ශ්‍රී ලංකාවේ කාබනික නිෂ්පාදන ප්‍රමිතිකරණය හා සහතිකකරණය පිළිබඳව ලාංකේය ජනතාවගේ දැනුවත්භාවය සමස්තයක් ලෙස ගත් විට ඉතා අඩු ප්‍රවණතාවයක පවතින බව පැහැදිලි වෙයි. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ කෘෂි ව්‍යාපාර කළමනාකාර අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පුෂ්පා මල්කාන්ති මහත්මිය විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය කාබනික නිෂ්පාදන ප්‍රමිතිකරණය හා සහතිකකරණය පිළිබඳ බොහෝදෙනාගේ දැනුවත්භාවයට හේතු වනවා නිසැකය.
කාබනික ගොවිතැන නැතිනම් රසායනික භාවිතයෙන් තොර කෘෂිකර්මාන්තය නූතන ලෝකයේ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින හා දියුණු වෙමින් පවතින සංකල්පයකි. කාබනික ගොවිතැන යනු, පසේ, පරිසර පද්ධතියේ හා මිනිසුන්ගේ සෞඛ්‍යවත් පැවැත්ම තිරසාර කරන නිෂ්පාදන ක්‍රියාවලියකි. පර්යේෂණ ප්‍රතිඵල අනුව පසුගිය දශකය තුළ ලෝකයේ කාබනික නිෂ්පාදන හා කාබනික ආහාරවලට පවතින ඉල්ලුම වැඩිවෙමින් පවතී. මෙයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ සාමාන්‍ය ගොවිතැනෙන් නිපදවන ආහාර වලට වඩා කාබනික ගොවිතැනෙන් නිපදවන ආහාර වඩාත් හිතකර හා සෞඛ්‍යාරක්ෂිත බවට මිනිසුන් අතර පවතින විශ්වාසයයි.
කාබනික ආහාර යනු, කිසිදු රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව නිෂ්පාදනය කරනු ලබන හා සකසනු ලබන ආහාරයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 2017 වර්ෂයේ දත්තවලට අනුව ඇමෙරිකාව, කැනඩාව හා යුරෝපය තුළ කාබනික ආහාර වෙළෙඳාම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. වගකිවයුතු පාර්ශ්වයන් සඳහන් කරන පරිදි 2025 වනවිට ලෝකයේ කාබනික ආහාර සඳහා පවතින වෙළෙඳපොළ හා ඉල්ලුම ඇ.ඩො.බි. 320.5ක් පමණ වන බව ගණනය කර තිබේ.
FIBL (ජර්මන් කාබනික කෘෂිකාර්මික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ ප්‍රතිඵල ) දත්ත අනුව, 2008 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැනින් ක්‍රියාත්මක වූ බිම් ප්‍රමාණය හෙක්ටයාර 19,191කි. (මුළු වගා බිම් ප්‍රමාණයෙන් 0.8%) 2016දී එම ප්‍රමාණය හෙක්ටයාර 96,318ක් (එනම් මුළු වගා බිම් ප්‍රමාණයෙන් 3.5%ක්) පමණ වීමෙන් ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැනේ සැලකිය යුතු වර්ධනයක් දැකිය හැකිය.
එසේ වුවත්, කාබනික ගොවිතැනේ වර්ධනය හා එහි ඇති වැදගත්කම නිසා, බොහෝ නිෂ්පාදකයන් හා ව්‍යාපාරිකයන් පාරිභෝගිකයා නොමග යවා ලාභ ඉපයීමට උත්සාහ දැරීම සිදුවේ. එම නිසා වෙළෙඳ පොළ තුළ ව්‍යාජ නොවන කාබනික නිෂ්පාදන හඳුනාගැනීමේදී විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල පාරිභෝගිකයන්ට විවිධ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ.
එබැවින් ප්‍රමිතිකරණ ක්‍රම මොනවාද? කාබනික නිෂ්පාදන ප්‍රමිතිකරණයේදී මුහුණපෑමට සිදුවන අභියෝග හා ගැටලු මොනවාද සහ ප්‍රමිතිකරණය පිළිබඳව කාබනික නිෂ්පාදන නිපදවන්නන්ගේ දැනුම කොපමණද යන්න දැනගැනීම කාලීන අවශ්‍යතාවයක්ව පවතී.
කාබනික නිෂ්පාදන සහතිකකරණය යනු කුමක්ද?
කාබනික නිෂ්පාදන සහතිකකරණය යනු, කිසියම් විශේෂිත නිෂ්පාදනයක් සඳහා ස්වාධීන තුන්වෙනි පාර්ශ්වයක් මගින් ප්‍රමාණවත් විනිශ්චයක් සහ සහතිකයක් ලබාදීමට සිදුකරනු ලබන හඳුනාගත් ක්‍රියාවලියකි.
