විසිතුරු පැළෑටි වෙනුවෙන් නිසි ජල කලමනාකරණයක්


'මෙහෙම පෑයුවොත් ගහකොළ විනාශ වෙයි' යනුවෙන් දැඩි වියළි කාලගුණය හමුවේ හමුවේ ජනතාව පවසති. එසේම  “මෙහෙම වැස්සොත් ගහකොළ සේරම කුණුවෙලා යයි යනුවෙන් මහා වැසි සමයේ ඔවුහු පවසති. මේ සම්බන්ධයෙන් අදහස් විමසීමට පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ මල් වගා පර්යේෂණ සහ සංවර්ධන අංශයේ කෘෂිකර්ම උපදේශක/අධීක්ෂණ නිලධාරී ප්‍රියන්ත වැලිකුඹුර මහතා අද අපි සම්බන්ධ කරගතිමු. පහත දැක්වෙන්නේ ඒ මහතා දැක්වූ අදහස්ය.


ශාකය සහ ජලය

ශාකයක පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයකි. එහිදී තවදුරටත් විසිතුරු පැළෑටි සහ මල් වගාවේදී එය ප්‍රමුඛ අවශ්‍යතාවකි. එය අදාළ ශාකයේ වර්ධනයට විකාශයට බලපායි. සජීවි ශාකයක් තුළ ජලය 80෴ක් අඩංගු බව අප අමතක නොකළ යුතුය. එබැවින් ශාකයක සිදුවන ජෛව ක්‍රියාවලිය පිළිබඳ යම් තරමක අවබෝධයක් තිබීම ඉතා වැදගත් කරුණකි.

ප්‍රභාසංස්ලේෂණ අවශ්‍යතාව

සාමාන්‍යයෙන් සෑම ශාකයකම ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය සිදුවන බව අප දනිමු. එහිදී ඒ සඳහා වැදගත් සාධකයක් වන තරලමය බව රඳා පවතින්නේද ජලය හේතුවෙනි. අනෙක පාංශු ජල ඌනතාව ශාකයකට බලපාන විට සෛල තුළ ඇති ජලය ක්‍රමයෙන් අඩුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සෛලයේ අඩංගු එන්සයිම සහ හෝමෝන්වල ක්‍රියාවන් නිසි ආකාරයෙන් සිදු නොවේ. එනිසා ශාකයේ ශ්වසන ක්‍රියාවන් අඬාළ වේ. එයින් ශාකයට අවශ්‍ය ශක්තිය නොලැබීමෙන් ශාකයේ සෛල විභාජනයට  සහ  ශාක වර්ධනයට බාධා ඇති කෙරේ.

එයින් ජල ඌනතාව ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියද අඬපණ කරයි. ශාක පත්‍රවල ඇති පූටිකාවන් විවෘතවී ඇති ප්‍රමාණය කෙරෙහිද ජලය යම් බලපෑමක් කරයි. ඒ අනුව ගසක ජලය අඩුවන විට පූටිකා විවෘත වන ප්‍රමාණයද අඩුවේ. ඒ නිසා පත්‍ර තුළ සහ පිටත වායු ප්‍රභාසංස්ලේෂණයද අඩුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස වියළි ද්‍රව්‍ය නිෂ්පාදනය වැඩිවන අතර, ශාකයේ අස්වැන්න අඩුවේ. පසේ ඇති ජලය අඩුවීමේදී ශාක පත්‍රවල අඩංගු ජල ප්‍රමාණයද අඩුවන බැවින් පූටිකා විවෘත වූ විට සිදුරේ ප්‍රමාණයද අඩුවේ. එහිදී පුටිකා විසරන ධාරිතාවද අඩුවේ. ඒ නිසාද  ප්‍රභාසංස්ලේෂණය අඩුවේ.

