නව පාර්ලිමේන්තුව සඳහා වියතුන් වැඩි වශයෙන් යැවිය යුතු බවට රැල්ලක් ඇතිවී තිබෙන අතර, මේ සම්බන්ධයෙන් මෙන්ම වත්මන් දේශපාලනය පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා සමග සාකච්ඡාවක්
පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් අතර ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබුණු කෙනෙකු ලෙස ඔබව හඳුන්වන්න පුළුවන්. ඔබ වැනි වියතුන් සිටියදී අලුතින් වියතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවට මතයක් ඇතිකර තිබෙන්නේ ඔබ වැනි අය පිළිබඳ විශ්වාසය බිඳුණු නිසාද?
මම පරිගණක ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්, සමාගම් අධ්‍යක්ෂවරයෙකු සහ සරසවි ඇඳුරෙකු ලෙස වෘත්තීන් ගණනාවක අත්දැකීම් තිබෙන අයෙක්. මම උසස් පෙළ විභාගය ලංකාවේ පළමුවැන්නාට සමත් වුණා වගේම අධ්‍යාපන ක්ෂේත්රයේ තවමත් නොබිඳුණු වාර්තා තැබූ අයෙක්. ඒ වගේම ශිෂ්‍යත්වයක් මත ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබලා එහිම ඉගැන්වුවා. පසුගිය කාලයේ මතයක් ඇති වුණේ ඉන්න අය එපා කියලා නොවේ. තව තවත් වියතුන් අවශ්‍යයි කියලා. නමුත් වියතෙකු වීම දේශපාලනයට සුදුසුකමක් ලෙස මම දකින්නේ නෑ. යමෙකුගේ වෘත්තීය සහ අධ්‍යාපනික පසුබිම කුමක් වුවත් දේශපාලකයෙකු වීමට නම් සුදුසුකම් අටක් සම්පූර්ණ කළ යුතුයි. ඒ අට තිබෙනවා නම් අධ්‍යාපන සුදුසුකම් අමතර සුදුසුකමක් වේවි.
ජනතා ප්‍රශ්නවලට සංවේදී වීම, ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීමට තරම් බුද්ධිමත් වීම, තම විසඳුම වෙනුවෙන් පෙනී සිටීමට තරම් නිර්භීත වීම, විසඳුම ක්‍රියාත්මක කිරීමේ කළමනාකරණ හැකියාවක් තිබීම, බලය අයුතු ලෙස භාවිත නොකර සොරකම්, මැරකම් හෝ සල්ලාලකම් නොකිරීම වගේම මව්බිමට අසීමිතව ආදරය කිරීම ඒ සුදුසුකම් අටයි.
මහින්ද රාජපක්ෂ මහත්මා යළි දේශපාලනයට ගෙන ඒමටත්, ගෝඨාභය මහත්මා දේශපාලනයට ගෙන ඒමටත් ඔබ තීරණාත්මක කාර්යභාරයක් කළ බව කියැවෙනවා. ඒ ගැන කතා කළොත්.
පල නැති රුකෙන් වවුලන් ඉගිලෙනවා වගේ ජනපතිවරණ පරාජයෙන් පසු හැමෝම වගේ මහින්ද අත්හරිනවා. නමුත් මම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ අගමැති අපේක්ෂක ලෙස මහින්ද ගෙන එන බවට 2015 ජනවාරි 13 දින මාධ්‍ය හමුවකදී කියනවා. ඒ කතාවට ගාමිණී ලොකුගේ දැක්වූ ප්‍රතිචාරය මත මම, විමල්, ලොකුගේ, දිනේෂ් සහ ඩලස් ඇතුළු පිරිසක් සාකච්ඡා කරනවා මහින්ද යළි ගෙන ඒමේ වැඩපිළිවෙළක්. ඒක තමයි මහින්ද සුළඟේ ආරම්භය.
මහින්ද සුළඟට පාර කැපූ ඔබේ මාධ්‍ය හමුව ගැන අපි අසා තිබෙනවා. ඔබ කොහොමද ගෝඨාභය ගෙන ආවේ කියන එක නම් අප්‍රකට කතාවක්. අපි ඒ ගැන කතා කරමු.
