වෛද්‍ය ක්‍රම දෙකක් එකට මුසු කරමින් රෝගවලට ප්‍රතිකාර කරන අපූරු වෛද්‍යවරයා


බටහිර වෛද්‍ය විද්‍යාවත්, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත්, පාරම්පරික හෙළ වෛද්‍ය විද්‍යාවත් අතර විවිධ මති මතාන්තර නිර්මාණය වී තිබීම හේතුවෙන් බොහෝ පුද්ගලයන් එක් වෛද්‍ය ශ්‍රාස්ත්‍රයක් පමණක් විශ්වාස කිරීමට සහ ඒ තුළින් ප්‍රතිකාර ගැනීමට පෙලඹී තිබේ.  එසේ වුවද බටහිර වෛද්‍ය ශ්‍රාස්ත්‍රයත්, පාරම්පරික සිංහල වෛද්‍ය ශ්‍රාස්ත්‍රයත් මුසුකොට රෝග සුව කිරීමේ කටයුත්තේ යෙදෙන වෛද්‍යවරයෙකු අපට හමුවිය. ඔහු හලාවත මහ රෝහලේ අස්ථි ශල්‍ය හා විකලාංග අංශයේ වෛද්‍ය ලිහිරු සරංග මහතාය. බෝ නොවන රෝග වැලඳුණු රෝගීන් බොහෝ දෙනෙකුම ඔහුගේ ප්‍රතිකාරවලින් සුවය ලබා තිබේ. මේ වෛද්‍ය ලිහිරු සරංග මහතාගේ ප්‍රතිකාර ක්‍රමයන් පිළිබඳව ඔහු සමග අප සිදුකළ සාකච්ඡාවකි.

ඔබ පිළිබඳව හඳුන්වා දුන්නොත්?

මම පාරම්පරික වෛද්‍ය විද්‍යාවයි, බටහිර වෛද්‍ය විද්‍යාවයි දෙකම හදාරලා තිබෙනවා. එයින් පසුව මේ දෙකම මුසු කරලා මගේම ප්‍රතිකාර ක්‍රමයක් මම සොයා ගන්නවා. එය ඇත්තටම සාර්ථකයි. මම මුලින්ම ප්‍රතිකාර කළේ මගේ අම්මටයි. ඇයට ආතරයිටීස් රෝගය වැලඳුණා. ඇයට වසර ගණනාවක් තිස්සේ විවිධ වෛද්‍යවරු ප්‍රතිකාර කළත් නිසි සුවයක් ලැබුණේ නැහැ. ඒකට විකල්පයක් ලෙස මම බටහිර වෛද්‍ය ක්‍රමයත්, පාරම්පරික වෛද්‍ය ක්‍රමයත් එකට එකතු කරලා ප්‍රතිකාර ක්‍රමය පටන් ගත්තා.

මගේ ප්‍රතිකාර ක්‍රමයේදී මම බෙහෙත් බොන්න දෙන්නේ නැහැ. මේක සම්බාහන ක්‍රමවේදයට සමාන ක්‍රමයක්. එහිදී මට පුළුවන් වුණා අම්මාට බොන්න බෙහෙත් කිසිවක් දෙන්නේ නැතිව එයාට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයට ගෙන එන්න. ඉන්පසුව අම්මාගේ යාළුවෝ, හිතවත් පිරිස්වලටත් මේ ක්‍රමයෙන් ප්‍රතිකාර කරන්න පටන් ගත්තා.

බටහිර වෛද්‍ය විද්‍යාවයි, පාරම්පරික වෛද්‍ය විද්‍යාවයි මුසුකරන්න පුළුවන්ද ?

අපිට ලෙඩක් ශරීරයෙන් ඉවත් කරලා සුව කරන්න බැහැ. අපි කරන්නේ රෝගය පාලනය කිරීමක් පමණයි. උදාහරණයක් ලෙස හදවත් රෝගියෙක්ව ඔහු හිටි සාමාන්‍ය තත්ත්වයට පත්කරන්න බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව බැහැ. අපි සිදුකරන්නේ එය පාලනය කිරීමයි. ශල්‍යකර්ම මගින් ඉවත් කරන රෝගයන් ගැන නෙවෙයි මම කතා කරන්නේ. සිංහල වෙදකමේදී අපේ ලෙඩ ගැන තේරුම් ගන්න විදිහ බටහිර වෛද්‍ය විද්‍යාවේ ලෙඩ ගැන තේරුම් ගන්න විදිහට වඩා ගොඩක් වෙනස්. අපි ප්‍රතිකාර කරන්නේ එකම මනුස්සයෙක්ටනේ.