ලෝකයේ කාබනික නිෂ්පාදන ප්‍රමිතිකරණයේ හා සහතිකකරණයේ ස්වභාවය
කාබනික නීති හා රෙගුලාසීන්හි පර්යේෂණ ආයතනයේ සමීක්ෂණයකට අනුව, 2017 වනවිට ලෝකයේ රටවල් 87ක් පමණ කාබනික නිෂ්පාදන සඳහා ප්‍රමිතිකරණය භාවිත කරන අතර, තවත් රටවල් 18ක් පමණ ඒ සඳහා අවශ්‍ය රෙගුලාසි සකස් කරමින් පවතී.
කාබනික සහතිකකරණය භාවිත කරන බොහෝ රටවල් ආර්ථිකමය වශයෙන් ස්ථායී වූ ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල් වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එම දියුණු රටවල මිනිසුන්ගේ උසස් අධ්‍යාපනය හා සෞඛ්‍යයට හිතකර ආහාර පිළිබඳ ඔවුන් තුළ ඇති මනා අවබෝධය හා අවධානයයි.
සමීක්ෂණ වාර්තා මඟින් සඳහන් කරනු ලබන ආකාරයට කාබනික නිෂ්පාදන සහතික කිරීමට අදාළ කමිටු ගොඩනැගීමේ ශීඝ්‍ර වර්ධනයක් ලෝකයේ විවිධ රටවල සිදුවුවත්, ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ රටවල, ඇමරිකාව, ජපානය වැනි රටවල PGS ක්‍රමය, එනම් සහභාගීත්ව සහතිකකරණය (Participatory Guaranteed System) නම් සහතික කිරීමේ ක්‍රමය භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක් පවතී. PGS ක්‍රමයේදී නිෂ්පාදකයන් හා පාරිභෝගිකයන් විසින්ම නිෂ්පාදන තත්ත්ව හා ක්‍රියාවලි පවත්වාගෙන යන අතර, ඔවුන් විසින්ම නිරීක්ෂණය හා නිෂ්පාදන සත්‍ය වශයෙන්ම කාබනික නිෂ්පාදනදැයි තහවුරු කරගැනීම සිදුවේ. මෙම ක්‍රමය වඩාත් ඵලදායී, අඩු වියදම් වන අතර කාබනික ආහාර, පාරිභෝගිකයාට වඩාත් ළඟාකර ගත හැකි සහ දැරිය හැකි තත්ත්වයට පත්කරනු ලැබේ.
ආසියාව තුළ කාබනික සහතිකකරණය
මුළු ලොවම කාබනික වගාව සඳහා යොමු වීමේදී ආසියාවට ඉන් බැහැරව ක්‍රියාත්මක විය නොහැක. ආසියාවේ, මැලේසියාව, ඉන්දියාව වැනි දියුණු වෙමින් පවතින රටවල් පවා මේ වනවිට කාබනික සහතිකකරණය ආරම්භ කර තිබේ. විවිධ කාබනික සහතිකකරණ ක්‍රම අතුරින් ලෝකයේ අනෙකුත් කලාපවලට වඩා ආසියානු කලාපය තුළ PGS ක්‍රමයේ වැඩි භාවිතයක් පවතී. ලෝකයේ PGS ක්‍රමය වඩාත්ම භාවිත කරන රට වන්නේ ඉන්දියාවයි.
ආසියාතික රටක් වශයෙන් චීනය කාබනික නිෂ්පාදනයේ ප්‍රමුඛ ස්ථානයක සිටී. පර්යේෂකයන්ට අනුව චීනයේ මේ වනවිට කාබනික ආහාරවලින් පරිපූර්ණ රටක් වශයෙන් ගොඩනැගීම සඳහා විශාල වශයෙන් කාබනික නිෂ්පාදනයේ නව නිපැයුම් කෙරේ යොමුවෙමින් පවතී. ඔවුන් බලපොරොත්තු වන අන්දමට, එරට සම්පූර්ණ වගා බිම් ප්‍රමාණයෙන් 1/3ක් පමණ කාබනික ආහාර නිෂ්පාදනය සඳහා යොදාගැනීමට තීරණය කර ඇති අතර, ඒ සමගම චීනය ලෝකයේ විශාලතම කාබනික ආහාර නිෂ්පාදකයා බවට පත් වේ.
ශ්‍රී ලංකාවේ කාබනික සහතිකකරණය හා ප්‍රමිතිකරණය
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධිමත් කාබනික සහතිකකරණය ආරම්භ වූයේ 1970 දීය. නමුත් එම ක්‍රමය තුළ සහ පසුව පැමිණි විවිධ සහතිකකරණ ක්‍රම තුළ පැවැති බොහෝ අඩුපාඩු නිරවුල් කරමින් 2008දී ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ආයතනය(SLIS) මඟින් කාබනික නිෂ්පාදන සඳහා ජාතික ප්‍රමිතිකරණයක් ඉදිරිපත් කරන ලදී. මෙය කාබනික නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රමිතිකරණයයි.
