සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
මිනිස් සමාජය නොතිත් වියවුලක පැටලී ඇති මුත් අලුත් දළු, මල්, ඵල පිරිවරා පරිසරය වසන්තයේ සළුපිළි හැඳ ඇත. නේක සකුණ රෑන් මේ වසන්තය සමග අත්වැල් බැඳ ඇති සෙයකි. ගම් ඉහත්තාවට එපිටින් ඇති වෙල් ඉපනැලි පිස එන සුළඟෙහි ඇත්තේ නොකිව හැකි සුවදායක බවකි. කොහෙදෝ අතු පතරක සැඟවුණු කොවුලා කුමක්දෝ රහසක් මුමුණන්නා සේය. මලින් වැසී ගිය කජු ගස් රතට රතේ ඵල බරවී තිබේ. වලු බරවූ අඹ ඵල ක්‍රමයෙන් මෝරනුයේ නෙතට උළෙලක් වෙමිනි. අතු වසා කොස් ඵල රහසේ මෝරයි. කවර හෝ වෙනසකින් තොරව පරිසරය මෙකල්හිද වසන්තයට නොඅඩුව ආවඩනු පෙනේ.
ලොව හැම අහුමුල්ලකම කිරිබත් වෙනුවට මළබත් ඉදෙතත් අපගේ සංස්කෘතික ජීවන සම්ප්‍රදායට අනුව දොළොස් මහක් ගතවී තවත් දොළොස් මහක් උදාවීමට නියමිතව ඇත. මෙරට ප්‍රමුඛතම සංස්කෘතික මංගල්‍යය ලෙස පිළිගැනෙන %සිංහල අලුත් අවුරුදු උදාව^ කිසිවෙකු නිකරුණේ ගතවී යන්නට ඉඩ දෙන්නේ නැති තරම්ය. අතමිට යමක්කමක් ඇතත්, නැතත් රෙදිපිළි, බඩුමූට්ටු ටිකක් හැකි අන්දමින් නිවසට ගෙනයෑම මෙසමයෙහි කාගේත් සිරිතය. අවුරුද්ද දරුවන්ගේ බවටද ප්‍රවාදයක් පවතී.
කවර අර්ථයෙන් බැලුවද සිංහල හින්දු නව අවුරුදු උළෙල තරම් සුවිශේෂී වෙනත් ජාතික උත්සවයක් ලාංකිකයන්ට ඇත්තේ නැති තරම්ය. එහෙත් මෙවර අවුරුදු හා ඈදුණු පසුබිම සපුරාම වෙනස් වී ඇත. මෙහෙයින්ම අවුරුදු උළෙල හා බැඳුණු සංස්කෘතික ජීවන සම්ප්‍රදාය අතික්‍රමණය කළ නූතන වාණිජවාදී අරුමෝසම් ඇවතුම් පැවතුම් වලටද වැට බැඳී ඇත. එය යහපතකි. එසේ නමුදු අවුරුදු උළෙල හා කියැවෙන සංස්කෘතික වටිනාකම්, ජනසම්ප්‍රදායන්, සිරිත්විරිත් ආදිය පිළිබඳව විශ්ලේෂණය කිරීමේ නිදහස් වටපිටාවක්ද නිර්මාණය වී ඇත. එය මේ විපත හමුවේ මතුව ආ එක්තරා අන්දමක සැපතකි.
මෙරට ගොවිතැන් සම්ප්‍රදායට අනුව සිංහල අවුරුද්ද කෙත හා පන්සල ඇසුරේ ගොඩනැඟුණු මහා සංස්කෘතික සම්ප්‍රදායකි. මේ අවුරුදු උත්සවයේ පදනම වී ඇත්තේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමේ සංසිද්ධියයි. වසරේ අප්‍රේල් මාසයේ නොඑසේ නම් සිංහල ව්‍යවහාර ක්‍රමයට අනුව බක් මාසයේ නැකැත් අනුව කෙරෙන සිංහල හා හින්දු නව අවුරුදු උත්සවය කවදා කෙසේ ආරම්භ වී දැයි යන්න නිශ්චිතව පැවසිය හැක්කක් නොවේ. එහෙත් මෙරට සාම්ප්‍රදායික සමාජ රටාව තුළ අනාදිමත් කාලයක පටන් එය පැවතෙන්නට ඇතැයි අනුමාන කිරීම අපහසු නැත. ඉසුරින් පිරී යන, සතුට කිරුළ වී ළෙංගතුකම් මතුවී එන්නේ මේ භාග්‍යවන්ත මාසයේ දී බව නොවෙනස් පිළිගැනීමයි.
