මේ සතියේදී බොහෝ දෙනෙකුගේ අවධානය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමුව තිබේ. ඒ ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි පන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට කටයුතු කළ හෙයිනි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට යොමු කළ පන්දු යවන්නෙකු, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයේ බැබළ වූවෙකු, කෘතගුණ දත් පුද්ගලයෙකු, කෙලින් කතා කරන ක්‍රීඩකයෙකු ලෙසින් හඳුන්වා දිය හැකි ලසිත් මාලිංග ඉන් එක් ක්‍රීඩකයෙකි.
ලෝකයේ අංක එකේ එක්දින පන්දු යවන්නා බවට පත්වූ, මදවේග පන්දුවෙන් ලෝකය ඉදිරියට ගිය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හමුවට ගෙන ගිය අහිංසක ක්‍රීඩකයෙකු වූ නුවන් කුලසේකර අනෙක් ක්‍රීඩකයායි. මේ ක්‍රීඩකයන් දෙදෙනාගේම විශ්‍රාමික දිවිය සාර්ථක වේවායි සුබ පැතීමටත් මා මෙය අවස්ථාවක් කර ගනිමි.
කෙසේ වෙතත් ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත්තද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම වෙනුවෙන් තවදුරටත් සිය සේවය ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදෙනු ඇතැයි මා විශ්වාස කරමි. ලසිත් මාලිංගගේ ක්‍රීඩා දිවියේ කතාව අප සෑම දෙනෙකුටම අභිප්‍රේරණ කතාවකි. ඉදිරියට එන අපගේ ආණ්ඩුවකින් මාලිංගගෙන් මෙන්ම කුලසේකරගෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබාගත හැකි උපරිම සේවය ලබාගැනීමට කටයුතු කරන බවට මා මෙහිදී සඳහන් කරන්නෙමි.
ක්‍රීඩාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර ඇති අවස්ථාවක මෙවර %කුරහන් සුවඳ^ තීරු ලිපියෙන්ද අපි වැඩි අවධානයක් ක්‍රීඩාව වෙනුවෙන් යොමු කිරීමට අදහස් කරන්නෙමු. ඒ අපගේ #FitSriLanka වැඩසටහන සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකාවේ ජනතා අදහස් ලබාගෙන ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මූලික පර්මාර්ථය ඇතිව අප #FitSriLanka වැඩසටහන දියත් කර තිබේ. එහි තවත් අරමුණක් වූයේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමය.
මෙම වැඩසටහන ආරම්භ කර කෙටි කාලයක් වුවද, ශ්‍රී ලංකාවේ හඳුනානොගත් ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන් ඉදිරියට ගෙන ඒමටත්, දිලිඳුකම හේතුවෙන් සිය ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකිව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට දක්ෂතා දැක්වීමට අවස්ථාව ලබාදීමටත් මේ හරහා අවස්ථාව ලැබුණි.
අප මෙම වැඩසටහන ආරම්භ කොට දිවයිනේ පළාත් නමය තුළම සංචාරය කළ අතර, ඒ හරහා තරුණ ක්‍රීඩකයන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණි. මෙම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේදී නියෝජනය කළ හැකි අයද සිටී.
මේ වනවිට හඳුනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විධිමත් පුහුණුවක් ලබාදීම අප ආරම්භ කළ අතර, ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් අපි තවදුරටත් ඔවුන් හා සමීපව කටයුතු කරන්නෙමු.
පසුගිය මාස කිහිපයේදී අප දිවයිනේ විවිධ දිස්ත්‍රික්කයන්හි ක්‍රීඩා තරගාවලි සංවිධානය කරමින් ඔවුන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාකර දුන්නේය. ඒ හරහා අපට දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට අවස්ථාව ලද අතර, ඇතැමෙකුගේ දක්ෂතා අපව මවිත කළේය. ශ්‍රී ලංකාව යනු ක්‍රීඩාව ඇඟේ තිබෙන ජනතාවක් සිටින රටකි. ඔවුනට අවැසි වනුයේ නිසි මාර්ගය පෙන්වමින් ඉදිරියට රැගෙන යෑමය.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව යටතේ මෙරට ක්‍රීඩා ක්ෂේත්රයද අනෙකුත් ක්ෂේත්‍ර මෙන් පහළට කඩා වැටුණු බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ක්‍රිකට් ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට ගියේය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දේශපාලනය මැදිහත්වීම ඒ සඳහා ප්‍රධානම හේතුව විය.
