විල්පත්තුවෙන් කොටසක් රටට අහිමි කරන පහළ මල්වතුඔය ව්‍යාපෘතිය


අක්කර ලක්‍ෂ තුනකට වැඩි පරිසර පද්ධතියකින් සමන්විත විල්පත්තු ජාතික වනෝද්‍යානය ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස සැලකේ. විල්ලු 40ක් ඇති ලංකාවේ එකම වනෝද්‍යානයද වන මෙම භූමිය තුළ සත්ත්ව විශේෂ 370ක් වාර්තා වී තිබේ.


මීට අමතරව ශාක විශේෂ 624ක් පවතින මෙම ජාතික වනෝද්‍යානය තුළ ලංකාවේ ජීවත් වන පක්‍ෂීන්ගෙන් උසම පක්‍ෂියා ලෙස හැඳින්වෙන මහා කොකා සහ ලංකාවේ විශාලතම ජලජ පක්‍ෂියා ලෙස සැලකෙන බහුරු මානාවාගේද ප්‍රධාන වාසභූමිය වී ඇත. දිවියන් බහුලවම ගැවසෙන වනෝද්‍යානයක් ලෙසද සැලකෙන මෙම පරිසර පද්ධතිය 1938 වසරේ පෙබරවාරි 25 වැනිදා ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
විජය රජු ලංකාවට පැමිණි මාර්ගයේ පළමු ගමන් ආරම්භක ස්ථානය ලෙසද විල්පත්තු වනාන්තරය නම් වී තිබෙන අතර, මෙම භූමිය තුළ පුරාවිද්‍යාත්මක ස්ථාන සිය ගණනක් පවතින බවත්, එම ස්ථාන අතර පුරාණ විහාරාරාම 65කට වැඩි ප්‍රමාණයක නටඹුන් පවතින බවත් වාර්තා වේ.

තිස් අවුරුදු යුද සමය තුළදී විශාල කාලයක් දෙස් විදෙස් සංචාරකයන්ට මෙම වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව හිමි නොවූ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් කෙතරම් තර්ජන ගර්ජන තිබුණද, වනජීවී නිලධාරීහු දිවි නොතකා එය රැක ගැනීමට කටයුතු කළහ.

මේ හේතුවෙන් එම කාලය තුළදී වනජීවී නිලධාරීන් විශාල පිරිසකට ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදු විය. මෙම පරිසර පද්ධතිය තුළ දැනට ලංකාවේ ඉතිරිව පවතින ස්වාභාවික එල්ලංගා ජල පද්ධතියද පිහිටා තිබෙන අතර, එය ලෝකයාට ඉතිරිව තිබෙන විශාලම හා ස්වාභාවික එල්ලංගා පද්ධතිය බැවින් ලෝක උරුමයක් ලෙසද නම්කර තිබෙන බව පරිසරවේදීහු සඳහන් කරති.

විල්ලු විශාල ලෙස පැවතීම නිසා විල්පත්තුව ලෙස මෙය නම්ව තිබෙන බවට ජනප්‍රවාදයේ සඳහන් වන අතර, මෙම භූමියේ ජීවත් වන සත්ත්ව විශේෂ 370න් විශේෂ 21ක්ම ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ වෙයි. මෙවැනි ජාතික හා ජාත්‍යන්තර වැදගත්කමක් ඇති වනභූමියේ එක් කොටසක් මෙරට දේශපාලනඥයෙක් හා රාජ්‍ය නිලධාරීහු කිහිප දෙනෙක් එක්ව නීතිවිරෝධී ලෙස විනාශ කරමින් සිටිති.
ජනතා ඉඩම් බව පවසමින් මෙම විනාශය සිදු කරනු ලබන අතර, සාමාන්‍ය පුද්ගලයෙකු තම ගෙවත්තේ තිබෙන ගසක් කැපුවද අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන වකවානුවක මෙරට නීතිය ක්‍රියාත්මක කරන කිසිදු ආයතනයකට මෙම වන විනාශය නොපෙනීම කනගාටුවට කරුණකි.

