ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හා දේශීය සංස්කෘතික ලකුණ වූ බෞද්ධ භික්‍ෂුව දේශපාලනය තුළ අවභාවිත වීම


අද නිකිණි පොහෝ දිනයයි. බුද්ධ චරිතය හා සබැඳි සිදුවීම් දාමයක් සෑම පුරපොහොයක්ම හා බැඳී ඇති බැවින් මෙරට බෞද්ධයන්ට සෑම පොහෝ දිනයක්ම ආගමික වශයෙන් වැදගත් වන්නේය. ඒ සඳහා බොදුනුවන්ගේ මගපෙන්වන්නා හා මෙහෙයුම්කරුවා වන්නේ භික්ෂූන් වහන්සේය. මේ සුවිශේෂී මෙහෙවර සියවස් ගණනාවක් පුරා මෙරට බෞද්ධ සමාජය හා බද්ධව පැවතුණේ ගහට පොත්තක් පරිද්දෙනි. එහෙත් මේ වන විට එම මෙහෙවර යටපත් කරමින් භික්ෂු සමාජය තුළ පැනනැගී ඇති භේදභින්නතාවයන් හේතුකොටගෙන ශ්‍රේෂඨ බෞද්ධ දර්ශනය අන්‍යාගමිකයන් ඉදිරියෙහි හෑල්ලුවට පත්වී තිබේ. මෙයට මූලික හේතුව වන්නේ වර්තමානයේ ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙරට දේශපාලනය පිළිබඳව සවිඥානික නොවී සිය ශාසනික හා ආගමික මෙහෙවර යටපත් කර දමා චීවරය දේශපාලනයට උකසට තැබීමය. තෙවලා බුදු දහම පවතින මේ ධර්මද්වීපයේ බෞද්ධ සමාජ සංස්කෘතිය මෙවන් ශෝචනීය තත්ත්වයකට පත්වීම කනගාටුදායකය. එමෙන්ම අනතුරුදායකය. එබැවින් මේ පිළිබඳව බෞද්ධ සමාජය තුළම විද්වත් කතිකාවක් ගොඩනැගිය යුතුම වේ. ඒ සඳහා සමාරම්භයක් ලෙස %‘අද’ සමගින් සාමීචියේ යෙදෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය කුඩාකත්නෝරුවේ විනීත හිමියන්ය.

ලාංකේය සමාජයේ දේශපාලනය එයින් යැපෙන්නන්ට හා වන්දිභට්ටකම් කරන්නන්ට ආකර්ෂණීය වූත්, දශක ගණනාවක් අර්ථවත් යමක් සිදුනොකොට ඇතැමුන් විසින් අවභාවිත කිරීම නිසා කලකිරුණු අය පිළිකුල් කරන්නා වූත්, යහපත් දේශපාලන සංස්කෘතියක් ඇතිවේ යැයි නිබඳව ප්‍රාර්ථනා කරන අයට සිහිනයක් පමණක් වූත් සංකල්පයක් ලෙස හැඳින්වීම සාධාරණයි. කෙසේවුවත් අපේ රටේ භික්‍ෂූන් වහන්සේලාගේ දේශපාලන භූමිකාව අතීතයේදී සුවිශේෂී යහපත් බලපෑමක් කරනු ලැබුවා.                  

ලාංකේය භික්‍ෂු ශාසනය නිල වශයෙන් ස්ථාපිත කරන මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට මෙරට දේශපාලන, ආර්ථික, සමාජ, ආගමික හා සංස්කෘතික කාර්යභාරය ඉටුකිරීමට උපදේශකත්වයෙන් දායක වුණා. එම මග ගත් පසුකාලීන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා රාජ්‍ය පාලනය උදෙසා අවවාද අනුශාසනා කිරීම සහ ජාතියට මගපෙන්වීම ස්වකීය වගකීමක් ලෙසට සැලකුවා. ඒ නිසාම මෙරට ඉතිහාසයේ භික්‍ෂූන් වහන්සේ දේශපාලනික වශයෙන් බලපෑම්සහගත භූමිකාවක යෙදුණේ ස්වකීය ලාභාපේක්ෂාවෙන් තොර ශාසනයේ සහ පොදු මහජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙනි.          

