ශ්‍රී ලංකාවේ ප්‍රථම වනඅලි සිතියමෙන් කියැවෙන්නේ වන අලි ගහනය අඩු බවද?


දිවයින පුරා අලිඇතුන්ගේ ව්‍යාප්තිය පිළිබඳ වසර හතරක් තිස්සේ සිදු කෙරුණු දීර්ඝ සමීක්‍ෂණයක් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එම දත්ත පදනම් කරගත් සිතියමක් ඔස්සේ මෙරට අලි ඇතුන් සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු රැසක් ඉදිරිපත් කිරීමට මෙරට සිටින දෙස් විදෙස් පතල වනජීවී විද්‍යාඥයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සංරක්‍ෂණ පර්යේෂණ ආයතනයේ (CCR) පර්යේෂණ කණ්ඩායමක් කටයුතු කර තිබේ. ඒ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට විද්‍යා ජර්නලයක් වන %ORYX^ ජර්නලයේ අලුත්ම කලාපයේ First country-wide survey of the Endangered Asian elephant: towards better conservation and management in Sri Lanka යන හිසින් පළවී තිබේ.


ශ්‍රී ලංකාවේ අපට අලිඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවකි. අපගේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා පාරිසරික හරපද්ධති සමග අලිඇතුන් ඉතා තදින් බද්ධව ඇත. ලෝකයේ ආසියානු අලි ජීවත් වන රටවල් 13 අතරින් ශ්‍රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඊට එක් හේතුවක් වන්නේ අපේ රටේ දිවිගෙවන ආසියානු අලින් %Elephas maximus maximus^ යන නමින් වෙනම උපවිශේෂයක් ලෙස පරිණාමය වී තිබීමය. එසේම ආසියානු අලින් දිවිගෙවන රටවල් අතරින් වැඩිම ඝනත්වයකින් යුතුව එම සතුන් දිවිගෙවන්නේද ශ්‍රී ලංකාවේය. නමුත් මෙම වටිනා වනජීවී සම්පත ආරක්‍ෂා කර ගනිමින් ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් කර ගැනීමටත්, ඔවුන්ගෙන් එල්ලවන අහිතකර බලපෑම් අවම කර ගනිමින් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටත් රටක් ලෙස අප අපොහොසත්ව ඇති බව පසුගිය දශක හයකට වැඩි අතීතය දෙස හැරී බැලීමෙන් පෙනේ. එසේ තිබියදී තවදුරටත් අපට අපේ අලි සම්පත සම්බන්ධයෙන් අත්තනෝමතිකව හා අධූරදර්ශීව කටයුතු කිරීමට නොහැකි බව අදාළ පර්යේෂණ පත්‍රිකාව මගින් පෙන්වා දී ඇත. 

ශ්‍රී ලංකාවේ මුළු භූමියම වර්ග කිලෝමීටර් 25 බැගින් ආසන්න වශයෙන් කොටු 2,750කට බෙදා වෙන්කර (කොටුවක විශාලත්වය තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වනඅලි භාවිත කරනු ලබන කුඩාම වාසභූමියේ (Home range) වපසරිය අනුවයි) මෙම පර්යේෂණය සඳහා දත්ත එක්රැස් කර ඇති අතර අදාළ කොටුවක් තුළ ජීවත් වන පුද්ගලයන් තිදෙනෙකු බැගින් සමීක්‍ෂණයට භාජනය කර තිබේ. ඒ අනුව ඔවුන්ගෙන් අදාළ ප්‍රදේශයේ අලිඇතුන්ගේ හැසිරීම පිළිබඳ දත්ත 2011 සිට 2015 දක්වා වසර හතරක කාලසීමාවක් තුළ ලබාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබේ. මිනිස්සුන් ජීවත් නොවෙන ප්‍රදේශ සම්බන්ධ දත්ත ඊට යාබද කොටුවල දත්ත මගින් ගණනය කර තිබේ. තවද 2004 - 2018 කාලසීමාව තුළ අලිඇතුන්ට චන්ද්‍රිකා තාක්‍ෂණ කරපටි යොදා ලබාගත් දත්තද මේ සඳහා භාවිත කර ඇත. ආසියානු අලි ජීවත් වන රටවල් 13 අතරින් කිසිවක් මීට පෙර සමස්ත රටම ආවරණය වන පරිදි මෙවැනි අධ්‍යයනයක් සිදුකර නොමැත.

