ශ්‍රී ලංකාවෙන් පළමු වරට සියලු සර්ප විෂට එකම එන්නතක්


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශූ වෛද්‍ය පීඨය දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සර්පයන්ගේ විෂ යොදා ගනිමින් සර්ප දෂ්ටනයට සාර්ථක එන්නතක් නිපදවීමට පියවර ගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පශු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා (BVSc, PhD) %අද^ පාඨකයන් වෙනුවෙන් මුල්වරට අනාවරණය කළේය.

 නව එන්නත සම්බන්ධයෙන් මහාචාර්යවරයා සිය අදහස් දක්වමින්,

“ලංකාව ගැන කතා කළොත් අතීතයේ සිට අපේ ජනතාව අතර සර්ප දෂ්ටනයන්වලදී ඒ ඒ අයගේ අත්දැකීම් අනුව සකස් කරගත් යම් ප්‍රතිකාර ක්‍රම තිබුණා. යන්තර මන්තර ඖෂධ වර්ග, කෙම් ක්‍රම, දූත ලක්ෂණයෙන් සතා හඳුනා ගැනීම වැනි දේ ඒ අතර අදත් භාවිත වෙනවා. එයින් බොහෝ ක්‍රම සහ භාවිතයන් කාලයත් සමග අප අතරින් ඉවත් වෙලා.

දැනට ලංකාවේ  ලබාදෙන ප්‍රතිකාරය ගැන පැහැදිලි කළොත්?

   බටහිර වෙදකමත් සමග දැනට සර්ප දෂ්ටනයන්හිදී එන්නත් ලබාදීමේ ක්‍රමය වඩා ප්‍රචලිතයි. එතෙනදි ප්‍රතිශක්තිය වර්ධනය වන ආකාරයේ එන්නත් නිෂ්පාදනය වෙනවා. මෙතෙනදි වෙන්නේ සර්පයන්ගේ විෂ ලබාගෙන ඒවා අශ්වයන්ට එන්නත් කර එයින් අදාළ එන්නත (ප්‍රතිවිෂ) සකස් කර ගැනීමය.

   එම ප්‍රතිවිෂ එන්නත් ඉන්දියාවෙන් දැනට ලංකාවට ගෙන්වන්නේ. එතෙනදි ඒ රටවල වෙසෙන සර්පයන්ගේ විෂ අනුවයි ඒවා නිෂ්පාදනය වෙන්නේ. නමුත් ලංකාව ගත්තොත් අපේ ලංකාවට ගැළපෙන එන්නත් නිෂ්පාදනයක් ගැන අප සිතිය යුතුව තිබෙනවා.

-ලංකාවේ විෂ සහිත සර්පයන් ගැන මූලික හැඳින්වීමක් කළොත්?

මම එහෙම කියන්නේ අපේ රටේ මාරාන්තික විෂ සහිත ගොඩබිම්  සර්පයන් පස්දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. නයා, තිත්පොළඟා, තෙල්කරවලා, වැලිපොළගා, මාපිලා  වශයෙන් ඔවුන් හඳුන්වාදිය හැකියි. මෙයින්ද කරවලයා ගත්තොත් ලංකාවට ආවේණික කරවලයන් ඉන්නවා. වැඩි වශයෙන් පොළොංතෙලිස්සාගේ දෂ්ටනය වාර්තා වෙනවා. නමුත් ඔවුන්ගෙන් ඇතිවන වෙනත් හානිකර තත්ත්වයන්ද තිබෙනවා.

  අනික සර්පයන් වෙසෙන කලාප අනුව ඒ ඒ සර්පයන්ගේ විෂ ගතිය අඩුවැඩි වෙනවා. ලංකාව තුළ වුවත් ඒ තත්ත්වය පොදුයි.

  පිටතින් ගෙන්වන එන්නත් මගින් ප්‍රතිකාර කිරීමේදී යම් සංකීර්ණ තත්ත්වයන්ට වෛද්‍යවරුන්ද මුහුණ දෙනවා. ඒ වගේම ඉන්දියාවෙන් එන්නත් ගෙන්වනවා නම් ඒ රටේ එම සතුන් වෙසෙන පරිසරය අනුව විෂ ගතිය වෙනස් වෙනවා.

 ඒ වගේම තවත් උදාහරණයක් ගත්තොත් ලංකාවෙ මුදුකරවලා හිටියට ඉන්දියාවේ නැහැ. මේ වගේ අවස්ථාවලදී අපි සතා හඳුනාගෙන ඒ සතාගේ ප්‍රමාණයට අනුමාන කරන විෂ අනුව එන්නත් ලබාදුන්නත් යම්  ගැටලුවක් තිබෙනවා.

