විමල්ට ගහන්නේ ඇයි?


මේ දවස්වල ආණ්ඩුවේම පිරිස් විමල් වීරවංශට පහර දෙන්නට පටන්ගෙන තිබේ. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හරහා මතුවන කතාබහ හරහා %විමල් ආණ්ඩුවේ හතුරෙක්^ය යන ලේබලය විමල්ට ගසන්නට පටන් ගෙන ඇත්තේ බැසිල්ගේ පිරිස යැයි සමහරුන්ගේ මතයයි. එහෙත් ඒවා ඇත්තදැයි දන්නේ නැත. කොහොම වුණත් මේ වනවිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද එළිපිටම විමල්ට ගහන්නට පටන් ගෙන ඉවරය. විමල් කුහකයෙක්ය, විමල් මහින්දගේ අයට ගහන්නේය, විමල්ට ඕනි රාජපක්ෂලා ගෙදර යවන්නටය වාගේ දේවල් කියන්නට පටන් අරන් තිබේ. 


විමල්ගේ ගමන විශ්ලේෂණය කරන කෙනෙකුට 2008 දී විමල්, මහින්ද සමග එක්වූයේ බලය උදෙසා යැයි තීරණය කරන්නට පුළුවන. එහෙත් විමල්ගේ මේ ගමන රට වෙනත් පැත්තකට හැර වූ ගමනක් ලෙසින් කියන්නටද තවත් පිරිසකට පුළුවන. ඒ විමල් තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කවදත් පෙනී සිටි නිසාය. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි විමල් පිල් මාරු කළ පසු මහින්දලාගේ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටියේය. දේශපාලනයේදී මේ පෙනී සිටීම කිසිසේත්ම වැරැද්දක් නොවේ. එක පිලක ඉඳගෙන අනෙක් පිළ වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා තමන් නියෝජනය කරන ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීමේ කිසිදු වරදක් නොවේ. 

2015දී මහින්ද රාජපක්ෂ මැදමුලන ගෙදර ජනේලයේ කූරු ගණින විට සතියක් දෙකක් එක දිගට ජනතාව ඇදී ආහ. එහෙත් මළගෙදරක් අවසානයේ මෙන් සති දෙක තුනකින් මහින්ද තනිවිය. එදා මහින්ද වෙනුවෙන් සිටියේ අද මහින්ද මහින්ද කියා කෑ ගසන කිසිවෙකු නොවේ. විමල් ඇතුළු පිරිසයි. විමල්, උදය සහ වාසු 'මහින්ද සුළඟ' හැදුවේ ඔවුන්ට යන එනමං නැති නිසා යැයි කෙනෙකුට කියන්න හැකිය.

එහෙත් ඔවුන් එදා මහින්ද සුළඟ හැදුවේ නැත්නම් අද පොහොට්ටුවක් නැත. ගෝඨාභය නම් ජනාධිපති කෙනෙකුත් නැත. කෑගහන බොහෝ ඇමතිවරුන්ට ඇමති පට්ටන් නැතුවා වාගේම ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සැප වාහන හා දැසි දස්සන්ද නැත. බොහෝ දෙනා සිතන්නේ මේ ආණ්ඩුව හැදෙන්නේ පොහොට්ටුව හැදුන නිසා කියාය. තවත් පිරිසක් සිතන්නේ වියත් මග නැත්නම් ජනාධිපති කෙනෙක් නැත කියාය. මේ හැමෝම ආපස්සට හැරිලා බැලුවොත් මහින්ද සුළඟ නැත්නම් මේ මොන කෙහෙල්මලක්වත් නැති බව පැහැදිලි වනු ඇත. එහෙත් බොහෝ දෙනා ජාතකය ලියන්නේ තමන් පොර කරගෙනය. ඊට පස්සේ ඒ ඒ අයගේ අනුගාමිකයෝ අපේ ලොක්කා මේක කළා කියා චූන් ගනිති.  ඒ මේ රටේ හැටිය. 