ලාභාපේක්ෂාවෙන් භික්‍ෂූන් දේශපාලනය කළ විට ශාසනයේත්, පොදු ජනතාව තුළත් අර්බුද ඇතිවී තිබෙන බව ඉතිහාසයේ පවා සඳහන් වෙනවා. අනුරාධපුර යුගයේ කුප්පික්කල විහාරවාසී තිස්ස හිමියන් වළගම්බා රජතුමාට රාජ්‍ය බලය ලබාගැනීමට කළ උදව්වට ප්‍රතිඋපකාර වශයෙන් පෞද්ගලික විහාරයක් පිළිගැනීම නිසා මෙරට පළමු සංඝ භේදය ඇති වුණා. කෙසේ වෙතත් අතීතයේ බොහෝ භික්‍ෂූන් වහන්සේලා සිය ආධ්‍යාත්මික ශික්ෂණය නොනසාගෙන පොදු අරමුණු වෙනුවෙන් මෙරට දේශපාලනයට කරන ලද යහපත් බලපෑම් නිසා මෙරට සංස්කෘතිය සභ්‍යත්වය හා සමාජ ආරක්ෂාවට විශාල පිටිවහලක් වුණා.               

අපේ ඉතිහාසයේ සඳහන් පරිදි භික්ෂුව දැහැමි රජුන් තනන නොදැහැමි රජුන් නෙරපා හරින ප්‍රධාන බලවේගයයි. ආධ්‍යාත්මික වශයෙන් ශික්ෂණයක් සහිතව මධ්‍යස්ථ ආකල්පයකින් කටයුතු කරමින් භික්‍ෂූන් වහන්සේ ගොඩනගාගත් පෞරුෂය එයට හේතුවයි. එය අව්‍යාජ මෙන්ම අවංක වූ නිසා ජනතාව තුළ භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව  විශ්වාසය ගොඩනැගුණා. ඒ නිසා දහමත්, බෞද්ධ සංස්කෘතියත් පෝෂණය වී ජාතිය සුරක්ෂිත වුණා. බටහිර අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයන්ට තමන්ගේ අධිරාජ්‍යවාදී අභිලාසයන් වූ මෙරට ආර්ථික සම්පත් සූරා කෑම, මිත්‍යාදෘෂ්ටි ආගම්කරණය හා ස්වකීය බලයට මෙරට යටත්කර ගැනීමට වූයේ අතීතයේ  භික්ෂූන් වහන්සේලාගේ ගරුකටයුතු මැදිහත්වීම නිසයි. එයින් පැහැදිලි වන්නේ ඓතිහාසික වශයෙන් භික්‍ෂූන් වහන්සේ විෂයෙහි මෙරට ජනතාව තැබූ විශ්වාසයයි. එවන් විශ්වාසයක් ගොඩනැගෙන පරිදි භික්‍ෂූන් වහන්සේලා ඉටුකළ මධ්‍යස්ථ දේශපාලනික කාර්යභාරය ඓතිහාසිකයි. වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්, කුඩාපොළ හිමියන් හා කොබ්බෑකඩුවේ හිමියන් වැනි භික්‍ෂූන් වහන්සේලා අධිරාජ්‍යවාදීන්ට අභියෝග කළේ තමන්ට රජ වීමට නොවේ, එදා පැවති ව්‍යසනයෙන් රට ජාතිය ආගම මුදාගැනීමේ අවංක චේතනාවෙනුයි.             

