ශ්‍රී ලංකාව නමැති අතිවිශිෂ්ට පාරිසරික විද්‍යාගාරයෙන් ප්‍රයෝජන ගැනීමට නම්


සොබා දහම සුරක්‍ෂිත කිරීම වර්තමානය උදෙසා නොව අනාගතය උදෙසා වන ආයෝජනයක් බව සිහිකැඳවීම උදෙසා අද මාධ්‍ය මෙහෙවරේ සොබා බදාදාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්ය නිමල් ගුණතිලක මහතා සම්බන්ධ කර ගතිමු. සිය දැනුම, පරිපූර්ණත්වය තුළින් වනාන්තර රැකගැනීම උදෙසා දෙස්විදෙස් පර්යේෂණයන්හි යෙදෙමින් ජාත්‍යන්තර කීර්තියට පත් ඒ මහතා, පරිසරය සුරැකීම උදෙසා සවිමත් දෙවැනි පෙළක් නිර්මාණය කිරීමේ ප්‍රබල පුරෝගාමියෙකි.

 


ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්‍ෂව  ශ්‍රී ලංකාවේ වනාන්තරවල ජෛව විවිධත්වය පිළිබඳ පැහැදිලි කළොත්?

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් අනූන වූ රටක් ලෙස ලෝකයම පිළිගෙන තිබෙනවා. ඒ වගේම එය හානියට පත්වෙමින් පවතිනවා කියලත් හැඳින්වෙනවා. ඒ නිසා ජෛව විවිධත්ව %හොට් ස්පොට්^ එකක් කියලා කියනවා. ජෛව විවිධත්ව හොට් ස්පොට් එකක් ලෙස ශ්‍රී ලංකාවත්, ඉන්දියාවේ බටහිර ගාර්ඩ්ස් ප්‍රදේශයත් නම්කර තිබෙනවා. මෙවැනි ස්ථාන මුළු ලෝකයටම 34ක් පමණයි දැනට හඳුනාගෙන තිබෙන්නෙ. අපිත් ඒ 34න් එකක්. 
ඊට නිර්ණායකයන් දෙකක් තිබෙනවා. එකක් තමයි ජෛව විවිධත්වයේ ඉහළ තැනක අපි ඉන්නේ. මුළු ලෝකයේම ඇති ශාක විවිධත්වයෙන් 0.05%ක් අපේ රටටත්, බටහිර ගාර්ඩ්ස්වලටත් තියෙනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ නිර්ණායකය. ඒ විතරක්ම නොවෙයි, ඒ ජෛව විවිධත්වයෙත් 70%ක් පමණ වේගවත්ව විනාශ වී හානියට පත්වෙමින් තිබෙනවා. ඉතිරි 30% පමණයි තිබෙන්නේ. ඒකත් හොට් ස්පොට් සංකල්පයට අයිති වෙන එක නිර්ණායකයක්. 

ඉතින් හොට් ස්පොට් එකක් කියලා පර්යේෂකවරු දාලා තියෙන්නේ ඒවා ගැන ඉතා ඉක්මනින් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න. මෙය තවදුරටත් හානි වුවහොත් ලෝකයේම තිබෙන ජෛව විවිධත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්න පුළුවන්.  

ස්වාභාවික සම්පත් අධික ලෙස යොදා ගැනීම හේතුවෙන් ලෝකය තුළ පරිසර සංරක්‍ෂණය අභියෝගයට ලක්ව තිබෙනවා. පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම තිබෙන්නේ කොතැනකද?

