මෙරට පරිසර විනාශය ඉතා වේගයෙන් සිදුවෙමින් තිබෙන දිනෙන් දින විවිධ ප්‍රදේශවල මහා පරිමාණ පරිසර විනාශයන් වාර්තා වෙමින් තිබේ. ඒවා නවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ගවල දුර්වලභාවයක් ඇති බවද පැහැදිලි කරුණකි. මුතුරාජවෙල තෙත්බිම බස්නාහිර පළාතට ඇති අති සුවිශේෂී පරිසර පද්ධතියක් වන අතර, යළිත් එහි පරිසර විනාශයන් සිදුවෙමින් තිබෙන නිසා මේ සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇතිව තිබේ.
මුතුරාජවෙල රැකගැනීම සඳහා පරිසර සංවිධාන බොහෝමයක් එක්ව කටයුතු කරන අතර, මේ විනාශය සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමුකර ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහිංයංගල ආනන්ද හිමියන් සමග සාකච්ඡා කළෙමු.
නිමක් නොමැති පරිසර විනාශය
මුතුරාජවෙල තෙත්බිම මේ වනවිට විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ කරමින් තිබෙනවා. ඒ අතර එක් දේපල සංවර්ධන සමාගමක විසින් මේ වනවිට අනවසරයෙන් මුතුරාජවෙල භූමියේ අක්කර 1,200කට වැඩි ප්‍රමාණයක් අල්ලගෙන තිබෙනවා. මෙයින් අක්කර 800ක් පමණ සංරක්‍ෂණ කලාපයේ ඉඩම්. අතීතයේ මේ භූමියේ විවිධ කොටස් වෙනුවෙන් යම් යම් බලපත්‍ර තිබිලා තියෙනවා. ඒ බලපත්‍ර මේ සමාගමට හරවා ගෙන මුතුරාජවෙල භූමි ප්‍රමාණය මේ සමාගමට ලබාගෙන තිබෙනවා. මේක කාලයක් පුරාවට සිදු වී තිබෙන වැඩක්.
සංරක්‍ෂණ කලාපය අහිමි කිරීම
රජය විසින් 1996 ඔක්තෝම්ර් 31වැනිදා 947/13 අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මීගමු කලපුවට දකුණින් පිහිටි පැරණි ඔලන්ද ඇළ සහ හැමිල්ටන් ඇළ අතර ඉතිරි ප්‍රදේශය සංරක්‍ෂණ කලාපයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙම කළත් 2006 පරිසර අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයකින් මේ නම් කරන ලද භූමි ප්‍රදේශය ඇතැම් කරුණු සඳහා භාවිත කළ හැකියි කියලා ප්‍රකාශයට පත් කළා. ඒ කියනනේ හෝටල්, ගෝල්ෆ් පිට්ටනි, ආපන ශාලා, රැස්වීම් ශාලා, උද්‍යාන, අධ්‍යාපන මධ්‍යස්ථාන, සංචාරක නිකේතන වගෙ ආයතන ටිකක් ඇතුළත් කරලා ප්‍රකාශ කරපු ගැසට් නිවේදනය නිසා තමයි මේ වැඩේ වැරදුනේ. ඒ අනුව තමයි මේ ඉඩම් සංවර්ධන ආයතනය විසින් මුතුරාජවෙලා ඉඩම් ලබාගෙන තිබෙන්නේ. එම ඉඩම්වල කරන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඔවුන් ව්‍යාපෘති වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර හානි පූර්ණ වාර්තාවක් කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා. මෙවැනි සංවේදී පරිසර කලාපයක කවදාවත් එවැනි ව්‍යාපෘතියක් කරන්න පුළුවන්ද බැරිද කියලවත් හොයන්න යන එක බරපතළ අර්බුදයක්. එය මධ්‍යම පරිසර අධිකාරය සිදුකළ වැරදි කටයුත්තක්.
මුතුරාජවෙල භූමියේ දිගින් දිගටම අනවසර ඉදිකිරීම් සිදුකර තිබෙනවා. අනවසර කර්මාන්ත ශාලා මේ භූමියේ තිබෙනවා. ඒ කර්මාන්ත ශාලාවල කසළ මේ භූමියට බැහැර කරනවා. මුතුරාජවෙල තිබුණු වැදගත් ජල පෝෂක ප්‍රදේශ දැන් අපවිත්‍ර වී තිබෙනවා. මේ නිසා ජීවින් විශාල ප්‍රමාණයක් මිය ගියා. ඒ වගේම මුතුරාජවෙල කෘෂි කර්මාන්තයට ඉඩම් යොදවලා තියෙනවා කියලා පොල් වගා කරනවා කියලා පෙන්නලා මහා පරිමාණයෙන් ඉඩම් අල්ලගෙන තිබෙනවා.
