වෙන්නේ මොකද්ද ?


ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා අර්බුදයේ දසවැනි දිනයත් උදා වෙමින් තිබේ. ආර්ථිකය විශාල අවුලකට පත් වී තිබේ. රුපියලේ දැවැන්ත කඩා වැටීම නැවැත්වීමට රට අභ්‍යන්තරයේ ඩොලර් සැපයුම ඉහළ දැමීමට විදේශ සංචිතවලින් ඩොලර් මිලියන පනහක් පසුගිය දිනක නිදහස් කළේය. එය අනාගතයේදී බරපතළ ප්‍රතිඵල ගෙන දෙනු ඇත.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය සතියේ නිකුත් කිරීමට තිබූ ඩොලර් බිලියන 02ක ණය මුදල වහාම නවතා දමා තිබේ. යහපාලන රජය බලු බැණුම් අසමින් රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරනු ලැබුවේ මෙම ණය මුදල ඉලක්ක කර ගනිමිනි. එය ලංකාවේ අනාගතය අවුලෙන් අවුලට පත් කරනු ඇත. 

සැබවින්ම කුමන්ත්‍රණකරුවන්ද එයින් අවුල් වී තිබේ. මන්ද ඔවුන් බලාපොරොත්තු වූයේ එම ඩොලර් බිලියන 02න් මැජික් දැමීමටය. පැය කිහිපයක හදිසි වීමක් මත ඔවුන්ට එම අවස්ථාව මග හැරී ගියේය.
ජපානය ඔවුන්ගේ ආධාර නවතා දමා තිබේ. පාර්ලිමේන්තුව කැඳවා හැකි ඉක්මනින් නිත්‍යනුකූල ආණ්ඩුවක් ගොඩනගන්නේ නැතිනම් යුරෝපා සංගමය සම්බාධක පැනවීමට සූදානමක් පවතී. පාර්ලිමේන්තුවේ මුදල් වර්ෂය අවසන් වී ඇති බැවින් ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය දේ අපනයනයට මුදල් වැය කළ හැකි තත්ත්වයක් රට තුළ නොමැති වේ. නිලධාරීන් තීන්දු තීරණ ගැනීමෙන් වැළකී සිටීම නිසා රාජ්‍ය යාන්ත්‍රණයද ඇනහිට තිබේ.
රටේ සියලුම සාම්ප්‍රදායික මාධ්‍ය පක්ෂග්‍රාහීව කුමන්ත්‍රණයට සම්බන්ධ වී ඇත. දේශපාලකයන් අතර විශාල මුදල් හුවමාරුවක් සිදුවෙමින් පවතී. ජනතාව එක්තරා ප්‍රමාණයකට අවබෝධයෙන් යුතුව නිෂ්ශබ්දව එදිනෙදා කටයුතුවල නිරත වේ. නමුත් මේ නිසල බව අර්බුදයේ ගැඹුර කියා පායි.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය මෙම අරගලය ජයග්‍රහණය දක්වා මෙහෙය වීමට තිර අදිටනක කටයුතු කරනු දැකිය හැකිය. එම පක්ෂයේ ඉතිහාසය තුළත්, ලංකා ඉතිහාසය තුළත් මෙම අරගලය තරම් තීරණාත්මක සැබෑ දේශපාලන අරගලයක් ඇති වී නොමැත්තේය. අනෙක් අතින් ලංකාව ඒකාධිපතිත්වයකට යට වීමේ අවදානමක්, මිනිස් අයිතිවාසිකම් අහිමි වීමේ අවදානමක්, නීතියේ ආධිපත්‍ය කැලෑ වැදීමේ අවදානමක් උදා වී ඇත්තේය. මෙය ලංකාවේ අනාගතය පිළිබඳ බරපතළ හා තීරණාත්මක අවස්ථාවකි.