ජ්‍යෝතිර් විද්‍යාත්මකව ග්‍රහචාරය අනුව සූර්යා දොළොස් රාශිවල ගමන් කොට අවසාන රාශිය වන මීන රාශියේ හැසිරීම අවසන් වී නැවතත් මුල් රාශිය වන මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමත් සමගම නව අවුරුදු සංක්‍රාන්තිය සිදුවන බව පිළිගැනීමයි. දොළොස් මහක් ගතවී නව වසරක් උදාවෙන මේ මොහොතේ සෑම නිවසකම පාහේ දක්නට ඇත්තේ සැබෑම නැවුම් බවකි.
සැබැවින්ම අවුරුදු අසිරිය නගරයට වඩා පැතිර පවතිනුයේ ග්‍රාමීය ප්‍රදේශ වලය යන්න කිසිවෙකුට නොරහසකි. මහත් සේ යුහුසුළු වන ගැමි නිවසින් නිකුත්ව හාත්පස එකතු වනුයේ නැවුම් සුවඳකි. සාම්ප්‍රදායික නිවසේ බිත්ති සුදු හුනු පිරියම්කොට ළඟ ළඟම එන නව අවුරුදු උදාව පිළිගන්නට ගැමියන් ලක ලැහැස්ති වන්නේ කල්වේලා ඇතිවය.
නිවසේ මුල්ලකට වී වසරක් පුරා සැඟවී සිටි පාරම්පරික පිත්තල පහණ, බුලත් හෙප්පුව, මල් පෝච්චිය ආදිය අලංකාර වී ආලින්දයේ මේසය මතට එන්නේ මේ අසිරිමත් මොහොතේදීය. මකුළු දැල් බැදී නිවසේ කොනක හුදකලා වී සිටි බංකු රබාන කළඑළි බහින්නේද මේ සමයේමය. නැකැත් වේලාවකට අනුව සුබ දිශාවකට හැරී, සුබ වස්ත්‍රයෙන් සැරසී සියලු කටයුතු සිදුකිරීම නව අවුරුදු උත්සවයේ සුවිශේෂී ලක්ෂණයකි. ජාතික ලිතට අනුව පරණ අවුරුද්ද හා අලුත් අවුරුද්ද අරඹයා නැකැත් ඇසුරෙන් මේ සංස්කෘතික උළෙලේ සිදුකෙරෙන සමාජ සම්මත චාරිත්‍ර කිහිපයක් හඳුනාගත හැකිය.
නව වසර සදහා සඳ බැලීම, පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීම, පුණ්‍ය කාලය හෙවත් නොනගතය, ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම, හිසතෙල් ගෑම, රැකී රක්ෂා සඳහා පිටත් යෑම ආදිය ඉන් ප්‍රධානයි. මේ අවුරුදු සිරිත්විරිත් හා සුභ නැකත් වේලාවන් සියල්ලම පාහේ ඉතා සියුම් මනෝවිද්‍යාත්මක හා තියුණු ජ්‍යෝතීර් විද්‍යාත්මක පසුතලයක් මත සකස් වී ඇති බව විද්ද්‍වත් පිළිගැනීම වී තිබේ.