  සමහරවිට ඉන්දියාවේ එන්නත් කුප්පි දහයක් පාවිච්චි කළයුතු දේට ලංකාවේදී එන්නත් කුප්පි විස්සක්, තිහක් වුණත් යොදාගන්න සිදුවන අවස්ථා තිබෙනවා. එය ඒ තරම්ම හොඳ තත්ත්වයක් නොවෙයි. මොකද එම එන්නත්  මගින් ශරීරයට වැඩිපුර ප්‍රෝටීන් එකතු වෙන නිසා.

විසඳුම් සෙවීම?

එහෙම නම් අපි මොකද කරන්නේ? වෛද්‍ය පීඨයේ මහාචාර්ය සෑම් කුලරත්න මහතා මේ ගැන අවධානය යොමු කළා. අප රටේ සර්පයන්ගේ දෂ්ටනයන් වෙනුවෙන් අපි අපේ රට තුළදීම මෙවැනි එන්නතක් නිපදවීමේ අවස්ථාව තවදුරටත් තීරණය වුණා.

  දැනට අවුරුදු තුනකට විතර ඉස්සර මෙම කාරණය වෙනුවෙන් විදේශයන්හි පැවති වැඩමුළු, සාකච්ඡා අධ්‍යයනයන් ගැන සොයා බලමින් ඒවාට සහභාගි වුණා.

ඒ අනුව අපට සර්පයන් සමග කටයුතු කිරීමේදී වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වුණා. ඔවුන්ගේ  අනුමැතිය ලැබුණු පසු අපි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අල්ලාගත් සර්පයන් අපේ පරීක්ෂණාගාරයට එකතු කර ගත්තා. එයට අමතරව අපට ඉන්දියාවේ එක් රසායනාගාරයක සහයෝගයත් ලැබුණා.

එයින් පස්සෙ අපි මේ සර්පයන්ගේ විෂ යම් විධිමත් ක්‍රමවේදයකට අනුව ලබාගත්තා. ඒවායේ අන්තර්ගත විෂ ප්‍රමාණයන් අපේ රසායනාගර තුළදී මැනීම සිදුකරනවා. ඒ සර්පයන්ගේ විෂ වෙන වෙනම එකතු කර අධිශීතකරණ තත්ත්වයන්ට  යටත් කර එය පවුඩර් එකක් බවට පත්කර ගන්නවා.

  එයින් පස්සෙ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ඉන්දියාවේ පිහිටි රසායනාගාරයක් යටතේ තබා එහිදී ක්‍රමානුකූලව අශ්වයන්ට ටික ටික එය ලබාදෙනවා. එහිදී ප්‍රතිශක්තිය උපරිම ප්‍රමාණයට පත්වූ පසු එය අප රසායනාගාරයට නැවත ලබා ගන්නවා.

අශ්වයන්ගෙන් හදාගත් ප්‍රතිශක්තීකරණය  හාවුන් මීයන්ට පූර්ව පරීක්ෂණයක් හැටියට කරනවා. එයින් ඔවුන් ජීවත් වෙනවාද නිරීක්ෂණය කරනවා. අද වන විට මේ පර්යේෂණ සාර්ථකත්වයට පත්වෙලා තිබෙනවා. තව මාස කීපයකින් මේ කටයුතු අවසන් කර එන්නත ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ  හැකියි.මෙම කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුළ අපේ කටයුතුවලත් යම් ප්‍රමාදයක් සිදුවුණා.

මෙම එන්නත තවදුරටත් ප්‍රවර්ධනය සහ නිෂ්පාදනයක් ලෙස කිනම් ආකාරයකින් භාවිත විය හැකිද?

අපි මෙය ඉදිරියේ වාණිජ නිෂ්පාදනයක්  ලෙස වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කළ එන්නතක් අපේ රෝහල් තුළ භාවිත වෙයි.

 දැන් අපිට සිදුවන්නේ සර්පයා හඳුනාගෙන අනුමාන වශයෙන් එන්නත් ලබාදීමයි. ලංකාවට ආවේණික සර්පයන්ගේ විෂ එකතුවක් තමයි මෙතැන තියෙන්නේ. මෙහිදී සර්පයා කවුරු වුණත් එකම එන්නතක් තමයි ලබාදෙන්නේ.

අපට ආවේණික සතුන්ගේ විෂ එකතුවක් නිසා  රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා ඉතාම අල්පයි. එන්නත අපිම නිෂ්පාදනය කර ගැනීම නිසා ඉදිරි කාලයේ අපට අපේ විදේශ විනිමය ඉතිරි කර ගත හැකිවෙනවා.

 ලංකාවේ ව්‍යාප්තව සිටින සර්පයන් කලාප වශයෙන් තවදුරටත් හඳුනා ගනිමින් හැදෑරීම්වලට අවස්ථා ලැබෙනවා. ලංකාවට වාර්ෂිකව අවශ්‍ය වන එන්නත් අසූදහසක ප්‍රමාණය අපටම නිපදවා ගැනීමට හැකි වීම අපේ ජයග්‍රහණයක්.