විමල් ඇමෙරිකන්කාරයෙක් යැයි මඩක්ද මේ දිනවල වේගයෙන් යයි. විමල් තැඹිලි බී නැගිට්ට නාට්‍යානුසාර මහා උපවාසයේ දී විමල් හිටියේ අධිරාජ්‍ය විරෝධී ගොඩේය. එදා සිට විමල්ගේ මේ අධිරාජ්‍ය විරෝධී බව නැති වුණේ නැත. මහින්ද ඇමෙරිකන්කාරයාට ගහන්නට ඕනෑ වේලාවට විමල්ව ඉස්සරහට දැම්මේ විමල්ගේ කතාව දේශමාමක ජනතාව පිළිගන්න බව දැන සිටි නිසාය.

විමල් කෑ ගහන්නට පටන් ගත් විට ඇමෙරිකන් හඬ යටපත් වන බව මහින්ද දැන සිටියේය. විමල් ඒ කොටස කළ විට යළිත් විමල්ව පැත්තකින් තැබීමට මහින්ද දැන සිටියේය. ඒ මහින්දගේ දේශපාලන නුවණයි. විමල් ඇමෙරිකන්කාරයෙක් නොවේ. එසේම විමල් ඉන්දියන්කාරයෙකු හෝ චීනෙකුද නොවේ. විමල්ට අවශ්‍ය රටට යමක් කිරීමටයි. ඇමෙරිකන්කාරයා හෝ චීනා හෝ ඉන්දියන්කාරයා හෝ රටට එරෙහි වෙනවා නම් විමල් ඔවුන්ට එරෙහිය. එහෙම එකෙක් මේ ආණ්ඩුවට ඕනෑ බව කවුරු නැතත් මහින්ද දනී. ඒ නිසා මහින්ද ලෙහෙසින් විමල්ව අත්හරින්නේ නැත. 

අනෙක් අතින් මහින්ද යනු තමන්ට පුංචි හෝ උදව්වක් කළ ඕනෑම අයෙකු ගැන මතකයේ තබා ඉන්නා අයෙකි. මේ නිසා විමල් අතිශය තීරණාත්මක අවස්ථාවලදී කළ උදව් සහ කැපකිරීම් ගැන මහින්දගේ මතකයේ තිබෙන බව සහතිකය. මහින්ද තරම් කළගුණ දන්නා අයෙකු වර්තමාන දේශපාලනයේ නැතැයි බොහෝ දෙනාගේ මතයයි. එය එසේ නම් විමල්ට මේ ගහන අය ඒ ගැන මතකයේ තබාගත යුතුය. මේ දවස්වල බොහෝ දෙනා ගේම ගහන්නේ මහින්ද සහ විමල් අතර ඇති මේ අතිශය සමීප සම්බන්ධය බිඳ දැමීමටය. ඔවුන් නොදැන සිටියාට මේ සම්බන්ධය එහෙම කඩන්නට හැකි එකක් නොවේ. 

එහෙනම් විමල්ට ගහන්නේ ඇයි? 

විමල්ට ගහන්නේ පුංචිම පුංචි හේතුවක් නිසාය. මහ ඡන්දයට සති දෙක තුනකට පෙර වැඩි දෙනෙකු නොදන්නා වෙබ් අඩවියක ලිපියක් පළ විය. ඒකෙන් කියවුණේ විමල්ට අගමැති වෙන්න බැරිද වගේ කතාවකි. ඒ ලිපියේ තිබුණේ ද ඒ වාගේ මාතෘකාවකි. මේ මාතෘකාව කියවූ අගමැති සිහින සහ ජනාධිපති සිහින දකින සමහරු විමල් ගේමක් ගහනවා යැයි සිතූහ. ඒ ලිපියේ තිබුණේ විමල් වගේ තරුණ කෙනෙක් මහින්ද දේශපාලනයෙන් සමුගත් පසුව අගමැති වෙනවා නම් හොඳයි කියාය. එසේ ලියවී තිබුණේ ද අගමැති වී වසර දෙකකින් මහින්ද දේශපාලනයෙන් සමුගන්නා බව කියා තිබුණු නිසාය.