අවුරුදු චාරිත්‍රවල මුල් පියවර වලින් එකක් ලෙස පරණ අවුරුද්ද සදහා ස්නානාය කිරීමේ චාරිත්‍රය හඳුනාගත හැකිය. පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ චාරිත්‍රය අද අප අතරින් දුරස් වෙමින් පැවතුනද එදා ගැමි ජනතාව විවිධ කොළ වර්ග, පොතු වර්ග මිශ්‍ර ජලයෙන් ස්නානය කිරීම සිරිතක් කොටගෙන ඇත. සිරුර පුරා ගැවසී ඇති දුර්ගුණ, නොමනා ගතිපැවතුම් ආදිය පරණ අවුරුද්දත් සමග දියකොට හැර, නව අවුරුද්දේ නව ලොවකට පිවිසීමට අර ඇදීම මේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය තුළ අන්තර්ගතව ඇතැයි යන්න විශ්වාසය වී තිබේ.
පරණ අවුරුද්ද ගතවී අලුත් අවුරුද්ද උදාවෙන අතර කාලය නොනගතය නොඑසේ නම් පුණ්‍ය කාලය ලෙස සැලකේ. එකී කාලය තුළ සුබ කටයුතු කිසිවක් නොකිරීම සුදුසුය යන්න පැවසෙන්නකි. කා, බි සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සාමාන්‍ය වශයෙන් මේ කාල පරාසය තුළ සිදුවන්නකි. තෙල්, මල්, සුවඳ දුම් ආදිය රැගෙන ගමේ විහාරස්ථානය කරා ඇදෙන ගැමියන් ඉදිරි වසර අරඹයා ප්‍රාර්ථනා පොදි බඳිනුයේ මේ සමය තුළදීය. මේ නොනගත කාලය පවතින අතරතුර දෙවියන් මිනිස් ලොව දෙස නොබලන බවත්, එසේ බලන්නට හැකියාවක් නැතැයි ද ජනවහරේ කියැවේ.
තාලයට වැයෙන රබානේ හඬත්, දෙසවන් බිහිරි කරවන හඬින් නැගෙන රතිඤ්ඤා හඬත්, විහාරස්ථානයෙන් නොනවත්වා නැගෙන ඝණ්ඨාර හඬත් සමගම නොනගතය නිමාවී නව අවුරුදු උදාව සිදුවනුයේ සහසක් අපේක්ෂාවන් සුවහසක් හදවත් තුළ දල්වමිනි.
උදාවු නව වසරේ සුභ නැකැත් වේලාවකට අනුව, සුදුසු වස්ත්‍රයෙන් සැරසී, සුභ දිශාව බලා, ලිප් බැඳ ගිනි මොලවන ගැමිලිය පෙර සූදානම් කොටගත් කැකුළු සහල් ගරා, සෝදා තුණුරුවන් සිහිකොට ළිප තබනුයේ නැවුම් කිරිබතක් පිසගැනීම සඳහාය. මේ කිරිබතට බොහෝ විට තල, උදු, මුං ආදී ධාන්‍ය වර්ගයක් මෙන්ම ගිතෙල්, සකුරු ආදියද මිශ්‍ර කෙරෙනුයේ සශ්‍රීකත්වය අරමුණු කොටගෙනය.
ගෘහණිය නව අවුරුදු කිරිබත පිළියෙල කරනතුරු කාලාන්තරයක් මුළුල්ලේ සිංහල ජනජීවිතය හා බැඳී පවතින ජාතික ක්‍රීඩා බොහෝමයක් කල එළියට එන්නේ මේ වාසනාවන්ත මොහොතේදීය. ඔලිද කෙළිය, පංච දැමීම, වළ කජු ගැහීම, ගුඩු විදීම, පොර පොල් ගැසීම, ඔන්චිලි පැදීම, දාන් ඇදීම ආදී ජාතික ක්‍රීඩාවල නියැළෙන්නේ කිසිදු වයස් භේදයකින් තොරවය.
අනතුරුව එළැඹෙන ආහාර අනුභව කිරීමේ නැකැත් චාරිත්‍රයයේදී පවුලේ අඹු සැමි, දූදරු සියලුදෙනා එකට එක්වී කෙසෙල් ගෙඩි, කොකිස්, ආස්මී, අතිරස, පැණි වළලු, කොණ්ඩකැවුම්, වැලිතලප, මුංකැවුම්, අලුවා ආදී සාම්ප්‍රදායික දේශීය ආහාරයෙන් සපිරි එක මේසයකට වාඩි වී කිරිබත් කෑල්ලක් අනුභව කිරීම වාසනාවේ සංකේතයක් ලෙස සැලකෙන්නකි. අවුරුදු කෑම මේසයේ ප්‍රධානියා ලෙස පෙනී සිටින පියා පවුලේ සියල්ලන් වෙත කිරිබත් පිඬක් කවනුයේ දෑසට කඳුළු උනන තරමට සංවේදී මොහොතකට මගහසර පාදමිනි.