ස්වාභාවික සම්පත් අධික උපයෝජනය අපේ රටටත් පොදු දෙයක්. රජවරුන්ගේ කාලයේ පටන් ඉතා ඉහළ දේශීය කෘෂිකර්මාන්තයක් අපට තිබුණා. %වැව් බැඳි රාජ්‍ය^ යන නාමයන්ගෙන්ද හැඳින් වුණේ ඒ නිසානේ. එය දැන් ලෝකයම පිළිගත් දෙයක් බවට පත්ව තිබෙනවා. මෑතකදී යුනෙස්කෝවෙන් ශ්‍රී ලංකාවට පිළිගැනීමක් ලැබුණා, අපේ එල්ලංගා පද්ධතිය ලෝකයේ තිබෙන කෘෂිකාර්මික උරුමයක් හැටියට හඳුනා ගනිමින්. රජ දවසේත් තිරසර ලෙසයි අපි සංවර්ධනයන් සිදු කළේත්, ඒ වගේම සංරක්‍ෂණය කළේත් කියන එකට හොඳම උදාහරණයක් තමයි අපේ එල්ලංගා පද්ධතිය. එය ලෝකයම පිළිගත් නිසා තමයි ලෝකයේ මැනුම් දඬුව ලෙස ලෝක උරුමයක් බවට පත් වුණේ. ලොව හොඳම කෘෂිකාර්මික පද්ධතියක් ලෙස සංවර්ධනය වීමේ හොඳම උදාහරණයක් ලෙස තමයි ඒගොල්ලො මෙය දක්වා තිබෙන්නේ. වැව් බැඳි රාජ්‍යයේ කුඩා වැව් හා විශාල වැව් අතර සම්බන්ධතාව පවත්වා ගනිමින් ඒ ආශ්‍රිතව කෘෂිකර්මාන්තය සිදු කළ ආකාරය ඉතා හොඳ ක්‍රමයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. 

අධ්‍යාපනය කියන පැතිකඩින් අපි බැලුවොත් පරිසරය පිළිබඳ උනන්දුවක් අපේ ළමයින්ට, වැඩිහිටියන්ට තිබෙනවා. නමුත් එය නිසි පරිදි ප්‍රායෝගිකව සිදු වෙනවාද කියන එක ගැටලුවක්. උදාහරණයක් ලෙස ගතහොත් ළමයින් කැලෑව බලන්න යනවා නම් බොහෝම නිහඬව සංචාරය කළ යුතුයි. වනාන්තරවල දැන්වීම් පුවරු පවා තියෙනවා කරුණාකර නිශ්ශබ්දව යන්න. එවිට සතුන‍්ගේ ක්‍රියාකාරකම්, හඬ ඔබට අසන්න දකින්නට ලැබේවි කියලා. පරිසර අධ්‍යාපනය කියන දෙය න්‍යායාත්මකව පමණක් නොවෙයි ප්‍රායෝගිකව සිදු විය යුතුයි. පෙර සූදානමක් ඇතිව අදාළ සංචාරයන් සිදු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් ළමයින් පමණක් නොවෙයි වැඩිහිටියන්ද සැලකිලිමත් විය යුතුයි. දැන් ළමයින් පමණක් නොවෙයි වැඩිහිටියන් පවා විනෝද ගමන් ලෙස එවැනි චාරිකා සලකන්නේ. විනෝදයට ගෙන ඒ තැන් අපවිත්‍ර කරමින් අසල ගම්වාසීන්ටත් හානි කරමින්  සමච්චලයෙන් සින්දු කියලා නටලා එන එකක් තමයි තියෙන්නේ. 

මම හිතනවා පරිසර අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. ආකල්පමය වෙනස හොඳින්ම සිදු විය යුතුයි. විනෝද චාරිකාවක් යනවා නම් වෙන තැනකට යන්න ඕන වෙන විදියකට. ස්වභාව ධර්මය අධ්‍යයනය කරනවා නම්, ඒ පිළිබඳ අධ්‍යාපනයක් ලබන්න ඕන නම් ඒකට යන්න ඕන පිළිවෙත් ඊට වඩා වෙනස්. එතකොට ළමයින් ඊට අදාළ සපත්තු, ඇඳුම් ඇඳගෙන යන්න ඕන. අපි දැක තිබෙනවා සිංහරාජයේ සංචාරය කරන බොහෝ ගුරුභවතුන් පවා එහි යන්නේ සුදුසු ඇඳුමින් නොවෙයි. නමුත් මම හිතනවා ඊට වඩා සැලසුම්සහගතව ඒවා සිදු විය යුතුයි. ලෝකයේ වෙනත් රටවල් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ අතිවිශිෂ්ට ගණයේ පාරිසරික බාහිර විද්‍යාගාරයක් කියලා. ඉතින් අපි ඒක ප්‍රයෝජනයට ගන්න ඕන නම් අභ්‍යන්තර විද්‍යාගාරයක හැසිරෙන ආකාරයටම සැලැස්මක් ඇතිව යා යුතුයි.  ඒක ගුරුවරයා සතු වගකීමක්. 

