විශ්‍රාම යාමේ වයස කල් දාලා අර්ථසාධක අරමුදලේ සල්ලි ටික ගන්නයි මේ සූදානම් වෙන්නේ


ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ එයින් ගොඩ ඒමට ආණ්ඩුව කුමන වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුද යන්න මෙන්ම, වර්තමානයේ පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සමග සාකච්ඡා කළ අතර, රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්වීය.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ගැන මුලින්ම කතා කළොත්?

කෝවිඩ් වසංගතය රටට එන්න කලින් සිටම රටේ ආර්ථිකය කඩා වැටිලා තිබුණේ. 2020 පළමුවැනි කාර්තුවේදී කෘෂිකර්මය 5.6%කින් කඩා වැටුණා. කර්මාන්ත ක්ෂේත්‍රය 7.6%කින් කඩා වැටුණා. සේවා ක්ෂේත්‍රය 1.6%කින් කඩා වැටී තිබෙනවා. කෝවිඩ් වසංගතය නිසා එය තවත් වැඩි වුණා. මේ නිසා ආර්ථික අර්බුදයක් ඇතිවී තිබෙනවා. නමුත් එය පියවන්න ආණ්ඩුවට හරි වැඩපිළිවෙළක් නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ රට ණය කිරීම සහ තවත් මුදල් අච්චු ගැසීම පමණයි. ඒ නිසා මේ අර්බුදය දවසින් දවස තව තවත් උග්‍ර වෙමින් යනවා.

ඒ වගේම ජාත්‍යන්තර ග්‍රේණිගත කිරීම් වලින් අපේ රට එන්න එන්න පහළට වැටෙනවා. තවදුරටත් ණය ගැනීමට නොහැකි අවදානම් රටක් බවට අපි පත්වෙමින් තිබෙනවා. මෙවැනි අර්බුදයක් තුළ වුවත් ආණ්ඩුව තවදුරටත් විවිධ නාස්තිකාර දේවල් කරනවා. පසුගිය දවස්වල රුපියල් කෝටි 41ක් වියදම් කරලා අධිකරණ අමාත්‍යාංශයට අලුතින් ගොඩනැගිල්ලක් කුලියට ගන්න සූදානම් වුණා. කෝවිඩ් නිසා මිනිස්සු ජීවත් වෙන්න බැරිතරම් අසරණ වෙලා ඉන්න අවස්ථාවක, පොල් ගෙඩියක් රුපියල් 100ට වඩා වැඩි වෙලා. හාල් කිලෝ එකක් රුපියල් 100ට වඩා වැඩි වෙලා. මේ විදිහට මිනිස්සු හොඳටම අසරණවෙලා ඉන්නේ. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවෙලා තියෙද්දි ආණ්ඩුව ඒ සහනයත් ජනතාවට දෙන්නෙ නැහැ. මේ නිසා ජනතාව කබලෙන් ළිපට වැටිලා තියෙන්නේ.  එහෙම තත්ත්වයක් යටතේ ආර්ථික ආර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුවක් ලෙස කටයුතු කළ යුතුයි. නමුත් මේ අයවැය තුළවත්, ඉන් බාහිරවත් මේ තත්ත්වයෙන් ගොඩ එන්න යෝජනාවක ආණ්ඩුව ඉදිරිපත් කරලා නැහැ. රටේ නිෂ්පාදන වැඩිකරලා ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. රටක් විදිහට අපි මුහුණදෙන අවාසනාවන්ත තත්ත්වය එයයි.

රටේ ණය ප්‍රමාණය වැඩි වීම එයට බලපාන්නේ කෙසේද?

2005 වෙද්දි අපේ ණය ප්‍රමණය ට්‍රිලියන 02යි. අවුරුදු 09ක් තුළ එය ට්‍රිලියන 09 දක්වා වැඩි වුණා. රනිල් මෛත්‍රී ආණ්ඩුව ඒ අවුරුදු පහ තුළ තවත් ට්‍රිලියන 06ක් ණය ගත්තා. 2019 අවසානයේදී මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 13ක් වුණා. නැවත මෙම රජය බලයට පත්වී කෙටි කාලය තුළත් විශාල ණය ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ලබන වසර අවසානය වන විට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 19ට වැඩි වෙනවා. වේගයෙන් රට ණය ප්‍රපාතයකට ඇදගෙන වැටීමක් සිදුවෙනවා. ණය ගෙවාගන්න බැරි උන විට අපේ ජාතික සම්පත් විකුණනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න, කොළඹ ගෝල්ෆේස් ආසන්නයේ ඉඩම් අක්කර 03ක් සින්නක්කරව සමාගම්වලට දෙන්නෙ මේ තියෙන කඩා වැටීමත් සමග. ණය වාරික පොලිය ගෙවන්නවත් අද රටේ ආදායම ප්‍රමාණවත් නැහැ. එහෙම උනාම කරන්නේ තවත් ණය ගන්නවා, තවත් සම්පත් විකුණනවා. දිනෙන්න දින ප්‍රපාතයට ගමන් කිරීම තමයි සිදුවෙන්නේ.