අධිරාජ්‍යවාදීන්ගේ අරමුණ භූමිය ආක්‍රමණය කිරීම පමණක්ම නොවෙයි.දේශපාලන බලය හා ආගමික ආකල්ප සමාජගත කිරීමත් ඔවුන්ෙග් ප්‍රධාන ඉලක්ක වුණා. දශක තිහක් පුරා මෙරට පැවතුණ ඊලාම් ත්‍රස්තවාදය නිසා උතුරේ හින්දු දෙමළ ප්‍රජාවට පවා ආගමික හා සාමාජීය වශයෙන් බලපෑම් ඇති වුණා. සමස්තයක් ලෙස අධිරාජ්‍යවාදීන් අපේ රටේ බලහත්කාරයෙන් සමාජගත කළ ආගමික, දේශපාලනික හා ආර්ථික කාරණා අදටත් පැවතියත් ඔවුන්ට එය බහුතර සිංහල සමාජයෙහි ස්ථාවර කිරීමට නොහැකි වුණේ මෙරට පාලකයන් වගේම බහුතර සිංහල සමාජයත් භික්‍ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව කටයුතු කළ නිසයි. මේ අනුව බෞද්ධ භික්‍ෂුව ලංකාවේ අනන්‍යතාව හා දේශීය සංස්කෘතික ලකුණ බවට පත් වුණා.

නීතියට වඩා සංස්කෘතිය බලවත් බව දේශපාලකයන්ම පවසා තිබෙනවා. මෙරට භික්‍ෂුවගේ පසුබිමත් සංස්කෘතික උරුමයත් එයින් පැවසෙනවා. නීතියට වඩා ඉහළින් සංස්කෘතිය පවතී යන සත්‍යය මහා සංඝරත්නයට අදටත් වලංගුයි. එය සමාජ සංස්කෘතිය, සදාචාරය ආරක්ෂා කිරීමට ඇති වගකීම මිස නොහික්මුණු අරමුණු හෝ චර්යාවන් ප්‍රකට කරමින් ආත්මාර්ථකාමී දේශපාලන අභිලාසයන් මුදුන්පමුණුවා ගන්නට ක්‍රියාත්මක කරන වල්බූරු නිදහසක් නොවේ. මෙය අද වන විට සක්‍රීය දේශපාලනයේ යෙදෙන බොහෝ භික්‍ෂූන් වහන්සේලා වටහා නොගෙන තිබීම මේ පිරිහීමට හේතුවයි.  නිදහසින් පසුව මෙරට දේශපාලනය කෙරෙහි භික්‍ෂූන්ගේ මැදිහත්වීම ඉතා සංකීර්ණයි. මන්ද අධිරාජ්‍යවාදී යුගයේදී පිරිහී ගිය ශාසනය සංඝරාජ හිමියන්ගේ මැදිහත්වීෙමන් යළි ස්ථාපිත වුණත් ශාසනික හරය ආරක්ෂා නොවන අක්‍රමවත් පසුබිමක එය පැවතීම නිසා අසංවිධානාත්මක ලක්ෂණ ප්‍රකට කරනු ලැබූවා. එය සංඝරාජ හිමියන්ගේ අපේක්ෂාව නොවේ. ‘%ලෞකික ලාභ උපද්දවන මග එකක්, නිවන් මග තවත් එකක් ’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද දහම තෝරා බේරාගෙන නිවන් මග යෑම වෙනුවට අතිශය ලෞකික අරමුණු වෙනුවෙන් පමණක්ම ඇතැම් භික්‍ෂූන් වහන්සේලා දේශපාලනික වශයෙන් පෙනී සිටීම  නිසා එයින් භයානක ප්‍රතිඵල නිර්මාණය කෙරෙනවා. මෙයට හොඳම නිදසුන වශයෙන් බණ්ඩාරනායක මහත්මයාගේ ඝාතනය පෙන්වා දිය හැකියි. එම ඝාතනයට සැකකරුවන් වූ සෝමාරාම, බුද්ධරක්ඛිත වැනි අය එම වරද කළත්, නැතත් එය එතැනට තල්ලු වී ගියේ භික්‍ෂු දේශපාලනය අවභාවිත වීම නිසා බව පැහැදිලියි. අනගාරික ධර්මපාලතුමා ප්‍රකාශ කළ ආකාරයටම සුද්දා රට දී ආපසු ගියත් ඔවුන් ඇති කළ කළු සුද්දන්ගේ දේශපාලනයේ අතකොළු බවට භික්‍ෂුව පත්වුණා. එහෙත් ඇතැම් කාලවල අවශ්‍යතාවන් අනුව භික්‍ෂූන් වහන්සේලා සද්භාවයෙන් යුතුව දේශපාලනයේ නිරත වුණ බව පෙනී යනවා. එයට හේතුව එම කාලවකවානුවන් හීදී විවිධ ස්වරූපයෙන් නිහඬ ආක්‍රමණිකයා විසින් රටත්, ජාතියත් ගිලගැනීමට දැරූ ප්‍රයත්නයන් නිසයි. අදටත් එම අනතුර සම්පූර්ණයෙන්ම පහවී නැහැ. එවන් පසුබිමක වර්තමාන දේශපාලනයෙහි යෙදෙන භික්‍ෂූන්ගේ අවිචාරවත් හැසිරීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සමස්ත භික්‍ෂු සමාජයම අපකීර්තියට පත්කරන පරිද්දෙන් දැඩි ලෙස විවේචන ඉදිරිපත් කරන්නන්ට වෙස් වළාගත් ආශිර්වාදයක් වී තිබෙනවා.          