කෙසේවුවද, පර්යේෂණවලට අනුව තවමත් ශ්‍රී ලංකාව තුළ විධිමත් ජාතික කාබනික ප්‍රමිතිකරණ හා සහතිකකරණ ක්‍රමයක් හා ඊට අදාළ කමිටුවක අවශ්‍යතාවය පවතී.
ආහාර කර්මාන්තය, කාබනික ගොවිතැන ලෙස පරිවර්තනය වීමේදී සාමාන්‍ය සාම්ප්‍රදායික වගා ක්‍රම භාවිතයෙන් ඉවත් වේ. බොහෝ පර්යේෂකයන්ට අනුව ශ්‍රී ලංකාව කාබනික ප්‍රමිතිකරණයේ හා සහතිකකරණයේ ඉදිරියට ගෙනයාමට වඩාත් සුදුසුම ක්‍රමය ලෙස සඳහන් කරන්නේ ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් හා පිළිගැනීමක් ඇති තුන්වන පාර්ශ්වයක සහතිකයක් ලබා ගැනීමයි.
වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ කාබනික සහතිකකරණය ජාත්‍යන්තර වෙළෙඳ පොළ සඳහා සහතිකකරණය සහ දේශීය වෙළෙඳපොළ සඳහා සහතිකකරණය වශයෙන් අංශ දෙකකින් ලැබේ.
ජාත්‍යන්තර වෙළෙඳ පොළ සඳහා කාබනික නිෂ්පාදන සහතිකකරණයේදී, IFOAM (Inter National Federation of Organic agri Moment) හා Codex Aliment Arius මඟින් ඊට අදාළ රෙගුලාසි හා මූලික ප්‍රමිතීන් නියම කරනු ලබයි.
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සඳහා කාබනික නිෂ්පාදන සහතිකකරණයේ යෙදෙන නියෝජිත ආයතන 07ක් ක්‍රියාත්මක වන අතර, දේශීය වෙළෙඳ පොළේ කාබනික නිෂ්පාදන සහතිකකරණය සඳහා සංවිධාන 04ක් පමණක් ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සඳහා කාබනික නිෂ්පාදන සහතිකකරණයේ යෙදෙන නියෝජිත ආයතන 07 වන්නේ, The Institute for Market Ecology (IMO,ස්විට්සර්ලන්තය) NASAA (ඔස්ට්‍රේලියා), Naturland (ජර්මනිය), EcoCert (ජර්මනිය), Demeter and Bio Suisse (ස්විට්සර්ලන්තය), කාබනික ගොවීන් හා නිෂ්පාදකයන්ගේ සමාගම (Organic Farmers and Growers Ltd (එක්සත් රාජධානිය) සහ Control Union (SKAL, නෙදර්ලන්තය).
වසර ගණනාවක් තිස්සේ මෙරට අපනයන ක්ෂේත්‍රය තුළ කාබනික නිෂ්පාදන රැසක් අපනයනය සිදුවෙමින් පවතී. ආසියානු කලාපය තුළ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සඳහා කාබනික නිෂ්පාදන ලෙස තහවුරු කරන ලද හා සහතික කරන ලද තේ හා කුරුඳු හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ශ්‍රී ලංකාවයි. මේ වනවිට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් යුරෝපීය සංගමයේ තුන්වෙනි ලෝකයේ රටක් ලෙස ලියාපදිංචි වීම සඳහා සහ එමඟින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය පාලනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට සැලසුම් සකස් කරමින් පවතී. මෙම ක්‍රියාවලිය මෙරට කාබනික නිෂ්පාදන සහතිකකරණය සඳහා වැයවන වියදම අඩු කිරීමටත්, කාබනික නිෂ්පාදනවලට යුරෝපීය සංගමයේ රටවල වෙළෙඳ පොළට පිවිසීමටත් උපකාරී වේ. ප්‍රධාන වශයෙන්ම කාබනික නිෂ්පාදන අපනයනයේදී බලපාන තීරුබදු ගැටලු අවම කිරීමටත්, එතුළින් දේශීය අපනයනකරුවන්ට නිෂ්පාදන සඳහා උපරිම මිලක් සමගින් ජාත්‍යන්තර වෙළෙඳ පොළට පිවිසීම දිරිගැන්වීමත් සිදු වේ.