එතකොට මේ හැම වෛද්‍ය ක්‍රමයේම මූලධර්ම එකක් විය යුතුයි. පුද්ගල ශරීරයක් ක්‍රියාකරන විදිහ තේරුම් ගන්න පුළුවන් නම් ඒ තේරුම් ගන්න ක්‍රියාවලිය එකක් වෙන්න ඕනෙනේ. නමුත් බටහිර හා සිංහල වෙදකමෙහි මූලධර්මවල යම් යම් වෙනස්කම් තිබෙනවා. උදාහරණයක් විදිහට අපි සිංහල වෙදකමෙහි කතා කරන වා, පිත්, සෙම් ගැන බටහිර වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ අසාත්මිකතාවන් ලෙසටයි. මම මේ දෙකේම දේවල් අරගෙන එක් මූලධර්මයකට ගෙන එනවා කිව්වොත් නිවැරදියි.

ඔබේ ප්‍රතිකාර ක්‍රමයට පාරම්පරික වෛද්‍ය විද්‍යාව භාවිත වන්නේ කෙසේද ?

මම සිංහල වෙදකමේ ඉතා සුළු පැත්තක් පමණයි අධ්‍යයනය කරන්නේ. පාරම්පරික වෙදකම කියන්නේ ආයුර්වේදයට නෙවෙයි. ඒ පිළිබඳව බොහෝ දෙනා තුළ වැරදි මතයක් නිර්මාණය වෙලා තිබෙනවා. ලංකාවේ පැරැන්නන් භාවිත කළ වෙදකම තමයි පාරම්පරික සිංහල වෙදකම කියන්නේ. මම මේ ගැන අධ්‍යයනය කිරීමේදී ඡත්තාඝර පිළිබඳව තොරතුරු මට හමු වුණා. මෙතෙක් ලංකා ඉතිහාසයේ වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳව හමු වූ කරුණුවලට අනුව ඡත්තාඝර දෙකක් දැනට හමු වී තිබෙනවා. ඉන් එකක් පළමු වැනි ශතවර්ෂයට අයත්. ඊළඟ ඡත්තාඝරය හමුවන්නේ පොළොන්නරු යුගයේ රජගලතැන්නෙන්. ඉන්පසුව සිංහල පාරම්පරික වෙදකමෙහි හෝ ආයුර්වේදය තුළ ඡත්තාඝර භාවිත කරා කියලා සාක්ෂියක් හමු වෙන්නේ නැහැ. ඒ ඡත්තාඝරවලින් සිදුකරේ ශරීරයේ භෞතික වේදනය වෙනස් කළ එකයි. අපේ ශරීරය තුළ සිදුවන අහිතකර ක්‍රියාදාමය නැවත යථා තත්ත්වයට පත් කරන්න ඡත්තාඝරවලට පුළුවන් වුණා. ඡත්තාඝර තුළ ප්‍රතිකාර කිරීමේදී යොදා ගැනෙන්නේ අධික උණත්වයක් නිර්මාණය කිරීමයි. වර්තමානයේ අපි දකින සම්භාහන මධ්‍යස්ථානවල ස්ටීම් කරන ක්‍රමවේදයන් තිබෙනවානේ. එහිදී සාමාන්‍යයෙන් උණත්වය සෙල්සියස් අංශක 45ට ගෙන එනවා. අපි අචලතාපී ජීවීන් නිසා එය අපේ ශරීරයට දරා ගන්න පුළුවන්. නමුත් මේ ඡත්තාඝර ක්‍රමයේදී අපි ශරීරයට දරාගන්න බැරි උෂ්ණත්වයක් ලබාදෙනවා.

එය සෙල්සියස් අංශක 70 - 80ක් වැනි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඔවුන් මේක හඳුන්වන්නේ ශරීරික ප්‍රවේශක ක්‍රමය කියලායි. මේක ක්‍රමක්‍රමයෙන් ශරීරයට හුරු කරවනවා. අපේ ශරීරය එක්තරා ස්ථානයකට පැමිණියාට පසුව ශරීරය ඇතුළින් නිර්මාණය වෙනවා කෘතිම උණ තත්ත්වයක්. ඒ තුළින් තමයි රෝග සුව කරන්නේ. ඇත්තටම උණ කියන්නේ රෝගයක් නෙවෙයි. උණ කියන්නේ යම් ලෙඩකින් අපිව ආරක්ෂා කරගන්න ශරීරය ඇතුළින්ම ගන්නා එක් ආරක්ෂාකාරී පියවරක්.

