විවාහ ජීවිතයකට ජ්‍යෝතිෂයෙන් කෙරෙන බලපෑම


සාර්ථක විවාහයක් යනු ඕනෑම තරුණයෙක්, තරුණියක් තුළ තිබෙන සිහිනයකි. නමුත් හිතු මනාපෙට විවාහ වී ඉන්පසුව පවුල් ගැටලු මතුව ජීවිත කාලයම දුක සේ කාලය ගතකරන පුද්ගලයන් අපට නිරන්තරයෙන් හමුවෙයි. ඔවුන්ට සිදුව ඇත්තේ කුමක්ද? ජ්‍යෝතිෂය විවාහ ජීවිතයකට බලපාන්නේ කෙලෙසද? මේ ඒ පිළිබඳව ජ්‍යෝතිෂ උපදේශක ලක්ෂිත් දසනායක මහතා කරන ලද විග්‍රහයකි.

විවාහයට ජ්‍යෝතිෂයේ බලපෑම

විවාහයට පමණක් නොව සෑම ක්ෂේත්‍රයකම කටයුතු සාර්ථක කර ගැනීමට ජ්‍යෝතිෂය විශාල පිටිවහලක් සපයා දෙයි. ජ්‍යෝතිෂය විවාහයකට කරනු ලබන බලපෑම සලකා බැලුවහොත් මුල්ම කාරණය ලෙස ගත යුත්තේ කේන්දරයයි. කේන්දරය යනු පුද්ගලයෙකුගේ සිතන පතන ආකාරයයි. තමන් සිතන පතන ආකාරය වෙනස් වන විට විවාහ ජීවිතයේ සාර්ථකත්වයෙහි ගැටලු ඇති වේ. උදාහරණයක් ලෙස උත්සාහවන්ත පුද්ගලයෙකු සහ අලසකාමී ස්ත්‍රියක එක වහළක් යට ජීවත් වුවහොත් එහි ගැටලු මතු වේ. ඔවුන්ගේ අදහස් නොගැළපෙයි. පුද්ගලයෙකු උපත ලබන නැකැත යනු ඔහු ඉපදෙන අවස්ථාවේ චන්ද්‍රයා සිටින ස්ථානයයි. එම නැකැතට අනුව පුද්ගලයෙකු සිතන පතන ආකාරය නිර්මාණය වේ. එම නැකැත් සහකරුවාගේ හෝ සහකාරියගේ උපන් නැකැතට නොගැළපෙන විට විවාහ ජීවිතයේ ගැටලු ඇති වේ.

තවද ගිය ආත්මයේ කළ කුසල් අකුසල් මත මේ ආත්මයේ ජීවත් වන්නේ කෙලෙසද යන්න තීරණය වේ. උදාහරණයක් ලෙස පුද්ගලයෙකුගේ උත්පත්ති කේන්දරයේ සෙනසුරු ග්‍රහයා හත්වැන්නේ වක්‍රව සිටිනවා නම් ඔහුට දික්කසාදයක් උරුම වේ. එවැනි කේන්දරයක් සමග ගනුදෙනු කරන විට එවැනි දෙයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් වැඩකටයුතු කළ යුතුය. එමෙන්ම පුද්ගල කේන්දරයක කුජ ග්‍රහයා කේන්දරයේ හත්වැන්නේ වාසය කරනවා නම්, රවි ග්‍රහයා විසින් දකිනු ලබයි නම් ඔහුගේ හෝ ඇයගේ පළමු විවාහය දික්කසාදයකින් කෙළවර වන බව ජ්‍යෝතිෂය පෙන්නුම් කරයි.

පුද්ගලයෙකු උපත ලබන අවස්ථාවේ චන්ද්‍රයා සිටින ස්ථානය අනුව සම්පත් - විපත් - ක්‌ෂේම - ප්‍රත්‍යානි - සාධක - වද - මෛත්‍රී - පරම මෛත්‍රී යනුවෙන් නැකැත් වෙන් කෙරේ. එහිදී උදාහරණයක් ලෙස යමෙකුගේ කේන්දරයකට විපත් නැකැතක් හා සම්බන්ධ වන විට එය ඒ පුද්ගලයාගේ දරු ඵල, සෞභාග්‍යය, මනසේ සාමකාමීත්වය ඇතුළු සෑම දෙයකටම එය බලපානු ලබයි. එම නිසා විවාහයකදී එම ජ්‍යෝතිෂ ශාස්ත්‍රය භාවිතකර එම පුද්ගලයාගේ අනාගතය කුමන ආකාරයෙන් තීරණය වනවාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. එමෙන්ම පුද්ලයෙකුගේ ආකර්ෂණය, රුචි අරුචිකම්, බලාපොරොත්තු වැනිදෑට සමානකම් දක්වන සහකරුවෙක් තෝරා දීමට ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට පුළුවන. තවද ඔහුගේ හෝ ඇයගේ කාමුක සැප, විවාහයෙන් පසු වෙනත් සම්බන්ධතා පවත්වන්නේද? විවාහයෙන් පසුව දියුණු වනවාද, දරු සම්පත් කෙලෙසද යන්න සියලු දෑ විවාහයකට පෙර කේන්දරය පරික්ෂා කිරීමෙන් දැනගත හැකිය.

