මේ දිනවල සියලු දෙනාගේම අවධානය යොමුව ඇත්තේ මැති සබය දෙසටය. රට කරවන මැති සබයේ රට කරවීම පසෙක තබා එය යුද පිටියක් බවට පත්කරගෙන ඇති බැවින් රටේ පමණක් නොව ලෝකයේම අවධානය ලංකාවේ පාර්ලිමේන්තුව දෙසට යොමුව තිබේ. මේ නිසාම පාර්ලිමේන්තුව පිළිබඳ නොදත් කරුණු බොහොමයක් මේ දිනවල ඇසෙන නිසාම පාර්ලිමේන්තුවේ අතීත කතාව මෙලෙස කියන්නට අද අප අදහස් කළෙමු.
පරණ පාර්ලිමේන්තුව
ඉන්දියන් සාගරයට මුහුණලා කොළඹ ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පාර්ලිමේන්තු රැස්වීම් සඳහා යොදා ගැනීමට පෙර විධායක සභාවේ සහ ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම් පැවැත් වූයේ දැනට විදේශ කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන යනු ලබන දර්ශනීය ගෝඩන් උද්‍යානය ඉදිරිපස පිහිටි ගොඩනැගිල්ලෙහිය.
1930 ජනවාරි මස 29 වැනි දින ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද මේ ගොඩනැගිල්ලෙහි ව්‍යවස්ථාදායකයේ රැස්වීම් 1982 අප්‍රේල් මාසය දක්වා පවත්වන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් ඉක්බිතිව ව්‍යවස්ථාදායකය හඳුන්වනු ලැබූ නාමය කිහිපවරක්ම වෙනස් විය. ඒ ව්‍යවස්ථාදායක සභාව (1833-1931), රාජ්‍ය මන්ත්‍රණ සභාව (1931-1947), නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (1947-1972), ජාතික රාජ්‍ය සභාව (1972-1978) සහ පාර්ලිමේන්තුව (1978 සිට) වශයෙනි.
ව්‍යවස්ථාදායක සභාව වශයෙන් මේ ගොඩනැගිල්ල විවෘත කරනු ලැබූ අවස්ථාවේ එහි සභා ගර්භයේ ආසන පහසුකම් තිබුණේ මන්ත්‍රීවරුන් 49 දෙනෙකුට පමණි. 1947 දී සෝල්බරි ව්‍යවස්ථාව හඳුන්වා දීමත් සමගම සභාවේ සාමාජික සංඛ්‍යාව 101 දක්වා වැඩි කෙරුණි. 1959දී පත්කළ මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටුවේ නිර්දේශය පරිදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සංඛ්‍යාව 101 සිට 157 දක්වා තව දුරටත් වැඩි කරනකෙරුණු අතර, ඒ සංඛ්‍යාව 1972 දක්වා පැවතුණි.
ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව 1972 දී සම්මත වීමෙන් පසුව මන්ත්‍රීන් සංඛ්‍යාව 168 දක්වා වැඩි කෙරුණි. වැඩි වූ මන්ත්‍රීන් සංඛ්‍යාවට අවශ්‍ය ඉඩකඩ සලසා දීම සඳහා මේ හැම අවස්ථාවකදීම ගොඩනැගිල්ලේ අවශ්‍ය වෙනස්කම් සිදු කෙරුණි. පාර්ලිමේන්තු පරිචයේදී සම්ප්‍රදායන්ට වැදත් ස්ථානයක් හිමි වේ. එමෙන්ම හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සභා ගර්භයේ ආසනයක් වෙන් වී නැති බ්‍රිතාන්‍ය‘යේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මෙන් නොව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙකුටම සභා ගර්භය තුළ ආසනයක් ලබාදී ඇත. වසර ගණනාවක් තිස්සේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට භූමිය වූ මේ ගොඩනැගිල්ල තුළ, කිසිදු අමතර ඉදි කිරීම්වලින් තොරව අග්‍රාමාත්‍ය, කථානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විරුද්ධ පාර්ශ්වයේ නායක යන කාර්යාල සඳහාද, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය හා මන්ත්‍රීවරියන්ගේ ප්‍ර‘යෝජනයට වෙන් වූ විශේෂ කාමරයක් සඳහාද ඉඩකඩ සලසා දීමට හැකි වී තිබේ.
මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඉහළ යෑම සහ ඊට සමානුපාතිකව පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ප්‍රමාණයද වැඩිවීම හේතු කොටගෙන අමතර පහසුකම් සහිත ප්‍රමාණවත් ඉඩකඩ ඇති නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක අවශ්‍යතාව පිළිබඳ අදහස් ඉස්මතු විය.
1977 මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු මන්දිරයක් ඉදිකිරීමට නව රජය විසින් තීරණයක් ගන්නා ලදී. එය ඉදිකිරීම සඳහා 1979 ජූලි මස 04 වැනි දින පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දුන්නේය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ස්ථාන ගතවීම
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය 1982 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර බවට පත්විය. වාණිජ අගනගරය ලෙස කොළඹ හැඳින්වේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි පැවැති පුරාණ ජල මාර්ගයක් වූ %දියවන්නා^ ඔය මධ්‍ය‘යේ පිහිටි කුඩා දූපතක ඉදිවුණු නව මන්දිරය වෙත කලින් අගනුවර වූ කොළඹ පිහිටුවා තිබූ පාර්ලිමේන්තුව රැගෙන එන ලද්දේ එවකට ජනාධිපති ධුරය හෙබ වූ ජේ. ආර් ජයවර්ධන මහතා විසිනි. 1982 අප්‍රේල් මස 29 වැනිදා පෙ.ව. 10.28 ට යෙදුණු සුබ මොහොතින් අභිනව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. 1833 දී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය පිහිට වනු ලැබීමෙන් පසුව, ඒ සඳහා ඉදි වූ තුන්වැනි ගොඩනැගිල්ල මෙය වේ.
එඩ්වඩ් රීඩ් සහ බෙග් සමාගමේ ජෙෆ්‍රි බාවා මහතා මෙහි ගෘහ නිර්මාණ ශිල්පීන් වශයෙන් පිළිගනු ලබන අතර, මිට්සුයි සමාගම් දෙකක ඒකාබද්ධ ජපන් සමාගමක් ශ්‍රී ලංකා රජය සමග පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අත්සන් කළ කොන්ත්‍රාත්තුව ජපන් යෙන් බිලියන 6.3 (ඩොලර් මිලියන 25.4) කි.
මෙම ගොඩනැගිල්ල තුළ ශ්‍රී ලාංකික කලා නිර්මාණ සහ ප්‍රතිමා මුර්තිමත් කිරීම සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික කලාකරුවන් සහ මූර්ති ශිල්පීන් කිහිපදෙනෙකුට පැවරුණි. ජපානය, පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන රටවල ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, පුහුණු හා නුපුහුණු කම්කරුවන් යන පිරිස්වලින් සමන්විත ජාත්‍යන්තර ශ්‍රම බලකායක් විසින් මෙහි වැඩ ආරම්භ කළේය. 1979 නොවැම්බර් මාසයේ සිට මාස විසි හයක කාල සීමාවක් තුළදී නිම කිරීමට සැලසුම් කර තිබූ මෙහි ඉදිකිරීම් එම දිනට පෙර සම්පූර්ණ කිරීමට බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි විය.
පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්, කාර්යමණ්ඩලය සහ මහජනතාව සඳහා වෙන්වූ ප්‍ර‘වේශ ද්වාර බිම් මහලේ පිහිටා ඇත. නැගෙනහිර දෙසින් පිහිටි මන්ත්‍රී ප්‍ර‘වේශ ද්වාරය, මහින්ද අබේසේකර මහතා විසින් මැහෝගනී දැවයෙන් නිර්මිත වනදහනක දර්ශනයක් පිළිබිඹු කැරෙන අර්ධ උන්නත කැටයමකින් අලංකෘත කර තිබේ.