ශ්‍රී ලංකාව මෑතක සිට තිරසර සංවර්ධනය පිළිබඳ කතා කරනවා. මොකක්ද මේ තිරසර සංවර්ධනය කියන්නේ? 

ලෝකයේ නිපදවන ද්‍රව්‍ය නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමට ලෝකය වගේ එකහමාරක ප්‍රමාණයෙන් යුක්ත ප්‍රදේශයක් අවශ්‍යයි කියලා මේ වන විට සඳහන් වෙනවා. තිරසර සංවර්ධනයක් කියන්නේ අපේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන බලපෑම නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීම. දැන් ගහක කොළයක් වැටුණට අපි අතුගාන්නේ නෑනේ. ඒවා චක්‍රීකරණය වෙනවා. එතැනින් එන වතුර ඉතා පිරිසුදුව එනවා. ස්වාභාවික චක්‍රීකරණයක් තියෙන්නේ. අපිත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන කැලෑවේ තියෙන ගුණාංග ගෙවත්ත තුළත් ඇති කර ගන්න. එවිට අපේ ගෙවත්තෙන් අනෙක් වැඩබිම්වලින් නිකුත් වන ද්‍රව්‍ය පරිසරය මගින් චක්‍රීකරණය කරලා නැවත ලබා දෙන්න පුළුවන්. ඒක චක්‍රයක් වගේ කරකැවෙනවා. 

නමුත් දැන් ඒක චක්‍රයෙන් එහාට ගිහිල්ලා. ඒ කියන්නේ අපි පිටකරන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩියි. ඒවා චක්‍රීකරණය කර ගන්න වේගය අඩුයි. එහෙම වුණාම ලෝකය වගේ තව එකහමාරක් ඕනලු ඉදිරි වසර 10,15 තුළ ඒවා නැවත ප්‍රතිචක්‍රීකරණය වීමට. දැන් එයත් තිබෙන්නේ අවදානම් තත්ත්වයකයි. ‍ඓන්ද්‍රීය ‍ද්‍රව්‍ය චක්‍රීකරණය වගේ දේවල් බොහෝ දුරට අපේ සීමාවෙන් එළියට ගිහින් තියෙන්නේ, ලෝකයක් ලෙස ගතහොත්. ඉතින් අපි ලංකාව දෙස බැලුවත් සමතුලිතව පරිසරයට යම් හානියක් නොවන ලෙස වැඩ කරගෙන යන්න බැහැ. නමුත් කරන හානිය අපට නැවත වරක් චක්‍රීයකරණය කර ගන්න හැකි වෙන්න ඕන. 

අපි රවුම් 03ක් ඇන්දොත් පිටත රවුම තමයි පරිසරය. ඊළඟ රවුම තමයි මිනිස් වාසස්ථාන. ඇතුළෙ රවුමේ තමයි තියෙන්න ඕන සංවර්ධනය කියන එක. මෙයට හොඳ උදාහරණයක් තමයි අපේ ඉස්සර තිබුණු කෘෂිකාර්මික වැඩසටහන්. විශේෂයෙන්ම තෙත් කලාපයේ, කඳුකර ප්‍රදේශයන් වටා වනාන්තර වළල්ල තියෙනවා. එවිට එය තමයි පරිසරය. ඉන් එන ජලය තමයි මිනිසුන් ගංගොඩ කියලා හැඳින්වූයේ. ඒවායේ තමයි ගෙවල් හදාගෙන තියෙන්නේ. ඊළඟට පහත් බිම්වල තමයි කුඹුරු, හේන් වැනි දේවල් තියෙන්නේ. එහෙම තිබුණොත් තමයි අපට මෙය තිරසර ලෙස පවත්වාගෙන යන්න පුළුවන්. නැත්නම් එතැන සම්බන්ධතාව බිඳීමකට ලක් වෙනවා.
පහත් බිම්වල ඒගොල්ලෝ කුඹුරු වවලා, ගෙවතු වගා සිදු කළා. ඒ ගෙවත්තත් තනි වගාවක් නොවෙයි, මිශ්‍ර වගාවක් තිබුණේ. ඒ කියන්නේ කැලෑවකට බොහෝ දුරට සමානයි. වෙනසකට තියෙන්නේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් ශාක විතරයි එහි තිබුණේ. 