එහෙත් මේක අනෙක් පිරිස ප්‍රචාරය කළේ මහින්ද එළවා විමල් අගමැතිකම ගන්න හදනවා කියාය. මෙය මහ ඡන්දයේ දී විමල්ගේ නරකටද හිටියේය. සමහරු විමල් ගේම්කාරයෙක් යැයි රහසේ පණිවුඩ යවා විමල්ට මනාප නොදෙන්න යැයි කියූහ. විමල්, උදය ඇතුළු පිරිස ඇති කළ රැල්ල ප්‍රබල බව දැන සිටි සමහරු විමල් කොළඹින් පළමුවැන්නා වී උදය දෙවැනියා වෙනවා දැකීම අප්‍රිය කළහ.

එසේ වුවහොත් ජනතාව මේ දෙන්නා පිළිගත්තාය කියා පණිවුඩයක් යන බව මේ අය සිතූහ. කොළඹ දිස්ත්‍රික්කයේ විමල්ගේ ආසනය වන කඩුවෙලින් අපේක්ෂකයන් 04ක් පමණ පොහොට්ටුවෙන් වැටෙන්නේ නිකම් නොවේ. කොහොම වුණත් මේ කෙනෙහිලිකම් නිසා විමල් දෙවැනියාට වැටුණි. එහෙත් ජනාධිපතිවරයා විමල් ගැන තැබූ විශ්වාසය වෙනස් වුණේ නැත. ඔහුට ඡන්දයට පෙර කැබිනට්ටුවේ ලැබුණු කර්මාන්ත ඇමතිකමම ඡන්දයෙන් පසු කැබිනට්ටුවේ දී ද ලැබුණි. මෙය බොහෝ දෙනෙකුට රුස්සන්නේ නැත.

එහෙත් ජනාධිපති මේ ඇමතිකම යළිත් විමල්ට දෙන්නේ මාස 10කදී ඒ අමාත්‍යාංශයේ විමල් කළ වැඩ දන්නා නිසාය. එහෙත් ඒ අමාත්‍යාංශ පාලනය කරන්නට විමල්ට හා ජනාධිපතිට මිස අනෙක් අයට බැරි වීම ගැන ඇතැමෙකු සිටින්නේ කේන්තියෙනි. 

විමල් විස්සට විරුද්ධ නැත. විමල් කියන්නේ සමහර දේවල් වැරදියි කියාය. ද්විත්ව පුරවැසිභාවය වැරදියි කියා කියන්නේ බැසිල් ගැන හිතා යැයි කෙනෙකුට හිතන්නට පුළුවන. විමල් තර්ක කරන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් රජයේ ආයතනවලද ද්විත්ව පුරවැසියන් සිටීම නතර කළ යුතු බවයි.

අර්ජුන් මහේන්ද්‍රන්ලා තවත් බිහි කළ යුතු නැති බව විමල්ගේ තර්කයයි. විස්සේ සමහර කරුණුවලට විමල්ලා විරුද්ධ වූවා කියා ඔවුන් මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැත. ආණ්ඩුව වැටුණොත් විමල්ලාටත් සිදුවන්නේ වැටෙන්නටය. ඒකට ඔවුන් සූදානම් නැත. සිකුරාදා අරලියගහ මන්දිරයේ තිබූ මන්ත්‍රී සාකච්ඡාවේදී විමල් නිමල්ට තක්කඩියා යැයි කියූ බවත්, මහින්ද ඒ වචනය ඉල්ලා අස් කරගන්නට කියූ බවත් කතාබහ ඇති විය. විමල් තක්කඩියෙකු නොවේ. නායකයා නැති තැන එකක් කියා ඇති තැන තව එකක් කියන්නේ නැත. මේ නිසා විමල්ගේ දේශපාලනය කුමක්දැයි හරිහැටි තේරුම්ගත යුතුය.