මෙම එන්නත දියර සහ පවුඩර් වශයෙන් ඉදිරිපත් කෙරනවා. පවුඩර් ශීතකරණයක් නොමැතිව තබාගැනීමේ වාසිය තියෙනවා. එනිසා අධිශීතකරණ පහසුකම් නොමැති රෝහල්වලට එය පහසුවක්.

 දියර තබා ගැනීමට අධි ශීතකරණයක් තිබිය යුතුයි. ඒකයි වෙනස. අනික දියර ගත්තොත් පවුඩර් තරම් වැඩි කාලයක් තබා ගැනීමේ අපහසුවක් තියෙනවා.

 සර්පයා පැත්තකට වී සිටින සතෙක්. එයාට අපෙන් යම් රිදවීමක් ප්‍රහාරයක් එල්ලවුණොත් එයා අපට දෂ්ට කරයි.

සර්පයන් හඳුනා ගැනීමේදී ජනතාවට යම් සැක සහිත තැන් තියෙනවා?

  ඇත්ත. සර්පයන් හඳුනාගැනීම ඉතා වැදගත් දෙයක්. මෙහිදී කියන්න අවශ්‍යයයි ලංකාව තුළ මෙම මාරාන්තික විෂ අනුකරණය කරන වෙනත් නිර්විෂ හා සුළු විෂ සහිත සර්පයන් ඉන්නවා.

  ඔවුන් හඳුනා ගැනීම ගැන කෙටි සඳහනක් කළොත් උග්‍ර විෂ කරවලුන් අනුකරණය කරන නිර්විෂ සර්පයන් හඳුනා ගැනීමට පහසුම ක්‍රමය වන්නේ කරවලුන්ගේ කොන්ද දිගේ යන කොරළ පේළිය ෂඩශ්‍රාකාර වීමයි.  සර්පයන්ගේ ඒ කොරළ පේළිය සාමාන්‍ය කොරළ වගේ.

  ඒ වගේම උග්‍ර විෂ තිත්පොළගුන් දැක පිඹුරන් යැයි සිතා ඇතැමුන් එම සර්පයන්  ඇල්ලීමට ගොස් දෂ්ටනයට ලක්වූ අවස්ථා ඕනෑතරම් තියෙනවා.   තිත් පොළගාගේ හිසේ V අකුර වගේ හැඩයක් දිස්වෙනවා. ඒත් පිඹුරාගේ හිසේ හෙල්ලයක තුඩක් වගේ හැඩයක් තියෙන්නේ.

   ඒ වගේම පොළගාගේ දම්වැලක වගේ  පේළි තුනක හැඩයක් පැහැදිලිව පෙනෙනවා. ඒත් පිඹුරාගේ මේ පුල්ලිවලට නිශ්චිත හැඩයක් නැහැ.

   අනික උග්‍ර විෂ වැළි පොළගා සහ සුළු විෂ රෑන් මාපිලා හඳුනා ගැනීමට අපහසු සර්පයන් ලෙස දැක්විය හැකියි. මොකද මේ දෙදෙනාම එකම පරිසරයේදී හමුවෙනවා.

  රෑන් මාපිලාගේ හිසෙහි Y අකුරක සලකුණක් තියෙනවා. ඒත් වැලි පොළඟාගේ තියෙන්නේ කුරුළු පාදයක් වැනි සලකුණක් හෝ කතිර ආකාරයේ + සළකුණක්.

   විශාල සහ ගොඩබිම් සර්පයන් එක සමාන බව නිසා හෝ නොදන්නාකම නිසා සර්පයා දුටු විගස පහර දී මරා දැමීම අනුවණකමක්. විදෙස් රටවල විෂ නැති මෙවැනි සර්පයන් සුරතල් සතුන් ලෙස ඇති කරනවා. හැම සතෙකුම පරිසරයේ ජීවත් වෙනවා නම් එම පරිසරයේ සමතුලිතතාව වෙනුවෙන් එය අනුබලයක්.

එන්නත සම්බන්ධයෙන් දැනට ප්‍රගතිය?

  අපි අපේ කටයුත්තේ අවසානයට ළඟාවෙමින් සිටිනවා. වැඩි කලක් නොගොස් අපේ රෝහල්වලට අපේ රටේ නිෂ්පාදනය කළ එන්නත් ලබාදිය හැකි බව සඳහන් කළ යුතුයි. මෙතෙනදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති උපුල් දිසානායක මහතාගෙන් ආරම්භයේ පටන් ලැබෙන දිරිගැන්වීම් පිළිබඳ කෘතවේදීව සඳහන් නොකළොත් ඒකත් අඩුවක්.



Recommended Articles