විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ජවිපෙ රට පුරා පෝස්ටර් අලවා තිබේ. ඒ සඳහා සෙසු වාමාංශික හා ප්‍රගතිශීලී පිරිස්ද දිගු කලක සිට වෙහෙසෙන බව අපි දනිමු. ඓතිහාසික වශයෙන් ගත්කල ලංකාව තුළ විශාල ගැටලු ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ අසුරා ජන සමාජය තුළ බොහෝ විකෘතීන් ඇති කිරීමට විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගැනීමේදී මේ මොහොතේ පවතින සියලු තත්ත්වයන් වඩා ගැඹුරින් සලකා බැලීම සිදුකළ යුතුය. 

විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රම‘ය හඳුන්වා දීමත් සමග ඊට සමාන්තරව ඇතිකළ සමානුපාතික ඡන්ද ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමය තුළ ජනමතය වෙනස් කිරීමෙහිලා ඇතිකළ බලපෑම්, ඒ ඔස්සේ පාර්ලිමේන්තුවේ සංයුතිය පැරණි කේවල ක්‍රමයට වඩා වෙනස් අයුරකින් ගොඩනැගීම පිළිබඳවද නොසලකා විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීම සාධාරණ නොවේ. 

විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින්ම ඉවත් කිරීමට යන්නේ නම් ඊට සමාන්තරව සමානුපාතික ඡන්ද ක්‍රමයද වෙනසකට ලක්විය යුතුය. එසේ නොවුණහොත් පාර්ලිමේන්තුව දිගින් දිගටම පවත්වාගෙන යා හැකිද, දැන් තිබෙන පාර්ලිමේන්තුව විශාල වශයෙන් මුදලට විකිණෙන මන්ත්‍රී ධුර සහ සුළු ජාතීන්ගේ බලය පදනම් කොටගෙන පවතින එකකි. 

සුළු ජාතීන්ගේ දේශපාලනය තවමත් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පූර්ණ අවබෝධයකින් ක්‍රියාත්මක නොවේ. උපාය මාර්ගය නිරන්තරයෙන්ම ගොඩනැගී ඇත්තේ පවතින ඕනෑම ආණ්ඩුවකට සම්බන්ධ වී ඇමති ධුර ලබා ගනිමින් තම ප්‍රජාවට සහ තමාට සාපේක්ෂව වාසි ලබා ගතහැකි ක්‍රියාවලියක් වෙතටය. එයට වඩා වෙනස් භාවිතයක් යම් තරමකින් හෝ දැකිය හැක්කේ උතුරේ දේශපාලනය තුළ වුවද එම නියෝජිතයන් සියලු දෙනාද ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් එකම දැඩි ස්ථාවරයක සිටින බව නොපෙනේ. 

මේ තත්ත්වය යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් සමග ස්ථාවර පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යෑම පිළිබඳව බරපතළ ගැටලු පැනනැගීම වැළැක්විය හැකි නොවේ. ඒ පිළිබඳ ප්‍රබල සාකච්ඡාවක් ඉදිරියට ගැනීම විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීමට සමාන්තරව ඉදිරියට ගත යුතුය. 

එසේ නැතහොත් පසුගිය කුමන්ත්‍රණ කාලයේ පැවැති අස්ථාවර පාර්ලිමේන්තුව වැනි රටේ ජන ජීවිතය විශාල වශයෙන් බිඳ වට්ටන භයානක තත්ත්වයේ පවතින වැනෙනසුලු පාර්ලිමේන්තුවක් නිර්මාණය වීම වැළැක්විය හැකි නොවේ. පාර්ලිමේන්තුවට පූර්ණ බලතලම ලැබෙන වෙස්ට් මිනිස්ටර් ක්‍රමයක් ඉතා යහපත් බව ගැටලුවක් නැත. එහෙත් එය ආරම්භ වන්නේ 1978 පෙර තිබූ තත්ත්වයෙන් නොවන බව අමතක කළ නොහැක. 
දශක ගණනාවක් රට තුළ විශාල විපර්යාස ඇතිවී තිබෙන්නෙත් සමාජ ආර්ථික තත්ත්වයන් වෙනස් වී තිබෙන්නේත් එම පැරණි යුගයට වඩා අතිශය සංකීර්ණ මානයන් ජනිත කරවමිනි. කේවල මැතිවරණ ක්‍රමයට ගමන් කිරීමේදී ක්‍රියාවලියද එකට එක ක්‍රමයට සිදුකළ නොහැකිය.