ආහාර අනුභව කිරීමේ නැකැත් චාරිත්‍රයත් සමගම උදාවෙන වැඩ ඇල්ලීම සහ ගණුදෙනු කිරීමද වැදගත් සිරිත් සම්ප්‍රදායකි. වැඩ ඇල්ලීමේදී ගමේ ගොවි මහතා ගෙවත්තේ පැළයක් සිටුවනුයේ සිය ජීවනෝපාය උදාවූ නව වසරේ යෙහෙන් සිදුකිරීමට ඉඩකඩ උදාවේවා යන ප්‍රාර්ථනය සමගිනි. පාසල් යන දුවා දරුවන් ශුභ දිශාවට මුහුණලා පොතපත ඇසුරු කරනුයේද මේ වැඩ ඇල්ලීමේ නැකැත් චාරිත්‍රය අනුව යමිනි. ශුභ නැකැත් වේලාවේදී කිරි ගසකට පිහියෙන් කොටා කිරී වෑස්සීමට සැලැස්සීමද මේ අවස්ථාවේ සිදුවන ඉපැරණි චාරිත්‍රයකි.
ළිඳ සමග ගණුදෙනු කිරීමේ සිරිතක්ද සිහලුන් අතර පවතින්නකි. ගතවූ වසර පුරා ජලය ලබාගත් ළිඳට කෘතගුණ සැලකීම මින් අදහස් වූවා යැයි අනුමාන කළ හැකිය. පරිහරණය කරන ළිඳට අඟුරු, බෝවිටියා මල්, සමන්පිච්ච මල්, රත්මල් ආදිය දමා ඉන්පසුව පෙරන ලද වතුර බෝතලයක් හෝ භාජනයක් රැගෙන විත් නිවසේ තැන්පත් කොට එම වතුර බෝතලය හෝ භාජනය ඉදිරි වසර උදාවෙනතුරු රැකබලා ගැනීම පිළිගත් චාරිත්‍රයයි. එසේම තුනපහ, වී, සහල්, බෙහෙත් බඩු හා කාසි එකට ගෙන පොට්ටනියක් සකස්කොට නියමිත නැකැත් වේලාවකට අනුව නිවසේ ළිඳ වෙත ගොස් පොට්ටනියේ දෑ ළිඳ වෙත මුදාහැර ළිඳෙන් ලබාගත් නැවුම් වතුර කළයක් නිවසේ තැන්පත්කොට තැබීමද යම් යම් ප්‍රදේශවල අනුගමනය කෙරෙන සිරිතක්ව පවතී.
රසකැවිලි පොදි බැදගෙන ඥාති මිත්‍රයන් බැහැදැකීමට යනුයේ මේ සියලු කටයුතු හමාර වූ පසුවය. අවුරුදු දීම යනුවෙන් හැදින්වෙන කෑම බීම බෙදාහදා ගැනීම අදත් බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල සිදුවන කාර්යයකි.
මව්පිය, වැඩිහිටි, ගුරුවරු ආදීන් වෙත බුලත්හුරුළු පිළිගන්වා පසුගිය වසරේ තමා වෙතින් සිදුවූ යම් වරදක් වෙත්නම් ඒ සඳහා කමාව අයැද සිටීමද මේ මොහොතේ සිදුවන මාහැඟි කටයුත්තකි. පැරණි කෝන්තර අමතක කොට හිතවත්කම් අලුත් කොටගැනීම සඳහාත් සාම්ප්‍රදායික ගැමියන් මේ මොහොත භාවිත කළෝය.
