ඉතා ඉක්මනින් සහ කාර්යක්ෂමව වෙරළ පිරිසුදු කළ හැකි රොබෝවරයෙක් නිර්මාණය කිරීමට තරුණ නව නිපැයුම්කරුවෙක් වන කවිඳු ගම්ලත් සමත් විය. කවිඳු පසුගිය වසරේදී උසස් පෙළ විභාගයට මුහුණ දුන් අතර, ඔහු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුවෙකි. කවිඳුගේ මෙම වෙරළ පිරිසුදු කිරීමේ රොබෝවෙන් වෙරළක් අපවිත්‍ර නොකර තබාගැනීමට විශාල පිටිවහලක් වනු ඇත. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කවිඳු ගම්ලත් ‘අද’ට සම්බන්ධ කර ගතිමු.
ඔබ නිර්මාණය කළ 'වෙරළ පිරිසුදු කිරීමේ රොබෝ' ගැන හඳුන්වා දුන්නොත්?
මේ වෙරළ පිරිසුදු කරන රොබෝව නිර්මාණය කරන්නේ පහුගිය කාලේ සිදුවුණු මුහුදු විනාශයත් සමගයි. හැබැයි ඒ නැවෙන් සිදුවුණු හානිය නිසාම නෙමෙයි මේක නිර්මාණය කරන්නේ. ඝන අපද්‍රව්‍ය වෙරළට එකතු වීම කාලයක ඉඳලා සිදුවුණු දෙයක්. ඒකට පිළියමක් විදිහට තමයි මෙවැනි රොබෝවක් නිර්මාණය කරන්න අදහස ආවේ. නමුත් මේක ඉක්මන් වුණේ නැවෙන් සිදුවුණු හානිය නිසයි. ඒ වගේ හදිසි තත්ත්වයක් ආවොත් ඒ සඳහා වැඩ කරන්න ඉන්නේ හමුදාව විතරයිනේ. මට අවශ්‍ය වුණා මිනිස් ශ්‍රමය යොදවන්නේ නැති රොබෝ කෙනෙක් නිර්මාණය කරන්න.
මෙහි ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කරමු?
මෙයා ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන්. මෙයාව පාලනය කරන්න කිසිම පුද්ගලයෙක් අවශ්‍ය වන්නේ නැහැ. එයාව අදාළ කලාපයෙන් තිබ්බාම එයා ඒ ප්‍රදේශයේ වෙරළ පිරිසුදු කරන්න පටන් ගන්නවා. වෙරළ සම්පූර්ණයෙන්ම පිරිසුදු කරලා ඉවර වුණාම එයාම ක්‍රියා විරහිත වෙනවා. වෙරළේ තෙත, වියළි ඇතුළු ඕනෑම වැල්ලක් මෙයා අරගෙන පිරිසුදු කරලා වෙරළට මුදාහරිනවා.
මේ රොබෝට පැය තුනක් එකදිගට වැඩ කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ පැය තුන ඇතුළත එයාට විශාල ප්‍රමාණයේ කලාපයක් ආවරණය කරමින් පිරිසුදු කිරීම් කරන්න පුළුවන්. මෙයාට තත්පරයකට වැලි කිලෝ තුනක් පිරිසුදු කරන්න පුළුවන්. ප්ලාස්ටික් බෝතල්, පොලිතීන්, රෙජිෆෝම්, ප්ලාස්ටික් කප්, සෙරෙප්පු වැනි හැම ඝන අපද්‍රව්‍යක්ම මෙයා අරගන්නවා. මිලිමීටර් දෙකට වඩා වැඩි ඕනෑම ප්‍රමාණයේ ඝන අපද්‍රව්‍ය මෙයා අරගන්නවා.
මේ රොබෝව නිර්මාණය කිරීමේ අරමුණ කුමක්ද?
නව නිර්මාණ සිදුකරන නමුත් කවුරුත් ඒ පිළිබඳ කතා නොකරන අය එකතු කරගෙන මම ගෲප් එකක් කරගෙන යනවා. ඒකෙදි අපි මුලින්ම කරන්න පෙළඹුණේ ස්වයංක්‍රීය රොබෝවරුන් නිර්මාණය කිරීමයි. ඇත්තටම ඉස්සරහට ලංකාවේ මාර්ග පිරිසුදු කිරීම්වලට, වෙරළ පිරිසුදු කිරීම්වලට සහ අනෙකුත් පිරිසුදු කිරීම් කටයුතුවලට පුද්ගලයන්ගේ හිඟතාවයක් මතු වෙනවා. දැනට ඒ වැඩකරන පිරිසගේ වැඩකරන කාලය ඉවර වුණාම ඉදිරි අනාගතයට එවැනි පිරිසක් ඉඳීවි කියල හිතන්න බැහැ. ඉස්සරහට හැමෝම වගේ අධ්‍යාපනයෙන් සන්නද්ධ වුණාම ඔවුන් වෙනත් වෙනත් ක්ෂේත්රවලට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒ හිඟයේ අඩුව පුරවන්න තමයි අපි ස්වයංක්‍රීය රොබෝවරුන් නිර්මාණය කරන ව්‍යාපෘති පටන් ගන්න හිතුවේ.
