කාලෙන් කාලෙට පුංචි තිරය හැඩ කරන තරු අතර ප්‍රේක්ෂක ආදරය දිනාගත් සුන්දර රුවැත්තියක් මෙවර අද තරු කතාබහට එක් වුණා.
ඇය නමින් වොල්ගා කල්පනී. විවිධ වූ චරිත හරහා ප්‍රේක්ෂකාගාරයේ ආකර්ෂණයක් දිනාගත් වොල්ගා සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වුණා. කුමන කාරණා තිබුණත් හිනාවෙලා සරලව ගෙවන ඇයගේ ජීවිතේ අලුත් තොරතුරු ගැනයි මේ කතාබහ.
අලුත් අවුරුද්දේ වැඩ කටයුතු කොහොමද?
ජනවාරි මාසයේ මැද ඉඳන් අලුත් ටෙලි නාට්‍යක් විකාශය වෙනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කරපු හද විල අරණ කියන ටෙලි නාට්‍යය සතියේ දවස්වල රෑ 7.30ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙනවා. ඒකේ රූගත කිරීම් කටයුතු මේ දවස්වල කරනවා.
2020 ගැන මොකද හිතෙන්නේ?
2020 අවුරුද්ද ගැන අපි රටක් විදිහට ලෝකයක් විදිහට බලාපොරොත්තු වුණු දේවල් කර ගන්න බැරි වුණා. හැබැයි මම හිතනවා සමහර වෙලාවට ජීවිතයට ස්වභාව ධර්මයා අපට පාඩම් කියලා දෙනවා. ඉතිං මේකත් අපිට කියලා දීපු පාඩමක් කියලා හිතෙනවා. මොකද අපේ මිනිස්සුන්ගේ එන්න එන්නම නරක ගති, කුහක ගති වගේ දේවල් එන කොට මේ වගේ ව්‍යවසනයක් ආවාම එකිනෙකාට උදව් කරන එක ආයේ අපිට මතක් වුණා.
අපි හැමෝම මිනිස්සු කියලා මතක් වුණා. මේ රෝගය සල්ලි තියෙන මනුස්සයාටත් හැදුනා, දුප්පත්ම මනුස්සයාටත් හැදුනා. ඒ නිසා ජීවිතේ කියන්නේ මොකක්ද කියන දේ පහුගිය අවුරුද්දේ වටහා දුන්නා සහ ඒකෙන් පාඩම් ඉගෙන ගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි ඉස්සරහට.
ඔබේ පෞද්ගලික ජීවිතයට පසුගිය අවුරුද්දේ වුණේ මොකක්ද?
ඇත්තටම පෞද්ගලික වශයෙනුත් යම් කිසි දේවල් වුණා. සමහර වෘත්තීන් වගේ නෙමෙයි අපේ වෘත්තිය. අපේ වෘත්තිය සහ ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් වගේ සියලු දෙනාට එතරම් හොඳම කාලයක් නෙමෙයි පසුගිය අවුරුද්ද. අපේ වෘත්තියත් මිනිස්සුන් එක්ක ගැවසිලා කරන වෘත්තියක්. ඉතිං අපිට කර ගන්න බැරි වෙච්ච තැන් තිබුණා. සමහර රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ, සමහර කාර්යාලවල වැඩ කරන අයට ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ නිසා අපේ ගොඩක් අයගේ ජීවිතවලට යම් කිසි දේවල් දරා ගන්න වුණා. මම නම් ඕනම දෙයක් දරා ගන්න පුළුවන් කෙනෙක්. ඉතිං ඒ දේවලුත් දරාගෙන ජීවත් වුණා.
මේ අවුරුද්දේ හැමෝටම හොඳක් වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවාද?