නූතන වෛද්‍ය විද්‍යාවේ පියාවන හිපොක්‍රටීස් එක් අවස්ථාවකදී කියනවා ඔහුට කෘතිමව උණ නිර්මාණය කරන්න පුළුවන් නම් පුද්ගලයන්ට සෑදෙන සියලුම ලෙඩ රෝග සුව කරන්න හැකි වෙනවා කියලා. හැබැයි ඒ වෙද්දී හිපොක්‍රටීස් දැනගෙන හිටියේ නැහැ මෙහෙම ක්‍රමයක් තිබෙනවා කියලා. ඒ වෙනකොට ඉන්දියාවේ ආයුර්වේදයත්, ලංකාවේ පාරම්පරික වෙදකමත් කෘතීමව උණ නිර්මාණය කර රෝග සුව කරා. මේ හා සමාන ප්‍රතිකාර ක්‍රමයක් තමයි මගේ ප්‍රතිකාර ක්‍රමයේදීත් භාවිත කරන්නේ. මම භාවිතා කරන්නෙත් "කෘතිම උණ" නිර්මාණය කිරීමක්.

ඔබේ ප්‍රතිකාර ක්‍රමය තුළින් සුව කළ හැක්කේ කෙබඳු රෝගීන්ද?

පුද්ගල වයසත් එක්ක තමයි ලෙඩ රෝග හැදෙන්නේ. හදවත් රෝග, දියවැඩියාව, ආතරයිටීස් ඇතුළු හැම රෝගයක්ම සෑදෙන්නේ වයසට යෑම නිසානේ. අපේ ශරීරයේ පවතින ක්‍රියාකාරීත්වය වයසත් එක්ක යම් යම් අසමබරතාවකට පත් වෙනවා. එතකොට ඒක නිවැරදි කරන්න, යථා තත්ත්වයට ගේන්න කටයුතු කරන එක තමයි අපි කළ යුතු වන්නේ.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල්, ආතරයිටීස්, අංශභාගය වැනි රෝග මම දැනට සුව කරලා තිබෙනවා. බෝ නොවන රෝග තමයි මම සුව කරලා තියෙන්නේ. ඒ වගේම බෝ වන රෝගත් සුව කළ හැකියි. අපිට උණ හැදෙන්නේ බෝ නොවන රෝගවලින් නෙවෙයිනේ. එතකොට මගේ ක්‍රමවේදයෙන් බෝ වන රෝගවලටත් ප්‍රතිකාර කරන්න පුළුවන් කියන එක පැහැදිලියි.

උදාහරණයක් විදිහට මේ වෙද්දී ලෝකයම ආක්‍රමණය කරලා තියෙන කෝවිඩ් - 19 කියන්නෙත් උණකින් ආරම්භ වන රෝගයක්. එහි ප්‍රධානම රෝග ලක්ෂණය උණ සෑදීමනේ. කෝවිඩ්වලින් පසුව අංශභාගය, අධිරුධිර පීඩනය, හෘද්‍යාබාධ වැනි රෝග වැලඳිය හැකියි. නමුත් මම බෝ වන රෝගවලට ප්‍රතිකාර නොකරන්නේ අද ලංකාවේ බෝ වන රෝගවලට වඩා බෝ නොවන රෝගවල තත්ත්වය භයානක නිසයි. උදාහරණයක් විදිහට දියවැඩියාව ගත්තොත් ඒ මගින් පුද්ගල ශරීරයේ නිෂ්පාදන හැකියාව සම්පූර්ණයෙන්ම අඩාළ කරනවා.

ඔබ කියන්නේ ඔබේ ප්‍රතිකාර ක්‍රමය තුළින් "කෝවිඩ් - 19" වැනි රෝගයන් පවා සුව කිරීමේ හැකියාවක් තිබෙනවා කියලද ?

කෝවිඩ් - 19හි පළවෙනි ලක්ෂණය උගුරේ අමාරුව. උගුරේ අමාරුව කියන්නේ උණ සෑදෙන්න පෙර මතුවෙන ලක්ෂණයක්. ඒ වගේම කෝවිඩ් බෝ වීම සහ රෝග ලක්ෂණ පහළ කරන්නේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතවනේ. මේ වෛරසය යම් මොහොතක වෙනස් වෙන්නත් පුළුවන්.

කෝවිඩ් නිසා හාර්ට් ඇටෑක්, අංශභාගය, අධික ලෙස රුධිර කැට ගැසීම් වැනි පාලනය කළ නොහැකි රෝග වැලඳීමේ ප්‍රවණතාවක් මේ වනවිට තිබෙනවා. කෝවිඩ් - 19 පාලනය කිරීමේදී දැනට කරන එකම ක්‍රමය වන්නේ රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමනේ. පහුගිය කාලයේදී අපේ රට වහලා, ආර්ථික ගැටලු මතුවෙලා විශාල ඇද වැටීමකට ලක්වුණානේ. නමුත් රට වහලා තියලා කිසිම රටකට රෝගය සුව කරන්න බැහැ.

