වෙව්ලිල්ල


වෙව්ලන්නේ සීතලටය. ඒ වගේම බියවූ විටද වෙව්ලනවාය. සීතලට වෙව්ලිල්ල නම් සීතල අඩු වූ පසු ඉබේම නවතිනවාය. එහෙම අඩු නොවුණොත් රෙද්දක් පොරවාත් විට හෝ ඝනකම් ඇඳුමක් ඇඳගත් විට වෙව්ලිල්ල නවත්වාගන්න පුළුවන්ය. වයසට ගිය අය වෙව්ලන්නේ වාරු නැති වුණාමය. එහෙම වෙව්ලන අයට ඇවිදින්න සිද්ධ වෙන්නේ කාගේ හරි උදව්වෙන්ය. බේබද්දන් වෙව්ලන්නේ දිගටම අරක්කු බීලා ස්නායු දුර්වල වුණාමය. ඒගොල්ලන්ගේ වෙව්ලිල්ල බීම අඩුකළ විට අඩුවෙන්න පුළුවන්ය.
 
බියට වෙව්ලන කෙනාගේ වෙව්ලිල්ල නැවතෙන්න නම් බිය අඩුවිය යුතුය. අවතාරයක් දුටුවිට බියවෙලා වෙව්ලන අයද ඉන්නවාය. ඒ  අය අවතාරයට බයවෙලා  වෙව්ල වෙව්ලා ආතක් පාතක් නැතුව දුවනවාය.  මුහුණටමුහුණ සටන් කරන්නට එන අයද පරසතුරාට බියවෙලා වේව්ලනවාය. යුද්ධය පවතින කාලේ පාරේ ගමන් කරන්විටත් බියවෙලා වෙව්ලුවේ බෝම්බ පිපිරෙයි කියන බයටය. ඒ කාලේ රස්සාවට ගිය සැමියා ගෙදර එනතුරු බියෙන් වේව්ල වෙව්ලා බිරියන් බලා ඉන්නවාය. පාසල් ගිය දරුවන්  ගෙදර එන්න ප්‍රමාද වනවිට අම්මලා බියෙන් වෙව්ලනවාය. මායිම් ගම්වල හිටපු අය කොටින් ඒවි යයි රෑ එළිවෙනතුරු බියෙන් වෙව්ලමින් නිදිමැරූ කාලයක් තිබුණාය. ඒත් අපේ වීර සොල්දාදුවන්ට පින්සිද්ධ වෙන්න දැන්නම් එහෙම බයෙන් වෙව්ලන්න ඕනෑ නැත්තේය.
 
පොලීසිය එනවා දුටුවිට අද දෙකකුල් වෙව්ලන්නේ හොරාට වැඩිය දුප්පත් අහිංසකයාගේය. එහෙම වෙව්ලන්න හේතුව වැරැද්දක් නොකළ අයද අල්ලාගෙන ගිහිල්ලා කූඩුවේ දමන්නට අපේ පොලීසිය දස්ස නිසාය. ඒත් පොලීසියට බයනැති හොරු අපරාධකාරයෝ එහෙම බියෙන් වෙව්ලන්නේ  නැත්තේය. එහෙම වෙව්ලන්නේ නැත්තේ තමන් පොලීසියට සලකන හැටියට තමන්ට කරදරයක් නොවන බව දන්නා හින්දාය.
සමහර වෙලාවට අපරාධකරුවන් අල්ලන්න යන පොලීසියටත් වෙව්ලන්න සිද්ධ වෙනවාය. එහෙම වෙව්ලන්න සිද්ධ වෙන්නේ අපරාධකාරයන් එකතුවෙලා පොලීසියට ප්‍රහාර එල්ල කරන්න ඉඩ තිබෙන හින්දාය. එහෙත් හොඳ නිර්භීත නිලධාරීන් නම් එහෙම චණ්ඩින් පාතාලයන් ඉදිරියේ කොහොමටවත් වෙව්ලන්නේ නැත්තේය.
 
පොලීසියේ නම් මේ වෙව්ලිල්ල පහළ සිට ඉහළට බෝවෙන ලෙඩක්ය. සාජන් මහත්තයා දුටුවිට රාළහාමි බියෙන් වෙව්ලනවාය. සාජන් බියෙන් වෙව්ලන්නේ එස්.අයි. මහත්තයාටය. එස්.අයි., අයි.පී. ටද, අයි.පී., එච්.කිව්.අයි ටද, බියෙන් වෙව්ලනවාය. මූලස්ථාන පොලිස් පරීක්ෂක සහකාර පොලිස් අධිකාරී ඉස්සරහ වෙව්ලන අතර සහකාර අධිකාරී නියම අධිකාරී දුටුවිට වෙව්ලනවාය. පොලිස් අධිකාරී නියෝජ්‍ය පොලිස්පති ඉස්සරහද, පොලිස්පති දේශපාලුවන් ඉදිරියේද වෙව්ලනවාය. අද ඉන්න පොලිස්පති එහෙම වෙව්ලන්නේ නැත්තේ තමන් මොන විදිහට හැසුරුනත් ඉවත් කරන්න දේශපාලුවන්ට බැරි බව දන්නා හින්දාය. කෙලින් තියෙන නීතිය නමලා හරි වෙව්ලිල්ල නැති කරගන්න මිනිහා දස්සයාය.    
 