එය තමයි මා දකින ලෙස තිරසර සංවර්ධනය ඉතා හොඳ විදියට පවත්වාගෙන යෑමට උදාහරණය. අපි කළ යුත්තේ ඉදිරියටත් ඒ වගේ දේවල් වැඩිදියුණු කරන එක. විශේෂයෙන්ම ජල පහරවල්, ගංගා, ඇළදොළ දෙපස තිබෙන භූමිය බොහෝ විට වන වගාවකින් හෝ ගෙවතු වගාවකින්, මිශ්‍ර වගාවකින් අපට වගාකර ගන්න පුළුවන් නම් තේ, කුරුඳු හෝ එළවළු වගාවලින් තොරව විශේෂයෙන් රජයෙන් ආධාරයක් ලබාදී හෝ සිදු කළ හැකි නම් වටිනවා. නුවරඑළිය දිය පහරවල පවා එළවළු වගා කර තිබෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම පරිසරයට හානිදායකයි. දිය සීරාව රඳා පැවැත්වෙන ස්ථානයට වන ආවරණයක්, භෝග ආවරණයක් යොදනවා නම් හොඳයි. 

භූතානය වැනි රටක් ගතහොත් එරට වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් සිවු ගුණයක් ඔක්සිජන් මුදා හරින තත්ත්වයට පත්ව තිබෙනවා. නමුත් මෙම තත්ත්වයන් හා සැසඳීමේදී ශ්‍රී ලංකාව මන්දගාමී බවට අවිවාදයෙන් කිව හැකියි. මීට හේතුව ලෙස දකින්නේ මොකක්ද?

භූතානයේ රාජකීය පවුලේ ලොකු කැපවීමක් තියෙනවා රටේ අභිවෘද්ධිය සඳහා තමන්ගේ සම්පත් ආරක්‍ෂා කර ගැනීමට. ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 60෴ක් පමණ තමයි වන ගහනය තිබිය යුත්තේ. නමුත් 72%ක් මේ වන විට වන ගහනය තියෙනවා. ඒ අය ඒක පවත්වාගෙන යන්න විශාල උනන්දුවකින් වැඩ කරගෙන යනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි ඒ රටේ අගමැතිවරයාත් ඔහුගේ උපදේශක මණ්ඩලයත් දෙන උපදෙස් මිනිස්සු පිළිගන්නවා. ඒ විදියට ක්‍රියා කරනවා. 

අපේ ඒ විදියට කවුරුන් හෝ විද්‍යාත්මක උපදෙස් රජයට දීලා ඒවා පිළිගන්න විදියට රජයට කටයුතු කරන්න පුළුවන් නම් ඒක හොඳයි. උදාහරණයක් ලෙස ගතහොත් නුවරඑළිය ප්‍රදේශයේ විශාල පුවරු ගසා තිබෙනවා නිවැරදිව පස සංරක්‍ෂණය නොකළොත් දඬුවම් ලැබිය හැකි වරදක් කියලා. නමුත් අඩි 5,000ට ඉහළ කොපමණ කෘෂිකාර්මික වගාවන් තිබෙනවාද? මොකද ඒ නීතිය විතරක් තිබිලා බැහැ, නීතිය ක්‍රියාත්මක නොවී. නමුත් මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයත් ඊට විශාල ලෙස බලපානවා. පුවරු පමණක් ලොකුවට ගහලා අමාත්‍යාංශය ඉදිරියේ තිබුණට වැඩක් නැහැ. %කුණු දාන්න එපා^ කියලා ගහලා තියෙන තැනම කුණු දානවා අපි දැකලා තියෙනවා. මිනිස්සු තමන්ගේ ගෙදර පිරිසුදුව තියා ගන්න ඉගෙන ගන්නවා නම්, රට පිරිසුදුව තියා ගන්නත් ඉගෙන ගන්නවා. වැඩිහිටි පරම්පරාව ළමයින්ට කියලා දෙන්න ඕන තමන්ගේ ගෙදර, තමන්ගේ පාසල, ආගමික ස්ථානය මුලින්ම පිරිසුදුව තබා ගන්න. 