ගොඩනැගිල්ලේ බටහිර දෙසින් පිහිටි කාර්යමණ්ඩල ප්‍ර‘වේශ ද්වාරය අනිල් ගාමිණි ජයසූරිය විසින් නිර්මාණය කරන ලද වගුරු බිමක අර්ධ උන්නත කැටයමකින් සරසා තිබේ. මෙම ප්‍ර‘වේශ ද්වාර දෙකම එකම පිලකට යොමු වන අතර, එම කොරිඩෝව දෙපස බිත්ති සැරසී ඇත්තේ හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපවලිනි.
ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුළු වීම සඳහා පරිගණකගත ප්‍ර‘වේශ පාලන පද්ධතියක් ක්‍රියාත්මක වේ. ගොඩනැගිල්ල ඇතුළත ආරක්ෂාව මින් තහවුරු වන අතර, ඕනෑම අවස්ථාවක එහි සිටින අය ගැන විස්තර ක්ෂණයකින් දැන ගැනීමටද හැකි වේ. මෙම ගොඩනැගිල්ලට පිවිසිය හැකි වන්නේ අවසර ලත් අයට පමණි. සභා ගර්භයට යන ප්‍රධාන පිවිසීම සඳහා උතුරු දෙසින් පිහිටි පුළුල් පියගැට පෙළ දෙපස දකින්නට ලැබෙන්නේ යන්ත්‍රානුසාරයෙන් නිර්මිත අලංකෘත පොකුණු යුගලක් සහ රමණීය ලෙස සරසා තිබෙන පනා බැම්මකි.
මේ පිවිසුම් මග ප්‍රවිශ්ට වන්නේ ගොඩනැගිල්ලේ ඉදිරිපස සක්මන් මගට ලම්බකව පිහිටි කුළුණු පේළියකින් සැදුම්ලත් දිගු වරණ්ඩයකටය. එය ඉදිරි ආලින්දයයි. එහි කෙළවර විවෘත ශාලාවකි. මෙම ශාලාව පාර්ලිමේන්තුවේ විශේෂ උත්සව අවස්ථා සඳහා මෙන්ම අභාවප්‍රාප්ත මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ අවසන් ගෞරවය දැක්වීම සඳහාද යොදා ගනු ලැබේ.
ඉදිරි ආලින්දයේ දෙකෙළවර, මිට්සුයි ඉදිකිරීම් සමාගමෙන් පාර්ලිමේන්තුවට පිරිනැමුණු විශාල අලංකාර ඝණ්ඨා යුග්මයක් එල්ලා තිබේ. මනස්කාන්ත අල්ලි මෝස්තරයකින් හෙබි පිළේ සීලිම, ඊනාද සිල්වා මහත්මිය විසින් විචිත්‍රවත් කෙරුණකි.
පිළේ මධ්‍ය‘යේ පිහිටා තිබෙන්නේ රූටන ක්‍රමයට සැකසුණු විශාල ලෝකඩ දොරකි. ඊට පිටුපසින් ඇත්තේ යකඩින් සහ රිදියෙන් නිමැවුණු ගේට්ටු යුගලකි. ඒ ගේට්ටු පසුකළ විට පිවිසෙනුයේ ඍජු කෝණාස්‍රාකාර හැඩැති ප්‍රවේශ ශාලාවකටය. එතැන් සිට පියගැට පෙළ තුනක් ගිය තැන සභා ගර්භයේ ප්‍රධාන දොරටුව පිහිටා තිබේ.
බිතු සිතුවම්
ප්‍ර‘වේශ ශාලා බිත්ති සැරසී ඇත්තේ ආචාර්ය මංජු ශ්‍රී මහතා විසින් නිර්මාණය කරන ලද බිතු සිතුවම්වලිනි. මේ සිතුවම් අග්‍රගණ්‍ය කලා කෘතීන්ය. ප්‍රධාන ද්වාරය අබියස වම් හා දකුණු පස බිත්ති අලංකෘත වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මුර දේවතාවුන් සිවු දෙනාගේ රූපවලිනි.