මෙම නිර්මාණයට රජයෙන් ලැබුණු ප්‍රතිචාරය මොකද්ද?
මේක නිර්මාණය කරලා මම නාමල් රාජපක්ෂ ඇමතිතුමාට පෙන්නුවා. එහිදී අපි මෙවැනි රොබෝවරුන් පස්දෙනෙක් මුලින් හදමු කියල එකඟතාවයකට ආවා. ඒ වගේම පසුගිය දිනෙක ඩී.වී චානක ඇමතිතුමත් කතා කළා. මේ දවස්වල මම ඒ ව්‍යාපෘතිය සඳහා කොපමණ වියදමක් යනවාද කියල ඇස්තමේන්තු හදනවා. ඉතා ඉක්මනින් ඒ ව්‍යාපෘතියේ වැඩ පටන්ගන්න පුළුවන් වෙයි.
මේ රොබෝව නිර්මාණය කිරීම සඳහා කොපමණ කාලයක් ගතවුණාද?
මේ පොඩි රොබෝව හදන්න මට දින තුනක් පමණ ගියා. දළ වශයෙන් මේ සඳහා වියදම රුපියල් දොළොස්දාහක් වගේ ගිහිල්ලා තිබෙනවා. නමුත් ලංකාවේ මේ සඳහා අවශ්‍ය වන දේවල් ලබාගැනීමේ ගැටලුවක් තිබෙනවා. විශේෂයෙන් මේ සඳහා යොදාගන්නා දේවල්වල මිල වැඩියි. ඒ වගේම මේක හැදුවෙත් සංචරණ සීමා මැද නිසා ඕනෑ කරන උපකරණ හොයාගන්න විශාල වෙහෙසක් දරන්න සිදුවුණා.
ඔබ මීට පෙර හදපු නිර්මාණ මොනවාද?
මීට කලින් මම නව නිර්මාණ තුනක් හදලා තිබෙනවා. මුලින්ම හැදුවේ %‘ඕසෝන්’ කියලා යන්ත්‍රයක්. ඒක වාතය පිරිසුදු කිරීමේ යන්ත්‍රයක්. ඒකේ තිබෙන ප්‍රධානම වාසිය තමයි ලොකු ප්‍රදේශයක තිබෙන වාතය ඉතා ඉක්මනින් පිරිසුදු කරන්න පුළුවන් වීම. හැබැයි ඒක මිනිස්සු ඉද්දි පාවිච්චි කරන්න බැහැ. ඕසෝන් කියන්නේ මිනිසුන්ට අහිතකර වායුවක්නේ. ඒක නිර්මාණය ගම්පහ කලාප කාර්යාලයේදී තිබුණු කෝවිඩ් කාලේදි හදපු නව නිර්මාණ ඇගයීමේ උත්සවයේදී ඇගයීමට ලක්වුණා.
ඊට පස්සේ මම හැදුවා UV air clean කියලා යන්ත්‍රයක්. ඒක පාරජම්බුල කිරණ මගින් වාතය පිරිසුදු කිරීමේ යන්ත්‍රයක්. තවත් වාතය පිරිසුදු කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කළා. මේ තුන හදන්න පෙළඹුණේ කෝවිඩ් වාතයෙන් බෝවන නිසයි. වාතය පිරිසුදු කරන්න පුළුවන් නම් මේ වෙලාවේ අපිට ඒක ගොඩක් වැදගත් වෙනවනේ.
ඒ නිර්මාණ ත්‍රිත්වය ඉදිරියට ගෙන ගියේ නැද්ද?
නැහැ. ඒවා නැවත නිෂ්පාදනය කිරීමක් සිදුවුණේ නැහැ.
ඉදිරියේදී එළිදක්වන තවත් නව නිර්මාණ තිබෙනවාද?
මේ වෙද්දි නම් සැලසුම් කරගෙන යන්නේ මේ රොබෝ පස්දෙනා නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ගැනයි. මීට වඩා විශාල ප්‍රමාණයේ රොබෝ නිර්මාණය කරන්න ඕනේ. රාත්රියේදී ජංගම දුරකථන ආරෝපණය කිරීමේදී එයින් නිකුත්වන විකිරණ මිනිසුන්ට අහිතකර නිසා ඒ සඳහා විසඳුමක් නිර්මාණය කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ දේවල් තමයි ඉදිරියේදී කරන්න හිතාගෙන ඉන්නේ.