පරිසරය රැකගැනීමට වෙනුවෙන් රජය නිවැරදි ප්‍රතිපත්ති ගෙන ආ නමුත් මහජනයා විසින්ම ඒවාට විරුද්ධ වන අවස්ථා බහුලයි. උදාහරණ ලෙස පොලිතින් භාවිතය අවම කිරීමට, කසළ වෙන්කර බාර දීම වැනි නීති හඳුන්වා දුන්නත් රජයට ඒවා දියත් කිරීමට සෑහෙන පරිශ්‍රමයක් දරන්න සිදු වුණා මහජනයාගේ සහයෝගය නොමැතිවීමෙන්?

එයට හේතුව ලෙස මම දකින්නේ බ්‍රිතාන්‍ය ක්‍රමය හෝ වැඩවසම් යුගයේදී හෝ බොහෝ විට අපේ මිනිසුන්ට අණ කළොත් පමණයි එය සිදු කරන්න පුරුදුව සිටියේ. සිතා බලා එවැනි දේ සිදු කරන්න අපේ රටේ අය පෙළඹෙන්නේ නැහැ නේද? සිංගප්පූරුව හොඳයි කියලා අපි කියනවා. නමුත් සිංගප්පූරුව දඩගැසීම් ඉහළින්ම ඇති රටක්. පාරේ කෙළ ගැහුවත් දඩ ගහනවා. අපි මිනිසුන්ට පත්තරෙන් කියලා නැත්නම් දේශන පවත්වා පමණක් සෑහෙන්නේ නෑ. මම සිතනවා ඒ සඳහා යම් දඬුවමක් අවශ්‍යයි. අඩුම තරමේ නිවැරදි ක්‍රමයට මිනිස්සු හැඩ ගැසෙනතෙක් හෝ එය සිදු වෙනවා නම් හොඳයි. අපි කියනවානේ සිංගප්පූරුව දියුණු වෙලා තියෙනවා, අපි ඒකෙන් උදාහරණ ගන්න ඕන කියලා. මේ එක උදාහරණයක් තමයි. දඩ ගහන සිදුවීම් 50ක්, 60ක් තිබෙනවා සිංගප්පූරුවේ. පරම්පරා 02කින් පමණ පසුව මිනිසුන්ට හැකිවේවි දඬුවම් නැතිව තමන්ගේ සිතින්ම පුරුද්දක් කරගන්න. යුරෝපයෙත් එහෙම තමයි වෙලා තියෙන්නේ. නමුත් මගේ අත්දැකීමෙන් මම කියන්නේ දැනුවත් කිරීමෙන් පමණක් මෙය සිදුකළ නොහැකියි.

පරිසරය සම්බන්ධයෙන් විවිධ තීන්දු තීරණ ගැනීමට මෙන්ම රජය අදාළ පර්යේෂණ  කටයුතු බාර දීම සහ පර්යේෂණ වාර්තා සැකසීම පිළිබඳව පසුපෙළ දැනුමක් ඇති  අයට ලබාදීම හරිහැටි සිදුවන්නේ නැහැ. ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස ඔබත් මේ පිළිබඳ දැනුවත් ඇති?

