මේ වනවිට පවතින වියළි කාලගුණික තත්ත්වය මත රටේ විවිධ ගැටලු මතු වී තිබේ. එම ගැටලුකාරී තත්ත්වයන් හමුවේ මහජනතාව වශයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් පසුගියදා මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි. මේ එහිදී විවිධ අංශයන්හි නිලධාරීන් විසින් ඉදිරිපත් කළ අදහස්ය.
පරිසරය හා ජලය ආරක්ෂා කරන්න එකතු වෙන්න - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මහජනතාවට විවිධ ආපදා තත්ත්වවලට මුහුණදෙන්න සිදුවෙලා තිබෙනවා. මේ මාසවල මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ උෂ්ණත්වය වැඩි වීමත්, වර්ෂාව හිඟ වීමත් නිසායි. සමහර දිස්ත්‍රික්කවල සෙන්ටිග්‍රේඩ් අංශක හතරකින් පමණ උෂ්ණත්වය වැඩිවෙලා තිබෙනවා. මේ නිසා දිස්ත්‍රික්ක විශාල සංඛ්‍යාවක ජනතාවට බීමට ජලය නැතිව ප්‍රශ්න ඇතිවෙලා. ඒ වගේම ඇතැම් ප්‍රදේශවල වනාන්තර ගිනිගැනීම් වාර්තා වෙනවා. රජය ලෙස අපි දැනටමත් දිස්ත්‍රික්ක 13කට බවුසර් මගින් ජලය බෙදා හරිනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් යවලා තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම දිසාපතිවරුන්ට ලක්ෂ දහයක අත්තිකාරම් මුදල් ලබාදී තිබෙනවා. බවුසර් රථ 207ක් අම්පාර, යාපනය, වවුනියාව, පොළොන්නරුව, කුරුණෑගල, කළුතර, මාතර, මහනුවර, මාතලේ, ගම්පහ, පුත්තලම, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල ජලය බෙදා දීමට යොදවා තිබෙනවා. යාපනයට පමණක් අපි ලක්ෂ 50ක මුදලක් ලබාදී තිබෙනවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ කළු ගඟට මුහුදු ජලය එක්වීම නිසා ඇති වී තිබෙන ප්‍රශ්නය විසඳීමට ත්‍රිවිධ හමුදාව එක්වී තිබෙනවා. මේ කාලගුණික තත්ත්වය උඩ තිබෙන අනෙක් ප්‍රශ්නය තමයි කැලෑ ගිනි ගැනීම. 2017 වර්ෂයේ කැලෑ ගිනි ගැනීම් වාර්තා වුණේ 58යි. 2018 වර්ෂයේ 102ක් වාර්තා වුණා. මේ වර්ෂයේ මුල් මාස තුන වෙද්දී සිදුවීම් 50ක් වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ කැලෑ ගිනි ගැනීම් වාර්තා වෙන්නේ ජූලි හා අගෝස්තු මාසවල. නමුත් මේ වර්ෂයේ උෂ්ණාධික කාලගුණය නිසා කැලෑ ගිනි ගැනීම් වැඩි වෙලා තිබෙනවා. අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පරිසරය හා ජලය ආරක්ෂා කරන්න එකතුවෙන්න කියලා. සමහර තැන්වල ජනතාවගේ වරදින් කැලෑ ගිනි ගැනීම් ඇතිවෙනවා. අපි හැම දිස්ත්‍රික්කයේම හදිසි අාපදා තත්ත්වයන්ට මුහුණදෙන්න ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එකතුව ඒකක පිහිටුවලා තිබෙනවා. ඒ වගේම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් මේ සඳහා යොදාගන්නා අවස්ථාත් තිබෙනවා. අපි රජය ලෙස හැම අවුරුද්දෙම ආපදාවලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය පියවර ගන්නවා. පසුගිය වසරේ රුපියල් මිලියන 5,500ක් විතර වියළි කාලගුණයේ නියං ආධාර සඳහා බෙදා හැරියා. ගංවතුර හා වර්ෂා නිසා ඇතිවූ හානිවලදීත් අපි ආධාර සඳහා විශාල මුදලක් වැය කළා. මේ වර්ෂයේදීත් අපිට අයවැයෙන් බිලියන 20ක මුදලක් ලැබිලා තිබෙනවා. පැය 24ම ක්‍රියාත්මක 117 කියන දුරකථන අංකයට කැලෑ ගිනි ගැනීම් පිළිබඳ දැනුම් දෙන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වාෂ්ප වන ජලය වලාකුළු නිර්මාණය වෙන්න ඉහළට ගමන් කරන්නේ නැහැ - කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක
මේ දිනවල අපේ දිවයිනේ රට මැද ප්‍රදේශවල සියුම් වැසි ඇතිවන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ තත්ත්වයේදී වලාකුළු නිපදවීම සිදුවුණත් පැයක් දෙකක් වගේ වර්ෂාවක් තමයි ලැබෙන්නේ. එය විදුලි බලාගාර ප්‍රදේශවලට අවශ්‍ය තරම් ජලය ලැබෙන වර්ෂාවක් නොවෙයි. මේ දිනවල සූර්යා ලංකාවට ඉහළින් ගමන් කරනවා. අප්‍රේල් 5 සිට 15 දක්වා පවතිනවා. මේ තත්ත්වය යටතේ අධික සූර්ය ශක්තියක් පොළවට ලැබෙනවා. එවිට දිවයින අවට ජලාශවල ජලය රත්වෙලා වාෂ්ප බවට පත්වෙනවා. මේ දිනවල හුළං හමන වේගය අඩුයි. එම නිසා ජලය, වාෂ්ප වුණත් අවශ්‍ය තරමට වලාකුළු නිර්මාණය වන්නේ නැහැ. ඒ නිසා අපේ ඇඟ අවට තමා මේ වාෂ්ප වන ජල අංශු කරකැවෙමින් පවතින්නේ. ඒ නිසා අපිට අධික උණුසුමක් දහවල් හා රාත්‍රී කාලයේදී දැනෙනවා. නමුත් අපිට අවශ්‍ය පමණ වර්ෂාව ලැබුණොත් මේ තත්ත්වය වෙනස් වෙයි. දැනට එවැනි තත්ත්වයක් ඇති නොවන තත්ත්වයක් තමයි පෙන්නුම් කෙරෙන්නේ. වාෂ්ප වන ජලය වලාකුළු නිර්මාණය වෙන්න ඉහළට ගමන් කරන්නේ නැති තත්ත්වයක් තමයි මේ දිනවල තිබෙන්නේ. තාවකාලික වර්ෂාවක් සන්ධ්‍යා කාලයේ මේ දිනවල පවතිනවා. මැයි මාසයේ 20,25 වන තුරු මේ තත්ත්වය අඩු වැඩි ලෙස පවතීවි. මැයි මාසයේ අග වනවිට නිරිත දිග මෝසම සක්‍රීය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය වෙනස් වෙන්න බෙංගාල බොක්කේ කැළඹීමක් හෝ අඩුපීඩන තත්ත්වයක් ඇතිවෙන්න ඕන. නමුත් එවැනි තත්ත්වයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තා වෙන්නේ නැහැ. මේ උෂ්ණාධික තත්ත්වය වැඩියෙන්ම බලපාන්නේ වයඹ, උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වලට. සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක තුනක් හතරක් ඉහළ යන තත්ත්වයක් පවතිනවා.
පාචනය වැනි ජලයෙන් බෝවන රෝග ඉහළ යෑමේ ඉඩක් පවතිනවා - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය හේමන්ත හේරත්
වියළි කාලගුණය පවතින තත්ත්වය මත සෞඛ්‍යමය ගැටලු ඇතිවෙන්නේ ජලය අඩුකමත් ජලයේ පවිත්‍රතාවත් වගේම උණුසුම වැඩි කමත් කියන දේවල් හරහායි. ප්‍රධාන වශයෙන්ම කුඩා ළමුන් තමයි මෙයට බහුලව මුහුණදෙන පිරිස බවට පත්වෙන්නේ. අපි මේ වෙද්දී අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා අධික උෂ්ණත්වයට හා ජලය හිඟ තත්ත්වයට ළමුන් මුහුණදෙන්නේ නැති ව කොහොමද කටයුතු කරන්නේ කියන දේ සම්බන්ධව. ප්‍රධාන වශයෙන් මේ කාලයේදී මුහුණදෙන්න වෙන දෙයක් තමයි වතුර හිඟකම. ජලය හිඟකම නිසා අපිරිසුදු ජලය පානය කිරීමට සිදුවීම නිසා පාචනය වැනි ජලයෙන් බෝවන රෝග ඉහළ යෑමේ ඉඩක් පවතිනවා. ඒ නිසා ජලය හැකි සෑම විටම උණුකර නිවා පානය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. වතුරවල ගුණාත්මක බව පිළිබඳ ගැටලු ඇති නිසා සැමවිටම උතුරා නිවාගත් ජලය පාවිච්චියට ගන්න. ඒ වගේම අධික තාපය නිසා කුඩා ළමුන්ගේ, රෝගීන්ගේ හා වයස්ගත වූවන්ගේ ශරීරය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එළිමහනේ සිටීම නොකළ යුතුයි. උෂ්ණත්වය අධික අවස්ථාවල අපේ සිරුරට අධික වෙහෙසක් දැනෙනවා. එවන් අවස්ථාවක එළිමහනේ නොසිට සෙවණකට ගොස් ජලය පානය කිරීම තුළින් ශරීර උෂ්ණත්වය පාලනය කරගත හැකියි.*