මුතුරාජවෙල ජලය දූෂණය වෙලා
ඒ වගේම මුතුරාජවෙල අභ්‍යන්තරයේ මත්පැන් ජාවාරම් සිදුවෙනවා. ඒ වගේම අවිධිමත් ලෙස මුතුරාජවෙල ගොඩ කරලා ගෙවල් හදලා තිබෙනවා. ඒ වගේම වරින් වර භූමිය ගිනි තැබීම් සිදුවීම් වාර්තා වෙනවා. මේ සිදුවීම් නිසා මුතුරාජවෙල අවට ළිං සියල්ල අපවිත්‍ර වෙලා තිබෙනවා. ඒ ළිංවල වතුර බෙන්න බැරි වෙලා තිබෙනවා. දිගින් දිගටම කසළ බැහැර කිරීම තුළ කඩොලාන පද්ධතියට විනාශ වෙමින් තිබෙනවා. මුතුරාජවෙලට කුණු දාන්නේ රාජ්‍ය මැදිහත්වීම මතයි. ඒ සඳහා ජනතාව විරෝධය දක්වනවිට ආරක්‍ෂක අංශ යොදවමින් කුණු දැමීම සිදු කරනවා. මේ භූමිය ගොඩකර ගැනීම් සිදුකරන්නේ කුණු දාලා. ඒ උපක්‍රමයට රජයේ සහාය ලැබෙනනවා. මේ ගැන අපි මාධ්‍යයට පවා කිව්වා. ලංකාවේ කුණු ප්‍රශ්නයට විසඳුමක් නැති නිසා මේ සමාගම් එයින් ප්‍රයෝජනය ගෙන අනවර ඉඩම් ගොඩ කරමින් ඉන්නවා.
මුතුරාජවෙල කියන්නේ රජය මගින් සංරක්‍ෂණය කර තිබෙන ජෛව හිතකාමී ප්‍රදේශයක් ලෙස ආරක්‍ෂා වී තිබෙන කලාපයක්. එහෙම භූමියකට කොහොමවත් කුණු දාන්න බැහැ. එහෙම වුණත් නගර සභා කිහිපයක කුණු මේ භූමියට ගෙනත් දැම්මා.
"පුද්ගලික ඉඩමකි" දැන්වීම් පුවරු
මුතුරාජවෙල ප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තුවේ විවිධ පුවරු ප්‍රදර්ශනය කරලා තිබ්වා. “වනජීවී ප්‍රදේශයකි - ඇතුළුවීම තහනම්* කියලා බෝඩ් ප්‍රදර්ශනය කරලා තිබුණා. ඒ බෝඩ් බොහෝමයක් මේ වනවිට කඩා දාලා සමහර තැන්වල දැන් අලුත් බෝඩ් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒවල තිබෙන්නේ “පුද්ගලික ඉඩමකි - ඇතුළත්වීම තහනම් කියලා* එහෙම බෝඩ් ගහලා තියෙන්නේ මම මුලින් කිව්ව පුද්ගලික සමාගම විසින්. මේ සියලු දේවල් වැරදියි. ඒවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් මේ කිසිම දෙයකට මධ්‍යම පරිසර අධිකාරිය නඩු පවරලා නැහැ. ඒ වගේම මේ පරිසර විනාශයන් වළක්වන්න රාජ්‍ය මැදිහත් වීම සිදුවෙලා තිබෙන්නේ ඉතාම අඩු වශයෙන්. ගම්පහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මේ සඳහා ප්‍රධාන වශයෙන්ම වගකිව යුතුයි. මොකද විවිධ ව්‍යාපෘතිවලට ඔවුන් අවසර දීලා තියෙනවා. ඒක වරදක්. මේ රටේ උපනූපන් පරපුරේ අයිතිවාසිමකම් වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒක වළක්වන්න එක සමාගමකට ඉඩ දෙන්න බැහැ. මුතුරාජවෙල සුරක්‍ෂිත කිරීම වෙනුවෙනුයි අපි හැමෝම මේ සඳහා එකතු වී සිටින්නේ.