එකිනෙක දේවරූපය වටකොට මකර තොරණ මුදුණේ, නාථ දෙවියන් සඳහා බෝ පත්‍රයද, සමන් දෙවියන් සඳහා ශ්‍රී පාද ලාංඡනයද, කතරගම දෙවියන් සඳහා සැවුලාද, විභීෂණ දෙවියන් සඳහා %කිබිහි^ මුහුණද වශයෙන් ඒ ඒ දේවතාවා හට ආවේණික සංකේත රූප විත්‍රනය වී තිබේ.
පියගැට පෙළට පිවිසෙන ස්ථානයේ ප්‍රධාන ද්වාරයට මුහුණලා පිහිටි වම් හා දකුණු පස බිත්තිවල සිතුවම් වී ඇත්තේ සක් හඬ නංවන්නන් දෙදෙනෙකි. දෙව් රූ සහ සක් හඬවන්නන් දෙපසින් සශ්‍රීකත්වය විදහාපාන පාරම්පරික මෝස්තරයක් වන දෙළුම් ඵලයෙන් සහ පුෂ්පයෙන් සුසැදි රටාවකි.
බිතු සිතුවම් - අතීතාවර්ජනයක්
පළමු වැනි හිණිපෙළ පා මුල සිට වම් පස බිත්තියේ පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන රිදී දොරටුව දක්වාද, එතැන් පටන් එහි දකුණු පස බිත්තියේ පළමු වැනි හිණිපෙළ පාමුල දක්වාද, දිස් වන්නේ ප්‍රධාන බිතු සිතුවමය. පියගැට පේළි දෙපසින් පිහිටි මෙම බිත්ති සරසා ඇති සිතුවම් මාලාවෙන් පිළිබිඹු වනුයේ සැලළිහිණි සන්දේශයේ අවස්ථාවන්ය. මෙම බිතු සිතුවම් ඇඳීමේදී ආචාර්ය මංජු ශ්‍රී මහතා යොදාගෙන ඇත්තේ අඛණ්ඩ කථන ශෛලියයි.
සංදේශ කාව්‍ය රචනා කළ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිය දබරැඟිල්ල දිගු කර ගෙන (මුර්ති ශිල්පය අනුව මෙය පුද්ගලයෙකුගේ කථන විලාසය පෙන්වයි.) ස්වකීය සන්දේශ කාව්‍ය අතැතිව සන්දේශය රැගෙන යා යුතු මග හා එහි එන පණිවුඩය පිළිබඳව සැලළිහිණියාට උපදෙස් දෙන අයුරු එහි මනාව සිත්තම්කර තිබේ. යාබද බිත්තියේ දැක්වෙන චිත්‍ර‘යෙන් පිළිබිඹු වන්නේ සේසත් සිංහ කොඩිය, ඉර හඳ කොඩිය හා අව් අතු යනාදී රාජකීය ලාංඡන අත දරා ගත් ස්වකීය පරිවාර සේනාව පිරිවරාගෙන සිටින සවැනි පැරකුම්බා නිරිඳුන්ය.
සභා ගර්භයට පිවිසෙන ද්වාරය අසල වම්පස චිත්‍ර‘යෙන් පිළිබිඹු වනුයේ කෝට්ටේ මහසෙන් දෙව් විමන (කතරගම දේවාලය) සැවුල් ධජය, මයුර වාහනය සහ %නන්දි^ ගවයාය.