මෙහිදී පවතින තවත් විද්‍යාත්මක සාක්ෂි කිහිපයක් කෙරෙහි දැනුම්වත්වීම වගාවේ යෙදෙන සහ මේ පිළිබඳ උනන්දුවන අයට සොබා දහමේ සමබරතාව උදෙසා යම් මග පෙන්වීමකි. ඒ අනුව,
ක්‍ෂේත්‍ර ධාරිතාවයේ සිට පසක අඩංගු ජල ප්‍රමාණය අඩුවීමේදී ප්‍රභාසංස්ලේෂණයද වේගයෙන් අඩුවන බව සොයාගෙන තිබේ. එසේම පසෙහි ජල ප්‍රමාණය මලානික සංගුණනය තෙත අඩුවීමේදී පත්‍ර මැලවීම හේතුවෙන් ප්‍රභාසංස්ලේෂණ වේගය පළමු වේගයට වඩා 87% පමණ පහත වැටේ. නැවත ජල සම්පාදනය කිරීමේදී පත්‍ර පැය දෙකතුනකින්  ශුන්‍ය තත්ත්වයක පවතී. එහෙත් ප්‍රභාසංස්ලේෂණ වේගය ස්ථාවරත්වයකයට පත්වීමට පැය 2-7 දක්වා පමණ කාලයක් ගතවේ. ඒ අනුව මෙහිදී පැහැදිලි වන්නේ කුමක්දැයි ඔබට පැහැදිලි වනු ඇත. එනිසා නියඟයක් හේතුවෙන් ශාකවල ප්‍රභාසංස්ලේෂණය අඩුවන අතර, ජලය සැපයුවද යථා තත්ත්වයට පත්වීමට දින ගණනාවක් ගතවේ.

ශාකපත්‍ර මගින් නිපදවන ආහාර ද්‍රව්‍ය සිටුවා ඇති මාධ්‍ය හරහා පරිසංක්‍රමණය සිදුවේ. මේ නිසා ශාකයේ සංචිත කොටස් සඳහා ආහාර නොලැබීමෙන් ශාකයේ වර්ධනය සහ ද්‍රව්‍ය ව්‍යාප්තිය දුබල වේ. එයට අමතරව මෙහිදී තවත් දෙයක් සිදුවෙයි. එහිදී  නිෂ්පාදනය කරන ආහාර පත්‍රයෙන් පිටතට නිසි ලෙස පරිසංක්‍රමණය නොවී එක්රැස්වන නිසා පත්‍රයේ ප්‍රභාසංස්ලේෂණ වේගය අඩුවේ.

යම් ශාකයක පත්‍රයන්හි ළපටි කොටස් තුළ හෝමෝන සංස්ලේෂණය සිදුවේ. නමුත් ජලය ලබාගැනීම අඩුවන නිසා ළපටි කොටස් ඉක්මනින් මෝරයි. එනිසා ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය දුර්වල වේ. එය ශාඛයේ වර්ධනය අඩුවීමට හේතුවකි. අඩු ජල තත්ත්ව යටතේ ඉක්මනින් ශාක ප්‍රජනන ක්‍රියාවලියට එළඹේ. එහිදී ලැබිය හැකි විභව අස්වැන්න්න නොලැබී යයි.

ශාක සෛලයන්හි ශුන්‍යතාව පවත්වා ගැනීමටද ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ශාකයේ සෛලයන්හි නිසි ලෙස ඇතිවන ශුන්‍යතාව පත්වා ගැනීම උදෙසාද ජලය අවශ්‍ය වේ. ශාකයේ සෛලවල නිසි ආකාරයෙන් රූපාත්‍ර දර්ශ දැකිය හැකියි. ජල ඌනතාව නිසා ශාකයේ පත්‍ර මැලවීම හා හැඩය වෙනස්වීමත් ආකාෂ්ටිය ශාකවල සෘජු බව නැතිවීම ආදී රූප විද්‍යාත්මක ලක්ෂණ වෙනස්වීමත් සිදුවේ.
ශාකයක ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය යම් තරමකින් ඉහත විස්තරය තුළ ඔබට පැහැදිලි වන්නට ඇත. එසේ නම් ශාක කෙරෙහි ජලය එතරම් බලපෑමක් කරයි නම් එකී අවශ්‍යතාව සිදුනොවන විට ඇතිවිය හැකි අවදානම කුමක්දැයි අප විමසිය යුතුය. 

ප්‍රමාණාත්මක ජල අවශ්‍යතාව නිර්ණය කිරීම

ජලය මදිවූ විට පළමුවෙන්ම පත්‍ර මැලවී යෑම දැකිය හැකිය. එසේම ජලය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් යෙදීමද ශාකවලට අහිතකරය. පසේ ශාකවල මල් ඇති මාධ්‍යයේ ජලය වැයවූ විට මුල්වලට අවශ්‍ය වාතය නොලැබීම නිසාත්, දිලීර හා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වේගවත් වීම නිසාත් මුල් කුණුවීම ආරම්භ වේ.

ජලය යොදන වාර ගණන

ශාකයකට අවශ්‍ය ජලය ප්‍රමාණය සහ ජලය යොදන වාර ගණන අතර පරතරය කෙරෙහි මතු කරුණු වැදගත්ය.
ශාක විශේෂය කෙරෙහි අවධානය යොමු කරන්න.

