ශ්‍රී ලංකාවේ ඇප නීතිය පිළිබඳ තවදුරටත්


ශ්‍රී ලංකාවේ ඇප නීතිය සම්බන්ධයෙන් හා අධිකරණයේ ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව අතර තිබෙන දැනුවත් භාවය අඩුය. මේ නිසාම ඇති කරගන්නා නීතිමය ප්‍රශ්නද බහුලය. එම නිසා මේ පිළිබඳ සවිස්තරාත්මක වූ විග්‍රහයක් ගෙන එනු ලබන්නේ නීතිඥ අරුණ පතිරණ ආරච්චි මහතා විසිනි.

ශ්‍රී ලංකාවේ නීතිය හුදෙක්ම රෝම ලන්දේසි නීතියේ ආභාෂය සමග බද්ධව පැවතීමත්, අපරාධ හා සිවිල් නීතිය ලෙස දෙකොටසකට ඛණ්ඩනය වීමත් සමගම අපරාධ නීතියේ දැක්වෙන සුවිශේෂ කාරණාවක් ලෙස ඇප පිළිබඳ රීතිය හුවා දැක්විය හැකිය. මෙහිදී දැකිය හැකි සුවිශේෂී කාරණාව වන්නේ ශ්‍රී ලංකාවේ ඇප සම්බන්ධව බල පැවැත්වෙන නීතිය 1997 අංක 30 දරණ ඇප පනතේ මෙලෙස සඳහන් වීමයි. 
වරදක් සිදු කිරීමෙහිලා සම්බන්ධ වී ඇති බවට හෝ වරදක් සිදු කර ඇති බවට සැකකරනු ලබන හෝ චෝදනා ලැබ සිටින තැනැත්තන් ඇප පිට නිදහස් කිරිම සඳහාද, අපේක්ෂිත ඇප දීම සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිසද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි. 
 
ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ දැක්වෙන පරිදි අපරාධ නීතියේ කාර්ය පටිපාටික නීතිය අන්තර්ගත වනුයේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේය. හුදෙක්ම එකී අපරාධ නඩු විධාන සංග්‍රහයේ දක්නට ලැබෙන වරදවල් ඇප දිය හැකි වරදවල් මෙන්ම ඇප දිය නොහැකි වරදවල් ලෙස දෙකොටසකට ඛණ්ඩනය කොට තිබේ. 1997 අංක 30 දරන ඇප පනත ගත්කල එහි සම්මත විධි විධාන අනුව ඇප දීම රීතිය ලෙසත්, ඇප නොදීම ව්‍යතිරේඛය ලෙසත් සැලකීම කරනු ලැබේ. 
 
ඇප දිය හැකි වරදවල් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 402 වැනි වගන්තිය අදාළ කරගත හැකිය. ඇප දිය නොහැකි වරදවල් සම්බන්ධයෙන් වන විට එම වරදට අදාළ විමර්ශන කටයුතුවල ප්‍රගතිය හෝ තත්ත්වය බලා ගරු අධිකරණයේ අභිමතය පරිදි ඇප ලබාදිය හැකිය. 
 
ඇප නීතිය පිළිබඳව සලකා බැලීමේදී සුවිශේෂීම තත්ත්වයක් වනුයේ පොලිස් ස්ථානයකදී පොලිස් ස්ථානාධිපතිවරයාට ඇතැම් වරදවල් සම්බන්ධව ඇප ලබාදීමේ බලයක් පැවතීමය. එහිදී 1997 අංක 30 දරන ඇප පනතේ 04 සහ 6 (1) වැනි වගන්තිවල ප්‍රතිපාදන ඒ සම්බන්ධයෙන් අදාළ වනු ඇත.
 
මෙවැනි අවස්ථාවකදී අදාළ පොලිස් ස්ථාන භාර නිලධාරීවරයාට ඇප ලබා දීමේදී එසේ ඇප ලබා දීමෙන් අනතුරුව එම ඇප ලබාදීම හේතු කොටගෙන යම් මහජන කැළඹීමක් ඇති වන බවට හේතු කාරණා ඇත්නම් ඇප ලබා නොදී වරදකරු හෝ යම් සැකකරන පුද්ගලයෙකු අදාළ බල ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කළ හැකිය. එවිට ඇප පනතේ 7 වැනි හෝ 14 වැනි වගන්තීන්හි විධි විධානයන් ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයාට කටයුතු කළ හැකිය. යම් හෙයකින් පොලිස් ස්ථානයකදී ඇප බැඳුම්කරයකට යටත්ව මුදා හරින වරදකරු හෝ සැකකරු ඔහුට අධිකරණයේ පෙනී සිටීමට දන්වන ලද දිනයේදී අධිකරණයේ පෙනී නොසිටින්නේ නම් ඇප පනතේ 6(1) වැනි වගන්තිය ප්‍රකාරව ඔහු හෝ ඇය නීතිය ඉදිරියේ වරදකට වරදකරු වනු ඇත. එසේ වරදකරු වූයේ නම් මාස 6ක ලිහිල් සිර දඬුවම් හෝ රුපියල් 1000කට නොඅඩු යන දඬුවම්වලින් දඬුවම් කළ හැකිය. 
ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ හුදෙක්ම ඇප ලබා ගැනීම යනු සේවාදායකයා හා නීතිඥවරයා අතර ගනුදෙනුව දැඩි ශක්තිමත් තත්ත්වයකට පත්වීමට පවා බලපා තිබේ. 
ඇප ලබා ගැනීම එතරම්ම වටිනා සුවිශේෂී තත්ත්වයක් වන්නේ එබැවිනි. යම් අපරාධයකට වරදකරුවෙකු වූ හෝ සැකකරුවෙකු වූ පුද්ගලයෙකු ඇප මත නිදහස් වීම සඳහා වත්මන වන විට  ඕනෑම මුදලක් වියදම් කිරීමට කැමති තත්ත්වයට පත්ව තිබේ. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන වරදවල්වලට අමතරව සුවිශේෂී නීති යටතේ ඇප ලබාගැනීමට අදාළ වරදවල් එකී නීති තුළ අන්තර්ගත කොට ඇත. එකී සුවිශේෂී නීති ලෙස, 
1966 අංක 18 දරන තුවක්කු ආඥා පනත, 
 