කැලෑ ගිනි තැබීම නවත්වාගන්නට හැකි සෑම උපකාරයක්ම ලබාදෙන්න - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක වන සංරක්ෂක ජෙනරාල් ලාල් අබේගුණසේකර
ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යෑම මත අපිට ඇතිව ඇති බලපෑම කොයි ආකාරයකටද කළමනාකරණය කරගන්නේ කියන දේ මේ මොහොතේ සොයා බැලිය යුතුයි. වන ආඥා පනත යටතේ අපේ රටේ වනාන්තරවලට උපරිම නීතිමය ආරක්ෂාවල් ලැබී තිබෙනවා. ලංකාවේ වනාන්තර සංරක්ෂක, රක්ෂිත හා සංරක්ෂිත හා රක්ෂිතවලට අයත් නොවන වෙනත් වනාන්තර ලෙස කොටස් තුනක් තිබෙනවා. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 29.7%ක ප්‍රමාණයක් වනයෙන් ආවරණය වී තිබෙනවා. මෙහිදී වන ආඥා පනතෙන් පස, ජලය, ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්නට වනාන්තර ආරක්ෂා කර කළමනාකරණය කරගන්න අවශ්‍ය බලය ලබාදී තිබෙනවා. මෙහිදී අපිට ඇතිවන ගැටලුව තමයි වනාන්තර ගිනි තැබීම තුළින් වනාන්තරවලට හානි සිදුවීම. වන ආඥා පනත යටතේ වැඩිම දඬුවම් තියෙන්නේ කැලෑ ගිනි තැබීමටයි. අපි මෙහිදී අපි දඬුවම් දීමට වඩා වළක්වා ගැනීමට මහජනතාව දැනුවත් කිරීමයි සිදුකරන්නේ. අපි මේ හරහා මහජනතාව දැනුවත් කර තිබෙනවා. යම්කිසි අවස්ථාවක කැලෑවක දුමක් හෝ දකින විට පොලීසිය, ග්‍රාම නිලධාරීවරයා හෝ වෙනයම් රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන්න කියලා. ඒ වගේම කියන්න ඕන අපේ රටේ ලැව්ගිනි ඇති වෙන්නේ නැහැ. යම් හේතු නිසා මිනිසුන් ඇතිකරන ගිනි තැබීම නිසා තමයි කැලෑ ගිනි ගැනීම් සිදුවන්නේ. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා කැලෑ ගිනි නවත්වා ගන්නට හැකි සෑම උපකාරයක්ම ලබාදෙන්න කියලා. කැලෑ ගිනි තැබීමකදී වරදකරුවෙකුට රුපියල් විසිදහසේ සිට ලක්ෂ දෙක දක්වා දඩයක් හා වසර පහක් දක්වා සිරදඬුවමක් ආදී දඬුවම් ලැබිය හැකියි.
ජල කප්පාදුවකින් තොරව පවත්වාගෙන යෑමට නම් මහජනතාවගේ සහය අවශ්‍යයි - ඒ.කේ. කපුරුගේ සහකාර සාමාන්‍ය අධිකාරී ජල සම්පාදන (බස්නාහිර මධ්‍යම)
පවතින කාලගුණික තත්ත්වය මත ජල පරිභෝජනය ඉහළ ගිහින් තිබෙනවා. මේ නිසා ජල නිෂ්පාදනය එලෙසම පැවතුණත් පරිභෝජනය ඉහළ නිසා උස් ප්‍රදේශවලට ජලය ගමන් කිරීම අඩාළ වී තිබෙනවා. නියං තත්ත්වය ඉදිරියටත් තිබිලා ජල නිෂ්පාදනය අඩු වුණොත් මේ තත්ත්වය බරපතළ වෙන්න පුළුවන්. ඒ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පහළ ප්‍රදේශවල සිටින ජනතාවට ජලය ලැබුණත් උස් ප්‍රදේශවල සිටින මහජනතාවට ජලය නැතිව පීඩාවට පත්වේවි. ජල කප්පාදුවකින් තොරව පවත්වාගෙන යෑමට නම් මහජනතාවගේ සහය අවශ්‍යයි. මල් පැළවලට වතුර දාන එක , වාහන හෝදන එක මේ දවස්වල පොඩ්ඩක් නවත්වලා අපිට සහය ලබාදෙන්න. මොකද නැත්නම් බොන්න තියෙන වතුර අඩු වෙන එක තමයි
සිදු වෙන්නේ. ගැටලු තිබෙන තැන්වලට අපි මේ වනවිට ජලය බවුසර් මගින් බෙදා හැරීම් සිදු කරනවා.