මුතුරාජවෙල වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට
මුතුරාජවෙල සුරකීමේ සංවිධාන විසින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි හැමෝම පෙනී සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කාලේ මුතුරාජවෙල ආරක්‍ෂාවට කියලා වෙනමම ආරක්‍ෂක අංශයේ කඳවුරක් දැම්මා. නමුත් එතුමාගේ කාලය අවසන් වූ පසුව ඒ කඳවුර ඉවත් කර තිබෙනවා. මුතුරාජවෙලට කාටවත් යන්න බැහැ. එහෙ පාලනය කරන්නේ සමාගම්වල පාතාලයෝ. මුතුරාජවෙල වෙනුවෙන් රජය මැදිහත් වී කටයුතු කළ යුතුයි. කොහොම වණත් මේ වනවිටත් රජය නිද්‍රශීලීව කටයුතු කරන්නේ. ජනාධිපතිවරයා වුණත් මීට වඩා මේ ප්‍රශ්නවලට මැදිහත් විය යුතුයි.
ආණ්ඩුවේ ප්‍රකාශ
පරිසර විනාශය සම්බන්ධයෙන් අගමැතිතුමා හෝ පරිසර ඇමතිවරු හෝ නිලධාරීන් මේ පරිසර විනාශයට එරෙහිව කටයුතු කරලා නැහැ. ඔවුන් වරින් වර ප්‍රකාශ නිකුත් කරමින් ඉන්නවා. හුදු ප්‍රකාශ පමණක් ඔවුන් කියමින් ඉන්නවා. අපි දැක්කා අගමැතිතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ වගේ මාධ්‍ය නිවේදන හරහා මුතුරාජවෙල බේරගන්න බැහැ. ගව ඝාතනය සම්බන්ධයෙනුත් අගමැතිතුමා මාධ්‍ය නිවේදන නිකුත් කළානේ. විහිළුසහගත දේවල් නොකර සත්‍ය ලෙස මේ සඳහා මැදිහත් වෙන්න කියලා අපි කියනවා. මොකද පැහැදිලි දේශපාලන මැදිහත් වීමක් තුළින් මුතුරාජවෙලට අරක්ගෙන සිටින ධන කුවේරයන්ගේ දල කඩන්න පුළුවන් නම් අපට මේක ආරක්‍ෂා කර ගන්න පුළුවන්.
ජනතාවත් එකතු වෙන්න
අපි දිගින් දිගටම මුතුරාජවෙල වෙනුවෙන් පෙනී සිටිනවා. මීට පෙර අපි විල්පත්තුව වෙනුවෙන් පෙනී සිටියා. මෙවර විල්පත්තුවට වඩා වැඩි අවධානයක් මුතුරාජවෙලට යොදවන්න සිදුවෙලා තිබෙනවා. මුතුරාජවෙල විනාශ වෙන්න දෙන්න බැහැ. ඒ වෙනුවෙන් මහපාරේ සටන් කිරීම ඇතුළු කරන්න පුළුවන් උපරිමය අපි සිදු කරනවා. කාදිනල්තුමා ඇතුළු පිරිස ඒ වෙනුවෙන් එකතුවෙලා ඉන්නනවා ඒ වගේම පරිසරවේදීන් එකතුවෙලා ඉන්නවා. තවත් විශාල පිරිසක් අපි සමග ඉන්නවා. ජනතාවටත් අපිත් සමග එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ඒ වගේම වත්මන් ආණ්ඩුව බලයට පත් වෙලා මේ වනවිට අවුරුදු එකහමාරක් විතර වෙනවා. මේ කාලය තුළ හෙක්ටයාර හත්දාහක් අටදාහත් වගේ භූමි ප්‍රදේශයක් විනාශ කරලා තියෙනවා. සංරක්‍ෂිත ප්‍රදේශ , අභයභූමි රක්‍ෂිත ප්‍රදේශ ආදිය විනාශ වූ මේ ප්‍රදේශ ගැන අපි වාර්තාවක් සකස් කරමින් ඉන්නවා. ඉදිරියේදී එය එළිදක්වන්න කටයුතු කරනවා. වන විනාශයේ තරම එතකොට වැටහේවී. කොහොම වුණත් පරිසර කියන්නේ කාගෙවත් බූදලයක් නෙවෙයි. උපනූපන් පරපුර වෙනුවෙන් පරිසරය ආරක්‍ෂා විය යුතුයි. හොඳ පරිසයක් අපි හැමෝගෙම අයිතියක්. අපි දිගින් දිගටම පෙනී ඉන්නේ ඒ වෙනුවෙන්.