ශ්‍රී ලංකාවේ දැති මෝරුන්ට සිදුවූයේ කුමක්ද?


මීටර් 1.5ක දිග කියතක් වැනි හොම්බක් ඇති මීටර් 6ක් දිග සත්ත්වයෙකු පිළිබඳව පුවතක් 2017 වසරේදී‍ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ග්‍රාමයේ දූවිලි වැකුණු මාර්ග ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර ගියේය. මෙම අද්භූත සත්ත්වයා පිළිබඳ පුවත දැනගත් පිරිස් කුතුහලයෙන් යුතුව වැල නොකැඩී ඒ දෙසට ඇදී එන්නට විය. සැබවින්ම මෙම සත්ත්වයා සුරංගනා කතාවල එන දියකිඳුරියන් සහ ගිනි පිඹින මකරුන් සිහිගන්වයි. නමුත් මෙය තවත් එක් සුරංගනා කතාවක් නොව, කුච්චවේලි ගමේ ධීවරයකුගේ දැලට 2017 වර්ෂයේ මාර්තු මස අහම්බෙන් හසුවූ දුර්ලභ මත්ස්‍යයෙකුය. ඒ ලංකාවේ ධීවරයෙකුට මේ වන තෙක් හමු වූ අවසාන දැති මෝරාය.

‘දැති මෝරා’ (Sawfish) ලෙස සිංහල බසින් හඳුන්වන මඬු වර්ගයේ සත්ත්ව විශේෂය දමිළ බසින් ‘වේලා’යනුවෙන් හඳුන්වනු ලබයි. දැති මෝරුන්ද අනෙක් මෝරුන් සහ මඩුවන් අයත් වන කාටිලේජීය මත්ස්‍ය විශේෂයට අයත් වේ. වඩාත් සිත් ඇදගන්නා, හිස්කබලේම දිගුවක් වන කියතක් වැනි ව්‍යුහයක් (රොස්ට්‍රමයක්) දරණ මොවුන් මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාව අවට වෙරළ කලාපයේ ඉතා බහුලව හමුවිය. එදවස කරවල පිණිස අව්වේ වේළා ගන්නා ලද මාළුන්, බල්ලන්ගෙන් සහ බළලුන්ගෙන් බේරා ගැනීම සඳහා වැට ඉනි ලෙස දැති මෝරුන්ගේ කියත් (රොස්ට්‍රම්) භාවිතයට ගත් බව පැරණි ධීවරයන් පවසා තිබේ. නමුත් වර්තමානයේ මොවුන් ගැන දැනගැනීමට ලැබෙනුයේ ඡායාරූප මගිනි. ඒ නිසාම ඉතා නුදුරේදීම ජනප්‍රවාදයන්හී එන අද්භූත සත්ත්වයෙකු බවට​ දැති මෝරා පත්වනු නොඅනුමානය.

දැනට ලොව පුරා දැති මෝරු විශේෂ පහක් සිටින අතර, රතුදත්ත ලේඛනවලට අනුව ඩාර්ෆ් දැති මෝරා Dwarf Sawfish (Pristisclavata) හා නැරෝ දැති මෝරා (Narrow Sawfish) Anoxypristiscuspidata වඳ වී යාමේ ඉහළ අවදානමක් ඇති විශේෂ ලෙස හඳුන්වා තිබේ. එමෙන්ම ලාර්ජ් ටූත් දැති මෝරා (Largetooth Sawfish) Pristispristis, ග්‍රීන් දැති මෝරා (Green Sawfish) Pristiszijsron හා ස්මෝල් ටූත් දැති මෝරාSmalltooth Sawfish (Pristispectinata) වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ (Critically Endangered) ජීව විශේෂ ලෙසත් ලැයිස්තුගත කර ඇත. තවද CITES උපග්‍රන්ථය I (වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වනසතුන් සහ ශාක විශේෂවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිය) හි ලැයිස්තුගත කිරීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳාම තුළ දැති මෝරුන් තහනම් කර ඇත.

මොවුන්ගේ කියත් වැනි රොස්ට්‍රම් සියලුම වර්ගයේ ධීවර ආම්පන්නවලට හසුවීමේ අවදානමක් පවතී.