ආර්ය චක්‍රවර්ති රජු හා සටන් වැද ඔහු පරදවා යාපා පටුන ජයගෙන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත විජයග්‍රාහී විලාසයෙන් පෙරලා පැමිණෙණ සපුමල් කුමරු, එනම් පරාක්‍රමබාහු රජතුමාගේ සේනාධිනායක සහ ගැබේ ප්‍ර‘වේශ ද්වාරය අසල දකුණු බිත්තියේ සිතුවම් වී තිබේ. ඊළඟ චිත්‍රයෙන් දැක්වෙනුයේ කැලණි විහාරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ විහාර මන්දිරිය සහ බැතිමතුන් පිරිසකි. විභීෂණ දෙව් විමන හයවැනි මෙන්ම අවසාන බිත්තියේ චිත්‍රෙයන් දර්ශනය වේ. පෙන තුනේ නාග ශීර්ෂ කොඩිය, චූලෝදර මහෝදර සහ මණිඅක්ඛිත නාග රජවරුන්ගේ රාජධානිය වූ කැලණිය නියෝජනය කරයි. දෙව් විමනේ ඇතුළු එළිපත මත සිටින අයුරු සිතුවම් වී ඇත්තේ තමා රැගෙන ආ සන්දේශය විභීෂණ දෙවියන්ට භාරදීමට සූදානම්ව බිමට බට සැලළිහිණියාය.
සබාගැබ ප්‍රවේශ ද්වාරය
පියගැටපෙළ මුදුනට ආවිට හමුවන්නේ සබා ගැබට පිවිසෙන අලංකාරවූත්, මනා ලෙස සරසන ලද්දා වූත් ප්‍රධාන ද්වාරයයි. අඩි 12 ක් දිගින් ද, අඩි 12 ක් පළලින්ද, යුත් මේ දොර ත්‍රිමාන හැඩයක් ගනී. එය තඹෙන් සාදා රිදී ආලේප කොට තැනූවකි. එහි මතුපිට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ම කොටා තිබෙන්නේ පැරණි ශිලා ලේඛන අක්ෂර කලාව අනුගමනය කරමිනි.
පුරාණ ශ්‍රී ලංකාවේ කලා සම්ප්‍රදාය අනුව අලංකාර නෙළුම් මල් සහ නාරිලතාවන්ගෙන් සමන්විත මෝස්තර රටාවකින් මෙහි දාරය සැරසී තිබේ. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි දක්නට ඇති පුරාණ ශ්‍රී ලංකාවේ උඩු වියනක් සරසා ඇති පුෂ්ප මෝස්තරයකින් දොරේ පිටුපස කොටස අලංකාර කර තිබේ. මෙය ලෝහ මූර්ති ශිල්පී ඩී. විමල් සුරේන්ද්‍ර‘ගේ මහතාගේ දෑතින් නිමා වී තිබේ.
සභා ගර්භය
සමස්ත ගොඩනැගිල්ලම ගත්විට එහි සෑම දෙනාගේම අවධානයට ලක්වන්නේ ශාලාව සභා ගර්භයයි. හැඩයෙන් ඍජුකෝණාස්‍රාකාර වූ එය මහල් දෙකක් පුරා විහිදෙයි. කූඩාරමක හැඩැති මෙහි සීලිම සැරසි ඇත්තේ ප්‍රමාණයෙන් වර්ග අඩියක් වූ ඇනෝඩ පිරියම් කළ ඇලුමිනියම් තහඩු 20,000කිනි. මළ නොබැඳෙන වානෙන් තැනුණු අලංකාර යෂ්ටි මුදුනත සවි කළ රජවරුන්ගේද, පන්සල්වලද, කෝරලවලද රිදීමය කොඩි දහ අටක් සහ අඩි හතක් උසැති ශ්‍රී ලංකා ජනරජ ලාංඡනය සබා ගැබේ සවිකර තිබේ. තඹ තහඩු කැබලිවලින් අලංකෘත සීලිමේ මධ්‍ය ලක්ෂ්‍ය‘යෙන් එල්ලා වැටෙන රිදී ආලේපිත තඹයෙන් තැනුණු යෝධ පොකුරු පහන ඇත.මෙය ලකී සේනානායක මහතාගේ නිමැවුමකි. මැලේසියාවෙන් ආනය කළ තද දුඹුරු සියඹලා දැවයෙන් ආස්තරණය වූ ජනේල මෙයට චිත්තාකර්ෂණීය බවක් ගෙන එන අතර, ලෝහිත වර්ණ ඉන්දීය විල්ලුද පලස් මෙහි බිම අතුරා තිබේ.