පරිසර ඇගයීම් වාර්තාවලටදී ඇති නිර්ණායක බොහෝම පරණ ඒවා. 1880 ගණන්වල වෙන්න ඇති ඒවා හදලා තියෙන්නේ. ඒක වෙනස් කළ යුතුයි. පළමු වැනි කාරණය ඒවායේ අස්සෙන් රිංගලා යන්න පුළුවන් ගුල් සෑම තැනම තියෙනවා. පරිසරයට නොගැළපෙන දෑ ඒ වාර්තාවන් සැකසීමේදී සිදු කළ හැකියි. මොකද ඒ නිර්ණායකයන් අදට ගැළපෙන විදියට යාවත්කාලීන වෙලා නෑ. 

දෙවැන්න තමයි ඒවා බාර ගන්න අය විශේෂයෙන්ම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හෝ අදාළ අය ඒවා බාර ගන්නේ කණ්ඩායමක් වශයෙන් එක්වයි. ඇතැමුන් හොඳ වාර්තාවක් සකස් කර දුන්නත් ඊට ඉහළින් ඉන්න උදවිය ඒ කියන්නේ ටෙන්ඩර් මාර්ගයෙන් හෝ ලබා ගන්නා අය ඒ වාර්තාව මුලින් පිළියෙල කළ ආකාරයටම ලබා දෙන්නේ නෑ. මොකද ආචාර්යවරයාට තියෙන්නේ ගිවිසුමක්, ඔයා මට ඊ.අයි.ඒ. එකක් හදාලා දෙන්න. මං ඔයාට මෙච්චර ගෙවනවා^ කියලා. සකස් කර දුන් පසු ඔහුගේ මුදල් ගෙවා තිබෙනවා. ඉන් ඔබ්බට ඔහුට කතා කරන්න බෑ. වගකීමක් නෑ කොහොමද වාර්තාවට කරුණු ඇතුළත් කරන්නේ කියලා. 

තෙවැන්න නම් නිසි පරිදි අදාළ දේ පිළිබඳ පර්යේෂණ සිදු නොකර මේ වන විටත් සකසා ඇති වාර්තාවන්ගේ කොටස් ගෙන අමුණා සකස් කරන අයත් ඉන්නවා. එලෙස සිදු කිරීම කිසිසේත් ගැළපෙන්නේ නෑ. එවැනි වැරදි නිවැරදි කිරීමට අපි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. කුමක් ඉදිරිපත් කළත් ඒවා තක්සේරු කරන්න හොඳ කමිටුවක් සිටිනවා නම් වැරදි වාර්තා ප්‍රතික්‍ෂේප කළ හැකියි. මහාචාර්යවරුන් සිදු කළත්, වෙනත් අයෙක් සිදු කළත් වාර්තාව නිරීක්‍ෂණය කරන්නාට හොඳ කණ්ඩායමත් සිටින්නේ නම් ප්‍රශ්නයක් නෑ. මේ සම්බන්ධ රජයේ ආයතන ඒවාට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මධ්‍යම පරිසර අධිකාරිය පාරිසරික බලපෑම් අධ්‍යයන වාර්තා සකස් කිරීම් පිළිබඳ පවතිනවාට වැඩියෙන් ක්‍රියාත්මක විය යුතුයි කියා මා සිතනවා. 

කාලගුණික හා දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ඇති සූදානම කොහොමද?