ශ්‍රී ලංකාවට 1996 වසරේදී ලෝක කුසලානය දිනාදුන් ක්‍රිකට් නායක මෙන්ම වත්මන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාම සඳහන් කළේ වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ක්‍රිකට් ක්‍රීඩාව දරුණු ලෙස කඩා වැටුණ බවයි. මේ සඳහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරටට ස්ථිර ක්‍රීඩා ප්‍රතිපත්තියක් නොමැති වීමයි.
මා මීට පෙර සඳහන් කළ පරිදි ශ්‍රී ලාංකිකයන්ගේ ඇඟේ ක්‍රීඩාව තිබේ. ඒ සඳහා හොඳම උදාහරණය ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමයි. පසුගියදා එංගලන්තයේ ලිවර්පූල්හි නිමාවට පත් වූ දැල් පන්දු ලෝක කුසලාන තරගාවලියේ 15 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූයේය. එසේම දැල් පන්දුවේ ආසියානු ශූරියන් වන්නේද ශ්‍රී ලංකාවයි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ තර්ජනී ෂිවාජිලිංගම් ලකුණු 348ක් වාර්තා කිරීමට සමත්විය. මේ අතර බටහිර ආසියානු බේස් බෝල් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රය දැනට පවතින තත්ත්වය හා ඉදිරියට ගමන් කළ හැකි ආකාරය පිළිබඳව රටවල් කිහිපයක උදාහරණ ගෙන පැහැදිලි කළ හැකිය. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21කි. ඔස්ට්‍රේලියාවේ ජනගහනයද මිලියන 24කි. නමුත් අප ක්‍රීඩාවෙන් ගමන් කළ දුරට වඩා විශාල දුරක් ඔස්ට්‍රේලියාව ක්‍රීඩාවෙන් ගමන් කර තිබේ. ඒ ඔවුන්ගේ ක්‍රීඩා ප්‍රතිපත්ති හේතුවෙනි.
එක් රජයක් විසින් හඳුන්වා දුන් ක්‍රීඩා ප්‍රතිපත්ති අනෙක් රජය පත්වීමෙන් පසුවද ඉදිරියට ගෙන යෑම ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා ක්ෂේත්රයේ සාර්ථකත්වයේ රහසයි. ක්‍රිකට්, රග්බි, පිහිනුම් ආදී ක්‍රීඩා ක්ෂේත්‍ර රාශියක ඔස්ට්‍රේලියාව දක්ෂතා දක්වා ඇති අතර, අද වනට විට ඔස්ට්‍රේලියාව ක්‍රීඩා ජාතියක් ලෙස ඉදිරියට ගමන් කරමින් පවතී.
ඔස්ට්‍රේලියාව ආසන්නයේ ඇති නවසීලන්තයද ඒ ආකාරයෙන්ම ක්‍රීඩාවෙන් ඉදිරියට ගමන් කර ඇති රටකි. පිට පිටම දෙවරක් ලෝක ක්‍රිකට් අනුශූරයන් වූ නවසීලන්තය, රග්බි ලෝක ශූරයන්ය. එසේම ඔවුන් දැල් පන්දු ලෝක ශූරතාවද ජයගැනීමට සමත්වූයේය. ශ්‍රී ලංකාවටද මේ ආකාරයේ ගමනක් යා හැකිය. අවශ්‍ය වන්නේ සුදුසු මග පෙන්වීමක් ලැබීම, ශක්තිමත් ප්‍රතිපත්ති, ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලබාදීම, දේශපාලන මැදිහත්වීම් ක්‍රීඩාවෙන් ඉවත් කිරීම යන කාරණාය.
#FitSriLanka වැඩසටහන ඉදිරියේදී මේ වෙනුවෙන් කටයුතු කරනු ඇත. ඉදිරියේදීද දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රීඩා කඳවුරු පවත්වමින් දක්ෂතා පිරිපුන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් හඳුනා ගැනීමට කටයුතු කරන අතරේම එහි ප්‍රධාන අංගයක් ලෙස උතුරේ ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරමින් ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුනා ගැනීමට කටයුතු කරනු ඇත.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!