පසුගිය දිනවල ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර හටගත් ගැටුම තවම නිමවී නැත. අරගලයේ දිශානතිය කුමන අතකට ගමන් කරන්නේද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකිය. ඒ අතරවාරයේ පසුගිය දින කිහිපයේම පාර්ලිමේන්තුව සටන් පිටියක මෙන්ම ගවගාලකද ස්වරූපය ගත්තේය. ඒ සමග පාර්ලිමේන්තු ක්‍රමය විවිධ දේශපාලන පාර්ශ්වයන් විසින් විවිධාකාරයෙන් අර්ථකථනය කරන්නට විය. මහජනතාවගේ පැත්තෙන් බලනවිට පාර්ලිමේන්තුව දෙසින් ඇසෙන මේ සෑම වචනයක්ම හා සිදුවීමක්ම ඔවුනට අණ්ඩර දෙමළයකි. දේශපාලනඥයන් සිය වාසිය තකා අර්ථකථන ගෙන එමින් කටයුතු කිරීම හේතුවෙන් මෙහි ප්‍රතිඵලය වන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයද නැතහොත් සුබ ගමනක පෙරමග ලකුණුද යන ගැටලුව දැන් අප රටෙහි තැන තැන කතාබහට ලක්වෙමින් තිබේ. එම නිසා පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් ඇති කිරීම පිණිස විශේෂාංග ලිපි පෙළක් නීතිඥ නිලන්ත හෙට්ටිගේ මහතා සමග ගෙන එන අතර, එහි ආරම්භය මෙසේ සනිටුහන් කරමු.
ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම
මානව හිමිකම්, ජනතා නියෝජිතයන් පත් කිරීමේ අයිතිය, පත්කළ නියෝජිතයන් පහකිරීමේ අයිතිය ආදී අයිතිවාසිකම් රැසකට පදනම් වනුයේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිම්න්තු ක්‍රමයත් අතර ඇත්තේ ගහට පොත්තත්, පොත්තට ගහත් අතර පවත්නා බැම්ම මෙන් පහසුවෙන් බිඳිය නොහැකි සහසම්බන්ධතාවකි. ගස නැතිව පොත්තටත්, පොත්ත නැතිව ගසටත් මතු පැවැත්මක් නැත.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙවන් ඛේදවාචකයට ලක්වීම එක් අතකින් මුළුමහත් ජාතියේම අවාසනාවකි. යම් හෙයකින් නුදුරු අනාගතයේදී මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය බිඳ වැටුණහොත් සිදුවිය හැකි අන්තරාය සුළුපටු නොවේ.
එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ වටිනාකමත් පාර්ලිමේන්තු ක්‍රමයේ වැදගත් ලක්‍ෂණත් පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමට සුදුසුම කාලය පැමිණ තිබේ. අපි දැන් පාර්ලිමේන්තු ක්‍රමය බිහිවීමේ සිට එහි වැදගත් ලක්‍ෂණ සහ දුර්වලතාවන් දක්වා වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කරමු.
පාර්ලිමේන්තු ක්‍රමයට පදනම වැටෙයි
පාර්ලිමේන්තුව යන්නේ සරල අර්ථය නම් ව්‍යවස්ථා සාදන ස්ථානය යන්නයි. පාර්ලිමේන්තුව යන්න ඉංග්‍රීසි ‘Parliament’ යන යෙදුමෙහි සිංහල හුරුවකි.
පුරාතන ග්‍රීසියේ ඇතැන්ස් නුවරට රැස්වූ පුරවැසියන් විසින් නීති සැකසීමට දායකත්වය ලබා දුන් බව කියැවෙයි. එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය නැතහොත් මූලය ලෙස සැලකේ. ග්‍රීක සභ්‍යත්වය යටපත් කරගෙන බලයට පැමිණි රෝම අධිරාජ්‍ය ක්‍රමය තුළ මහජන මතයට විශාල බලයක් නොලැබුණි. මහජන නියෝජිතයන් හරහා තීරණ ගැනීමේ ක්‍රියාවලිය සීමා සහිත ප්‍රමාණයකට සිදුවිය. විනිශ්චයකරුවන් පත්කිරීම, යුද ප්‍රකාශ කිරීම, මරණීය දණ්ඩනය ප්‍රකාශ කිරීම වැනි විවාදාත්මක කටයුතුවලදී සෙනෙට් සභාවක් හරහා එකී තීරණ වලංගුභාවයට පත් කිරීමේ ක්‍රමයක් පුරාතණ රෝම පාලන තන්ත්‍රය තුළ දක්නට හැකිය. ග්‍රීක සභ්‍යත්වය තුළ සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයද, ඊට පසුකාලීනව නැගී ආ රෝම අධිරාජ්‍ය ක්‍රමය තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණද මූල බීජ වශයෙන් හටගත්තේය.