මහජන උපයෝගීතා කොමිසම වැනි කොමිසම් අහෝසි කිරීමෙන් මෙම අර්බුදය උත්සන්න වීමට බලපාන්නෙ කෙසේද?

අර්බුදය වැඩි වෙනකොට ජනතා සහන කප්පාදු කරනවා. බදු බර වැඩි කරනවා. සේවා ගාස්තු වැඩි කරනවා. ජල ගාස්තු විදුලි ගාස්තු වැඩි කරන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. එය අවම වී තිබෙන‍්නේ මහජන උපයෝගීතා කොමිසම නිසයි. එය අහෝසි කළ විට ආණ්ඩුවට අවශ්‍ය විදිහට විදුලි බිල වැඩි කරන්න පුළුවන්. ජල බිල වැඩි කරන්න පුළුවන්.  පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව හිතූ මනාපෙට මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න ජනාධිපති ලේකම් ලියුම් ගහන්නේ නීතියත් අමතක කරලා. නීත්‍යනුකූල නොවන ලෙස මේ කොමිසම අහෝසි කරන්න හදන්නේ ජනතාවට තිබෙන සහන කප්පාදු කරලා ජනතාවට තිබෙන බර වැඩි කරන්න. ණය අර්බුදය නිසා ආණ්ඩුව කරන්නේ ජනතාව මත බර වැඩිකරන එක.

ඒ වගේම ආණ්ඩුව කියන දේ සහ කරන දේ පරස්පරයි. එකපැත්තකින් කියනවා පුනර්ජනනීය බලශක්තිය වැඩිකරනවා කියලා. අනෙක් අතට ගල්අඟුරු බලාගාර තවත් ඉදිකරනවා කියලත් ආණ්ඩුව කියනවා. නැව්වලින් විදුලිය ගන්න ක්‍රමවලට යනවා. ඒවා පරිසයරයට හානි කරන දේවල්. මේවා පිටුපස වෙන වෙන කොමිස් ඩීල් තියෙන නිසයි මේවා කරන්නේ. කලින් වගේම ආණ්ඩුව සුපුරුදු විදිහට ගජරාමෙට මේ දේවල් කරගෙන යනවා.

20201 සිට පෞද්ගලික අංශයේ විශ්‍රාම යාමේ වයස 60 දක්වා වැඩිකර තිබෙනවා. මෙම යෝජනාව සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පෞද්ගලික අංශයේ සේවකයන්ට තිබෙන ලොකුම වාසිය තමයි තමන්ට තිබෙන අර්ථසාධක අරමුදල. අවුරුදු 55න් පසුව ඒ අරමුදලෙන් තමන්ට අයිති කොටස ගන්න පුළුවන්. එය 60 දක්වා දික් කරන්නේ ඒ අරමුදල තවත් කාලයක් ආණ්ඩුව විසින් රඳවා ගන්නයි. එය රඳවා ගන්නවා පමණක් නොවෙයි තමන්ගේ හිතවතුන්ගේ ව්‍යාපාර සඳහාත් ඒවා යොදවනවා. ඒ ව්‍යාපාර බංකොලොත් වෙද්දි ඒ පාඩුව පැටවෙන්නෙත් ජනතාව මතයි. අර්ථසාධක අරමුදල මීට කලිනුත් කොල්ල කන්න ලෑස්ති වුණා. රොෂේන් චානකලා ඒ අවස්ථාවේදී ජීවිත පරිත්‍යාග අරගල කරලා එය බේරාගත්තා. දැන් ඇවිත් වෙන උපක්‍රමයකින් වයස කල් දාලා අර්ථසාධක අරමුදලේ සල්ලි ටික ගන්න තමයි මේ සූදානම් වෙන්නේ.

මේ වනවිට කෝවිඩ් වෛරසය රට පුරා ව්‍යාප් වී තිබෙනවා. කෝව්ඩ් පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඔබ දකින්නේ කෙසේද