ඉස්සර නම් වැරදි වැඩ කරන සිසුවා ගුරුවරයා ඉදිරියේ වෙව්ලුවේ තමන්ට දඬුවම් කරාවි  යන බයටය. ඒත් අදනම් මොන වැරැද්ද කළත් ගුරුවරයා සිසුවාට දඬුවම් කරන්න බියෙන් වෙව්ලන්නේ එහෙම දඬුවම් කළොත් තමන්ට උසාවි යන්න වෙයි කියන බයටය.
සැකකාර නඩුකාර උන්නාන්සේ දුටුවිට වෙව්ලන්නේ තමන්ට රිමාන්ඩ් එකේ ඉන්නවෙයි කියන බයටය. විත්තිකරුවා උසාවියේදී වෙව්ලන්නේ තමන්ට වැරදිකරුවකු වෙලා දඬුවම් ලැබෙයි කියලාය. නඩුව කතා කරන පෙරකදෝරුවා ඉදිරියේ විත්තිකරු වෙව්ලන්නේ නඩුව ඉවරවෙනකොට කොච්චර ගාස්තුව ගෙවන්න වෙයිද කියන බයටය.
 
දරුවන් දෙමවුපියන් ඉදිරියේ වෙව්ලන්නේ අකීකරුවීම දඬුවම් ලැබීමට හේතුවක් බව දන්නා නිසාය. ඒ වගේම මහලු දෙමවුපියන් දරුවන් ඉදිරියේ වෙව්ලන්නේ තමන්ව මහලු මඩමකට ගිහිං දමාවිය කියන සැකයටය. පාරේ යන විටද අද බියෙන් වෙව්ලමින් යන්න සිද්ධවෙලා තියෙන්නේ කොයි වෙලේ හරි වාහනයක් තමන් යට කරගෙන යයි කියන බයටය. පේමන්ට් එක අල්ලාගෙන කඩ හදලා තියෙන හන්දා මගීන්ට සිදුව ඇත්තේ බියෙන් වෙව්ලමින් තාර පාරේ යන්නටය.
 
අපි පුංචි කාලේ පාරේ ගෙනයන අලින්ට බියවී වෙව්ලමින් සැඟවුණු හැටි අපට මතකය. එහෙම වෙව්ලුවේ අලියා හොඩවැල දික්කරලා අපිව ළඟට ඇදගනී කියලා බයටය. අද පෙරහැරේ ගෙන යන අලින් දුටුවිට නරඹන්නන් බියෙන් වෙව්ලන්නේ නැත්තේ ඔවුන් පෙරහරේ ගමන් කරන්න පුරුදුවෙලා ඉන්නවග දන්නා හින්දාය.
 
අද ප්‍රයිවෙට් බස් එකේ යන මගියාගේ පපුව ඩිග් ඩිග් ගාලා වෙව්ලන්නේ ලංගම බසයක් එක්ක රේස් යන විදිහට ඒකට වැඩිදුර යන්න බැරිවෙයි කියලා හිතෙන නිසාය. දුම්රියේ යන විටද වෙව්ලන්න සිද්ධවෙලා තියෙන්නේ පසුගිය දවස්වල වගේ බ්‍රේක් නැතුව පීලි පනියි කියලා බයටය. රුපියල කඩා වැටෙයි කියා ජනතාව වෙව්ලන්නේ ඒ හින්දා තවත් බඩුමිල වැඩිවෙයි කියලාය. හැම මාසයකම දහවැනිදා මධ්‍යම රාත්‍රිය වනවිට මිනිසුන් වෙව්ලන්නේ මිල සූත්‍ර‘යෙන් ඉන්ධන මිල වැඩිකරයි කියලා බයටය. කාර් පර්මිට් නැවැත්තුවාට දේශපාලුවන්ට වෙව්ලන්න හේතුවක් නැත්තේ ඒ ගොල්ලෝ මේ වෙනකොට පර්මිට්වලට කාර් ගෙනල්ලා විකුණලත් ඉවර හින්දාය. ළඟදී එන බජට්ටුවට මිනිස්සු දැන් ඉඳලා බයෙන් වෙව්ලන්නේ තව මොකට බදු ගහයි දැයි නොදන්නා හින්දාය. ඡන්ද දාසලාට සදාකාලිකවම බියෙන් වෙව්ලමින් ජීවත් වීමට සිදුව ඇත්තේ හෙට සිද්ධවෙන දේ ගැන අද දන්නේ නැති නිසාය.


Recommended Articles