බොහෝ මෝරුන්ට හා මඩුවන්ට මෙන්ම මොවුන්ටද ඇත්තේ, මන්දගාමී වර්ධන වේගයක්, ප්‍රමාද පරිණතියක් හා අඩු ප්‍රජනන විභවයකින් යුක්ත දිගු ආයු කාලයකි. දැති මෝරුන්ගේ ආයු කාලය ඔවුන් ජීවත් වන පරිසර සාධක හා ජීව විශේෂ මත වෙනස් වන අතර, ලාර්ජ් ටූත් දැති මෝරුන් දළ වශයෙන් අවුරුදු 44ක් පමණ ජීවත් වේ. ග්‍රීන්, නැරෝ, ඩාර්ෆ් හා ස්මෝල් ටූත් යන දැති මෝර විශේෂ 04 පිළිවෙළින් සාපේක්ෂව අවුරුදු 50, 09, 30 සහ 40 දක්වා ජීවත් වේ. මීට ශතවර්ෂ ගණනාවකට පෙර දැති මෝරුන් රටවල් 90ක වෙරළ කලාපවල බහුලව දක්නට ලැබුණු අතර, පසුගිය ශතවර්ෂය තුළ ඔවුන්ගේ භූගෝලීය ව්‍යාප්තිය බෙහෙවින් අඩු වී ඇත. ගෝලීය වශයෙන් ගත් කල දැනට දැති මෝරුන් රටවල් 20ක වෙරළ කලාපවලින් සම්පූර්ණයෙන්ම වඳ වී ගොස් ඇති අතර, රටවල් 43කට අවම වශයෙන් එක් විශේෂයක්වත් අහිමි වී ඇත. ඔවුන් තවමත් බංග්ලාදේශය වැනි රටවල සාපේක්ෂව නිතර මුණගැසෙන නමුත්, ධීවර පීඩනය වැඩි වීම මත ඔවුන්ගේ ගහණය ශීඝ්‍රයෙන්අඩුවෙමින් පවතී. ඉතා අවාසනාවකට බොහෝ රටවලින් හමුවන දැති මෝර ගහණය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින අතර, ඕස්ට්‍රේලියාව සහ ෆ්ලොරිඩාව පමණක් දැති මෝරුන් ඉතා කාර්යක්ෂමව ආරක්ෂා කර ඇති රටවල් දෙක වන නිසා, එම වෙරළ කලාපවලින් හමුවන දැති මෝර ගහන පමණක් ස්ථාවර හෝ වැඩි වෙමින් පවතින බවට වාර්තා වී ඇත. අනෙක් මසුන්ට සාපේක්ෂව දැති මෝරුන්ගේ ප්‍රජනනය සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් අධ්‍යයනය කර නොමැති අතර, වැඩිහිටි ගැහැනු සතුන් වසරකට වරක් හෝ සෑම දෙවසරකට වරක් පැටවුන් බිහිකරයි. දැති මෝරුන් දළ වශයෙන් වරකට පැටවුන් තුනක් පමණ බිහිකරන අතර, ලාර්ජ් ටූත්, ග්‍රීන් හා නැරෝ දැති මෝර විශේෂයන් සාපේක්ෂව වරකට පැටවුන් දොළොස් දෙනෙකු පමණ බිහි කරයි. 

1889 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවට අදාළව ප්‍රකාශයට පත් කළ ජීව විශේෂ පිරික්සුම්වල ලාජ්ටූත්, ග්‍රීන් හා නැරෝ යන දැති මෝරු විශේෂ ත්‍රිත්වය ලැයිස්තුගත කර ඇති නමුත් දැනට ශ්‍රී ලංකාව අවට මුහුදේ හමුවන දැති මෝරු විශේෂ පිළිබඳ තහවුරු කර ගැනීමට උපකාරී වන ඡායාරූප කිසිවක් මෙම ප්‍රකාශිත වාර්තාවල අඩංගු නොවේ. ඒ නිසා දැති මෝරුන් පිළිබඳ දැනුම පුළුල් කිරීම සඳහා 2019දී බ්ලුරිසෝසස් ට්‍රස්ට් ආයතනය ඉලස්මෝ ව්‍යාපෘතියෙහි නියමු ආචාර්ය රිමා ජබාඩෝගේ සහයෝගය මත දිවයින පුරා ධීවරයන් 300ක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී. මේ සඳහා අනුග්‍රහය ටෝකියෝ සිමෙන්ට් ගෲප්, පිව්චැරිටබල් ට්‍රස්ට්ස්, මෙරින් කන්සර්වේෂන් ඇක්ෂන් ෆන්ඩ් (නිව් ඉංග්ලන්ඩ් ඇක්වේරියම්) හා ඕෂන් පාර්ක් කන්සර්වේෂන් ෆවුන්ඩේෂන් යන ආයතන විසින් ලබා දී ඇත.