විෂ වර්ග අබිං හා අන්තරාදායක ඖෂධ ආඥා පනත, 
රේගු ආඥා පනත
ගිනිඅවි ආඥා පනත 
ආගමන හා විගමන පාලක පනත 
අල්ලස් පනත 
පුරාවිද්‍යා පනත දැක්විය හැකිය. 
 
ඕනෑම වරදකට වරදකරුවෙකු වූ හෝ සැක කරනු ලබන තැනැත්තෙකු සම්බන්ධයෙන් ඇප අයදීමක් කරනු ලබන්නේ නම් එහිදී විශේෂයෙන්ම වරදේ බරපතළකම හා ස්වභාවය අනුව මුල් අවස්ථාවේම ඇප ඉල්ලීම කරනු ලබන්නේ කුමන අධිකරණය ඉදිරියේද යන්න තීරණය කළ යුතුය. වරදේ ස්වභාවය හා බරපතළකම අනුව ඇප ඉල්ලීම කළ හැකි අධිකරණ පනත් පරිදි දැක්විය හැකිය. ඒ අනුව ඇප ඉල්ලීම, 
මහේස්ත්‍රාත් අධිකරණය මහ අධිකරණය අභියාචනාධිකරණය ඉදිරියේ කළ හැකිය. 
 
සුවිශේෂී තත්ත්වයන් යටතේ එනම් මිනී මැරීම නමැති චෝදනාවකට චෝදනා ලැබ සිටින තැනැත්තන්ට ඇප අයැදීමක් කළ හැකි වන්නේ මහාධිකරණය ඉදිරියේ පමණි. යම් හෙයකින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූයේ නම් ඊට අදාළ අභියාචනය අභියාචනාධිකරණය ඉදිරියේ කළ හැකිය. 
තවද, මෙම ලිපිය කියවන ඔබ විශේෂයෙන්ම දැනගත යුතු කාරණාවක් වන්නේ යම් වරදකරුවෙකුට හෝ යම් වරදකට සැකකරන පුද්ගලයෙකුට යම් අධිකරණයක් විසින් ඇප නියම කිරීමේදී වරදේ ස්වභාවය හා බරපතළකම මත එම වරදකරු නැවත අධිකරණයට ගෙන්වා ගත හැකි වන ආකාරයට සුදුසු ඇප මත මුදා හැරීමට විනිශ්චයාධිකරණය තීරණය කරයි. 
එහිදී වරදකරුගේ විදේශ ගමනද තහනම් කරනුයේ ඔහු හෝ ඇය රටින් පිටවීම වළක්වාලීම සඳහාය. අධිකරණයේදී නියම කරන ඇප වර්ග කිරීමේදී පහත පරිදි දැක්විය හැකි ය. 
මුදල් ඇප : අධිකරණය නියම කරන ඇපයක් මුදලින් තැබීම. 
සහතික ඇප : මුදලින් ඔප්පුවකින් ඇප තැබීම. 
ශරීර ඇප : සැකකරු හෝ විත්තිකරු වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකු අධිකරණය විසින් නියම කරන වටිනාකමට බැඳී අත්සන් කිරීම. 
පුද්ගලික ඇප : නියමිත වටිනාකමට සැකකරු හෝ විත්තිකරු විසින් අත්සන් තැබීම. 
 