අපට පෙනෙනා හැටියට නම් විමල්, ගෙවිඳු, වාසු වැන්නන් කරන්නේ විස්සේ ඇති වැරදි ගැන සමාජ කතිකාවක් ඇති කිරීමයි. ඒ හරහා මෙහි අහිතකර කොටස් ඉවත් කරගැනීමට උත්සාහ කිරීමයි. එය වැරැද්දක් නොවේ. එය විය යුතු දෙයයි. ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නම් ඒවා කළ යුතුය. අනෙක් අතින් 2010-2014 ආණ්ඩුවේ සිටි අය අසීමිත බලයේ තරම ගැන නොදන්නවා වෙන්නටත් බැරි නැත.

මේ කරුණු අවසානයේ විමල් විස්සට පක්ෂව අත ඔසවයිද නැද්ද යන්න දැන්ම කියන්න බැරිය. කොහොම වෙතත් අමාරුවෙන් හදාගත් ආණ්ඩුව ලැජ්ජාවට පත්කරන්නට විමල්ට අවශ්‍ය නැති බව පැහැදිලිය. වාසු 18ට එරෙහිව කෑ ගසා අවසානයේ 18ට අත එසෙව්වේය. සිකුරාදා අරලියගහ මන්දිරයේ දී 'එදා වාගේම අපට කෑ ගහලා අත ඉස්සුවා කියලා මිනිස්සු එක එක කතා කියයි. අපි අපේ කණ්ඩායම වෙනුවෙන් ඉන්නවා. අපට ඕනි වැරැද්දක් නොවෙන්න' යැයි වාසු කියූ බවට ආරංචි තිබේ.

ඒ නිසා විමල්, උදය, වාසු, ගෙවිඳු වැන්නන් 20 වැරදි පෙන්වූවා කියා ඔවුන් 20ට විරුද්ධ වේ යැයි සිතන්නට අපහසුය. ඔවුන් අවසානයේ කණ්ඩායමේ මතයට ගරු කරනු ඇත. අනෙක් අතින් 150ක් සිටින ආණ්ඩුවකින් විමල් ගියා කියා ඒක ආණ්ඩුවට දැනෙන්නේවත් නැත. විමල් ආණ්ඩුවෙන් ගියොත් විමල් කියන කතාවලට පිළිගැනීමක්ද නැත. වලංගුතාවක්ද නැත. එහෙත් ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුවේ වැරදි පෙන්වූවොත් ඒවා වලංගුය.

මේ නිසා විමල්ට ගසා,විමල්ව වට්ටා විමල් ආණ්ඩුවෙන් යන තැනට වැඩ සෙට් කරන්නට පුළුවන් යැයි කෙනෙකු සිතන්නේ නම් ඒවා වෙන්නේ නැත. විමල් හෙටත් මේ ආණ්ඩුවේ ඉඳියි. ඒ ඉන්නේ ඇමති වරප්‍රසාදවලට යැයි ආයෙත් කියන්නට හැකිය. එසේම පොර වෙන්නට ටෝක් දෙනවා කියන්නත් පුළුවන.

බොරු ෂෝ කියා කියන්නත් පුළුවන. එහෙත් මේ ඉන්නේ එදා සිටි විමල් නොවේ. මේ ඉන්නේ 2010-2014 ආණ්ඩුවේ සිටි විමල්ම යැයි හිතනවා නම් එය තවත් මුළාවකි. මේ විමල් හදන්නේ මේ ආණ්ඩුවත්, ජනාධිපතිවරයාවත් රැකගෙන, පෙර කළ මෝඩකම් තමන් ද නොකර, ආණ්ඩුවත් ඒ මෝඩකම් නොකරන තැනට වැඩ කිරීමට යොමු කිරීමට බව මේ වනවිට බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැත. ඒවා තේරෙන විට ආණ්ඩුව මෝඩකම් රැසක් කර තිබුණොත් 2015 යළිත් උදා නොවනු ඇතැයි කාටවත් කියන්නට බැරිය. 

ය.ස. දොරටුපාල



Recommended Articles