මෙම ධීවර සාකච්ඡාවන්ගෙන් හමු වූ කරුණු විශ්මයජනකය. දැනට ජීවත් වන වයස අවුරුදු පනහට වැඩි බොහෝ ධීවරයන්ට දැති මෝරුන් හමු වී ඇති අතර, වසය අවුරුදු 30ට අඩු සියලුම ධීවරයන්ට ඡායාරූපවලින් පවා දැති මෝරුන් හඳුනාගැනීමට නොහැකි වී ඇති බවට එම ධීවර සාකච්ඡාවන්ගෙන් හෙළි වූ බව බ්ලුරිසෝසස් ට්‍රස්ට් ආයතනයේ පර්යේෂකයෙකු වන සහන් තිලකරත්න මහතා පවසයි. විශේෂිතම කාරණය නම් දැති මෝරුන් දුටු ධීවරයන්ගෙන් හරි අඩක් 1992 වර්ෂයේ සිට කිසිදු දැති මෝරෙකු දැක නොතිබූ අතර, දැති මෝරුන් ඇල්ලූ ධීවරයන් ගණන සම්මුඛ සාකච්ඡා පවත්වන ලද ධීවරයන්ගෙන් තිස් දෙදෙනෙකි. එම ධීවරයන්ට අනුව දැති මෝරු ගහනයේ අඩු වීමට මූලික වශයෙන් බලපා ඇත්තේ ඉහළ ධීවර පීඩනයයි. ජලජීවී වගා කර්මාන්තයේ දියුණුව මත සිදුවූ වාසස්ථාන විනාශයද මෙයට බොහෝසෙයින් බලපා ඇත.

ලාංකීය සමාජය තුළ සංස්කෘතික හෝ සාම්ප්‍රදායික වටිනාකමක් දැති මෝරුන්ට නොමැති බව බ්ලූරිසෝසස් ට්‍රස්ට් ආයතනය කළ මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.කෙසේ වෙතත්, තලවිල ශාන්ත ආනා ජාතික දේවස්ථානයේදී සහ බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ පිහිටි සින්නගුණ්ඩුව පල්ලියේදීද දැති මෝරුන්ගේ රොස්ට්‍රා හමු වී තිබේ. එහිදී ධීවරයන් සඳහන් කර ඇත්තේ තම වැඩිහිටියන් වසර ගණනාවකට පෙර මෙම රොස්ට්‍රා පල්ලියට පරිත්‍යාග කළ බවත්, එමගින් ඔවුන්ට මුහුදේදී ආරක්ෂාව හා වාසනාව ලබාගත හැකි යැයි විශ්වාසයක් ඔවුන් තුළ පැවති බවත්ය. කනගාටුවට කරුණක් නම් මෙම වාසනාව හා ආරක්ෂාව දැති මෝරුන් වෙත හිමි නොවීමයි.

අධික ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් දැති මෝරු ගහනය බෙහෙවින් ක්ෂය වී ඇති බව තහවුරු වූ කරුණකි. මේ නිසා ලංකා මුහුදෙන් ඉදිරියේදී හෝ හමුවන දැති මෝරුන් සම්පූර්ණයෙන් ආරක්ෂා වන ලෙස පියවර ගත යුතුය. එමෙන්ම එමගින් ඉතිරිව සිටි යැයි උපකල්පනය කරන අතළොස්සක් වූ දැති මෝරුන්ට ප්‍රජනනය සඳහා අවකාශ හිමි වීම මගින් ඔවුන්ගේ ගහනය ප්‍රකෘතිමත් කිරීමට ඉඩ සැලසෙනවා ඇත. එමෙන්ම මෙම ක්‍රියාකාරී කළමනාකරණය තුළින් පෙර වැරදි අවම කර ගනිමින්, දැති මෝරුන් මෙන් සමාන ජීවන ලක්ෂණ පෙන්නුම් කරන බොහෝ මෝරුන්ට හා මඩුවන්ටද ආරක්ෂාවක් ලබාදීමට හැකිය.

තොරතුරු - ශ්‍රී ලංකාවේ සමුද්‍ර පර්යේෂණ සහ සංරක්ෂණ සංවිධානයක් වන බ්ලූ රිසෝසස් ට්‍රස්ට් ආයතනයේ කතුවරුන් වන සහන් තිලකරත්න, අක්ෂේ ටන්නා සහ ඩැනියෙල් ප්‍රනාන්දු



Recommended Articles