කෝවිඩ් අවදානම ගැන ආණ්ඩුව අධි තක්සේරුවකට ගියා. දෙවැනි රැල්ල ඇතිවුණ නිසාම ආණ්ඩුවට එය පිළිගන්න සිදුවුණා. කෝවිඩ් පාලනයට ගතයුතු නිසි ක්‍රියාමාර්ග නිසි වෙලාවට ආණ්ඩුව ගත්තෙ නැහැ. දැන් රෝගය සමාජගත වෙලා ඉවරයි. පෑලියගොඩ පොකුර, මිනුවන්ගොඩ පොකුර කියලා කිව්වත් දැන් ලංකාවේ සෑම තැනකම රෝගය පැතිරිලා ඉවරයි. රෝගය සමාජගත වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියන්නේ රෝගය පාලනය කරගන්න බැරි තැනට ඇවිත් තියෙනවා කියලා. එහෙම උනත් ආණ්ඩුව මේ අවදානම ගණන් ගන්නෙ නැහැ. දවසකට 500කට වැඩියෙන් ආසාදිතයන් හමුවෙනවා. දිනකට මිනිස්සු කිහිපදෙනෙක් මැරෙනවා. මිනිස්සුන්ගේ ඔළුව අවුල් කරන්න දවස ගානේ ප්‍රවෘත්ති හැදෙනවා. එක එක පැණි ගැන කියමින් මිනිස්සුන්ගේ අවධානය වෙනත් පැත්තකට හරවලා අවධානය අනිත් පැත්තට යොමු කරන්න හදනවා මිස විද්‍යාත්මකව කෝවිඩ් පාලනය කරන්නට අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අඩුම තරමේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන එන්නත මිලදී ගන්නවත් ආණ්ඩුව සූදානම් වෙලා නැහැ. ඒ සඳහා මුදල් වෙන් කිරීමක් වත් සිදුකරලා නැහැ. අවශ්‍ය දේවල් කරන්නේ නැතිව එක එක මිත්‍යා මත පසුපස යමින් දවස ගෙවාගන්න කාර්යයක් කරනවා මිස ඇත්තටම කෝවිඩ් මැඬලන්න ආණ්ඩුව සෞඛ්‍ය අංශවලට උදව් කරන්නේ නැහැ.

මහර බන්ධනාගාරයේ සිදුවීම ඇතිවෙන්න හේතුව උනොත් පීසීආර් පරීක්ෂණ නොකිරීමයි. ඒ සිදුවීම සොයා බලන්න පත්කළ කමිටු වාර්තාවම ඒ ගැන කියනවා. ඇප ලබාදී තිබූ සිරකරුවන් නිදහස් කිරීම, පීසීආර් පරීක්ෂණ කිරීම, කෑම ලබාදෙන ලෙස ඉල්ලීම සහ කෝවිඩ් ආසාදනය වූ සිරකරුවන්ව මහර බන්ධනාගාරයට ගෙනැවිත් නොදමන ලෙස කළ ඉල්ලීම්. මේ සියල්ල සාධාරණ ඉල්ලීම්. මේ සිද්ධිය ඇතිවුණේ පීසීආර් පරීක්ෂණ නිසි වෙලාවට සිදුනොකිරීම නිසයි. ඊට පසුව වෙඩි තියලා සිරකරුවන් මැරුවා. අවසානයේදී ඇමතිවරු කියනවා වෙඩි වැදිලා කවුරුත් මැරුණෙ නැහැ කියලා. මොවුන් මිය ගිහින් තිබෙන්නේ වෙඩි වැදීම නිසා කියලා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කියනවා. එහෙම කියද්දි මේ සිරකරුවන් මත්පෙති බිව්වා කියලා ඇතැම් අය මනෝ විකාර කියවනවා.

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට ලැබෙන කාලය සම්බන්ධයෙනුත් යම් යම් චෝදනා අහන්න ලැබෙනවා. එහි සැබෑ තත්ත්වය කුමක්ද?

අයවැය විවාද අනිකුත් විවාද කියන්නේ විපක්ෂයට අයිති විවාද. ඒවා පවත්වන්නේ විපක්ෂයෙන්. ඒ නිසා විපක්ෂයට වැඩි කාලයක් ලැබිය යුතුයි. නමුත් ආණ්ඩුව තමන්ගේ තුනෙන් දෙක් බලය පාවිච්චි කරලා හැමදේම ඩෝසර් කරනවා වගේ පර්ලිමේන්තුවේ සියලුම කටයුතුත් දැන් ඩෝසර් කරලා තියෙන්නේ. කාලය ලබාදීම ඩෝසර් කළා. කලින් පැවති කාරක සභා අත්හිටෙව්වා. බලය භාවිත කරලා ඇතැම් ක්‍රියා නවත්වනවා.  පාර්ලිමේන්තුවේ කාලය ලබාදීමේදී පමණක් නොවෙයි අනිකුත් සියලු කටයුතු වලදී ආණ්ඩුව කටයුතු කරන්නේ අත්තනෝමතිකවයි.

ඒ වගේම ලෝකය තුළ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ රටේ ජනතාවට අහන්න බලන්න පුළුවන් වෙන ආකාරයට. ඒ නිසා තමයි ලංකාවේ පාර්ලිමේන්තුවත් පහුගිය කාලයේ කාරක සභා පවා මාධ්‍යයට විවෘත කළේ. නමුත් මේ ආණ්ඩුව පත්වුණ ගමන් ඒ දේවල් සීමා කරගෙන යනවා. ජනතාව දැනගන්න එක සීමා කරනවා. මාධ්‍යවේදීන් හරහා තමයි ජනතාව කරුණු දැනගන්නේ. පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වන්න මාධ්‍යවේදීන්ට දිගින් දිගටම මේ සීමාවන් දාලා තිබුණොත් පාර්ලිමේන්තුවේදී කරන දේවල් ජනතාවට දැනගන්න බැරිවෙනවා. ඒ නිසා මේ තත්ත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි.



Recommended Articles