විවාහයේ සාර්ථකත්වයට බලපාන ග්‍රහ බලපෑම්


පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් හා වැදගත් ජීවිත කඩඉම් කිහිපයක් හමුවේ. ඒ අතරින් වඩාත් අවධානය යොමු වන කඩඉමක් වන්නේ විවාහයයි. යමෙකුට සැපවත් විවාහ ජීවිතයක් හිමිවන අතරම ඇතැමෙකුට විවාහ ජීවිතය නීරස වේ. එසේම තවකෙකුට විවාහ ප්‍රමාද වන අතර, තවකෙකුට විවාහයක් උරුම නොවන ආකාරයද දැකගත හැකිය. මේ ඒ පිළිබඳ ජන්ම පත්‍රයේ තතු පවසන ආකාරයයි. එය ඔබ වෙත ගෙන එන්නේ ජ්‍යෝතිෂපති, ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක ජ්‍යෝතිර්වේදී ලත්පඳුරේ දොන් දිශාන්ත මහතායි.

මනුෂ්‍ය ජීවිතයේ මුල්ම අවස්ථාවේ පටන් පැවත ගෙන එන ඉතාම වැදගත් සංධිස්ථානයක් ලෙස විවාහය දැක්විය හැකිය.

එය එක් එක් යුගවලදී විවිධ අයුරෙන් සිදුවෙමින් ක්‍රමයෙන් විකාශනය වූ සංකීර්ණ කටයුත්තකි. එක් එක් ජනවර්ගයට, ආගමට, ගෝත්‍රයට ආවේණික විවාහ ක්‍රම ගණනාවක් පවතියි. කුමන ක්‍රමයට සිදුවුවද එය විවාහයයි. මනුෂ්‍ය සමාජයේ පැවැත්ම තීරණය වන තැනයි.

විවාහය යන වචනය තරමටම කියැවෙන තවත් වචනයක් ලෙස දික්කසාදය හැඳින්විය හැකිය. ක්‍රමයෙන් අපේ රටේද දික්කසාද වන ප්‍රතිශතය වැඩි වී ඇති බවක් පෙන්නුම් කෙරේ. බටහිර සමාජයේ නම් දික්කසාදය බහුලව සිදුවෙයි.

ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ලොවට දායාද කළ ඉසිවරුන් විසින් මෙම විවාහය අරඹයාද සුවිශේෂී න්‍යායක්, දර්ශනයක් හඳුන්වා දී ඇත. ඒ අනුව ජ්‍යෝතිෂය ළංව ඇසුරු කරමින් පැවැති පැරණි ශ්‍රී ලාංකික සමාජයේ දික්කසාදය යන්න බොහෝ අඩු මට්ටමක තිබිණ.

නමුත් වර්තමානය වන විට සමාජයේ නිදහස පුළුල් වී රටම එක තැනකට ගත හැකි විද්‍යා දියුණුවක් ඇති බැවින්, පුද්ගල සබඳතා බොහෝ ඉහළ මට්ටමක පවතී. ඒ මත ධනය, බලය, රූපය මත තීරණය වන බොහෝ විවාහ දෙදරා යයි. තවත් විටෙක හිතුවක්කාර විවාහ සාර්ථක වී ඇත. හොඳින් සොයා බැලුවොත් ඔවුන්ගේ ජන්ම පත්‍ර ගැළපී ඇත. තවත් තැනක මාරක අපල තුළින් වැන්දඹුවන් බිහිවේ. ඒ අනුව මා පහතින් සඳහන් කරන්නේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම් විවාහයට කෙසේ බලපාන්නේද යන්නයි. එය පොරොන්දම් බැලීමෙන් පමණක් තීරණය නොවේ. තවත් අයගේ ජන්ම පත්‍රයේ වැරදීමක් තුළින්ද දෝෂ හසු නොවිය හැකිය. විටෙක උපන් වේලාව ගැන සමහරුන් තුළ සැකයක් ඇත. සමහරුන්ට උපන් වේලාව අමතක වී ආසන්න වේලාවන්ට කේන්දර හදයි. එවැනි අයගේ ග්‍රහ ගැළපීම් හා පොරොන්දම් ප්‍රශ්න මතුවිය හැකිය.

ප්‍රධානකොට කේන්දරය තුළ 7වන භාවය සෘජුවම විවාහයට බලපායි. එසේම ඔබේ ලග්නාධිපතිද, 7වැන්නාධිපතිද, 2,4,5,8 අධිපතිද එම භාව තුළ පවතින ග්‍රහයන්ද ජීවිතයට දැඩි බලපෑම් කරයි. සෙනසුරු ග්‍රහයාද, පුරුෂයන්ගේ විවාහකාරක සිකුරුද, ස්ත්‍රීන්ගේ විවාහකාරක ගුරුද, මානසිකත්වයට බලපාන සඳුද ඉතා වැදගත්කොට සොයා බැලිය යුතුය.

එමෙන්ම ඔබට විවාහයක් උරුමද කියා බැලිය යුතුය. පහත දැක්වෙන ග්‍රහ පිහිටීම් එකක් හෝ කිහිපයක් ඇති කල විවාහය අහිමි වීම හෝ අසාර්ථක වීම සිදුකරයි.