මෙහි සෘජු ප්‍රජාතන්ත්‍රවාදය යනු සෘජුව මහජන මතය ක්‍රියාවට නැංවීමයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යනු මහජනයගේ නියෝජිතයන් හරහා තීරණ ක්‍රියාවට නැංවීමයි. කෙසේ වෙතත් ග්‍රීක හෝ රෝම පාලන ක්‍රමයන්හි ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ තිබූ පමණින් ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම ලෙස වර්ග කිරීම සිදු කළ නොහැකිය. මන්දයත් වහලුන්ට සහ ස්ත්‍රීන්ට සමඅයිතිය නොතිබුණු බැවිනි.නූතන පාර්ලිමේන්තු සම්ප්‍රදාය ක්‍රිස්තුවර්ෂ දොළොස්වැනි සියවස අවසානයේදී ස්පාඤ්ඤයේදී ආරම්භ වූ බව පිළිගනු ලැබේ.
ඉංග්‍රීසි පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිහිවෙයි
වර්ෂ 1215දී එංගලන්තයේ ප්‍රභූන් සහ රජු අතර ඇතිකරගත් ‘මැග්නා කාර්ටා’ ගිවිසුමට පසු එංගලන්ත ආණ්ඩුක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ එකින් එක ඇතිවන්නට විය. ක්‍රිස්තුවර්ෂ 13වැනි සියවසේදී තුන්වැනි හෙන්රි රජු මහජන නියෝජිතයන් තෝරාපත්කර ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. තුන්වැනි හෙන්රි රජුට එරෙහිව කැරලි ගැසූ පිරිස් එකී පාර්ලිමේන්තු ක්‍රමයට වඩා ප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණවලින් යුතු ආදර්ශ පාර්ලිමේන්තු ක්‍රමයක් හඳුන්වා දුන්හ. ආදර්ශ පාර්ලිමේන්තු ක්‍රමයේදී මහජන නියෝජිතයන් තෝරා ගැනීම වඩාත් සැලකිල්ලෙන් සිදුකළ අතර විවිධාකාර ප්‍රශ්න සම්බන්ධව විවෘතව විවාද කිරීම දක්නට හැකිවිය.
එංගලන්තයේ බලයට පැමිණි 3වැනි එඩ්වර්ඩ් රජු ආදර්ශ පාර්ලිමේන්තු ක්‍රමය සලකා බලා රජයේ ව්‍යවස්ථාදායකය සෑහෙන දුරට දියුණු කළේය. තුන්වැනි එඩ්වර්ඩ් සමයේදී ව්‍යවස්ථාදායකය පැහැදිලිව කොටස් දෙකකට වර්ග කළ අතර, එම සභාවන් දෙක අද පවත්නා සෙනෙට් සභාව සහ මහජන නියෝජිත සභාවෙහි මූලාරම්භයයි.
අටවැනි හෙන්රි රජුගේ සමයේදී, එනම්, 1534 වර්ෂයේදී පැනවූ නීතියක් තුළින් පාර්ලිමේන්තුව උත්තරීතර ව්‍යස්ථාදායකය බවට පත් කෙරිණි. නැවතත් 1559දී පාර්ලිමේන්තුවට වැඩි බලතල ප්‍රදානය කෙරිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත පාර්ලිමේන්තුවට ඕනෑම කරුණක් අරභයා නීති සැකසීමේ බලයක් හිමිවිය. එංගලන්ත පාර්ලිමේන්තුවට නීති සැකසීමේ පූර්ණ බලයක් හිමිකර දීම ක්‍රොම්වෙල්ගේ නීති ප්‍රතිසංස්කරණ ලෙස ඉතිහාසගතව ඇත. ඊට හේතුව එකී නීති සැකසීමේ කාර්යයට හෙන්රි රජුගේ ප්‍රධාන අමාත්‍ය තෝමස් ක්‍රොම්වෙල් ප්‍රකට දායකත්වයක් ලබා දීමයි. එංගලන්ත පාර්ලිමේන්තුවට අසීමිත ව්‍යස්ථාදායක බලයක් ලැබීමට මූලික වූයේ තෝමස් ක්‍රොම්වෙල්ගේ උත්සාහයයි.