මෙසේ විවේචනය කරන කණ්ඩායම්වල ස්වරූපය විවිධයි. ඇතැමුන් දේශපාලනීකරණය වූ භික්‍ෂුවගෙන් ශාසනයට සිදුවන හානිය පිළිබඳව සද්භාවයෙන් යුතුව කම්පා වෙනවා. ඇතැමුන් ආක්‍රමණිකයාගේ අවශ්‍යතාව යථාර්ථයක් කරගැනීමට භික්‍ෂූන් බාධාවක් ලෙස සලකා ව්‍යාජ සද්භාවයක් පෙන්වමින් විවේචනය කරනවා. එය ඉතාමත් භයානකයි. කෙසේ නමුත් භික්‍ෂූන් වහන්සේලාගේ වර්තමාන සක්‍රීය දේශපාලන භාවිතාව කිසිසේත්ම ශාසනමාමක නොවන සදාචාරාත්මකවද පරිහානිදායක වූවක් බව අප විසින් පිළිගත යුතු සත්‍යයක්. වර්තමානයේ රට තුළ පවතින්නේ සක්‍රීය වශයෙන් පෙනී සිටින ආක්‍රමණිකයෙකුගේ අනතුරක් නොවේ. පක්ෂ නමින් හඳුන්වා ගන්නා කල්ලි කණ්ඩායම් අතර පවතින බලය පිළිබඳ තරගයක් හා ඔවුන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන න්‍යායපත්‍ර පිළිබඳ අර්බුදයක් ලෙස පෙන්වාදිය හැකියි . ඒ අනුව යම් පක්ෂයක හෝ කල්ලියක සක්‍රීය සාමාජිකයෙකු වීම භික්‍ෂුවට සුදුසු වන්නේ නැහැ. පසුගිය දශක කිහිපයේදී ලාංකේය දේශපාලනයේ හැසිරීම අනුව භික්‍ෂූන් වහන්සේ ප්‍රධාන භූමිකාව ලෙස පැහැදිලි ලෙස දකින්නට ලැබුණා. වර්ෂ 2015ට පෙර පැවති රජයේ දුර්වලතා නිසාම යහපාලනය නමින් පෙනී සිටි රජය ගෙන ඒමට මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ සමාජමය වශයෙන් ප්‍රබල ජනමතයක් ගොඩනගන්නට බලපෑමක් කරනු ලැබුවා.