ඇත්තටම මම පෞද්ගලිකව හිතනවා මේ අවුරුද්ද හොඳ වෙයි කියලා. මොකද මම සාමාන්‍යයෙන් ඊයේ වෙච්ච දේ අමතක කරලා, අද හොඳම දවස කියලා හිතන කෙනෙක්. ඒ නිසා මට ආදරය කරන රසික රසිකාවියන්ට කියන්නේ මේ අවුරුද්ද අපිට හොඳ වෙයි. අපි ආරක්ෂා වෙලා පුළුවන් හැමදේම කර ගමු කියලා. මම විශ්වාස කරනවා මේ අවුරුද්ද අපිට හරි යයි කියලා.
රසිකයන්ගෙන් ලැබෙන ආදරේ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ලෝකයේ වාසනාවන්තම රැකියාව කරන්නේ අපි. කලාව කියන්නේ එහෙම රැකියාවක්. අපේ ජීවිතයේ වැදගත්ම කොටසක් තමයි මේ රසික ජනතාවගේ ආදරේ. ඇතැම් නිර්මාණවලින් දැක්කා නොදැක්කා වැඩක් නැහැ. කොහේ හරි තැනකදී ගියහම අපිට තියෙන ආදරේ, අපිට තියෙන ගෞරවය මම පෞද්ගලිකව අත්විඳලා තියෙනවා. ඒ නිසා මම අපේ සියලුම කලාකරුවන් වෙනුවෙන් ඔවුන්ට ගෞරව කරනවා. මම පසුගියදාත් ෆේස්බුක් එකෙත් සටහනක් දැම්මා සියලුම කලාකරුවන් වෙනුවෙන් ආදරණීය රසික රසිකාවියන්ට ගෞරවය පුද කරනවා කියලා.
රසිකයන් කලාකරුවන්ට තියෙන ආදරේ නිසා ඔවුන්ගේ හොඳ දේ වගේම නරක දේවලුත් ජීවිතයට ගන්නවා නේද?
ආදරය වැඩි නිසයි මේ හැම දේම. සමහර විට අපේ පෞද්ගලික ජීවිතයේ මොකක් හරි වෙනසක් වෙච්ච ගමන් ඒ අයට තරහ යනවා. ඒ තරහ යන්නේ අපිට ආදරේ වැඩි නිසානේ. ඒ අයට දුක නිසයි. ඒ නිසා මම කියන්නේ කලාකරුවන්ගෙන් ගත යුතු දේ විතරක් අරගෙන ජීවිතය ඒ විදිහට ගෙනියන්න. කලාකරුවෙක් විදිහට මට නම් ආඩම්බරයක් අපි විදිහට ජීවිත් වෙන්න උත්සහ කරන එක, අපි ගැන මේ විදිහට හොයලා බලන එක, මම නම් කියන්නේ අපිට ආදරේ වැඩි නිසයි එහෙම වෙන්නේ.
නැවතත් ආදරවන්තියක් වෙන්නේ නැද්ද?
මම ආදරේ කියන එක විශ්වාස කරනවා. දෙවියෝ, බුදුන්වහන්සේ, ජේසු වහන්සේ සහ ස්වභාවධර්මය මම විශ්වාස කරනවා. හිතනවා මේ අවුරුද්දේ එහෙම කිසිම දෙයක් වෙන්නේ නැති වෙයි කියලා. හිත කියන එක අමුතු දෙයක් නේ. නමුත් මම හිත හදා ගන්නවා.
ආදරේ විශ්වාසයි, විවාහය අවිශ්වාසද?
විවාහය මම දැඩි ලෙස අවිශ්වාස කරනවා. විවාහය කියන්නේ තනිකර බොරුවක්. ඒක මම ඕනෙම තැනක කෙලින් කියනවා. ඒක ලංකාවේ තියෙන බොරු සම්ප්‍රදායක්. බොරුවට නීත්‍යනුකූල විවාහයක්, බොරුවට කොළයක් ගන්නවා, ඒකේ නම් දෙකක් සහ බොරු අත්සන් දෙකක් තියෙනවා. හැබැයි ස්වාමිපුරුෂයාට වෙනම ගැහැනු ඉන්නවා. බිරිඳට තවත් වෙනම පුරුෂයෝ ඉන්නවා. මම කියන්නේ මේක නෙමෙයි ආදරේ. ඒක කොළයට සීමා කරන්න බෑ. විවාහය මම විශ්වාස කරන්නේම නැහැ.
