාණය කරන ලද සිංහල බසින් ක්‍රියාත්මක වන පුරාවිද්‍යාව, ඉතිහාසය වැනි විෂය ක්‍ෂේත්‍ර ආවරණය කරන ලොව වටා පිරිස අතර ජනප්‍රියම විෂයානුබද්ධ වෙබ් අඩවියයි. 2009 වසරේදී ආරම්භ වූ මෙම archaeology.lk වෙබ් සමූහය 2019 වසර වන විට වසර 10ක් සම්පූර්ණ වෙනවා. ඒ ගැන කතා කරන්න අපි සම්බන්ධ කරගත්තා එහි සම ප්‍රාරම්භකයින් වන අනුරාධ පියදාස මහතා හා චන්දිම අඹන්වල මහතා.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා පුරාවිද්‍යාව වෙනුවෙන් කැපවුණු archaeology.lk සමූහය පිළිබඳ විස්තරයක් කළොත්?
ප්‍රධාන වශයෙන් අපි වෙබ් අඩවි දෙකක් පවත්වාගෙන යනවා, සිංහල හා ඉංග්‍රිසි යන භාෂා දෙකින්. අපි ප්‍රධාන වශයෙන් කරන්නේ ලංකාවේ පුරාවිද්‍යාව, ඉතිහාසය හා සංස්කෘතිය යන අංශ ආවරණය කරමින් පර්යේෂණාත්මක ලිපි, පුරාවිද්‍යාඥයින් ඉතිහාසඥයින් සමඟ සිදුකරන විෂයානුබද්ධ හා කාලීන සංවාද පළ කිරීම. දිනිති නමින් විශ්ව ව්‍යාප්ත ජාලය ඔස්සේ සඟරාවක් පවත්වාගෙන යාම සිදු කරනවා. ඒත් එක්කම සමාජ මාධ්‍ය ජාල අපි පුළුල් වශයෙන් භාවිත කරනවා, පාඨක පිරිස වෙත තොරතුරු ගෙන යාම සඳහා. මේ සෑම එකකටම ලොව පුරා සිටින පාඨකයින්ට සම්බන්ධ වෙන්න පුළුවන් කිසිම ගෙවීමකින් තොරව. අපි පූර්ණ වශයෙන් ස්වෙච්ඡා කණ්ඩායමක්. අපේ අදහස වෙන්නෙත් මේ රටේ සංස්කෘතිය පිළිබඳ නිවැරදි තොරතුරු විශ්වාසනීය ආකාරයෙන් ලෝක ප්‍රජාව වෙත මුදා හැරීම. අපි පුණ්‍යායතනයක් වශයෙන් ලියාපදිංචි වෙලා ඉන්නේ. ඒත් එක්කම දැන් දැන් මුදල් උත්පාදනය කරන යම් යම් කටයුතු සඳහා අප මැදිහත් වන නිසා සමාගමක් වශයෙන් ලියාපදිංචි වෙලා ඉන්නේ.
මේ සමූහය ආරම්භ වුණේ කොහොම ද?
ලංකාවේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය පිළිබඳ අප දෙදෙනාටම තිබුණේ සමාන වැටහීමක් හා විවේචනයක්. ඒ වගේම නිවැරදි පුරාවිද්‍යා හා ඉතිහාස දැනුම සමාජගත වීමේ විශාල රික්තකයක් තිබුණා. ඒ වගේම පුරාවිද්‍යා උපාධිධාරීන්ගේ රැකියා සුරක්‍ෂිතතාව පිළිබඳ මෙන්ම වෘත්තීයවේදීත්වය පිළිබඳ ගැටලු පැවතියා. අනුරාධ අයියා කියන්නේ තොරතුරු තාක්‍ෂණ විශේෂඥයෙක් වගේම නිර්මාණශීලි වෙබ් අඩවි නිර්මාපකයෙක්. ඊටත් වඩා නව්‍ය අදහස් ඇති නිර්මාණශීලි කෙනෙක්. ඒ ඔක්කොටම වඩා වැදගත් වුණේ ඔහුට අපේ රට වෙනුවෙන් අපේ ක්‍ෂේත්‍රයෙන් යම් හෝ දෙයක් කරන්න අවශ්‍යතාවක් තිබීම. පුරාවිද්‍යාව පිළිබඳ යම් වැටහීමක්ද තිබූ ඔහු මේ ක්‍ෂේත්‍රය දිහා බලාපොරොත්තු සහගත දෘෂ්ටියක් හෙළපු අයෙක්. අප සතු පුරාවිද්‍යා, ඉතිහාස දැනුමත් සංස්කෘතික සංවේදීත්වයක් එක්තැන් කළොත් සමාජයට යහපතක් කළ හැකි බව අපට දැනුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමා මේ සමූහය බිහිවන්නේ.