පරිසරය රැක ගැනීමට බව පවසමින් පරිසර දිනයට තම නිල නිවාසවල පවා පැළ රෝපණය කර මාධ්‍ය සන්දර්ශන පවත්වන දේශපාලනඥයන්ට මෙම විනාශය නොපෙනීම ඛේදනීය තත්ත්වයකි. මේ ආකාරයට දේශපාලනඥයෙකු හා රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ අනුග්‍රහයෙන් නීතිවිරෝධී ආකාරයට වනය විනාශ කර දමන විට පහළ මල්වතුඔය ව්‍යපෘතියට මුවා වී ජාතික වනෝද්‍යානයේ ආරක්‍ෂිත කලාපයෙන් අක්කර දෙදහසක් පලතුරු වගාවක් සඳහා බහුජාතික සමාගම්වලට බදු ලබා දීමට සැලසුම් කර තිබේ.

මීට අමතරව තන්තිරිමලය හා චෙන්ඩිකුළම මාර්ගයේ බටහිර දෙසට වන්නට ජාතික වනෝද්‍යානයට අයත් අවශේෂ කැලෑ අක්කර හයසියහැත්තෑපහක් පහළ මල්වතුඔය ව්‍යපෘතියට ලබා ගැනීමට සැලසුම් කර ඇත. මහවැලි යෝජනා ක්‍රමයේ එක් ව්‍යාපෘතියක් ලෙස පහළ මල්වතුඔය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, පරිසරවේදීන්ගේ හා විවිධ පාර්ශ්වල බලපෑම නිසා එය ඉදිකිරීම දිගින් දිගටම පමා විය. එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට සැලසුම් කර මේ වන විට ඊට අදාළ මූලික වැඩකටයුතුද අවසන් කර තිබේ.

මේ අනුව පහළ මල්වතුඔය ව්‍යාපෘති යෝජනාවලට අනුව විල්පත්තුව, කප්පච්ච අවට ප්‍ර‘දේශයේ අවශේෂ කැලෑ ඉඩම් ඇතුළු අක්කර 17,000ක ඉඩම් ලබා ගැනීමට සැලසුම් කර ඇත. කප්පච්ච ප්‍ර‘දේශයෙන් බැස යන මල්වතුඔය දෙපස ඇති එල්ලංගා පද්ධතිය ගෝත්‍රිකයන්ගේ ජල රැඳවුම් තාක්‍ෂණයේ විශිෂ්ටත්වය අදටත් ලොවට කියාපාමින් ඇත. වසර දහස් ගණනක ඉතිහාසයක් තිබුණද, මෙහි ඇති වාරි තාක්‍ෂණය හා ජල විද්‍යාත්මක සලකුණ අදටද දැක ගැනීමට හැකිය. පහළ මල්වතුඔය පහළ ප්‍ර‘දේශයේ ඇතිවන ජල ගැලීම් වළක්වා ගැනීම සඳහා එහි අවට ප්‍ර‘දේශවල අක්කර දෙදහසකට අධික ප්‍රමාණයක් අස්වැද්දීම මූලික කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සිදු කරන බවට සඳහන් වේ.

වියළි කලාපයට අයත් වනෝද්‍යානයක් ලෙස සැලකෙන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිහිටි විල්ලු ඇතුළු සියලු ජල මූලාශ්‍රවලට ජලය සැපයීම ප්‍රධාන වශයෙන් සිදු වන්නේ පහළ මල්වතුඔය පිටාර ගැලීමෙන් සිදුවන ජල ගැලීම් නිසාය. මෙය අනාදිමත් කාලයක සිට ස්වාභාවිකව සිදුවන ක්‍රියාවලියකි. මේ හේතුව නිසා වියළි කලාපයට අයත් වනෝද්‍යානයක් තුළ මේ තරම් විල්ලු ප්‍රමාණයන්ද නිර්මාණය වී ඇත.