මෙලෙස ඇප තැබීමේදී ඇපකරුවන් සිහියට නගා ගත යුතු කාරණාව වන්නේ ගරු අධිකරණයේ ඇපකරුවන් ලෙස අත්සන් තැබූ විට ඔවුන්ට පැවරෙන මූඛ්‍ය කාර්ය වන්නේ නිසි දිනයේදී චූදිත ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එසේ යම් දිනයකදී චූදිතගේ අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු හෝ ඇය අධිකරණයේ පෙනී නොසිටින්නේ නම් ඒ බවද ගරු අධිකරණයට නොපමාව දැනුම් දිය යුතුය. 
1997 අංක 30 දරන ඇප පනතේ සඳහන් ආකාරයට යම් අයෙකුට කරනු ලබන මුදල් ඇපය යම් ලෙසකින් එකී චූදිත එම වරදින් නිදහස් කොට නිදහස් කළේ නම් නැවත අධිකරණයෙන් ලබාගත හැකි වනු ඇත. එලෙසම යම් වටිනාකමකට යටත්ව ශරීර ඇප තැන්පත් කිරීමේ බලාපොරොත්තුව වනුයේද යම් හෙයකින් ඇපකරුවන්ගේ කාර්යභාරය ඉටු නොකළේ නම් එම මුදල රාජසන්තක කොට මුදලින් හෝ ඇපකරුවන්ගේ යම් දේපොළක් තහනමට ගෙන හෝ අධිකරණය මගින් අයකර ගැනීමය. නොඑසේ නම් ඇපකරුවන්ට සිර දඬුවම් නියම කිරීමට ගරු අධිකරණයට හැකියාව ලැබෙනු ඇත. 
1997 අංක 30 දරන ඇප පනතේ 7 (1) වන වගන්තියේ දැක්වෙන පරිදි යමෙකු ඇප මත මුදා හැරීමේදී පහත පරිදි කොන්දේසිවලට යටත්ව මුදා හැරිය හැකිය. 
 
(අ) අවශ්‍ය වූ විට අධිකරණයේ පෙනී සිටීම සඳහා එම තැනැත්තා විසින් දෙන ලද පොරොන්දුවක් මත. 
(ආ) එම තැනැත්තා විසින්ම දෙනු ලබන බැඳුම් ඔප්පුවක් මත. 
(ඇ) ඇපකරුවන් එක් අයෙකු හෝ ඊට වැඩි ගණනක් සමග එම තැනැත්තා විසින් බැඳුම්කරයක් ලියා අත්සන් කිරීම මත. 
(ඈ) අධිකරණය විසින් සාධාරණ යැයි තීරණය කරනු ලබන මුදලක් එම තැනැත්තා විසින් තැන්පත් කිරීම මත. 
(ඉ) අධිකරණය විසින් ආඥා කරනු ලබන යම් විස්තරයකට ඇති සාධාරණ සහතික ඇපයක් එම තැනැත්තා විසින් ඉදිරිපත් කිරීම මත. 
1997 අංක 30 දරන ඇප පනතේ දැකිය හැකි තවත් සුවිශේෂී තත්ත්වයක් වන්නේ අපේක්ෂිත ඇප ප්‍රදානයයි. 
 
සාමාන්‍ය සමාජයේ ජිවත් වන ඔබ යමෙකු ප්‍රබල වරදක් සඳහා අත්අඩංගුවට පත් වූ විට සොයා යන්නේ නීතියේ පිළිසරණ පමණි. එහිදී ඇප දිය හැකි වරදක් නම් අත්අඩංගුවට පත් වූ පසු අධිකරණයෙන් කරනු ලබන ඇප ඉල්ලීමකදී ඇප ලබා ගත හැකි වුවත් යම් වරදක් සිදු වී එයම අත්අඩංගුවට පත් වුවහොත් එය ඇප දිය නොහැකි තත්ත්වයක් බව දැනගත් විගස ඇප පනතේ 21 වැනි වගන්තිය යටතේ ක්‍රියා කරමින් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. 
 
යම් විටෙක අපේක්ෂිත ඇපයක් අයදා හිමි වීම තුළ යම් ලෙසක එම වරදට අත්අඩංගුවට පත් වීම එතරම් භයානක නොවනු ඇත. තවද, යම් පහළ අධිකරණයකින් ලබාදුන් නියෝගයකට එරෙහිව යම් අභියාචනයක් යම් චූදිතයෙකු කරන්නේ නම් එකී අභියාචනයට යටත්ව ඇප නියම කළ යුතු බව 1997 අංක 30 දරන ඇප පනතේ 19 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව පැහැදිලිය. 
මුල් අවස්ථාවේම ඇප හිමි වීම  ඕනෑම චූදිතයෙකු බලාපොරොත්තු වන දෙයකි. වත්මන් තත්ත්වය වන්නේ නඩුවක අවසානයේ ඔහු හෝ ඇය නිදොස් කොට නිදහස් කරනවාටත් වඩා වැඩි උද්යෝගයෙන් ඇප ලබා ගැනීමේදී සේවාදායකයා කටයුතු කිරීමයි. එබැවින් අද වනවිට ඇප ලබා ගැනීමට  ඕනෑම මුදලක් වියදම් කරලීමට තරම් තත්ත්වයකට රටේ ජනතාව පත්ව ඇති බවද පෙනේ. 
තවද මුල් අවස්ථාවේදීම ඇප ලබා දීම නීතිඥවරයෙකු සතු සුවිශේෂී හැකියාවක් බවටද සේවාදායකයන් වටහා ගෙන ඇති බවද පෙනේ.
 
නඳුන් ශ්‍යාමාල්


Recommended Articles