තදබලම අසුබ ග්‍රහයෙකුගේ බලපෑමක් 7වැන්නට හෝ 7 අධිපතිට හෝ 2වැන්නට හෝ 2වැන්න අධිපතිට හෝ සිකුරුට හෝ ගුරුට එල්ලවීම එක් විශේෂ කරුණකි.

7වැන්නේ සිටින ග්‍රහයා දුබල වීම, නීච වීම, බලවත් වීම, සතුරු වීම වැනි කරුණුද බලපායි.

7 අධිපතියා 6,8,12 සිටීම සතුරු රාශිගත වී ග්‍රහයන්ගේ සම්බන්ධතා රහිතව සිටීමද වැදගත් හේතුවකි.

එසේම හත අධිපති 6,8,12 ස්ථානයකටද අධිපති වීම.

ශනි, කුජ, සිකුරු සංයෝග වී සඳුගෙන් 7වැන්නේ සිටීම.

ලග්නාධිපතියා හා 7 අධිපතියා අසුබභාවයක හෝ අසුබ රාශියක සිටීම.

ශනි වෘශ්චිකයේ සිටියදී සඳුගේ දෘෂ්ටියට ලක්වීම.

පුරුෂ කේන්දරයක සඳු හෝ සිකුරු මකර රාශියේ සිට ශනි අසුබ රාශියක සිට එම භාවය දැකීම.

ස්ත්‍රී කේන්දරයක රවි හෝ ගුරු මකර රාශියේ යෙදී ශනි අසුබ රාශියක සිට එම භාවය දැකීම.

සඳු, කුජ, කේතු අනුපිළිවෙළට යෙදී ඒ අතරට වෙනත් ග්‍රහයෙකු නතු නොවීම.

පාප ග්‍රහයන් දෙදෙනකු 7 හා 12 යෙදී සිටින විට සඳු 5 සිටීම.

කුජ, සිකුරු 5,7,9 භාවයක සංයෝග වීම.

ඉහත ග්‍රහ පිහිටීම් එකක් හෝ කිහිපයක් යම් කේන්දරයක තිබෙන විට විවාහ බාධාව යෙදේ.

ඉන්පසු විවාහය ප්‍රමාද කරවන ග්‍රහ පිහිටීම් ඔබේ ජන්ම පත්‍රයේ ඇත්දැයි බලන්න. විවාහය ප්‍රමාද කිරීමට ප්‍රධාන ලෙස ශනි, ගුරු, රාහු බලපාන අතර සඳු සිකුරු බාධා වන අවස්ථාද ඇත.

ශනි ලග්නයේ හෝ සඳුගෙන් 1,3,5,7,10 යන භාවයක සිටීම.

ශනි සුබ භාවයක සිටින විට මෙය වලංගු නොවේ.

7 අධිපති 6 සිටීම.               

ශනි සංයෝග වී හෝ දෘෂ්ටිමය ලෙස හෝ රවි, සඳු, සිකුරු සමග සම්බන්ධ වීම.

රවි ලග්නයේ ශනි 7 සිටීම.

ශනි හා සඳු 7 සංයෝග වීම.

රාහු හෝ කුජ ශනිගෙන් 7වැන්නේ සිටීම.

ශනි, සිකුරු දෙදෙනා සංයෝගයෙන් හෝ දෘෂ්ටියෙන් රවිට හෝ සඳුට සම්බන්ධ වීම.

සිකුරු කටක හෝ සිංහ රාශියේ සිටිමින් සඳුගේ හෝ රවීගේ දෘෂ්ටියට ලක්වීම.(මෙය දිගු කලක් විවාහය ප්‍රමාද කරයි)

සිකුරු රවිගෙන් අංශක 43-48 අතර දුරකින් ඈත්ව සිටීම.

ලග්නය හෝ 7වැන්න පාපීන්ට මැදි වීම.

ගුරු, සිකුරු, මිථුන, සිංහ, කන්‍යා, ධනු යන රාශියක සිටීම.

රාහු පාපියකු සමග 5,6,9 භාවයක සිටීම.

7 හෝ 9 අධිපතියා 0,8,12 භාවයක සිටීම.

7 අධිපති වක්‍ර වීම හෝ 7 සිටින ග්‍රහයා

වක්‍ර වීම.

6,8,12 අධිපතියෙකු 7වැන්න දැකීම, සංයෝග වීම, 7 සිටීම.

2 අධිපති වක්‍ර වීම හෝ වක්‍ර ග්‍රහයෙකු

2 සිටීම.

2 අධිපති 8 අධිපති සංයෝග වීම.

පාපියෙකු 2 හෝ 2 අධිපති 12 වීම.

ශනි ලග්නාධිපති හෝ රවි හෝ සඳු හෝ සිකුරු හෝ දැකීම.

ශනි සමග රාහු හෝ කේතු 2වැන්නට පතිත වීම, දෘෂ්ටි වීම.