සමහර සීමාවන්ගෙන් අපි ඔබ්බට ගිහින් තියෙනවා. එහෙම ගියාම නැවත ඒමක් සිදු වෙන්නේ නෑ. විශේෂයෙන්ම මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලියම ඉදිරියටත් මුළු ලෝකයම සිදුකළොත් ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා කියලා තමයි කියන්නේ අංශක 1.5කින්. ඒක වළක්වා ගන්න කාබන් නියුට්‍රල් විදියට ගන්න උත්සාහ කරන්න කියලයි අදාළ ආයතන කියන්නේ. කාර්මික විප්ලවයට පෙර තිබූ උෂ්ණත්වයට වැඩිය 1.5ක් තබා ගන්න තමයි බලාපොරොත්තු වුණේ. දැන් එම ප්‍රමාණයත් ඉක්මවා ඉහළට ගොස් තිබෙනවා. මෙය තමයි පැරිස් සම්මුතිය හරහාත් බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා කාබන් විමෝචනය වැනි දෑ ශීඝ්‍රයෙන් අඩු කළ යුතුයි. එම නිසා ඉලෙක්ට්‍රික් වාහන ප්‍රචලිත කරලා තියෙන්නේ. හැබැයි ඉතින් ගල්අඟුරුවලින් විදුලිය නිපදවා ඒ හරහා %චාර්ජ්^ කිරීම නොවෙයි, ජල හෝ සූර්ය හෝ සුළං මාර්ගයෙන් විදුලිය යොදාගන්න පුළුවන්. ජර්මනිය, දකුණු කොරියාව, චීනය, අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙත් මේ වගේ දේවල් සිදු කරගෙන යනවා. භූතානය වුණත් පරිසරයට ඔක්සිජන් එකතු කළත් අවට රාජ්‍යයන් සිදු කරන පරිසර හානිවල බලපෑම් නිසා තමන්ගේ වැරැද්දක් නැතත් අසල්වාසීන්ගේ වැරදි නිසා පීඩා විඳින්න පුළුවන්. ඒ නිසා අපි ජාත්‍යන්තර සම්මුතීන්ට හැකි තරම් එකඟව කාබන් නියුට්‍රල් වෙන්න උත්සාහ කරන්න ඕන. 

පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳ ඔබේ නිර්දේශය මොකක්ද? 

අපේ පැරැන්නන්ගේ සංස්කෘතිය පමණක් නොවේ ඔවුන්ගේ කෘෂිකාර්මික දැනුමත් හොඳ පූර්වාදර්ශයනුත් අපට ලබා දී තිබෙනවා. පෙර සඳහන් කළ එල්ලංගා පද්ධතිය ඉන් එකක්. වියළි කලාපයේ වැව් 15,000ක් පමණ තිබෙනවා. ඒවා නැවත ප්‍රතිස‘ස්කරණය කළ යුතුයි. බෝ නොවන රෝග බහුලයි. ඒවාට හොඳම විසඳුම තමයි කෘත්‍රිම ආහාරවලින් වැළකී වසවිසෙන් තොර කාබනික ආහාර, පළා වර්ග ගැනීම. මං හිතනවා ඒ රැල්ල තමයි අපි ඉදිරියට ගෙන යා යුතු වෙන්නේ. අනික ඒවාට බාහිර රටවලිනුත් හොඳ ඉල්ලුමක් තිබෙනවා. නිෂ්පාදනය තමයි නැත්තේ. සුපර් මාර්කට් එක මතම යැපෙන්නේ නැතිව එසේ කළ හැකි නම් වඩාත් යෝග්‍යයි. ඒ වගේම ග්‍රාම නිලධාරී මට්ටම්න් එක ගමකට කැලෑ ප්‍රදේශයක්, දිය පහරක් ඇති කරනවා නම් ගමට අවශ්‍ය පාරිසරික සේවාවන් ඒකෙන් ලබා දිය හැකියි. බොහෝ දෙනෙක් නීතිය පිළිපදින්න සූදානම්. නමුත් නීති සම්පාදකයන් රටේ අනාගතය ගැන අවධානයක් යොමු නොකර, තිරසර සංවර්ධනය ගැන නොසිතා විශේෂයෙන්ම බාහිර පෙළඹවීම් මත නීති සංශෝධනය කරන්න යනවා. ඒ පිළිබඳ ලොකු කැළඹීමක් මේ දවස්වල තියෙනවා. මෙවැනි දේ තුළින් ඉදිරියේදී භයානක ප්‍රතිඵල ඇති විය හැකියි. ඒකත් අපි කිව යුතුම දෙයක්. නීති සම්පාදකයන් මීට වඩා වගකීමකින් බාහිර බලපෑම්වලින් ලැබෙන මුදලට යටත් නොවී ආදර්ශවත්ව කටයුතු කළ යුතුයි. නො එසේ නම්, මේ සිදුවන දේවලට නීති සම්පාදකයිනුත් වගකිව යුතු වෙනවා. 

නිදර්ශනී වික්‍රමසිංහ



Recommended Articles