විනය ගැන දෙසන දේශපාලන වැදි බණ


රටේ විනය හැදීම  අලුත්ම දේශපාලන මාතෘකාව බවට පත්ව තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේද ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ විනය හැදීමය. පොහොට්ටු පක්ෂයේ අය මෙන්ම අනෙකුත් පක්ෂවල උදවියද මේ අදහස සමග එකඟය. එයින් කියවෙන්නේ අප විනයක් නැති ජාතියක් බව අපි අපිම පිළිගන්නා බවය. එක් අතකින් අපට අප ගැන එවැනි ස්වයං විවේචනයක් හෝ තිබීම යහපත්ය. සාමාජික අවිනය යනු සංස්කෘතික ගැටලුවකි. එයට අවසාන වශයෙන් ඇත්තේ පළල් සංස්කෘතික විසඳුමකි. එහෙත් විනයගරුක සමාජයක් ඇති කරලීමෙහිලා දේශපාලනයටද සෑහෙන කර්තව්‍යයක් ඉටුකළ හැකිය. එහෙත් විනය බිඳවැටීම ගැන තිබෙන දේශපාලන වටහාගැනීම නම් පවතින්නේ ඉතා පටු සීමාවකය. කසළ නිසි පරිදි බැහැර නොකිරීම, මහපාරේ මාර්ග නීතිරීති නොපිළිපැදීම ආදී ක්ෂේත්‍ර දෙක තුනක් පමණක් විනය පිළිබඳ දේශපාලන කතිකාව තුළ අධි අවධාරණයකට ලක්ව ඇත. නමුත් සාමාජික අවිනය 
වනාහී  මීට වඩා ගැඹුරු මූලයන් සහිත ගැටලුවක් බැවින් විනය පිළිබඳ දේශපාලන කතිකාවද මීට වඩා ගැඹුරු විය යුතුව තිබේ.

සමාජික විනය යනු හමුදා විනය හෝ පැවිදි උදවියගේ විනය නොවේ. පැවිදි විනය සහ හමුදා විනය වැදගත් විනය මාදිලි දෙකක් වුවද, මේ විනය මාදිලීන් මුළුමනින්ම ඒ ආකාරයට සමාජය විෂයයෙහි ගැළපිය නොහැකිය. නවකවදය වැනි අමානුෂික සාපරාධී කටයුතුද ඇතුළුව විශ්වවිද්‍යාල සිසුන්ගේ අවිනය චර්යා වෙනස් කර ඔවුන් කෙරෙන් විනයගරුක සිසු පරපුරක් බිහි කරගැනීම සඳහා වරෙක හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයෙකු ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරූ මෝඩ අදහසක් වූයේ සරසවි සිසුන්ට හමුදා පුහුණුවක් ලබාදීමය. නවකවදය යනු ගැඹුරු සමාජ, ආර්ථික මූලයන් සහිත සංස්කෘතික ගැටලුවකි. එවැන්නකට හමුදාමය විසඳුම් ඇතැයි සිතීම සාමාන්‍ය අධ්‍යාපනය නොව උසස් අධ්‍යාපනය භාරව සිටි උදවියද කල්පනා කිරීම උසස් අධ්‍යාපන චින්තනය මුහුණදුන් එක්තරා අාකාරයක ශාස්ත්‍රීය සරදමකි. මේ පුහුණුවලට සහභාගි වූ අයද පුහුණුවෙන් පසු නැවත දරුණු නවක වධකයන් වූ බව එකල වාර්තා විය. එසේම පුහුණුව ලබාදෙන්නට පැමිණි හමුදා නිලධාරීන් අතින් සිසු සිසුවියන් ලිංගික වදහිංසාවන්ට ලක්වූ බව වාර්තා වී තිබිණි. එයින් කියවෙන තවත් කරුණක් වන්නේ හමුදා විනය හමුදා නොවන අවකාශයේදී අවිනය බවට පත්වන බවය.

දේශපාලනඥයා සමාජයේ විනය හැදීම ගැන කතා කරද්දී දේශපාලනඥයා විසින් සපුරාලිය යුතු ප්‍රධාන  කොන්දේසියක් වන්නේ දේශපාලනඥයා විනයගරුක පුද්ගලයකු බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබීමය. මේ සම්බන්ධයෙන් අප රට බහුතර දේශපාලනඥයන්ගේ තත්ත්වය ඉතා හාස්‍යජනකය.

අප රට දේශපාලනඥයන් වැඩි පිරිසක් මහජන නියෝජිතයන් ලෙස මහජන අවකාශයට මුහුණදෙන නිල මහජන ආයතන වන ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව යන ස්ථානවල ඔවුන්ගේ හැසිරීම කෙසේද? අනෙක් ආයතන පසෙක තබා පාර්ලිමේන්තුව පමණක් බැලුවද දේශපාලනඥයාගේ විනයේ තරම වටහාගත හැකිය.