මෙම තත්ත්වය තේරුම් නොගන්නා දේශපාලනඥයන් මෙලෙස විනාශ කර දමනුයේ දේශීය හා ජාත්‍යන්තර ජනතාවගේ ආදරයට පාත්‍ර වූ පරිසර පද්ධතියකි. අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් වනාන්තර අක්කර 19,000ක පරිසර පද්ධතියක් රටට අහිමි වී යමින් තිබේ. පොදුවේ ඒ අවට ප්‍රදේශවල ජනතාව ජල ගැලීම්වලට ලක්වන්නේ නම්, එයටද දේශපාලනඥයන් වගකිව යුතුය. මන්දයත් දේශපාලනඥයන් තම දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඔවුන්ට අභිමත තැන්වල ජනතාව පදිංචි කරවන බැවිනි.

සැබෑ ලෙසම ජනතාව ගැන සිතා මෙම කටයුතු සිදු කරන්නේ නම්, විධිමත් ලෙස රටට ගැළපෙන වැඩපිළිවෙළක් දියත් කළ හැකිය. මන්දයත් සෑම විටම මෙරට දේශපාලනඥයන් සොයා බලනුයේ සංවර්ධනය යන ආකල්පය පමණක් ඔළුවේ තබාගෙනය. එහෙත් සංවර්ධනයේ නාමයෙන් සිදුවන වන විනාශය ඇතුළු අනෙකුත් විනාශයන් ගැන ඔවුහු දශමයකින් හෝ සොයා නොබලති. ව්‍යාපෘතියේ කටයුතු අවසන් වන විට ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වූ අරමුණ සම්පූර්ණයෙන් විනාශ වී කිසිදා නැවත නිවැරදි කරගත නොහැකි වන විනාශයක්ද රටට උරුම විය හැකිය.

උමාඔය ව්‍යාපෘතිය මෑත කාලීනව උදාහරණ ලෙස පෙන්වා දිය හැකි අතර, උමාඔය ව්‍යාපෘතිය නිසා සිදුවන පරිසර විනාශය තවත් වසර සිය ගණනක දක්වා වුවත් පැවැතිය හැකිය. මීට වඩා උදාහරණ මෙරට දේශපාලනඥයන්ට අවශ්‍ය නැත. උමාඔය ව්‍යාපෘතිය හොඳ ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දුන්නද, අවසානයට බණ්ඩාරවෙල, බදුල්ල ජනතාවට අයත් නිවාස දසදහසකට අධික ප්‍රමාණයක් විනාශ කර දැමීම සිදුවිය.
එක් ප්‍ර‘දේශයක පැවැති ජල ගැටලු විසඳීම සඳහා උමාඔය ව්‍යාපෘතිය සිදු කළද, අවසානයට සිදු වූයේ බදුල්ල, බණ්ඩාරවෙල ජනතාවගේ ළිං තුන්දහසකට අධික ප්‍රමාණයක් සිඳී යෑමය. අවසානයේ එම ප්‍ර‘දේශවලට අවශ්‍ය ජලය බවුසර් මගින් ලබාදීමටද ආණ්ඩුවට සිදු විය.

මෙම ව්‍යාපෘතිය ආණ්ඩු දෙකක් විසින් සිදු කර තිබෙන බැවින් එහි වගකීම ආණ්ඩු දෙකෙහිම දේශපාලනඥයන් විසින් බාරගත යුතුය. පහළ මල්වතුඔය ව්‍යාපෘතිය නිසා ජනතාවගේ පැත්තෙන් විශාල හානියක් සිදු නොවුණද, රටේ සම්පතක් ලෙස සැලකෙන විල්පත්තු වනෝද්‍යානයට මෙම ව්‍යාපෘතිය හරහා විශාල හානියක් සිදුවීම වළක්වාගත නොහැකි වනු ඇත. එම විනාශය මුදලින් තක්සේරු කළ නොහැකි වන අතර, වරදක් සිදු වුවහොත් එය කිසිදා නිවැරදි කර ගැනීමට හෝ නොහැකි වනු ඇත.