කෙසේ වුවත් යහපාලනය නමින් පෙනී සිට බලයට පැමිණියායින් පසු ඔවුන් ශාසනයට, භික්‍ෂුවට, රටට, ජාතියට, ආර්ථිකයට කළ පරගැති අසාධාරණ අකටයුතුකම් නිසා භික්‍ෂූන් වහන්සේම පෙරටත් වඩා මැදිහත්ව නව රජය පිහිටුවීමට ක්‍රියාත්මක වුණා. එම ක්‍රියාන්විතය භික්‍ෂූන් වහන්සේගේම සංඝ සාමග්‍රියක් තුළින් සිදුවූවක් නොවේ. නමුත් එහිදී සිදුවුණේ ශාසනික වශයෙන් සංඝයා වහන්සේලා අතර අසමගිය හා දේශපාලනයේ ඉතා අප්‍රසන්න භාවිතාව ප්‍රදර්ශනය වීමයි. එනම් දේශපාලන වේදිකාවල මහ මග මෙන්ම මාධ්‍යයේ සක්‍රීය භික්‍ෂු දේශපාලනය බොහෝසෙයින්ම දේශපාලන ජයග්‍රහණය නම් වූ මායාවට ආවරණය වූ ශාසනික පරිහානියක් බවට පත්වීමයි.                    

භික්‍ෂුවක් ලෙස පැවතිය යුතු විනය ආධ්‍යාත්මික සංවර්ධනය, ශාසනික වශයෙන් පවතින පරිහානිය, කඩාවැටීම හා එහි ආරක්ෂාව වෙනුවෙන් කළයුතු බෙහෝ දේ තිබියදී වගකිවයුතු මහා සංඝරත්නය දේශපාලනික වශයෙන් පමණක් ක්‍රියාත්මක වීම %‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ ’ වැකිය සිහිපත් කරනවා.       

භික්‍ෂුවකගේ විනයානුකූල ශික්ෂණය හා ධර්ම ඥානය පිණිස වන භික්‍ෂු අධ්‍යාපනය, ශාසනික අවස්ථාව නූතන ලෝකයට ගැළපෙන පරිදි වඩාත් සංවිධානාත්මකව සකස් විය යුතුයි. නමුත් ඒ සියල්ලක්ම ක්‍රමයෙන් පරිහානියට පත්වෙලා, සාමණේර භික්‍ෂූන් වහන්සේ මහ මග හෝ දේශපාලන වේදිකාවල අවභාවිත වීම, තරුණ භික්‍ෂූන් වහන්සේ දේශපාලන කල්ලි කණ්ඩායම්වල අතකොළු බවට පත්ව තිබීම, ආචාර්ය උපධ්‍යායන් වහන්සේලාගේ ඇසුරෙහි හික්මීම නොලැබීම, උන්වහන්සේලා කෙරෙන් ගෞරවය පිරිහී ගොස් ඉබාගාතේ යෑමේ ඛේදනීය තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.                      

2004 වර්ෂයේ මන්ත්‍රී ආසන නමයක් රැගෙන භික්‍ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට යෑම ඉතිහාසගතයි. නමුත් එම නියෝජනයෙන් කිසිදු ආකාරයක ශාසනමාමක අරමුණක් ඉටුවුණේ නැහැ. ආරම්භයේදීම පාර්ලිමේන්තුව තුළ සිදුවූ ගිහියන් හා භික්‍ෂූන් අතර හැලහැප්පීම ප්‍රදර්ශනයත් සමග ජනතාව තුළ ඇති වුණේ කලකිරීමක්. එය ආදර්ශයට ගත් තවත් භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ප්‍රාදේශී සභා, පළාත් සභා මන්ත්‍රී හාමුදුරුවරු වීම තවත් දේශපාලනික අවභාවිත වීමක් ලෙස දැක්විය හැකියි.  ඒ වගේම පෞද්ගලිකව ලාභ හා වරප්‍රසාද ලබාගැනීමෙන් සිදු වුණේ මේ කිසිවකටවත් වචනයෙන්වත් සම්මාදන් නොවූ සුපේෂල ශික්ෂාකාමී භික්‍ෂූන් වහන්සේලාත් දේශපාලන මතවාදයන් ගත් පුද්ගලයන්ගේ නින්දාවට පත්වීමයි.     