මුල සිටම අප සමඟ අපේ මිතුරන් දෙදෙනෙකු වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැන් සේවය කරන මහින්ද කරුණාරත්න මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවය කරන සන්ධ්‍යා කුමාරි නවරත්න මැණිකේ මහත්මියත් සම්බන්ධ වුණා. අපි සතර දෙනාගේ මහන්සියේ ඵලයක් වශයෙන් 2009 වසරේදි www.si.archaeology.lk සහ www.en.archaeology.lk නමින් සිංහල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍ය දෙකින් වෙබ් අඩවි දෙකක් ජනගත වුණා.
වෙබ් අඩවියේ හා සමූහයේ අරමුණු මොනවාද?
අපේ සමූහය ආරම්භයේදීම අපේ දැක්ම හා අරමුණු අපි ගොඩනඟා ගත්තා. එය කෙතරම් සාර්ථකද කියනවා නම් අපට අද පවා අපේ ඒ මුල් අරමුණු තුළ සිටන්න පුළුවන් වෙලා තියෙනවා. කාලීන අවශ්‍යතා අනුව ඒවා වෙනස් කරන්න, යාවත්කාලීන කරන්න සිදුවුණේ නැහැ. ඒ කියන්නේ අපි ඒ වෙද්දිත් පරිපූර්ණ ලෙස අපේ අරමුණු හඳුනාගෙන සිටියා. අපේ දැක්ම වශයෙන් “ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීම මගින්, දිවයිනේ පුරාවිද්‍යාව පිළිබඳව නව දැනුම බෙදාහදා ගැනීම හා ඒ සම්බන්ධ කතිකාවක් ගොඩනැගීම” යන්නයි.
අපේ අරමුණු වූයේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යයන, පර්යේෂණ කටයුතු පිළිබඳ ව පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය හා සම්බන්ධ පුද්ගලයන් හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන් දැනුවත් කිරීම, දේශීය පුරාවිද්‍යාඥයන්ගේ තෝරාගත් පර්යේෂණ පත්‍රිකා/අධ්‍යයන සංක්ෂිප්ත සංචිතයක් නිර්මාණය කිරීම, පුරාවිද්‍යා අධ්‍යයන, පර්යේෂණ, සංචාර හා එවැනි වෙනත් කටයුතු සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇති අවස්ථා පිළිබඳව තොරතුරු රැස් කොට ඒවා මහජනයා වෙත ලබා දීම, ජ්‍යෙෂ්ඨ, යොවුන් හා වෘත්තීය පුරාවිද්‍යාඥයන් සමඟ සිදුකරන විෂයානුබද්ධ සංවාද අන්තර්ජාලය හරහා සමාජගත කිරීම ඔස්සේ විෂයික දැනුම සම්බන්ධයෙන් ප්‍රජාව යාවත්කාලීන කිරීම, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාඥයන්ගේ තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම හා පුළුල් පරාසයක භාවිතය සඳහා මුදා හැරීම, වෙබ් අඩවිය හා සමාන්තරව, පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය හා සම්බන්ධ වාරික සඟරාවක් හා ජාතික උරුමය සම්බන්ධ පොත් මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කිරීම, ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය ජාතික උරුමය, හා ශිල්පීන්, ජාතික හා ජාත්‍යන්තර තලය වෙත හදුන්වා දීම හා විවිධ මට්ටමේ පුරාවිද්‍යාඥයින් අතර සහසම්බන්ධතාවක් ගොඩනඟන වේදිකාවක් නිර්මාණය කිරීම යන අරමුණු අට. මෙයින් සෑහෙන ප්‍රමාණයක් දැනටමත් අපි ළඟා කරගෙන තියෙනවා. අනික් ඒවා ඉදිරියේදී අප විසින් ජයගත යුතුයි.
පාඨක පිරිසෙන් ලැබෙන ප්‍රතිචාර කෙබඳුද?
බොහොම ඉහළ ප්‍රතිචාර තියෙනවා. දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් පරිශීලකයින් අපගේ වෙබ් අඩවිය සමඟ අත්වැල් බැඳගෙන සිටින බව ලැබෙන ප්‍රතිචාර හරහා තහවුරු වෙනවා. විශේෂයෙන් ලංකාවේ අභ්‍යන්තර හා බාහිර උපාධි අපේක්‍ෂකයින්ගේ පැමිණීම ඉතාම ඉහළයි. පාසල් සිසුන්, ගුරුවරුන් වගේම ලංකාවේ අතීතය ගැන විධිමත් හා නිවැරදි අවබෝධයක් ලැබීමට කැමැති සාමාන්‍ය පාඨකයින් විශාල පිරිසක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා.