2005දී ජනපති මහින්දගේ පළමු ඉන්දීය සංචාරය පුරාම ගෝඨාභයට සහ මට අසුන් පනවා තිබුණේ එකට. ඒ සංචාරයේදී අපි මිතුරන් වුණා. මිග් යානා ගනුදෙනුව දූෂිත බවට විපක්ෂය චෝදනා නගන විට ඒ පිළිබඳ තොරතුරු ලබාදී එතුමාගේ නිර්දෝෂීකම වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ කරුණු දක්වන මෙන් මගෙන් ඉල්ලා සිටියා. එදා සිට ජනපතිවරණයට ඉදිරිපත් වනතුරු එතුමාගේ නොනිල මාධ්‍ය ප්‍රකාශක වුණේ මම.
අපේ සන්ධානයෙන් සිංහල මධ්‍යම පන්තිය ගැලවෙන බව මට දැනුණේ 2013 තරම් ඈතක. ඒකට විසඳුම ගෝඨාභය කියා සිතුණු නිසා මම එතුමාට දේශපාලනයට ඇරයුම් කරන්න තීරණය කළා. මම ඒ ගැන මුලින්ම කතා කළේ අපි දෙන්නාගේම මිතුරෙකු වුණු දිලිත් ජයවීර එක්කයි. දිලිත්ගේ ක්ෂණික ප්‍රතිචාරය වුණේ %උඹ ඔය හදන්නේ ගෝඨාගේ ගෙදර ගියාම අයෝමාගෙන් ලැබෙන තේ කෝප්පෙත් නැති කරගන්න වැඩක්^ කියලයි. නමුත් අයෝමා වගේම ගෝඨාභයත් කැමති කරගන්න මට පුළුවන් වුණා. ඔහු සිය කැමැත්ත දුන්නේ හරිම අපූරු විදියකට. ඔහු මගේ පැයකට වැඩි පැහැදිලි කිරීම අසාගෙන ඉඳලා අන්තිමට ඇහැව්වේ %එච්.ඊ^ (ජනාධිපති) මොකද කියන්නේ කියලා. මම හෙටම %එච්.ඊට^ කතා කරන්නම් කියලා මම කිව්වා.
පසුවදා උදේම ජනපති මහින්ද හමුවෙන්න යන විට එතුමා ව්‍යායාම කරමින් හිටියේ. එතැන එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගාත් හිටියා. මම, ගෝඨාභය දේශපාලනයට එන්න කැමතියි කියද්දී එතුමාගේ ප්‍රතිචාරය වුණේ %අනිවාර්යෙන්ම වෙන්න ඕනෑ වැඩක්. කොළඹ අනිත් අය එක්කත් කතා කරලා බලන්න^ කියලා. අද නම් මගේ පළමු තේරීම වන්නේ විමල්. එදා මම කතා කළේ පාඨලීට. මමත්, රතන හාමුදුරුවොත්, පාඨලීත්, ගෝඨාභයගේ නිවසට ගිහින් පැය දෙකක් පමණ සාකච්ඡා කළා. අවසානයේදී එතුමා දේශපාලනයට පැමිණීමටත්, අපි ඊට කැපවීමටත් එකඟතාවයක් හදාගත්තා. නමුත් සුවිශේෂී හේතුවක් මත එතුමා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීම අවසන් මොහොතේ වෙනස් කළා. හැබැයි මට උදව් කරන්න මගේ වේදිකාවට ආවා. ඒ 2015 ජූලි 21 දින. එදා මගේ කතාවේදී මම කිව්වා. ගෝඨාභය මැතිතුමනි, ඔබ කෙතරම් අකැමැති වුණත් අපේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඔබතුමා. අපේක්ෂකයා විතරක් නොවේ ජනාධිපතිත් කරලයි පස්ස බලන්නේ. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය බල රහිත කරන්න ගෙනා 19 වන සංශෝධනයත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙනා 20 වන සංශෝධනයත් අධිකරණයට ගිහින් හිර කළේ මමයි. ගෝඨාභිෂේකයේ ඉතිරි කතාව දැන් රටම දන්නවානේ.
ඔබ ආරම්භයේ සිටම ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටියේ ඇයි?