ශ්‍රී ලංකාවේ අලිඇතුන් සංරක්‍ෂණය හා කළමනාකරණය සඳහා අත්‍යවශ්‍ය වී ඇති එම සතුන්ගේ ව්‍යාප්තිය, ගහන ඝනත්ව හා සංචරණ රටා වැනි තොරතුරු ඌනතාව මගහැරීම සඳහා ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සිදුකර ඇති උක්ත පර්යේෂණය මනාපිටිවහලක් ලබාදෙන අතර, එමගින් අප රටක් වශයෙන් උගත යුතු පාඩම් බොහෝ ඇති බව අවධාරණය කළ යුතුයි.
මෙම අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හැටක (60%) වනඅලි ඇතුන් ජීවත් වන අතර, එම ප්‍රමාණය මීට පෙර ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සිතා සිටි ප්‍රමාණයට වඩා වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එසේම එම ප්‍රතිශතය ආසියානු අලින් දිවිගෙවන අනෙක් රටවලට සාපේක්‍ෂව ඉතාමත් ඉහළ අගයක් ගැනීමද මෙරට අලිඇතුන් සම්බන්ධ තීරණාත්මක කරුණකි. තවද මෙම වනඅලි ගහනයෙන් සියයට හැත්තෑවක්ම (70෴) රක්‍ෂිත ප්‍රදේශවලින් බැහැරව ජීවත් වීමද බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණකි. ශ්‍රී ලංකාවේ වනජීවී බලධාරීන් පසුගිය වසර හැටක පමණ කාලසීමාව තුළ මෙරට අලි - මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා සියලු වනඅලින් වනජීවී රක්‍ෂිත ප්‍රදේශවලට ගාල් කිරීමට නොදැරූ උත්සාහයක් නැති තරම්ය. නමුත් එසේ තිබියදී තවදුරටත් මෙරට වනඅලි ඇතුන්ගේ වාසභූමි ප්‍රදේශ 70%ක්ම රක්‍ෂිත ප්‍රදේශවලින් බැහැරව පිහිටීම එම උත්සාහයේ අසාර්ථක බව මොනවට පැහැදිලි කරයි. සියලු අලිඇතුන් රක්‍ෂිත තුළට ගාල් කිරීමට නම් ඔවුන් වර්තමානයේ ජීවත් වන වාසභූමිවලින් සියයට තිහක (30%) ප්‍රදේශයකට එම සතුන් සීමා කළ යුතු අතර, එම සියයට තිහ ප්‍රදේශයේ දැනටත් එහි ජීවත් විය හැකි අලිඇතුන් ප්‍රමාණය රැඳී සිටිති. එම නිසා සියලු අලිඇතුන් රක්‍ෂිත තුළට ගාල් කිරීම කිසිදු ආකාරයක ප්‍රායෝගික විසඳුමක් නොවන බව මෙම පර්යේෂණය මගින් හෝ බලධාරීන් තේරුම් ගන්නේ නම් මැනවි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ පසුගිය වසර 55ක කාලසීමාව තුළ වනඅලින්ට උන්ගේ වාසභූමිවලින් සියයට දහසයක් (16%) අහිමි වී ඇති බවයි. ඒත් සමගම ඔවුන් මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් සියයට එකයි දෂම හයක ප්‍රමාණයක් (1.6෴) තුළ නව වාසභූමි ඇතිකර ගෙන තිබේ. එනම් පසුගිය දශක හය පමණ කාලය තුළ අලිඇතුන්ගේ වාසභූමි ප්‍රදේශවලින් සියයට පහළොවක් පමණ ඔවුන්ට අහිමි වී තිබේ. එම වාසස්ථාන අහිමි වීමෙන් එම වාසස්ථානවල දිවිගෙවූ අලිඇතුන් සදහටම වඳවී ගොස් ඇත. එබැවින් දැනට ශ්‍රී ලංකාවේ අලි ගහනය වැඩි වෙමින් පවතින බවට ඇතැමුන් දරන මතය මිත්‍යාවක් බව පෙනී යයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ වනඅලි ඇතුන් ජීවත් වන ප්‍රදේශ බොහෝමයක් අතිශයෙන් කැබලිකරණය වූ හා මානව බලපෑමට නතු වූ ප්‍රදේශ බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඒ තුළ සමස්ත ආසියානු අලි ගහනයෙන් සියයට දහයත්, විස්සත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව මෙරට දේශපාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා රාජ්‍ය නිලධාරීන් තරයේ සිහි තබගත යුතු බව අපි අවධාරණය කරමු. එම නිසා ශ්‍රී ලාංකිකයන් වන අපි එම සතුන්ගේ භාරකරුවන් වන අතර, එම සතුන්ගේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ලෝකයා හමුවේ බැඳී සිටිමු. අදාළ බලධාරීන්ට තවදුරටත් මෙරට අලිඇතුන් හා එම සතුන් දිවිගෙවන ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන අසරණ ජනතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අත්තනෝමතික හා අවිචාරවත් ආකාරයෙන් හැසිරීමට නොහැකි බව මෙම පර්යේෂණ ප්‍රතිඵල මගින් පැහැදිලි වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම පාලනය හා වනඅලි සංරක්‍ෂණ සඳහා එකම විසඳුම වන්නේ අලි- මිනිස් සහජීවන ආකෘතියක්, නොඑසේ නම් වනඅලි සහ මිනිසුන් සංහිඳියාවෙන් තම භූමිය පරිහරණය කිරීමේ ක්‍රමවේදයකට යෑම බව ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතාගේ අදහසයි. මෙතෙක් රක්‍ෂිත ප්‍රදේශ වටා ඉදිකෙරුණු විදුලි වැට සියයට හැටක පමණ ඒ දෙපසම අලිඇතුන් වාසය කරන බැවින් ඉන් අලි-මිනිස් ගැටුම විසඳීමට දායකත්වයක් නොලැබේ. පෙරකී පරිදි අලිඇතුන් විදුලි වැට තුළට සීමා කිරීමද සිදුකළ නොහැක්කකි. ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගම්මාන ආරක්‍ෂා කිරීම සඳහා ප්‍රජා මූලික විදුලි වැට ගම්මාන වටා ඉදිකිරීම හා ගොවිජන සේවා කාර්යාල හරහා වගාබිම් ආරක්‍ෂා කිරීම සඳහා වගා කාලයට සීමා වූ කාලීන විදුලිවැට ඉදිකිරීමත් වඩා ප්‍රායෝගික බව හෙතෙම සඳහන් කරයි. ඒ අනුව අලි-මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුමක් ලබාදීමට හා දැනට වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින ගෝලීය වශයෙන්ද වටිනාකමක් ඇති අපේ අලි සම්පත සංරක්‍ෂණය කිරීමට මෙම පර්යේෂණ ප්‍රතිඵල හා විද්වත් අදහස් ඉවහල් කර ගැනීම සියලු පාලක කාරකාදීන්ගේ යුතුකම හා වගකීම බව අවසන් වශයෙන් ලියා තබනු කැමැත්තෙමු.

 



Recommended Articles