බලතල බෙදීමේ න්‍යාය
දහඅටවැනි ශතවර්ෂයේ ජීවත්වූ ප්‍රංශ දාර්ශනිකයෙකු වන චාල්ස් ලුයිස් මොන්ටෙස්ක්‍යු එකල ප්‍රංශයේ තිබූ පාලන තන්ත්‍රය කෙරෙහි කලකිරීමට පත්ව සිටියේය. හේ එංගලන්තයෙහි සිදුකළ සංචාරයකදී එරට පාර්ලිමේන්තු සභිකයන් භුක්ති විඳින අසීමිත ව්‍යවස්ථාදායක බලය ගැන විස්මයට පත්විය. එංගලන්ත අධිකරණයේ ස්වාධීනත්වය හේ පැහැදිලිව නිරීක්‍ෂණය කළේය. ප්‍රදේශයේද එවැනි සාර්ථක ක්‍රමයක් දකිනු රිසියෙන් හේ පෙරළා සිය රටට පැමිණියේය.
නැවත ප්‍රංශයට පැමි.ණි හෙතෙම ‘ස්පිරිට්ස් ඔෆ් ලෝස්’යන ග්‍රන්ථය 1748දී ප්‍රංශ බසින් රචනා කළේය. සුප්‍රකට බලතල බෙදීමේ න්‍යාය මුල් වරට ප්‍රසිද්ධ කරන ලද්දේ මොන්ටෙස්ක්‍යු විසින් රචිත කෘතීන් තුළිනි. මොන්ටෙස්ක්‍යුගේ බලතල වෙන් කිරීමේ න්‍යාය අනුව රාජ්‍යය නම් ආයතනය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණ යන අංශ තුනකින් සමන්විතවේ. ඒ එක් එක් ආයතන ස්වාධීනව පවතින තාක්කල් ඒවායෙන් වන සේවය වඩාත් කාර්යක්‍ෂම ලෙස ජනතාවට ලබාදිය හැකිය.
පාර්ලිමේන්තුවේ බලතල පුළුල් කෙරෙයි
පෙර සඳහන් වර්ගීකරණය අනුව පාර්ලිමේන්තුව අයවත්වනුයේ ව්‍යවස්ථා දායකය යන කාණ්ඩයටය. ව්‍යවස්ථාදායකයේ මූලික කාර්යය වන්නේ රටේ අවශ්‍යතාවට සරිලන පරිදි නීති සකස් කිරීමයි. පාර්ලිමේන්තුව නැතහොත් ව්‍යවස්ථාදායකය විසින් නීති සැකසීමේ කාර්යය අප්‍රමාදව හා අපක්‍ෂපාතීව ඉටු කිරීමට නම් ඒ කාර්යය සඳහා තනි හා අනන්‍ය බලතල පර්ලිමේන්තුවට තිබිය යුතු වේ. මෙම ‘‘පාර්ලිමේන්තුවේ ‘ස්වාධිපත්‍යය’ යන සංකල්පය වර්ධනය වූයේ එංගලන්ත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ වීම විශේෂත්වයකි. 17 වැනි සියවස තුළ නීති සැකසීමේ බලය රජය හා පාර්ලිමේන්තුව අතර කුමන ප්‍රමාණයකින් බෙදී යා යුතුද යන කරුණ පිළිබඳ නිතර නිතර වාද ඇතිවිය. මේ හේතුවෙන් රජු විසින් නීති සැකසීමේ බලය අනුක්‍රමයෙන් සීමාවූ අතර, අවසානයේ රජුට නීති සැකසීමේ බලය අහිමි වීමෙන් ඒ අර්බුදය නිමාවිය.