සභා ගර්භය සැකසුම
සබා ගැබේ දකුණු කෙළවර මධ්‍ය‘යේ කථානායකවරයාගේ අසුන පනවා තිබෙන අතර, ඊට පහතින් ඇත්තේ පාර්ලිමේන්තුවේ මහලේකම්, නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම්වරුන්ගේ අසුන්ය.
මන්ත්‍රීවරුන්ට ආසන සකස් වී ඇත්තේ මේස සහ කළු පැහැ පදම් කළ සමින් නිම වූ ආසන පේළි පුළුල් සභා ගර්භය තුළ මාලකාකාරයෙන් පිහිටන පරිද්දෙනි. ආසන දහසය බැගින් ඇති දෙපාර්ශ්වයේ අවසන් පේළි දෙක හැරුණු විට එක් එක් පේළියේ ආසන විස්ස බැගින් ඇත. එය සකස් වී ඇත්තේ එක් කට්ටලයකට ආසන හතර බැගින් වූ කට්ටල පහ බැගිනි. කථානායකතුමාගේ දකුණු පසින් ඇති අසුන් ආණ්ඩු පක්ෂයට වෙන්කර ඇති අතර, සභා ගර්භයේ සීමා සලකුණේ සිට මේ පාර්ශ්වයේ පළමු පෙළේ සිවුවැනි ආසන කට්ටලයේ පළමුවැනි ආසනය ජනාධිපති අසුනයි. ඊළඟ අසුන අගමැති අසුනයි. ජනාධිපති අසුනට මුහුණලා අනෙක් පාර්ශ්වයේ අසුන් ගන්නේ විපක්ෂ නායකවරයාය. අග්‍රාමාත්‍යවරයාගේ දකුණු පසින් ඇති ඊළඟ අසුනේ සිටින්නේ සභානායකවරයාය.
පාර්ලිමේන්තුවේ අසුන් පනවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨත්ව පදනමින් වන අතර, හැම මන්ත්‍රීවරයෙකුහටම අසුන් වෙන් කෙරෙනුයේ කථානායකතුමා විසිනි. කථානායක අසුන දෙපස එක් පාර්ශ්වයක ආසන 116 බැගින් මන්ත්‍රීවරුන් 232 දෙනෙකු හට අසුන්ගත හැකි අයුරින් ඉඩ සලසා තිබේ.
සභා ගර්භයේ සීමා සලකුණු
ප්‍රධාන ප්‍ර‘වේශ ද්වාරයේ සිට සභා ගර්භයට විහිදෙන පියගැට පෙළට මදක් ඔබ්බෙන් දක්නට ලැබෙන්නේ ලෝහිත පැහැති විල්ලුද පලස මත තබන ලද නිකල් ලෝහයෙන් නිර්මිත ඍජුකෝණාකාර හැඩැති තහඩුවකි. මෙය සභා ගර්භයේ සීමාව සලකුණු කරයි.
මෙම ලෝහ පටියේ මුහුණත ප්‍රෞඪත්වය, චිරස්ථායත්වය සහ සෞභාග්‍ය සම්පන්න බවේ සම්ප්‍රදායික සංකේතයන්ගෙන් සියුම්ව කැටයම් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැරුණු විට අන් කිසිවෙකු හට හෝ මේ සබා සීමාවෙන් ඔබ්බට පිය නැගිය නොහැකිය. මහමැතිවරණයකට පසු පාර්ලිමේන්තුව රැස් වූ ඇසිල්ලෙහි මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීමට සූදානම්ව සිටින තැනැත්තකු හෝ තැනැත්තියක හෝ පාර්ලිමේන්තුව විසින් කැඳවන ලද වෙනත් පුද්ගලයකු හෝ හැර අන් සියල්ලෝම සබා සීමාව අසළ රැඳී සිටිය යුතුය. සබා සීමාවෙන් ඔබ්බෙහි එහි දෙපස අසුන් ගෙන සිටිනුයේ චේත්‍රධාරී සහ නියෝජ්‍ය චේත්‍රධාරීය.
