ඇතැම් නෛතික ප්‍රතිපාදන හරහා සිදුවිය හැකි අනර්ථයන් පිළිබඳ නිසි පරිදි වැටහෙනුයේ ඒවා අහිතකර ලෙස භාවිත කිරීමෙන් අනතුරුවය. කෙසේවුවද එවැනි අහිතකර තත්ත්වයන් ඇතිවීමට පෙර ඒ පිළිබඳ සොයා බලා නීතියේ ඇති දුර්වලතා පියවා ගැනීම වඩාත් සුදුසු එසේම ප්‍රශස්ත ක්‍රියාමාර්ගයයි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීමේදී වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතෙහිද වෙනස් විය යුතු ඇතැම් තැන් ඇති බවට කාලෝචිතව නිරීක්ෂණය වේ. එම පනතට අනුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයාට හිමි බලතල සම්බන්ධයෙන් එක්තරා සීමිත නමුදු රටේ අනාගත පැවැත්මට අත්‍යවශ්‍ය කොටසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කරමු. මෙය ඒ පිළිබඳ ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සමග සිදුකරන ලද සාකච්ඡාවක් ඇසුරින් සකස් වූවකි.
සෑම පනතක්ම ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනයක් ඇති අතර, බොහෝ පනත් ක්‍රියාත්මක කිරීමේ ආයතනයද එම පනත මගින්ම ස්ථාපනය කළ ඒවා වේ. යම් යම් අවස්ථාවලදී එම ආයතනයේ ක්‍රියාවකටම පනත අදාළ වන විට අන් පාර්ශ්වයන්ට ආදර්ශයක් සැපයෙන පරිදි පනත ක්‍රියාවට නැංවීම එම ආයතනවල ඒකායන වගකීමයි.
ඒ අනුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත යටතේ ක්‍රියාත්මක වෙයි.
අභිමතය
කෙසේවුවද මෙම බලතල විශාල ලෙස පුළුල් වීමක් සිදුවනුයේ 1988 අංක 56 දරන සංශෝධන පනත මගින් ජාතික පාරිසරික පනතටද පරිසර අනුමැතිය ලබාදීමේ බලතල ලබාදීම හා එම බලතල ක්‍රියාත්මක කිරීම සඳහා 1993.06.24 දිනැති අංක 772/22 දරන ගැසට් පත්‍රයේ පළ වූ පාරිසරික අනුමැතියට අදාළ නියෝග තුළිනි. එකී නියෝග මඟින්, නියමිත ව්‍යාපෘති ලෙස නම් කළ කටයුතු සඳහා රටේ වෙනත් ප්‍රදේශවලදී ජාතික පාරිසරික පනතේ 23 ආ ආ (23AA) වගන්තිය යටතේ අනිවාර්‍ය අවශ්‍යතාවක් වන පාරිසරික අනුමැතිය වෙරළ කලාපය බැහැර කොට ක්‍රියාත්මක කිරීම සඳහා එම පාරිසරික අනුමැතිය ලබාදීමේ ක්‍රියාපටිපාටිය වෙරළ කලාපයෙන් බැහැර ප්‍රදේශ සඳහා සීමාකිරීම ඊට හේතු විය.
අත්තනෝමතික අවදානම
කෙසේවුවද මෙමඟින් නොදැනුවත්වම ඇතිවූ විෂම තත්ත්වය එකල පරිසර ක්‍රියාකාරිකයන්ට පෙනී ගිය දෙයකි. එනම්, රටේ සෙසු ප්‍රදේශවලදී අනිවාර්‍යයෙන් පාරිසරික අනුමැතියට ලක්විය යුතු කටයුතු වෙරළ කලාපය තුළ සිදුකෙරෙන්නේ නම් ඊට පාරිසරික අනුමැතිය හෙවත් මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් පිළියෙල කොට අනුමැතිය ලබාගැනීම අනිවාර්‍ය අවශ්‍යතාවක් නොව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අභිමතය අනුව සිදුවිය යුත්තක් බවට පත්වීමය.