ඉතිහාසය, පුරාවිද්‍යාව හා සංස්කෘතිය වැනි දේට වර්තමාන සමාජයේ හිමිවන උනන්දුව සහ අවධානය ප්‍රමාණවත්ද?
ඒ දේවල් එතරම් වැදගත් නෑ කියල මේ සමාජයේ සමහර අය හිතාගෙන ඉන්නවා. නමුත් අපිට අපේ අම්මා තාත්තා කවුද කියන එක වටින තාක් කල් අපේ අතීතය හා අපේ මුතුන්මිත්තන් ජීවත් වූ ආකාරය හා ඔවුන් කළ කී දේ මෙන්ම ඔවුන් විසින් ලේ, කඳුළු හෙළා නිර්මාණය කළ දේවල් ගැන දැනගන්න එක අත්‍යවශ්‍ය නැද්ද? බර්ටෝල්ට් බ්‍රෙච්ට් කියල තියෙනවා යමෙකුට අඩි කීපයක් ඉදිරියට පැනීමට අවශ්‍ය නම් ඔහු ඊට වඩා වැඩි අඩි ගණනාවක් ආපස්සට යන්න ඕන කියල. ඒ කියන්නේ ඉතිහාසය අවශ්‍යයි කියන එක නේද? ඉතිහාසයක් නැත්නම්, අතීතයක් පෙන්නුම් කරන්න බැරි නම් ජාතියක් වශයෙන් අපේ අනන්‍යතාව අපි නිර්මාණය කර ගන්නේ කොහොමද? ඒ නිසා අපි හිතන්නේ යථාවාදී ආකාරයෙන් මේ පවතිනවාට වඩා විධිමත් හා ආකර්ෂණීය ආකාරයෙන් අපේ අතීතය අපි දැනගන්න ඕන. ඒක ඒ පැරැණි අය ගැන දැන ගැනීමක්ම විතරක් නොවෙයි. ඇත්තටම අප විසින් අප ගැනම දැන ගැනීමක්.
ඉතාම සරලව බැලුවොත් අපේ සංස්කෘතික සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම යොමු වෙලා තියෙන්නේ අතීත නිර්මාණ ඔස්සේ. ඒ වගේම ආර්ථිකය වගා කරගන්නා ආර්ථික ජීවියා තම ආධ්‍යාත්මය අතීත සම්ප්‍රදාය තුළ පිහිටා සකස් කර ගත්තේ නැත්නම් ඇති ඵලය කුමක් ද? අපේ සංස්කෘතිය කියල රැකගන්න හදන මේ සියල්ලම අතීත සම්ප්‍රදාය මතයි පණ පෙවී තියෙන්නේ.
ඔබලා හිතලා තියෙනවද පසුගිය දස වසරක කාලය තුළ සමාජයට බලපෑමක් නැත්නම් ධනාත්මක යමක් එක් කරන්න පුළුවන් වුණා කියල?
පැහැදිලිවම ඔව්. අපිට පුළුවන් වෙලා තියෙනවා ලංකාවේ පුරාවිද්‍යා දැනුම සමාජගත කරන එකම විධිමත් වේදිකාව තනන්න. ඒ විතරක් නෙවෙයි. අපි විවිධ හැලහැප්පිලි මැද්දේ වුවත් කිසිම ආර්ථික හෝ සමාජ ප්‍රතිලාභයකින් තොරව මේ දක්වා එය පවත්වාගෙන ඇවිත් තියෙනවා. ඉගෙන ගන්න අය හා සාමාන්‍ය පාඨකයින්ගෙන් පමණක් නොව අදාළ වෘත්තිකයින්ගෙන් ලැබෙන අදහස්වලින් මෙය තහවුරු වෙනවා. සරල උදාහරණයක් කිව්වොත් මේ යන්නේ තොරතුරු සමාජයක් කියල එකක්නේ. නමුත් ලංකාවේ අතීතය පිළිබඳ අඩුම තරමින් සෙනරත් පරණවිතාන මහතාගේවත් ඡායාරූපයක්වත් අපි වෙබ් අඩවිය ජනගත කරන කාලේ අන්තර්ජාලයෙ හොයා ගන්න තිබුණේ නැහැ. ඒ තත්ත්වය සෑහෙන වෙනස් කරන්න අපිට පුළුවන් වුණා. දැන් බොහෝ දෙනෙක් අතීතය ගැන පුරාවිද්‍යාව ගැන යමක් දැනගන්න ඕන වුණහම අපේ වෙබ් අඩවියට පිවිසෙන එක පුරුද්දක් වෙලා. අදාළ විස්තර අපේ වෙබ් අඩවියේ නැත්නම් අපිට දුරකථක ඇමතුම් දීල ඒ ගැන විමසනවා. ඒ වගේම පුරාවස්තු විනාශය වැනි දේවල් ගැන පවා අපට දැනුම් දෙන තත්ත්වයක් ඇතිවෙලා. ඇත්තටම මෙවැනි දෙයක් රාජ්‍ය අංශයෙන් කරනවා නම් අපේ බොහෝ ගැටලුත් විසඳගන්න පුළුවන්. අපි පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් විප්ලවීය වෙනසක් කළා කියල අවංකව නිහතමානීව කියන්න පුළුවන්.