සබා ගැබේ ඉහළ කොටස වෙන්වන්නේ පුද්ගලයන් 600 දෙනෙකු හට අසුන් පනවා ඇති මහජන ගැලරිය සඳහාය. මෙහි එපමණම පුද්ගලයින් සංඛ්‍යාවකට සිටගෙන සිටීමේ පහසුවද සලසා තිබේ. කථානායකතුමාගේ අස්න කෙළින් අනෙක් පාර්ශ්වයේ කථානායකතුමාගේ විශේෂ සම්භාවනීය අමුත්තන් හට වෙන් වූ ගැලරිය පිහිටා තිබේ. කථානායකතුමාගේ අසුනට ඉහළින් පිහිටි ගැලරියේ මාධ්‍ය‘වේදීන්ට අසුන් පනවා ඇත.
සභාව තුළ ශ්‍රවණ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වී ඇති අතර, ශබ්දය ප්‍රතිරාවය වීම අවම මට්ටමට අඩු කරනු ලැබ තිබේ. සබා ගැබේ සිට මෙන්ම ගැලරියේ සිට කථාවලට සවන්දිය හැකි වන පරිද්දෙන් ශබ්දය විහිදුවාලීම උදෙසා මයික්‍රොෙෆා්න සවිකර ඇත. දෙවැනි මහලේ පිහිටි වීදුරු මුහුණතකින් ආවරනය වූ ශබ්දය එළියට නොඑන සේ සකස් කළ කථා පරිවර්තකයන්ගේ කුටිවලට සියලු මයික්‍රොෆෝන් සම්බන්ධ කර ඇත.
සබා ගැබේ පැවැත්වෙන කථා වටහා ගැනීමට අසීරු මන්ත්‍රීවරුන්ගේ පහසුව තකා තමා කැමති භාෂාවෙන් සවන් දීමේ පහසුකම් තෝරා ගැනීම සඳහා වූ උපකරණ මන්ත්‍රීවරුන්ගේ මේසයට සවිකර ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්‘වයෙන්ම කථා පරිවර්තන පහසුකම් සලසා ඇති අතර, ශ්‍රවණාධාරයක් මගින් ඊට සවන් දිය හැකිය.
සභා ගර්භයට පසුව එක්කළ අංගයකි වීඩියෝ කැමරා සංවෘත පරිපථ පද්ධතිය. මේ කැමරා සවිකර ඇත්තේ සබා ගැබේ පසු පෙළට පිටුපසිනි. සීලිං ලාම්පුවලින්ද, උඩු මහලේ නොපෙනෙන සේ අසුරා ඇති ආලෝක ධාරාවලින් සහ යෝධ පොකුරු පහනින් ද සබා ගැබ ආලෝකවත් වේ.
සබා ගැබ දෙපස පිහිටි පුළුල් ආලින්දයක් ඔස්සේ මන්ත්‍රීවරුන්ට ඊට එළැඹිය හැකිය. මේ ආලින්දයන්හි බිම සකසා තිබෙන්නේ කඩුවෙල ප්‍ර‘දේශයේ ගල් වළවල්වලින් ලබාගත් ලා රෝස පැහැති මදින ලද කළුගල්වලිනි. ආලින්දය මට්ටමේම පිහිටි අගු ආවරණයකින් යුතු තණ බිමෙහි අරලිය ගස් පෙළික් සිටුවා තිබේ.
සමගාමීව ක්‍රියාකරන බිත්ති ඔරලෝසු දෙකක් පැහැදිලිව පෙනෙන ස්ථානයක රඳවා තිබේ. ගොඩනැගිල්ලේ විවිධ ස්ථානවල රඳවා තිබෙන ගණපූරණ සීනුවලින් විහිදෙන්නේ සැලළිහිණියාගේ නාදයයි. ඒ නාදය බිහි කරන ස්වීචයන් කථානායක නිලකාමරයේ මේසයේත්, සබා ගැබේ මහලේකම් මේසයේත් සවිකර තිබේ.