එම ශාකයේ වර්ධක අවස්ථා ගැන විමසිලිමත්වන්න.
ශාකයේ ප්‍රමාණය සැලකීමද වැදගත්ය.
සිටුවා ඇති බඳුනේ ප්‍රමාණය විමසන්න.
පරිසර තත්ත්වය කෙරෙහි දැනුම්වත්වන්න.
අවුරුද්දේ මාස අනුව එය තීරණය කරන්න.
ජලය යෙදිය යුතු අවස්ථා

එසේ නම් මීළඟට ශාකයකට ජලය යෙදිය යුතු අවස්ථාව කුමක්දැයි අප විමසමු.
වගාකර ඇති මාධ්‍ය වියළිව ඇති විට ජලය යෙදීම සුදුසුය. අදාළ මාධ්‍ය තුළට දබර ඇඟිල්ල ඇතුළත් කර බලන විට වියළි බවක් දැනෙන්නේ නම් ජලය යොදන්න.
යටි පස් ස්වල්පයක් අත්ලට ගෙන, ගුලියක් කර විසි කරන්න. ටික වේලාවකින් පසු අතදිග හැරිය විට පස් අංශු එකට නොඇලී විසිරී යයි නම් ඒ ජලය යෙදිය යුතු අවස්ථාවකි.
 ජලය යෙදීම සඳහා පත්‍ර සහ ශාකය මැලවෙන තුරු බලා සිටීම සුදුසු නොවේ. තදින් මැලවුණු ශාකයට ජලය යෙදීමෙන් එය යථා තත්ත්වයට පත් නොවේ.
ශාකයකට ජලය මදිවූ විට.  
ශාකයන්ට ජලය මදිවූ විට දක්වන ප්‍රතිචාරය මෙහිදී අප විමසමු.    

වර්ධනය බාල වේ.
මේරූ පත්‍ර පළමුවෙන් හැලෙයි.
මල් හැලෙයි.
පත්‍රවල පැහැය අඩුවේ.
පහළ පත්‍ර කහ පැහැවේ.
 පත්‍ර රැළි ගැසේ. දාර දුඹුරු පාටවී වියළී යයි.
 පත්‍ර මැලවේ.
 ජලය සෑහෙන ප්‍රමාණයක්ද මදිවූ විට ශාක මැරී යයි.
ජලය වැඩිවීම
ශාකවලට ජලය වැඩිවූ විටද යම් සාධක නිරීක්ෂණය කළ හැකිය. ඒ පිළිබඳ අවබෝධයෙන් ජලය යෙදීමද වඩා වැදගත්ය.
වර්ධනය අඩුවෙයි
ළපටි හා මේරුණු පත්‍ර එකවර හැලීම
 මල් දුඹුරු පැහැවීම
 පත්‍ර කහ පැහැවීම සහ මැලවීම
පත්‍ර අග්‍රය දුඹුරු පාට වීම
පත්‍ර හා මුල් කුණු වීම
ශාක මැරී යෑම

එසේ නම් ශාකයකට සමාන ලෙස ජලය යෙදීම පිළිබඳ මනා වැටහීමක් තිබීමේ වැදගත්කම පැහැදිලිය. ක්‍රමවත් ආකාරයෙන් ශාකයකට ජලය  යොදවන්නේ නොමැති නම් අපේක්ෂා කරන ප්‍රතිඵල එසේම ලැබේද යන පැනය ඔබටද සිතෙනු ඇත. එසේ නම් ශාකයකට ජලය  යොදන ක්‍රම මොනවා දැයි විමසමු.

සොබා දහම විසින් අපට ලබාදී ඇති මිල කළ නොහැකි සම්පතක් වන ජලය  අරපිරිමැස්මෙන් රැකගැනීම සහ මහපොළවට සහ සත්ත්වයාටද අයත් කොටස් ඉතිරි කර ආරක්ෂා කරදීමටත් අපි බැඳී සිටින්නෙමු.

ආ. ජල සම්පාදන ක්‍රම භාවිතය
මල් බාල්දියකින් ජලය වත්කළ හැකිය.
 මල් පෝච්චිය ජල බඳුනේ ගිල්විය හැකිය.
බිංදු ජල සම්පාදනය කළ හැකිය.
ආ. ජල සම්පාදන ක්‍රම භාවිතය

මහා පරිමාණ හා වාණිජ වගාවන් සඳහා සූක්ෂ්ම ක්‍රම, විසුරුම් ජල සම්පාදනය, බිංඳු ජල  සම්පාදනය, %ස්පනික්ලර් විස්ටන්^ හෙවත් මීදුමක් ආකරයෙන් සහ පෝගස්  ක්‍රමය වැනි දේ  යොදාගත හැකිය. එසේම මේ සඳහා ඇල්කතින් බට හෝ හෝස් බට භාවිත කළ හැක.
ඇ. සාමාන්‍ය වගාවන් සඳහා  කාන්දු ක්‍රමය බේසම් ක්‍රමයද  භාවිත වෙයි.