අත්‍යවශ්‍යම චාරිත්‍රයක් ලෙස අතීතයේ පටන්ම පැවතුණු හිසතෙල් ගෑම අවුරුදු චාරිත්‍රවල අවසාන පියවර වලින් එකක් ලෙස අදද සුරක්ෂිතව පවතී. හිසතෙල් ගෑම වසර පුරාම සෞඛ්‍යසම්පන්නව සිටීමට කෙරෙන ආශිර්වාදයක් හා සම කළ හැකිය. හිසට ඉහළින් හා පයට පෑගෙන පරිදි ඖෂධීය කොළ වර්ග අතුරා ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ හෝ ගම් ප්‍රධානියෙකු විසින් මෙම හිසතෙල් ගෑමේ කාර්යය ඉටුකරනුයේ ඉපැරණි සිරිතට මුල්තැන දෙමිනි. හිසතෙල් ගෑම සිටගන්නා ස්ථානයේ අවුරුදු ඵලාපල වලට අනුව හිසට ඉහළින් හා පයට පෑගෙන පරිදි ඖෂධීය කොළ වර්ග ඇතිරීම ජ්‍යෝතීර් විද්‍යාත්මක පිළිගැනීමයි.
ජ්‍යෝතිෂ්‍යයට අනුව හිසට ඉහළින් ඉරිදා දවසට ඉඹුල් කොළද, සඳුදාට දිවුල් කොළද, අඟහරුවාදාට කොලොං කොළද, බදාදාට කොහොඹ කොළද, බ්‍රහස්පතින්දාට බෝ කොළද, සිකුරාදා සහ සෙනසුරාදාට කරද කොළද යනාදී වශයෙන් අතුරනු ලබනවා. එමෙන්ම දෙපයට පෑගෙන පරිදි ඉරිදා දවසට නුග කොළද, සඳුදාට ඉඹුල් කොළද, අඟහරුවාදාට දිවුල් කොළද, බදාදාට කොලොං කොළ ද, බ්‍රහස්පතින්දාට කොහොඹ කොළද, සිකුරාදාට බෝ කොල ද, සෙනසුරාදාට කරද කොල ද යනාදී වශයෙන් අතුරනු ලබනවා. හිසතෙල් ගැල්වීම සඳහා භාවිත කරනු ලබ නානු පිළියෙල කරනුයේ ගමේ විහාරස්ථානාදීය. නානු සෑදීම සඳහා මනා සිසිලසකින් හා ඉමිහිරි සුවඳකින් යුතු සුදුහඳුන්, කලාදුරු අල, ගොරෝචන, ඉරිවේරිය, කුංකුමප්පු ආදී අගනා ඖෂධ වර්ග භාවිතයද මෙහිලා අවධානයට ලක්වන්නකි.
කිරිබත් අනුභවකොට, ශුභ නැකැත් වේලාවකට අනුව රැකී රක්ෂා සහා පිටත්ව යෑමත් සමගම නව අවුරුදු චාරිත්‍ර නිමාවනුයේ නවමු ආරම්භයක් අපමණක් ජීවිත වෙත උදාකොට දෙමිනි. ලාංකීය සංස්කෘතියේ සැබෑ උරුමය හෙළිදරව් වන මෙරට ජනජීවිත වලට ආවේණික කටපුරා අපේම යැයි කිවහැකි මේ සිරිත්විරිත් වත්මන් සංකීර්ණ සමාජ පරිසරය තුළ ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම දුෂ්කර කාර්යයකි. එය මෙවර තවදුරටත් දුෂ්කර වී තිබේ. අනෙකක් තබා කන්තෝරු රැකියාවට යන දිනයක් ගැන තවමත් නිවැරදි නිගමනයක් නැත. එහෙත් කා, බී. ප්‍රීති වීමෙන් ඔබ්බට ගිය දැක්මක් මෙම සිරිත් සම්ප්‍රදායන් තුළ අන්තර්ගතව ඇති බව වටහා ගැනීම එහි අනාගත යහපැවැත්මට මනා පිටිවහලක් වන වග නොඅනුමානය. එම නිවැරදි වටහා ගැනීම මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ සිදුකළ හැකි මනා අනාගත ආයෝජනයකි.