පාර්ලිමේන්තුවට ස්වාධිපත්‍යය හිමිවේ
1701 දී පැනවූ නිරාකරණ පනතෙන් (Act of Settlemement 1701) නීති සැකසීමේ අනන්‍ය බලය එංගලන්ත පාර්ලිමේන්තුව වෙත සම්පූර්ණයෙන්ම පවරා ගනු ලැබීය. මේ අනුව 18 වැනි සියවසේ ආරම්භයේ සිටම නීති සැකසීමේ අනන්‍ය බලය එංගලන්ත පාර්ලිමේන්තුව සතුවිය. ඒ අනුව ව්‍යවස්ථා සැකසීම සඳහා රජුට තිබූ බලතල අහෝසි වූ ලෙස සලකනු ලැබීය.
පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය නැතහොත් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය (parliamentary Soveregnity / Parlimentary Supremeacy) යනුවෙන් හැඳින් වෙනුයේ පෙරකී නීති සැකසීමේ අනන්‍ය බලය (legislative Supremacy) පිළිබඳ සංකල්පයයි. ආණ්ඩුක්‍රම විශාරදයෙකු වන මිචෙල් රොසෙන්ෆෙල්ඩ් විසින් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය යන කරුණ ප්‍රධාන ලක්‍ෂණ දෙකකට විභේදනය කර පෙන්වාදී ඇත. ඉන් පළමු කරුණ නම් පාර්ලිමේන්තුව සතු නීති සැකසීමේ බලතල වෙනත් කිසිදු නීතියකින් සීමා කොට නොතිබීමයි. දෙවැනි කරුණ නම් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් නැතහොත් නීතිය අධිකරණය ඉදිරියේ හෝ වෙනත් කිසිදු ආයතනයක් ඉදිරියේ අභියෝගයට ලක්කළ නොහැකි වීමයි.
විවාදාත්මක ෆෙඩරල් ක්‍රමය
එක්තරා ප්‍රමාණයකට ස්වාධීනත්වයක් හිමි වූ රාජ්‍ය ඒකකයන් කිහිපයක් එක්වීමෙන් ෆෙඩරේෂන් හෙවත් සමූහාණ්ඩුවක් බිහිවේ. සමූහාණ්ඩු පාලනය ෆෙඩරල් පාලනය ලෙස නම් වෙයි. ෆෙඩරල් පාලන ක්‍රමයකදී මධ්‍යම රජය හා ප්‍රාන්ත රාජ්‍ය ලෙස රාජ්‍යයෙහි ආකාර දෙකක් ඇති අතර මධ්‍යම රජයට හා ප්‍රාන්ත රජයන්ට නිශ්චිතව බලතල බෙදා වෙන් කරනු ලැබෙයි. ෆෙඩරල් නොවන රාජ්‍ය ඒකීය රාජ්‍ය (Unitary State) නම් වෙයි.
ෆෙඩරල් රාජ්‍ය බිහිවීමේ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකකි. ඉන් පළමු වැන්න නම් පවත්නා රාජ්‍යයක් ෆෙඩරල් ක්‍රමයට සන්ධි වී යාමයි. දෙවැනි ක්‍රමය වනුයේ වෙන් වෙන් රාජ්‍ය කිහිපයක් එක්වී ෆෙඩරල් ක්‍රමයට ඒකාබද්ධ වීමයි. (Federal Union of States)
ෆෙඩරල් රාජ්‍යයන්හි ප්‍රධාන ලක්‍ෂණ මෙසේය.
01.නිශ්චිත භූගෝලීය සීමා මත ප්‍රාන්තයන් වෙන් කිරීම
02.පාලන බලයේ නිශ්චිත කොටසක් මධ්‍යම රජයට වෙන් කර තිබීම
03. පාලන බලයෙන් නිශ්චිත කොටසක් ප්‍රාන්ත රජයන්ට වෙන් කර තිබීම
සමහර ෆෙඩරල් රාජ්‍යයන්හි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවන් තුළ ප්‍රාන්ත රාජ්‍යයේ බලතල නිශ්චිතව දක්වා ඇති අතර, ඉතිරි බලතල මධ්‍යම රජයට හිමිවේ. සමහර අවස්ථාවන්හි මධ්‍යම රජයට හිමි බලතල විශේෂිතව දක්වා ඉතිරි බලතල ප්‍රාන්ත රජයන්ට බෙදා දෙන අවස්ථාවන්ද ඇත. මේ අතර ෆෙඩරල් ලක්‍ෂණ හා ඒකීය රාජ්‍යයක ලක්‍ෂණ මිශ්‍රව පවත්නා රාජ්‍යයන්ද ඇත්තේය. අසල්වැසි ඉන්දියාව ඊට උදාහරණයකි. ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයන්ට නිශ්චිත බලතල වෙන්කරදී ඇති නමුත් එහි මධ්‍යම ආණ්ඩුව ඉතා ප්‍රබල එකකි.
ලෝකයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් හරි අඩක් පමණ ෆෙඩරල් බලයට යටත්ව ඇතැයි කීම සාධාරණය. ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,කැනඩාව ආදී විශාල රාජ්‍යයන් බොහොමයක පවතිනුයේ ෆෙඩරල් පාලන ක්‍රමයන්ය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රමයේ විකාශය
මහාවංශය අනුව ශ්‍රී ලංකා ඉතිහාසය ඇරඹෙනුයේ විජය නම් යාත්‍රිකයා තවත් පිරිසක් සමග මෙරටට ගොඩබැස සිංහල ජනාවාස ඇති කිරීම පිළිබඳ කතා ප්‍රවෘත්තියෙනි. විජයගේ ආගමනයේ පටන් මේ දක්වා පැවති ආණ්ඩු ක්‍රමයන්හි ඉතිහාසය පහත දැක්වෙන පරිදි සංක්‍ෂිප්තව කාල පරිච්ඡේදයන් පහකට බෙදා වෙන් කළ හැකිය.
01.රාජාණ්ඩු ක්‍රමය පැවැති යුගය - ක්‍රිස්තු පූර්ව 543 දී විජය රජුගෙන් පටන්ගෙන 1815 වර්ෂයේ උඩරට ගිවිසුමෙන් මෙරට ඉංග්‍රීසීන්ට පවරාදීම දක්වා කාල පරාසයයි.
02. ඉංග්‍රීසි පාලනයට යටත්ව පැවැති අවධිය - ක්‍රිස්තු වර්ෂ 1815 සිට 1948 වර්ෂය දක්වා අවධියයි.
03. ඩොමීනියන් තත්ත්වයේ නිදහස පැවැති අවධිය - ක්‍රිස්තු වර්ෂ 1948 සිට 1972 දක්වා අවධිය
04.පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල පැවැති අවධිය 1972 සිට 1978 දක්වා
05. දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවීමෙන් පසු අවධිය
1977 වර්ෂයේදී පැවැති මහ මැතිවරණයේදී සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූයේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. ඔහුගේ ඡන්ද පොරොන්දු අතර විධායක ජනාධිපති ධුරය හඳුන්වා දීම සහ විවෘත ආර්ථිකය හඳුන්වා දීම යන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණයන් විය. ජේ. ආර්. ජයවර්ධන මහතා 1977දී පැවැත් වූ මහමැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. හේ තමන් අතිවිශාල ජන බලයක් ලැබීයැයි ප්‍රකාශ කර විධායක ජනාධිපති ධුරය හඳුන්වා දෙමින් දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කළේය. ඉන්ද නොනැවතුණු ජේ. ආර්. සිය ප්‍රතිවාදියා වන බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමටද මූලික වූයේය.
දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපූර්වතා
හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ වචන අනුව විධායක ජනාධිපතිවරයෙකුට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියෙකු කිරීම පමණි. හේ එකී ප්‍රකාශය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සනාථ කරමින් දරදඬු පාලන තන්ත්‍රයක් ගෙන ගියේය. කේ.එන්. චොක්සි මහතා ප්‍රමුඛ නීතිවේදීන් දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළේ ජේ.ආර්. ජයවර්ධන මහතා වෙත අසීමිත බලයක් ඒකරාශී කිරීමේ අරමුණින් යුතුවය යන්න ඉතා පැහැදිලි කරුණකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 සහ 35 වැනි වගන්ති ජනාධිපතිවරයාගේ අසීමිත බලතල පිළිබඳ කදිම නිදසුන් වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට අධිකරණයකින් වරදකරු කරන අයෙකු වෙත සමාව ප්‍රදානය කිරීමේ අසීමිත බලයක් හිමිවේ. ඒ අනුව අධිකරණයකින් වරදකරු කරන අයෙකුට සම්පූර්ණ හෝ කොන්දේසි සහිත සමාවක් දීමට මෙන්ම නියම කළ දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් දීමට ජනාධිපතිවරයාට බලය ඇත. මෙකී 34 වැනි වගන්තිය මොන්ටෙස්ක්‍යුගේ බලතල බෙදීමේ න්‍යාය සමග කිසිසේත් නොගැළපේ. එමෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට එය සහමුලින්ම පටහැණි වේ. 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ තැන් පටන් නම ගිය අපරාධකරුවන් ගණනාවක්ම 34වැනි වගන්තියේ පිහිටෙන් නිදහස ලබා ඇත. එලෙස ජනාධිපති සමාව ලද අපරාධකරුවන් තමන් ලද සමාවේ බලයෙන් පාතාල නායකයන් බවට පත්වූ අවස්ථා පවා වාර්තාගතව ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනෙක් භයානක වගන්තිය නම් 35 වැනි වගන්තියයි. එම වගන්තියේ සඳහන් පරිදි ජනාධිපතිවරයා විසින් නිල කාලය තුළ පෞද්ගලික හෝ නිලතත්වයෙන් කරන ලද කිසිදු ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සම්බන්ධව ඔහුට විරුද්ධව සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරීමට නොහැකිය. ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නොහැකිය යන්න 35 වැනි වගන්තියේ මූලික අර්ථයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1)වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට ලැබී ඇති අයිතිය 12(1) වගන්තියේ එන මූලික අයිතිවාසිකම සමග නොගැළපෙයි. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1)වගන්තිය වෙත අවධානය යොමු කරමු.
‘‘‘12(1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය’
මෙහිදී ඇතිවන ප්‍රධානතම ගැටලුව නම් ජනාධිපතිවරයා නීතියෙන් රැකවරණය ලබද්දී ඔහුගේ ක්‍රියාවන්ට එරෙහිව රැකවරණය ලැබීමට අන්‍යයන්ට රැකවරණයක් නොතිබීමයි.
රාජ්‍ය පාලකයා නීතියට යටත් වීමේ ප්‍රවණතාව
රාජ්‍ය ප්‍රධානියා නීතියට ඉහළින් ඔසවා තැබීමේ සම්ප්‍රදාය ඉංග්‍රීසි ආණ්ඩුක්‍රමය තුළ බොහෝ කාලයක් දැකගත හැකිවිය. එලෙස රජු නීතියට ඉහලින් තැබීමට හේතුව වූයේ රජු අතින් වරදක් සිදු නොවේය’යනුවෙන් ඉංග්‍රීසි නීති සම්ප්‍රදාය තුළ පැවැති සම්මතයයි. ‘‘රජු අතින් වරදක් සිදු නොවේය යන සම්මතය අභියෝගයට ලක්වූ අවස්ථාවන් බ්‍රිතාන්‍ය ඉතිහාසය තුළ පහසුවෙන් හඳුනාගත හැකිය. නීතිවිරෝධී ක්‍රියාවකට දඬුවමකට ලක්වූ ප්‍රථම ඉංග්‍රීසි රජු පළමුවැනි චාල්ස් නම් වෙයි. පළමුවැනි චාල්ස් 1625දී බලයට පැමිණියේය. ඔහු 1649 වර්ෂයේදී රාජද්‍රෝහය නම් චෝදනාව මත මරණීය දණ්ඩනයට යටත් කරනු ලැබීය.
නූතන ශ්‍රී ලංකාවේ හටගෙන ඇති ආණ්ඩුක්‍රම අර්බූදය එක් අතකින් බලන කල රාජ්‍ය නායකයා නීතියට යටත් නොවීමේ බලගතු ප්‍රතිවිපාකයකි. මෙම වසරේ ඔක්තෝබර් 26 වැනි දින සිට නොවැම්බර් 13 වැනි දින දක්වා සිදු වූ දේශපාලන පරිවර්තනයන් සියල්ලට හේතුවූයේ රාජ්‍ය පාලකයා වෙත එක්රැස්කර තබන ලද අසීමාන්තික බලතලයි.
නඳුන් ශ්‍යාමාල්