වෙරළ කලාපය වැදගත් සහ සංවේදී ප්‍රදේශයක් වීම හේතුවෙන්ම වෙරළ කලාපය රැක ගැනීම වෙනුවෙන් විශේෂිතවම ක්‍රියාත්මක වීම සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත සම්මත වී තිබේ. ඒ අනුව රටේ වෙනත් ප්‍රදේශ තුළ අනිවාර්‍යයෙන්ම පාරිසරික අනුමැතියට යටත් කටයුතු සඳහාද වෙරළ කලාපය තුළ අදාළ අනුමත කරවා ගැනීමේ ක්‍රියාපටිපාටිය අනුව ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍යයෙන් අනිවාර්‍ය කටයුත්තක් විය යුතුව තිබුණද, සිදුව ඇත්තේ ඊට හාත්පසින් වෙනස් සහ ඊට පටහැනි තත්ත්වයකි.
මෙහි අභිමතානුසාරී බලතල අනර්ථකාරී භාවිතයන් බවට ඉතා පහසුවෙන් පත්වීමේ විශාල අවදානම පෙර සිට නිරීක්ෂණය වූවකි. උදාහරණයක් ලෙස රටේ සෙසු ප්‍රදේශවලදී පාරිසරික අනුමත කරවා ගැනීමට අනිවාර්‍යයෙන් ලක්විය යුතු ව්‍යාපෘතියක් ගතහොත්, වෙනත් ප්‍රදේශයකදී පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සහිතව ජාතික පාරිසරික පනත යටතේ අනුමත කරවා ගැනීම අනිවාර්‍ය වන සහ පාරිසරික බලපෑම් අධික වීම හේතුවෙන් අනුමැතිය ලබාගත නොහැකි විය හැකි ව්‍යාපෘතියක් පිළිබඳ අවධානය යොමු කළ හැකිය.
ඒ අනුව එය වෙනත් ප්‍රදේශයක් තුළ අනුමත නොවිය හැකි මුත්, වෙරළ කලාපය තුළ ස්ථාපනය කරන්නට යන්නේ නම් ඊට පාරිසරික අනුමැතිය අනිවාර්‍ය අවශ්‍යතාවක් නොව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අභිමතය යටතේ පමණක් සිදුවන්නක් වේ. මෙම තත්ත්වය අනුව, රටේ සෙසු ප්‍රදේශයක වූයේ නම් පාරිසරික අනුමැතිය ලබාගැනීම දුෂ්කර විය යුතුව තිබෙන හෝ නොහැකි විය හැකි පරිසරයට ඉතා අයහපත් ව්‍යාපෘතියක් වුවද කිසිදු අපහසුවකින් තොරව මෙන්ම කිසිදු පරිසර අනුමැතියකින් තොරව හෝ පනතේ 14 වැනි වගන්තිය යටතේ අනුමැතිය ලබාගත හැකි වනු ඇත.
එහෙත් මෙවැනි තත්ත්වයක් යටතේ එය අත්තනෝමතික තීරණයක් වනු නිසැකය. එමෙන්ම, කිසිදු වගකිවයුතු රාජ්‍ය නිලධාරියෙකු එසේ නොකරනු ඇති බවට තර්කණ කළ හැක. කෙසේවුවද අතීතයෙන් නිරතුරුව නිසි පාඩම් ඉගෙනගත යුතුමය. එනම්, අත්තනෝමතිකත්වයට ඉඩකඩක් ලබා දී ඇත්නම්, එය එසේ නොවෙතැයි කියා හෝ අනාගතයේදී කිසිවෙකු එසේ නොකරනු ඇතැයි වැනි සුබවාදී උපකල්පන මිනිස් ස්වභාවයට බොහෝවිට අනුකූල වන බවයි. වෙනත් ලෙසකින් කිවහොත්, වරදක් නීත්‍යනුකූල මුහුණුවරකින් සිදුකිරීමට අවකාශයක් ඉතිරි කළහොත් එසේ කෙනෙකු කළ හැකි බව විශ්වාස කර ඒවා වළක්වාලීමට කඩිනමින් ක්‍රියාකිරීම අනාගතය වෙනුවෙන් කළ හැකි මෙන්ම කළයුතු වඩාත් ප්‍රශස්ත ක්‍රියාමාර්ගය වන බවයි.