අන්‍යොන්‍ය ගරුත්වය යනු සමාජික විනයෙහි මූලික පදනමය. පාර්ලිමේන්තු සභා ගර්භය යනු එම මූලික ගුණාංගය රකිමින් රට සමාජික විනය පිළිබඳ මහඟු ආදර්ශයක් පෙන්වාදිය හැකි ස්ථානයකි. එහෙත් ජනමාධ්‍ය ඔස්සේ මෙරට ජනතාව නිතර දකින පාර්ලිමේන්තු සභාව වනාහී අසැබි වදන්, අපහාස අවලාද, මඩගැසීම්, තර්ජනය කිරීම් ආදී වාචික ප්‍රචණ්ඩත්වයේ සකලවිධ දුෂ්චර්යා වා තලයට මුදාහරින  ස්ථානයකි. එය වාර්තා කරන ජනමාධ්‍යයද කරන්නේ ඒවා පිළිබඳ සමාජික විවේචනයක් මතු කිරීමට වඩා ඒවා ආශ්‍රිතව කුණු රසයකින් ප්‍රේක්ෂකයන් කුල්මත් කිරීමය.

එසේම ජන ගරුත්වයට අදාළ අති මූලික පිළිගැනීම් පවා උල්ලංඝනය කිරීමට ඇතැම් මහජන නියෝජිතයන් පැකිළෙන්නේ නැත. නුදුරු දිනක එක් මන්ත්‍රවරයකු විවාදයකදී කතා කරන අතරතුර දරුවන් නොමැති නායකයන් කිහිපදෙනෙකුගේ නම් සඳහන් කරමින් දරුවන් නොමැති වීම යන කරුණ මත ඔවුන්ට අපහාසාත්මක කතාවක් කළේය. මේ මන්ත්‍රීවරයාගෙන් නිසි අවසර ගෙන ඔහුගේ කතාවට බාධා කරමින් මැදිහත් වූ මා ඔහුට පෙන්වාදුන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක මිනිසුන් දරුවන් නැති අයට නිග්‍රහ නොකරන බවය. මා සිතුවේ මේ මන්ත්‍රීවරයා මා ඔහුගේද ගෞරවයට හානි නොවන පරිදි ඔහුගේ එම අපහාසාත්මක කතාවට එරෙහිව දැක්වූ විරෝධයට සාධනීය ප්‍රතිචාරයක් දක්වනු ඇත යන්නය. ‘ඔබට දරුවන් සිටින බැවින් ඔබ කලබල නොවී සිටින්න’ යන්න ඔහුගේ ප්‍රතිචාරය විය. ජන ගරුත්වය පිළිබඳ මූලික අදහසක්වත් ඔහු තුළ නොමැති බව පසක් කරගනිමින් නිහඬ වීමට මට සිදුවිය. මේ පාර්ලිමේන්තුවේ වාචික ප්‍රචණ්ඩත්වය පෙන්විය හැකි සිදුවීම් දහස් ගණනක් අතරින් එකක් පමණි.

වාචික ප්‍රචණ්ඩත්වය කායික ප්‍රචණ්ඩත්වයක් බවට පෙරළා ගැනීමට මේ මන්ත්‍රීවරුන්ට ගත වන්නේ නිමේෂයක් පමණි. කුප්‍රකට මිරිස් කුඩු ගැසීමේ සිදුවීම අපගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විනය බිඳවැටුණු පිළිකුල් සහගතම අවස්ථාවය. කුප්‍රකට ඔක්තෝබර් කුමන්ත්‍රණයේදී ආණ්ඩු බලය පැහැරගත් පිරිසට අමතක කළ ප්‍රධාන කරුණ වූයේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය තමන්ට නොමැති බවය. මිරිස් කුඩු ගසා හෝ වැළැක්වීමට උත්සාහ ගත්තේ එම කරුණ එම මෙහොතේ හෙළිදරව් වීමය. අද විනයගරුක රටක් ගැන මහ ඉහළින් කතා කරන ඇතැමුන් මේ අවිනය සහගත ක්‍රියාව ගැන වචනයකින් හෝ විරුද්ධ වූ බවක් අපට මතක නැත. එනයින් ඔවුන් විනය ගැන දෙසන්නේ වැදි බණය.

සමාජික විනය යනු ගැඹුරු සංස්කෘතික චර්යාවක් මතින් පැන නගින්නකි. ජපානය එවැනි සංස්කෘතික චර්යාවක් හුරුපුරුදු කරගත් රටකි. එවැනි ඉහළ සංස්කෘතික චර්යාවකට අවශ්‍ය සංස්කෘතික ප්‍රතිසංස්කරණ විනය ගැන වැදි බණ දෙසන දේශපාලනඥයන් කෙරෙන්  ආරම්භ වෙතැයි විශ්වාස අප කරන්නේ නැත.



Recommended Articles