මේ කාරණා නිසාද ලෝකයේ living together සංකල්පයක් නිර්මාණය වෙලා තියෙන්නේ?
මමත් සිංහල බෞද්ධ. මගේ තාත්තාගේ ගම මාතලේ. සමහර වෙලාවට මම මේ කියන කතාවට මිනිස්සු විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි එකට ජීවිත් වෙලා අපි ගැළපෙනවාද නැද්ද කියන එක බලලා එකතු වෙන එක තමයි හොඳ කියලා මම විශ්වාස කරනවා. මොකද මගේ පෞද්ගලික අත්දැකීමෙන් මම දැකලා තියෙනවා ලස්සනට පෝරුවල, ලස්සනට පල්ලිවල විවාහ වෙච්ච මිනිස්සු උසාවියේ ඇතුළේ කූඩු දෙකකට වෙලා රණ්ඩු කරනවා. එය මම ඇස් දෙකට දැකලා තියෙනවා. මම කියන්නේ එහෙම විඳවන්න ඕනේ නැහැ. ගැළපෙනවා නම් එකතු වෙලා ඉන්න පුළුවන්. නැත්නම් අයින් වෙන්න පුළුවන්. විවාහය කියන දේ මුලින්ම කර ගත්තාම වෙන්නේ අන්තිමට රණ්ඩු වෙනවා, වන්දි ඉල්ලනවා, ලැජ්ජා වෙනවා. අපේ රටේ ගොඩක් දේ තුළ බොරුවනේ තියෙන්නේ. බොරුවට පෝරුවට නැගලා, කැන්ඩියන් එකක් ඇඳලා විවාහ වෙන එක මම ඇත්තටම විශ්වාස කරන්නේ නැහැ. සමහර දෙනෙක් හිතන්න පුළුවන් මගේ අත්දැකීම නිසා කියලා. නමුත් එහෙම නෙමෙයි, හැබැයි මේ කිසිම දෙයක් ඇතුළේ විශ්වාසය කියන දේ නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා ඒ සංකල්පය ඇත්තටම වරදක් නැහැ. හැබැයි මගේ අම්මා තාත්තා වුණත් ඒ සංකල්පයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ ඒ අය හැදිච්චි විදහත් එක්ක. හැබැයි මම හිතන්නේ ඒ දේ නිසා ප්‍රශ්න අඩු වෙන්න පුළුවන්.
ව්‍යාපාරවලින් ඈත් වුණා නේද? ආයේ ව්‍යාපාරවලට යොමු වෙන්නේ නැද්ද?
පටන් ගන්න අදහසක් තියෙනවා. නමුත් පහුගිය කාලේ සිංහලෙන්ම කිව්වොත් හම්බ කරන්න හම්බුනේ නැහැ. ඉතිං ඒ නිසා ඒ බලාපොරොත්තුව 2022 හෝ 2023 දක්වා කල් යයි. ඒ නිසා රංගනයෙන් පැත්තෙන්ම කටයුතු කරයි. නමුත් මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙනවා අඩුයි. ඉස්සර කියනවා වගේ හොඳම කියන එක ඉස්සරහට දා ගන්න තමයි උත්සහ කරන්නේ.
අවසාන වශයෙන් කිව්වොත් මේ අවුරුද්දේ තියෙන ලොකුම බලාපොරොත්තුව?
මම කැමතියි රටේ ලෝකේ හැමෝම හොඳින් ඉන්නවාට. ආදරය කරන හැමෝම සතුටින් ඉන්නවාට කැමතියි. මගේ ජීවිතේ නම් තියෙන ලොකුම බලාපොරොත්තු රංගනය පැත්තෙන් යන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා, ජනතාවගෙන් තව තව ආදර වැඩි වෙලා මගේ අම්මා තාත්තා බලාගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එකයි.
ඩිලාන් ක්‍රිෂාන්ත