සෑම මනුෂ්‍යයෙකුගේම ශරීරයෙන් පිටවන ගන්ධයක් ඇත. එය ජ්‍යෝතිෂ ශාස්ත්‍රයේදී විවිධ සත්ත්ව නාමවලින් හඳුන්වනු ලබයි. එහිදී එම ගන්ධයෙන් සංකේත කරවන ප්‍රියත්වය හෝ අප්‍රියත්වයද විවාහ ජීවිතයකට තදින් බලපානු ලබයි. විවාහයෙන් පසුවත් පවුල් ජීවිතය තුළ විවිධ කටයුතු සඳහා ජ්‍යෝතිෂ ශාස්ත්‍රය භාවිත කිරීම තුළින් උසස් ප්‍රතිඵල ලබාගත හැක. මන්ද අප ගමනක් යනවිට ඉදිරියට එන බාධක, ස්වභාවයන් පිළිබඳව කලින් දැනගෙන ඒ සඳහා සූදානමින් ගමන් කිරීමෙන් ගමන සාර්ථක වන නිසාය.

විවාහයෙන් පසු ස්වරූප වෙනස් වීම

මෙහිදී 90෴ක් පමණ සිදුවන්නේ විවාහයෙන් පසුව තමන්ගේ සැබෑ මුහුණුවර එළියට පැමිණීමයි. බොහෝවිට පෙම්වතිය ලබාගැනීමේ තදබල ආශාව සහ අරමුණ හේතුවෙන් පෙම්වතාගේ සැබෑ ස්වරූපය පෙම්වතිය ඉදිරියේ සඟවාගෙන සිටියි. නමුත් විවාහ වී කාලයක් ගතවන විට ඔහුට ඔහුගේ සැබෑ ස්වරූපය සඟවාගෙන ජීවත් වීම තවදුරටත් අපහසු වෙයි. බොහෝ දෙනා විවාහය යනු ප්‍රේමයේ අවසන් ජයග්‍රහණය ලෙස සිතා සිටියි. විවාහයෙන් පසුව ඔවුන්ගේ බලාපොරොත්තුව සාර්ථක වූ බවට සිතයි. ඉන්පසු එම පුද්ගලයා සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙයි. එම සැහැල්ලු වීමත් සමගම ඔහුගේ හෝ ඇයගේ සැබෑ මුහුණුවර එළියට පැමිණේ. එවැනි සඟවාගෙන සිටින මුහුණු පිළිබඳවද ජ්‍යෝතිෂය තුළින් පැහැදිලි විවරණයක් ලබාගත හැකිය. පුද්ගලයෙකුගේ ජීවිතයේ විවාහ වන වයසට පැමිණ තිබෙන විටත් ඔහු හෝ ඇය ජීවිතයේ භෞතිකමය වශයෙන් හෝ කිසිවක් සිදුකරගෙන නොමැති නම් විවාහයෙන් පසුව ඔහුගේ ජීවිතයෙන් සාර්ථකත්වයක් බලාපොරොත්තු විය නොහැක.

පොරොන්දම් ගැළපීම

මෙහිදී පළමුව පැවසිය යුතු කරුණ වන්නේ පොරොන්දම් ගැළපුන පමණින් කිසිදු විවාහ ජීවිතයක් සාර්ථක නොවන බවයි. පොරොන්දම් ගැළපීමක් යනුවෙන් සරලව සඳහන් කළ හැක්කේ එම පුද්ගලයා ඉපදුනු නැකැත අනෙක් පුද්ගලයාගේ නැකැත හා සංසන්දනාත්මකව පරික්ෂාකොට නැකැත් දෙක ගැළපෙනවාද නැද්ද යන්න පමණි. නමුත් එම කේන්දර දෙකෙහි ග්‍රහ පිහිටීම්වලට අනුව එම පුද්ගලයාට ඒරාෂ්ටක පැමිණෙනවාද? සෙනසුරු මහ දසා ලබනවාද? ඉදිරියේ ගැටලුකාරී තත්ත්ව පැමිණෙනවාද? යන්න දැනගත හැකිය. බොහෝ විවාහයන් අසාර්ථක වන්නේ පොරොන්දම් ගැළපීම සරලව පරික්ෂා කරන නිසාය. විවාහ උත්සවයට විශාල මුදලක් වියදම් කළත්, බොහෝවිට පොරොන්දම් ගැළපීම සුළු මුදලකට සුළුවෙන් සිදුකර ගනී. ඊට වඩා වැඩි විග්‍රහයකට යෑමට ඔවුන් ඉදිරිපත් නොවෙයි. තමන්ගේ ජීවිතයේ තීරණාත්මක මොහොත කොයිතරම් සාර්ථක, අසාර්ථක වනවාද යන්න දැන ගැනීමට ප්‍රබල විග්‍රහයකට යා හැකි නම් එය පවුල් ජීවිතයට ඉතා වැදගත්ය. නමුත් පොරොන්දම් පරික්ෂාවක් පමණක් සිදුකොට ගෙන විවාහයකට යෑම එතරම් ප්‍රායෝගික කරුණක් නොවේ.