කොටි ත්‍රස්තවාදය පරාජය කළ හැකි බවට තදින්ම විශ්වාස කළ මට ඒ මතයේම සිටි එතුමාව ආරක්ෂක ලේකම් ලෙස ළඟින් ඇසුරු කරන්න ලැබුණා. ඒ අවධියේදී එතුමා සතු කුසලතාව මම දැක්කා. සිංගප්පූරුවේ හිටපු අගමැතිගේ ලී ක්වාන් යූ ගේ දූරදර්ශීභාවයත් මැලේසියාවේ හිටපු අගමැති මහතිර් මොහොමඩ්ගේ කළමනාකරණ හැකියාවත් ඉන්දියාවේ හිටපු අගමැති ජවහර්ලාල් නේරුගේ ආධ්‍යාත්මික ප්රවේශයත්, කියුබාවේ හිටපු ජනපති පිදෙල් කැස්ත්‍රෝගේ දේශප්‍රේමීත්වයත් රුසියාවේ ජනපති බටහිර බලවතුන් ඉදිරියේ පෙන්වන එඩිතරභාවයත් යනලක්ෂණ පහම එකට කැටි කළාම බිහිවන නායකයා ගෝඨාභය මැතිතුමා බවට මම ජනපතිවරණ වේදිකාවේ පැවසුවේ ඒ නිසායි. කොරෝනා වසංගතය ඇතුළු රට මුහුණදුන් ප්‍රශ්නවලට එතුමා ලබාදෙන විසඳුම් අනුව අද මගේ විග්‍රහය ඇත්තක් වෙලා. එතුමාගේ මේ දක්ෂතාවයන් කලින් දකින්න මට පුළුවන් වුණා.
ජාතික සංස්කෘතික උරුමයන් වගේම පරිසර උරුමයන් විනාශ කිරීම පිළිබඳ සමාජයේ අද දැවැන්ත කතාබහක් ඇති වී තිබෙනවා. ඒවා රැක ගැනීමට ඔබේ වැඩපිළිවෙළ කුමක්ද?
අපේ සංස්කෘතික උරුමයන් වගේම පරිසර උරුමයන් රැක ගැනීම පිළිබඳ මම ජීවිත කාලය පුරාම දැවැන්ත සටනක් කළා. විල්පත්තුව රැක ගැනීමේ සටනේදී පවා මම පෙරමුණේ සිටියා. මේවා රැකගැනීම පිළිබඳ මහජන සංවේදිතාව ඉහළ නැංවීමයි අපි මුලින්ම කළ යුත්තේ. එවිට ඒවාට අත තියන්න කවුරුත් බය වෙනවා. දෙවනුව යල්පැන ගිය නීති යාවත්කාලීන කළ යුතුයි. තෙවනුව ඒ නීති තරාතිරම නොබලා ක්‍රියාත්මක කළ යුතුයි. පරිසර සහ ජාතික උරුමයන් පිළිබඳ ප්රශ්නවලදී අපිට නිල් පාටද, රතු පාටද, කොළ පාටද වගේම කුරහන් පාටද කියන එක වැදගත් නෑ. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. නීතිය තදින් සැමට එක සේ ක්‍රියාත්මක විය යුතුයි යන ස්ථාවරයේ අපි ඉන්නවා.
ඔබට අනුව මෙවර මැතිවරණයේදී ජනතාව ඡන්දය දීමේදී අවධානය යොමු කළයුතු කරුණු මොනවාද?
කලාතුරකින් බිහිවන විශිෂ්ට නායකයෙකු අපිට ලැබී තිබෙනවා. ඔහු මේ රට දියුණු රටක් කරාවි කියන විශ්වාසය ජනතාවට ඇති වී තිබෙනවා. එතුමාට රට හදන්න ලොකුම බාධාව වී තිබෙන්නේ පවතින ව්‍යවස්ථාවයි. ඒ තුළ විසකුරු දළ සහිත 13 සංශෝධනය වගේම රට එක තැන පල් කරන 19 සංශෝධනයත් තිබෙනවා. ඒ නිසා සමස්ත ව්‍යවස්ථාවම අහෝසි කර ජනතා අභිලාස නියෝජනය කරන නැවුම් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. බෙදුම්වාදීන්ට සහ අන්තවාදීන්ට යට නොවී එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් හෙවත් මන්ත්‍රී ධුර 150ක් පොහොට්ටුවට ලැබුණොත් පමණයි. ඒ නිසා පොදි බැඳගෙන පොහොට්ටුවට ඡන්දය දී ජනපතිතුමන් සවිමත් කිරීම මේ මොහොතේ ජනතාවගේ වගකීමයි.