ආදී පිහිටීම් විවාහයට බාධා කරයි. ප්‍රමාද කරයි. එසේම පොරොන්දම් සමග තවත් ග්‍රහ පිහිටීම් කිහිපයක් බැලිය යුතුය.

භෞම දෝෂ හෙවත් කුජ දෝෂය. එනම් කුජ ග්‍රහයා 12,1,2,4,7,8 සිටීම.

ශනි 7,8,1 සිටීම.

රාහු කේතු 1,7,2,8 සිටීම.

රවී සමග එම පාපීන් සිටීම.

සඳු සමග එම පාපීන් සිටීම.

කුජ, ශනි, රාහු හෝ කුජ, ශනි, කේතු හෝ කුජ, ශනි හෝ කුජ, රාහු හෝ කුජ, කේතු හෝ ශනි, රාහු හෝ කේතු, ශනි හෝ ඔහුත් සමග රවි, සිකුරු, සඳු, ගුරු සිටීම.

ශනි මංගල යෝගය, චන්ද්‍ර මංගල යෝගයද සලකා බැලිය යුතුයි. ශනි මංගල යෝගය නොසලකන අයද ඇත. නමුත් ඉන් වන හානි මා දැක ඇත. මේවා විවාහ බිඳ දමන යෝග වේ.

තවද සඳුගෙන් හෝ සිකුරුගෙන් 1,2,4,7,8,12 භාවවල කුජ සිටීම, සෙනසුරුට සුබ ග්‍රහයෙකුගේ සම්බන්ධයක් නැති වීම විවාහය වයස අවුරුදු 30 ඉක්මවිය හැකිය.

මෙම යෝග තිබූ පමණින්ම මේවා සිදු නොවේ. බොහෝ දෝෂ භංග වන හේතුද ඇත. ඒවා බලා තීරණය ගත යුතුය.

ඒ සමගම විවාහය සාර්ථක කරන ග්‍රහ යෝගද මෙසේ කිව හැකිය. යහපත් ග්‍රහ යෝග තුළින් සැපවත්, ධනවත් විවාහ සිදුවේ. දිනෙන් දින දියුණු වේ.

7 අධිපති සුබ ලෙස සුබ නැකැත බලවත් වී සිටීම.

ලග්නයට සුබ ඵල දෙන ග්‍රහයෙකු 7 සිටීම.

7 අධිපති 7ම සිටීම.

2,7,12 අධිපතියන් කේන්ද්‍රගත වීම, ත්‍රිකෝණගත වීම, ගුරුගේ දෘෂ්ටියට ලක්වීම.

7,5 අධිපතීන් කේන්දරය තුළ බලවත් වීම.

7වැන්නට හා 7 අධිපතිට සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීම.

ගුරු, සිකුරු 7 අධිපති බලවත් වීම.

සිකුරුට 5,9 අධිපතීන්ගේ දෘෂ්ටි වැටීම.

බලවත් ග්‍රහයෙකු හෝ කිහිපදෙනෙකු සමග 2 හෝ 7 අධිපති සංයෝග වීම, දෘෂ්ටි වීම.

ලග්නාධිපති 7 අධිපති මිශ්‍රව බලවත්ව සුබ රාශියක සිටීම.

7 අධිපති සිකුරු සමග මිශ්‍ර වී ගුරුගේ දෘෂ්ටියට ලක්වීම.

සඳු හෝ රවි 7 සිටිමින් 2,11 අධිපතියකුගේ සුබ දෘෂ්ටියට ලක්වීම.

පුරුෂ කේන්දරයක සිකුරුද, ස්ත්‍රී කේන්දරයක කුජද පීඩාවෙන් තොරව සිටීම.

වැනි කරුණු ඔබේ ජන්ම පත්‍රයේ පවතින්නේ නම් ඔබට සැපවත්, යහපත් විවාහයක් උරුම වේ.

එසේම මෙම ග්‍රහ තත්ත්ව පරික්ෂාව තුළින් පහත කරුණු ගැනද සැලකිලිමත් විය යුතුය.

දෙදෙනාගේ මානසිකත්වය, ශාරීරික දුබලතා, යහපත් ජීවිතයක් ගත කිරීමට ධන ලැබීම් පවතීද, දරු ඵල, නිධන්ගත රෝග, බහු විවාහ යෝග, ඥාතීන්ට ඇති ආකල්ප, හිරේ විලංගුවේ වැටේවිද, බරපතළ ලෙඩ රෝග, සැත්කම්, සමාජය ඉදිරියේ හැසිරීම, කඩ හන්දි, නානාංශක යෝග, ආයු බලය වැනි මූලික කරුණුද මෙමගින් සොයාගත හැකිය. එම කරුණුවලින් වැදගත්ම සාධක සොයාගත හැකි අතර, එය යහපත් නම් පොරොන්දම් බැලීම යෝග්‍යයි.

සාර්ථක විවාහයක් සඳහා වැදගත් කරුණු රාශියක් ඇති අතර, මූලික වශයෙන් වැදගත් වන කරුණු පමණක් ඉහත දක්වා ඇත.

නදීශානි පතිරණ



Recommended Articles