මෙරට දේශීය වෙළෙඳ පොළ තුළ කාබනික නිෂ්පාදන සහතිකකරණය සඳහා The Control Union, PGS, SLSI හා SriCert යනුවෙන් සහතිකකරණ පද්ධති 4ක් ක්‍රියාත්මක වේ. මෙම ක්‍රම අතුරින් වඩාත් ප්‍රශස්ත පරීක්ෂණ තත්ත්ව යටතේ පාලනය වන The Control Union හා SLSI යන ක්‍රම වඩාත් පිළිගත් ක්‍රම ලෙස සැලකේ. SriCert යනු ශ්‍රී ලංකා රජයට සම්බන්ධ නොවූ පෞද්ගලික සහතිකකරණ ක්‍රමයක් වන අතර, PGS ක්‍රියාවලිය අඩු විශ්වාසදායී වුවත් එය නිෂ්පාදකයන්ට හා පාරිභෝගික ප්‍රජාවට වඩාත් සමීප හා ප්‍රායෝගික වූ ක්‍රමයකි.
ශ්‍රී ලංකාවේ 2017 හා 2018 වර්ෂවලදී රත්නපුර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වලින් අහඹු ලෙස තෝරාගත් ගොවීන් 300 දෙනෙක් යොදාගෙන කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව කාබනික නිෂ්පාදන සහතිකකරණය පිළිබඳ දැනුමක් ඇත්තේ සාපේක්ෂව 7%ක ගොවීන් පිරිසකට පමණි. මෙරට දේශීය වෙළෙඳ පොළ තුළ ක්‍රියාත්මක වන කාබනික සහතිකකරණ ක්‍රම 04 අතුරින් PGS හා SriCert ක්‍රම භාවිත කරන ප්‍රතිශත පිළිවෙළින් 2.4%ක් හා 1.3%ක් වේ. බොහොමයක් ගොවීන් (49.4%ක් පමණ දෙනා) සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් මිදී කාබනික කෘෂිකර්මාන්තයට යොමු වීමට හා කාබනික නිෂ්පාදන සහතිකකරණයට යොමු වීමට කැමැත්තක් දක්වයි.
නමුත්, කාබනික ගොවිතැනේදී සිදුවන අස්වනු හා ආදායම අඩුවීම, කාබනික නිෂ්පාදන සඳහා දේශීය වෙළෙඳ පොළ තුළ දැනට පවතින අඩු ඉල්ලුම, සහතිකකරණ ක්‍රියාවලිය පිළිබඳ පවතින අඩු දැනුවත්කම සහ සහතිකකරණ ක්‍රියාවලියේ ඇති සංකීර්ණතාව හා ඒ සඳහා යන වියදම වැනි හේතු ඔවුන්ගේ එම තීරණයට බාධක වශයෙන් පවතී.
පර්යේෂණයේදී ගොවීන්ගෙන් ලබාගත් තොරතුරු අනුව පැහැදිලි වන කරුණක් වන්නේ, කාබනික සහතිකකරණය ශ්‍රී ලංකාවේ ගොවීන් අතර එතරම් ජනප්‍රිය නොවන සංකල්පයක් බවයි. මෙරට බොහොමයක් ගොවි ජනතාවගේ අඩු අධ්‍යාපන මට්ටමත්, බොහොමයක් ගොවීන් දේශීය වෙළෙඳ පොළ සඳහා පමණක් නිෂ්පාදනය කරන කුඩා පරිමාණ ගොවීන් වීමත් මෙම තත්ත්වයට හේතු වී තිබේ.
එමෙන්ම මෙම කුඩා පරිමාණ ගොවීන් තුන්වන පාර්ශ්වයක් මගින් සහතිකයක් ලබාගැනීමේදී අවශ්‍ය කරන ලියකියවිලි සඳහා වැයවන අධික වියදම ඔවුන්ට දරාගත නොහැකි මට්ටමක පවතී. එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයේදී ඇතිවන අපහසුතා, ආදායම අඩු කිරීමට හේතුවන අඩු අස්වැන්න, අඩු වෙළෙඳ පොළ අවස්ථා යන කරුණු ගොවීන් කාබනික ගොවිතැන සඳහා යොමු වීම වළක්වාලමින් තිබේ.
එබැවින් ගොවීන් හට පහසු හා අඩු පිරිවැය සහතිකකරණ ක්‍රියාවලියක් ඇති කිරීම, එම සහතිකකරණ ක්‍රියාවලි පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීම, කාබනික සහතිකකරණයට අවශ්‍ය වටපිටාව ගොඩනැගීම හා සහතික කරන ලද කාබනික නිෂ්පාදන සඳහා වඩා හොඳ වෙළෙඳ පොළ අවස්ථා නිර්මාණය කිරීම යන කාරණා මගින් කාබනික නිෂ්පාදන සහතිකකරණ ක්‍රියාවලිය සඳහා ගොවීන් යොමුවීම දිරිගැන්විය හැකිය.
සටහන බෙලිහුල්ඔය එස්. රත්නායක