නමුත් ශාකයන්ට ජලය ලබාදීමේදී එය ශාකයකට අවශ්‍ය ප්‍රමාණයෙන් සහ යෝග්‍ය පරිදි සපයන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබ දැනුම්වත්ද? එය ශාකයේ වර්ධනය කෙරෙහි තීරණාත්මක සාධකයක් වන බව ඔබට මා ඉහත සඳහන් කළ විද්‍යාත්මක ක්‍රියාවලිය සියුම්ව විමසනවිට පැහැදිලි වනු ඇත.
ශාකවලට ජලය යෙදීමේදී මතක තබා ගතයුතු වැදගත් කරුණු

ජලය ලබාදිය යුත්තේ ගසට අවශ්‍යවන තෙතමනය සඳහා පමණි. අනවශ්‍ය ලෙස ජලය යොදා මාධ්‍ය ( පස හෝ සිටුවා ඇති පසුබිම) තෙත් කිරීමෙන් වළකින්න.
 විසිතුරු පැළ හා මල් පැළ සඳහා මාධ්‍යයේ තෙතමනය තිබෙන ආකාරයට ඉතා ස්වල්ප ජල ප්‍රමාණයක් ප්‍රමාණවත් වේ. 
 වැඩිපුර ජලය යෙදීමෙන් පසේ/මාධ්‍යයේ ඇති පෝෂක සේදී බැහැරවන අතර,  පස හෝ සිටුවා ඇති මාධ්‍ය නිසරු වෙයි.
 ජලය වැඩිපුර මාධ්‍ය තුළ රැදුණහොත් මුල් ආශ්‍රිතව වාතාශ්‍රය දුර්වලවී දිලීර ආසාදනය වී මුල් කුණුවී පැළ මිය යයි.
මල් හා විසිතුරු පැළ සඳහා ජලය කුඩා ප්‍රමාණයක් වරින්වර යොදන්න. 
(උදා-සතියකට දෙවරක් පමණ වනසේ විය හැක.)

ඇන්තූරියම් හා උඩවැඩියා ශාක සඳහා ජලය යොදන විට විසුරුම් ආකාරයෙන් සතියකට දෙවරක් ජලය යොදන්න.(උදාහරණ- උදේ සහ දවල් 1.00 ට පමණ)
වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩියෙන් තිබිය යුතු ශාක සඳහා ජලය දිනකට කිහිපවරක් වාතයට එකතු කිරීම වඩාත් සුදුසුය. (උදා- උඩවැඩියා සහ ඇන්තූරියම් වර්ග දැක්විය හැකියි. එහිදී ස්පනික්ලර්, විස්ටන් හෙවත් මීදුමක් ආකාරයෙන් ජල බිඳිති ලෙස විසිරුම් ක්‍රම භාවිත කළ හැකිය.)
රෝස වැනි වගා ක්‍රම සඳහා සූක්ෂම ජලසම්පාදන ක්‍රම ( බිංදු) වඩාත් සුදුසුය.

 සමහර ශාක සඳහා පතු මතට ජලය යෙදීමෙන් වළකින්න.( උදා- බිගෝනියා අප්‍රිකන් වයලට් වැනි දේ ) දැක්විය හැක.
  එසේ හෙයින් අප අවධාරණය කළ යුත්තේ උදාහරණයක් ලෙස ඇන්තූරියම් වර්ග සඳහා යොදන ජල ප්‍රමාණය පතොක් වර්ග වර්ගවලට වඩා වෙනස්ය. එළිමහනේ වගාවකදී එය තවත් වෙනස් වනු ඇත. සෙවණ කුටි සහ එළිමහනේදී එය තවත් වෙනස් වේ.

මේ අනුව ජලය යනු ශාකයකට නැතිවම බැරි දෙයක් බව පැහැදිලිය. එහෙත් එය නිසි කළමනාකරණයක් යටතේ කුඩා ශාකයකට වුවද නොයොදන්නේ නම්, ඇතිවිය හැකි හානිකර තත්ත්වයන් කෙරෙහි අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ නම් ඔබ සිටුවන පැළය කුමක්වුවත් එය වියළී නොගොස් හෝ කුණු නොවන සහ ඉහළ ප්‍රතිඵල  ලබාදෙන ශාකයක් බවට පත්කර ගැනීමේ අපහසුතාවක් නැති බව ඔබට පැහැදිලි වනු ඇත.



Recommended Articles