ජාතික වනෝද්‍යානයට අමතරව ආරක්‍ෂිත කලාපයක් හා අවශේෂ කැලෑවලින් එය ආවරණය කර තිබෙණුයේ වනෝද්‍යානයට ඍජුවම සිදු විය හැකි හානි අවම කරගැනීම සඳහාය. මේ නිසා මෙම භූමි තුළ අලිඇතුන් හා පක්‍ෂීන් ඇතුළු වෙනත් සත්ත්වයෝ විශාල ප්‍රමාණයක්ද ජීවත් වෙති. මේ නිසා රක්‍ෂිත හා අවශේෂ කැලෑ තුළ සංවර්ධන කටයුතු කිරීම හරහා වනෝද්‍යානයට ඍජුවම බලපෑම් එල්ල වන අතර, පරිසර ඛණ්ඩනයක් සිදු වීම නිසා අලි ගමන් කරන මාර්ග ඇහිරී යෑමද සිදු වේ. අලිඇතුන් ගමන් කරන මාර්ග ස්වාභාවිකවම නිර්මාණය වී තිබෙන අතර, මේ නිසා අලිඇතුන් සෑම විටම උත්සාහ කරනුයේ තමන් නිරන්තරයෙන් ගමන් කරන මාර්ගවල ගමන් කිරීමටය. යම් ප්‍රදේශයක අලි-මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ නම්, එයට මූලිකම හේතුව අලිඇතුන්ගේ ගමන් මාර්ග අවහිර කිරී‍මය.

මේ නිසා ආරක්‍ෂිත කැලෑ හා අවශේෂ කැලෑවල සිට විල්පත්තුවට අලිඇතුන් ගමන් කරන මාර්ග අවහිර වී ගියහොත් සිදු විය හැකි තත්ත්වයන් අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් රුපියල් බිලියන දහතුනක ණය මුදලක් ලබාගෙන ඉදිකිරීමට නියමිත පහළ මල්වතුඔය ව්‍යාපෘතිය පිළිබඳ දේශපාලනඥයන් හා බලධාරීන් නැවත සිතා බැලිය යුතුය. එසේ නොමැති වුවහොත් රටට ඉතිරි වනුයේ පරිසර විනාශයක් පමණි. ප්‍රාථමික වනාන්තර විනාශ කර දමන රටවල් 05 අතරට ශ්‍රී ලංකා නාමය මේ වන විට ඇතුළත්ව තිබෙන අතර, විල්පත්තුව විනාශ කර දැමීම හරහා වැඩි කාලයක් නොගොස් ප්‍රාථමික වනාන්තර විනාශ කර දමන පළමු රට ලෙස ශ්‍රී ලංකා නාමය ලෝකයා ඉදිරියේ නම් වනු ඇත.

මේ නිසා දේශපාලනඥයෙකුගේ හා රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ අනුග්‍රහයෙන් සිදුවන විල්පත්තු වන විනාශය නවතා දැමීමට කටයුතු කරනවා සේම, ආණ්ඩුවේ දේශපාලනඥයන් නීත්‍යනුකූලව විල්පත්තුවට කිරීමට යන විනාශයද නවතා දැමිය යුතුය.

මෙම ව්‍යාපෘතිය සිදු කිරීමටම අවශ්‍ය නම්, කැලෑ විනාශ නොකර චීනයේ %Exiam^ බැංකුවෙන් ලබා ගන්නා ණය මුදල් උපයෝගී කරගෙන නව තාක්‍ෂණය භාවිත කරමින් ව්‍යාපෘතියක් සිදු කළ හැකිය. මන්දයත් ලබා ගන්නා ණය මුදල පොලියද සමග ගෙවීමට සිදු වන්නේ මේ රටේ ජනතාවටමය. මේ හේතුවෙන් අදාළ මුදලින් රටට වැඩක් වන දෙයක් සිදු කිරීම දේශපාලනඥයන්ගේ වගකීමකි. 

 



Recommended Articles