මෙම භික්‍ෂූ දේශපාලන රැල්ලත් සමග ඇතැම් භික්‍ෂූන් වහන්සේලා දේශපාලන කල්ලි මතවාද වෙනුවෙන් පෙනී සිටීම හෝ පෞද්ගලික ප්‍රසිද්ධිය වරප්‍රසාද වෙනුවෙන් විවිධ සංවිධාන පිහිටුවා ගනිමින් හිතුවක්කාර ලෙස මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිය ප්‍රතිරූප ගොඩනැගීම සඳහා වෙහෙසක් ගෙන සෘජුවම කටයුතු කරනු ලබනවා. ඔවුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් භික්‍ෂූ විනයට කිසිසේත් නොගැළපෙන බව පැවසිය යුතුයි. භික්‍ෂුවක් වෙත පැවතිය යුතු සේඛියා ආදී විනය ශික්‍ෂාවන්ගෙන් ශ්‍රමණ සාරුප්‍යයට ගැළපෙන පරිදි ශාසනික අවශ්‍යතාවන් කිසිත් ඔවුන් නොදන්නා බවක් පෙනී යනවා. ඇතැමුන් නිසි ශාසනික පුහුණුවක් අධ්‍යාපනයක් නොමැතිව හිතුවක්කාර ලෙස සිවුරු පොරවාගත් අයද යන්න සැක සහිත වන තරමටම භික්‍ෂූ ප්‍රතිරූපයට හානිකර ලෙස පෙනී සිටින බව පැවසිය යුතුයි.  

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත් භික්‍ෂූන් පාර්ලිමේන්තුවට යැවීමට බලලෝභී කල්ලිවාදී දේශපාලනය නැවත උත්සාහයක යෙදීම හේතුකොට ගෙන ප්‍රකටව ඇති නින්දාසහගත හැසිරීම් මේ දිනවල මාධ්‍ය හරහා අප අතිවිඳිමින් සිටිමු. මේ භික්‍ෂු දේශපාලන අවභාවිතාව නිසා බෞද්ධ භික්‍ෂුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අන්තවාදී ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමට දායක වී තිබේ.

මෙලෙස ඇතැම් භික්‍ෂූන් වහන්සේලා දේශපාලනික වශයෙන් ශාසනයටත්, රටටත්, ජාතියටත්, කරන හානිය වළක්වාලීම සියලුම නිකායන්හී මහානායක හිමිවරුන්ගේ මෙන්ම සියලු තානාන්තර දරණ, නොදරන වගකීමක් ඇති භික්‍ෂූන් වහන්සේලාගේ මැදිහත්වීමේ යුගමෙහෙවර අත්‍යාවශ්‍යම කාලයයි මේ එළඹී තිබෙන්නේ. එමෙන්ම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රාජ්‍ය ව්‍යවස්ථාවෙන් බැඳී සිටින පාලකයන්ද භික්‍ෂුව දේශපාලනිකව අවභාවිත කිරීම වහාම නවතා දැමීමට කටයුතු කළයුතුයි. එසේම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයද හිස් මිනිසුන් හුදු ජනප්‍රියත්වයට ඉස්මතු කිරීම වෙනුවට වගකීම්සහගත සදාචාරවත් සමාජ යුතුකමක් ලෙස මාධ්‍ය තුළ කටයුතු කළ යුතුයි.                        

සියලු දෙනාටම දැහැමි සාමකාමී සමාජ පරිසරයක් ඇති කිරීමට භික්‍ෂුවට ඇති අයිතිය ‘%මඛාදේව’ සූත්‍රයෙන් මෙසේ පෙන්වා දී තිබෙනවා. “මා අන්තිම පුරිසා අභුවත්ථ” මාගේ ශාසනය ඉදිරියට පවත්වන්න. මේ සසුනෙහි අන්තිම පුරුෂයා නොවන්න. යනුවෙන් දේශනා කළ බුද්ධ වචනයට අනුගතව ශාසනය ආරක්ෂා කිරීමේ අයිතිය අප විසින් සිහි තබාගත යුතුයි.

සාකච්ඡා සටහන - අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ



Recommended Articles