කෙසේ වෙතත්, පසුගිය දින දෙක තුළ ජනධිපතිවරයා විසින් මහින්ද පාර්ශ්වයේ හෝ කථානායකතුමාගේ පාර්ශ්වයේ කිසිදු දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දක්වා නොමැත. ලැබෙන ආරංචි මාර්ග අනුව කථානායකතුමා ජනාධිපතිවරයාට දුරකථන ඇමතුම් අටක් ලබාදී තිබේ. ජනාධිපතිවරයාගේ පාර්ශ්වය ඉලක්කයක්, අරමුණක් හෝ සීලාචාර බවක් නොමැතිව ආණ්ඩුවක් ගොඩනැගීමට උත්සහ කරමින් සිටී. මහින්දගේ පාර්ශ්වය මුළු කාලයම යොදා ඇත්තේ, තමන් මුහුණදී තිබෙන මෙම උභතෝකෝටික තත්ත්වයෙන් ගොඩ ඒමට උපාය උපක්‍රම සොයා ගැනීමටය. ඔවුන්ට එම පිල පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර, ලැබෙන ආරංචි මාර්ග අනුව ජනාධිපතිවරයාගේ ක්‍රමවේදය තුළ මැතිවරණයක් කැඳවා ගැනීම ඔවුන්ගේ එකම අරමුණ බවට පත්ව තිබේ.

එක්සත් ජාතික පක්ෂය සිය මුළු ශක්තියම යොදා ඇත්තේ 2015 ජනවරි 08වැනිදා එකතු වූ බල මුලු නැවත සටනට කැඳවා ගැනීමටය. ඔවුන්ට අනුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මනුෂ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍ය අහිමි වී තිබේ. සංවර්ධන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අවුල් වී තිබේ. එම නිසා රටේ සියලුම පාර්ශ්වයන් එක කොඩියක් යටට ගෙන එමින් සටන ඉදිරියට ගෙන යාම ඔවුන්ගේ අරමුණයි. එමෙන්ම ඔවුන්ගේ පළමු තේරීම වන්නේ ප්‍රථමයෙන් මෙම ගැටලුව පාර්ලිමේන්තුවේදී විසඳා ගැනීමයි. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් හෝ රාජපක්ෂවරුන්ගේ පාර්ශ්වයෙන් කැමැත්තක් නොදක්වන්නේ නම් සටන මහ පාරට කැඳවීමට ඔවුන් බලමුලු සූදානම් කරමින් තිබේ. දැනටමත් ජාත්‍යන්තරය, රට අභ්‍යන්තරයේ සිවිල් ප්‍රජා, සමාජ මාධ්‍ය හා දේශපාලන පක්ෂවල සහයෝගය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එම සටන් පෙරමුණට ලැබී තිබේ.

කෙසේ වෙතත් රට මුහුණදුන් මෙම අර්බුදකාරී හා බරපතළ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරලියගහ මන්දිරය ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතයක් ලෙස භාවිතා කරමින් මේ රටේ පුරවැසියන්ට එය සටන් මර්මස්ථානයක් ලෙස පවත්වා ගනිමින් රට තුළ නීතියේ ආධිපත්‍ය, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නායකත්වය දීම, මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට ගත හැකි හොඳම හා එඩිතරම දේශපාලන තීන්දුවයි. පරිණත වගකීමක් සහිත දේශපාලන නායකයෙකු ලෙස අගමැතිතුමා සමග අතවැල් බැඳ ගැනීමට මේ රටේ සිවිල් ප්‍රජාව තීන්දු කරනු ලැබුවේ මෙම දේශපාලන හැසිරීම මතය.

කෙසේ නමුත් අවසාන වශයෙන් කිව යුත්තේ මතුපිට පවතින නිසල බව මෙම අර්බුදයේ ගැඹුර පිළිබඳව අපට අදහසක් ලබා දෙන බවයි. මෙම නිසංසල බව යට ඇත්තේ ගිනියම් වූ ලෝදියයි. එය කොයියම් මොහොතක හෝ පුපුරා යනු ඇත. එම නිසා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා මෙම අර්බුදයට විසඳුමක් ලබා නොදුන්නහොත්, ලේ වැගිරීමකින් මෙය අවසන් වීමට තිබෙන ඉඩ කඩ ඉතා වැඩිය.



Recommended Articles