යම් අවස්ථාවකදී රට අරින්න වෙනවා. අපිටත් සිදු වුණේ ඒකයි. රට විවෘත කළාට පසුව අනිවාර්යෙන්ම දෙවැනි කෝවිඩ් රැල්ලක් ඇතිවීමේ ඉඩකඩක් තිබෙනවා. එතකොටත් අපිට ආයෙත් රට වහලා බෝවීම වළක්වන්න බැහැ. මොකද ඒක දැන් ප්‍රායෝගික නැහැ. එතකොට අපි මොනවාද කළ යුත්තේ. අපි කෝවිඩ් බෝවීම වැළැක්වීමට වඩා සිදුකළ හැකි වෙනත් ක්‍රම මොනවාද කියලා හොයාගන්න ඕනේ. මම කිව්වා වගේ කෝවිඩ් නිසා වැලඳිය හැකි රෝගවලින් ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක සිතා බැලිය යුතුයි. කෝවිඩ් නිසා වැලඳිය හැකි රෝගයන්ට මගේ ක්‍රමවේදයෙන් මම ප්‍රතිකාර කර තිබෙනවා. ඒ වගේම අපි ඊළඟට කල්පනා කළ යුත්තේ මේ ඉන්න රෝගීන්ව මරණීය තත්ත්වයට පත්වීමට ඉඩ නොදී ඉතා ඉක්මනට සුව කළ ක්‍රම මොනවාද කියලායි.

එතකොට මගේ ප්‍රතිකාරයත් භාවිත කළ හැකියි. නමුත් ගැටලුව වී තිබෙන්නේ කෝවිඩ් - 19 කියන්නේ තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන රෝගයක් වීමයි. ඇත්තටම අපිට තියෙන සම්පත් භාවිත කරන්න පුළුවන් නම්, ඒවායෙන් වැඩ ගන්න හිතෙනවා නම්, මේක තමයි ඒකට නියම අවස්ථාව.

ඔබ භාවිත කරන වෛද්‍ය ක්‍රමයේදී කෘතීමව "උණ නිර්මාණය" කරන්නේ කොහොමද?

ඔබ හිතන්න මම ඔබේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් ඉහළ දමනවා කියලා. එතකොට මගේ ප්‍රතිකාරය අවසන් වනවිට රෝගියාගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.5ක් වෙනවා. නමුත් මම මගේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව කියලා, ඒ පිළිබඳව අත්දැකීමක් නොමැති කෙනෙක් ඒක අත්හදා බලලා ඒක යම් තැනකදී හෝ වැරදුනොත් ආඝාතයක් ඇතිවිය හැකියි. ඒ නිසා මම භාවිත කරන න්‍යාය කියන්න බයයි. මම ප්‍රතිකාර කරන්න ආරම්භ කරන්නේ 2005 වසරේ ඉඳලා. එතකොට මට මේ පිළිබඳව අත්දැකීමක්, විශ්වාසයක් තිබෙනවා.

බටහිර වෛද්‍ය විද්‍යාවත්, පාරම්පරික වෛද්‍ය විද්‍යාවත්, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් අතර සමාජයේ විවිධ මතවාදයන් නිර්මාණය වී තිබෙනවා?

ඔව්. ඔතන ප්‍රශ්නය තිබෙන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ එක ක්‍රමයයි. බටහිර වෛද්‍යවරු ඉගෙන ගෙන තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව විතරයි. ආයුර්වේදයත් එහෙමයි. පාරම්පරික වෛද්‍යවරුත් එහෙමයි. ඔවුන් දන්නේ එක් දෙයක් පිළිබඳව විතරයි.

එතකොට ඉගෙනගත්තු දේට වහල් වීමක් ඉබේම සිදුවෙනවානේ. අපිට හැමතැනකදීම වැරදිලා තියෙන්නේ අපේ තිබෙන වහල්භාවයත්, ගැතිභාවයත් නිසායි. මේ තුන් දෙනාම ඉන්නේ ළිං තුනක. ඔය ළිං තුනෙන් එළියට එන්න කාලය තමයි මේක. ළිඳ ඇතුළේ ඉඳලා කෑ ගහලා වැඩක් නැහැනේ. මේ තුනෙන්ම එළියට ඇවිත් එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ.

අනෙක අද බොහෝ දෙනා පොඩි ලෙඩකට වුණත් යන්නේ විශාල නමක් තිබෙන පෞද්ගලික රෝහල්වලටනේ. ඇයි ඒ. එතන තිබෙනවා සමාජයක් විසින් නිර්මාණය කරනු ලැබූ විශාල නමක්. සමහරවිට මගෙන් සුව වුණු පිරිස් පවා මහ සමාජයට ගිහින් ප්‍රසිද්ධ රෝහලකින් බෙහෙත් අරගත්තා කියලා කියනවත් ඇති.

 



Recommended Articles