අනික් අතට අපි දැන් පුරාවිද්‍යාව මුදල් හොයන, ඒ වගේම ඒ හොයන මුදල් නැවත ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කැප කරන පුණ්‍යායතනයක් විදිහටත් ශක්තිමක්. අපිට පුළුවන් වෙලා තියෙනවා ජාතික මට්ටමින් වෘත්තීය සේවාවන් සපයන්න. ඒ වගේම පුරාවිද්‍යාව හදාරන සිසුන් කීප දෙනෙකුට දැන් වසර ගණනාවක් සිට අපි රැකියා අවස්ථා උදා කරල මුදල් ඉපයීමට අවස්ථාව පාදා දීල තියෙනවා. පුරාවිද්‍යාව, ඉතිහාසය කියන්නේ නිර්මාණශීලි හා උනන්දු අයෙකුට පහසුවෙන් වෘත්තියක් කරගන්න පුළුවන්, මුදල් ජනනය කළ හැකි ක්‍ෂේත්‍රයක් කියල අපි තරුණ පරපුරට පෙන්නල දීල තියෙන එකම ජයග්‍රහණයක්.
මේ දක්වා ලබා ඇති ජයග්‍රහණ පිළිබඳ සඳහන් කළොත් ?
අපි ලබාගෙන තියෙන වැදගත්ම සම්මානය තමා මහජන විශ්වාසය හා ආකර්ෂණය. සාමාන්‍යයෙන් අපේ වෙබ් අඩවියට දැන් දිනකට පරිශීලකයින් 1000ක් පමණ එනවා. වෙබ් අඩවියක් ගත්තහම ඒක විශාල පිරිසක්. එය ස්ථාවරව පවත්වාගෙන යනවා කියන්නෙම විශාල අභියෝගයක්.
ඊට අමතරව අපි පසුගිය කාලයේ අවස්ථා කීපයකම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. අපි වරක් ලංකාවේ %Best Web‘ තරඟයේ ලංකාවේ ජනප්‍රියම සිංහල වෙබ් අඩවි 10 අතරට පත් වුණා. ඊට පසුව ජනප්‍රියම සිංහල වෙබ් අඩවියට හිමි සම්මානය හිමිකර ගත් අපි ඊ-ස්වාභිමානි තරඟයේ සංස්කෘතික අංශයේ හොඳම වෙබ් අඩවිය බවට පත් වුණා. රටවල් 34ක තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාන්තාන් තරගයේ සිංහල බසින් තරග කළ අපි ජූරියේ විශේෂ ඇගැයීමටද පාත්‍ර වුණා.
ඉදිරිය සැලැසුම් කරල තියෙන්නේ කොහොමද?
දැනට කරන වැඩ තවත් සාර්ථකව විශේෂයෙන් ගුණාත්මක බවින් වැඩි අන්තර්ගතයන් සහිතව පරිශිලකයින් වෙත ගෙන යාම තමා ප්‍රධාන බලාපොරොත්තුව. ඒ වගේම තවත් අලුත් අදහස් ගණනාවක් අපේ හිතේ තියෙනවා. කාලය ලැබෙන විදිහට ඒවා ඉදිරියේදී ඔබට බලාගන්න පුළුවන් වෙයි.
නිදහස් අධ්‍යාපනය ඔස්සේ ඇවිත් පුරාවිද්‍යාව හදාරන සිසුන්ගේ පර්යේෂණ හැකියාව හා වෘත්තීමය බව වර්ධනය කිරීමේ වැඩසටහන් ගණනාවක් දියත් කරන්නත් සැලැසුම් කරල තියෙනවා. එමෙන්ම සමාජය වෙලාගෙන ඇති මිථ්‍යා ඓතිහාසික කතා අපිට පුළුවන් ආකාරයන් බිඳ දැමීම සඳහාත් අපි ක්‍රියා කරනවා.
නඳුන් ශ්‍යාමාල්