ලග්නයට ගැළපෙන සහකරුවා හෝ සහකාරිය කවුද?

ඇතැම් ලග්නවලින් උත්පත්තිය ලැබූ පුද්ගලයන්ට ගැළපෙන ලග්න හිමි අය සිටියි. උදාහරණයක් ලෙස මකර ලග්නයෙන් උත්පත්තිය ලැබූ පුද්ගලයෙකුට සිංහ ලග්නය හිමි අයෙකු ගැළපෙන අවස්ථා බොහෝදුරට ඇත. මන්ද මකර සහ සිංහ ලග්න හිමියන් සිතනපතන ආකාරය, බලාපොරොත්තු වන දෑ, රුචි අරුචිකම් බොහෝ සෙයින් සමාන වන නිසා ය. එමෙන්ම පුද්ගලයෙකුට රාහු මහ දසාවේ සිකුරුගේ අතුරු දසාවක් ගත වන අවස්ථාවකදී ඔහු විවාහයකට පෙළඹීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. ඊට හේතුව වන්නේ ඔහු එවැනි අවස්ථාවකදී තමන්ගේ ජීවිතය බෙදාගැනීමට තව කෙනෙකු සිටියා නම් හොඳය යන්න මානසිකව සිතෙන මට්ටමක් ඔහු වටා නිර්මාණය වන නිසාය. එවැනි නිර්මාණය වීමකදී ඔහු වටේ සිටින අයගෙන් කෙනෙකු ඔහු තෝරා ගනී. එවැනි අවස්ථාවකදී ඔහුට වැරදීමට ඇති ප්‍රතිශතය ඉතා ඉහළය. 

උපදින දරුවාගෙන් දෙමාපියන්ට අපල ඇතිවේද?

තමන්ගේ ලෙයින් උපදින දරුවෙකුගෙන් තමන්ගේ මාපියන්ට අපලය, අසුබය, වෙන්කර තැබීම සුබය යන කාරණා තුළ සත්‍යයක් නැත. දරුවෙකු මාපියන් මැද උත්පත්තිය ලබන්නේ එම දරුවා පෙර ආත්මභවයන් හිදී සිදුකළ කුසල් අකුසල් මතය. ජ්‍යෝතිෂ ශාස්ත්‍රය දක්වන පරිදි උත්පත්ති කේන්දරයක රවි ග්‍රහයා නීච බල සහිත වන විට එම කේන්දරය හිමි දරුවාට පිය සෙනෙහස යම් පමණකින් අඩුවේ. එවැනි ග්‍රහ පිහිටීමක් සහිතව උපත ලබන දරුවෙකුගේ පියා දුර පළාතක රැකියාවකට යෑම, විදේශගත වීම වැනි දෙයක් සිදු වේ. දරුවාට පියාගෙන් දුරස්ව ජීවිතය ගත කිරීමට සිදුවේ. නමුත් දරුවෙකුගෙන් මාපියන්ට හොඳ සිදුවන්නේ නැත. එමෙන්ම නරකක්ද සිදුවන්නේද නැත. උදාහරණයක් ලෙස දරුවාට ඉතා අසුබ කාලයක් උදා වී ඇති මොහොතක ඔහු අසනීපයන්ගෙන්, විවිධ මානසික වධ වේදනාවන්ගෙන් පෙළෙයි. එම කාලයේදීම ඔහුගේ මාපියන්ගේ කේන්දරය පරික්ෂා කළහොත් එම කාලය මාපියන්ට අපල ඇතිවන දුෂ්කර කාලයක ජීවත් වන බව කාලයකට පෙර ලියවී තිබිය හැකිය. එමගින් එය දරුවෙකුගෙන් සිදුවූවක් ලෙස දැක්විය නොහැක. මෙය දැලක් සේ එකිනෙකට සම්බන්ධව පවතී.



Recommended Articles