සමානුපාතික ක්‍රම‘යේද, කේවල ක්‍රමයේද අන්තර් මිශ්‍රණයෙන් යුක්තව වඩා සුසාධිත මැතිවරණ ක්‍රමයක් ගොඩනැගීම පිළිබඳ සාකච්ඡාවක් පැවතියද එය ප්‍රා‘යෝගික යථාර්ථයක් බවට පත්කර ගැනීමට තවමත් සමත් වී නැත. එවන් තත්ත්වයක් යටතේ විධායක ජනාධිපති ක්‍රමය එකවරම අහෝසි කළහොත් පාර්ලිමේන්තුව තුළ ජාවාරම් කාරයන් පිරිසක් සහ ඉතා නොදියුණු ආකාරයෙන් තම ආත්මාර්ථකාමයම ප්‍රාර්ථනා කරන්නාවූ සුළු ජාතිකයන් කිහිපදෙනෙකුගේ බලතල අනවශ්‍ය පරිදි වර්ධනය වීමත් ඒ මත සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අර්බුදයට යෑමත් සිදුවීම වැළැක්විය හැකි නොවේ. 

එය රට අවුල් ජාලයක් බවට පරිවර්තනය කරන්නාවූ අර්බුදයකි. ප්‍රායෝගිකව දේශපාලනය පිළිබඳ නොසිතීම මෙහිදී බුද්ධිමතුන්ගෙන් සිදුවන බරපතළ වරදකි. ප්‍රජාතන්ත්‍රවාදී  සමාජයක් රට තුළ නිර්මාණය කළ යුත්තේ රටෙහි සමස්ත තත්ත්වය සලකා බැලීමෙන් මිස ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පවතින පොතේ ගුරුවාදයම ගුරුකොට ගනිමින් නොවේ. පූර්ණ හා විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදයක් අප කාගෙත් ඒකායන පරමාර්ථය බව සත්‍යයකි. අපි ඒ වෙනුවෙන් අකුටිලව අඛණ්ඩව පෙනී සිටිය යුතුය. 

එහෙත් එය ප්‍රා‘යෝගික දේශපාලන චිත්‍රයද හඳුනා ගනිමින් සිදු නොකොළහොත් එය සෑම කල්හිම සිදු වූවාක් මෙන් අප්‍රායෝගිකව බුද්ධිමය අදෝනාවක්ම වන්නේය. මෙය බරපතළ ආකාරයේ සාකච්ඡාවකට ලක්විය යුතු ප්‍රශ්නයකි. එහි ඇති විවිධ පැතිමාන පිළිබඳ බුද්ධිමතුන්ගේ මෙන්ම පුරවැසියන්ගේද අවධානය යොමු විය යුතුය. 

ලංකාවේ බුද්ධිමය දේශපාලනයේ හැමදාම පවතින ප්‍රශ්නය වන්නේ පවතින ප්‍රා‘යෝගික තත්ත්වයනක් පිළිබඳව කිසිදු අවධානයකින් තොරව යම් යම් දේශපාලන සංකල්ප පිළිබඳව පෙනී සිටීමයි. එසේ පෙනී සිටීමේදී ජනතා  විමුක්ති පෙරමුණද එම පෙනී සිටීමට සමාන්තර ගමනක් යන නිසා යම් සැලකිය යුතු ප්‍රා‘යෝගිකත්වයක් සදාකාලිකවම මෙම සටන් පාඨවල දක්නට ලැබේ. විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම පිළිබඳ සටන් පාඨයද මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙනි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාව දිගින් දිගටම ඉදිරියට ගත යුතුය. එහිදී විධායක ජනාධිපති නමැති ධුරයේ පවතින භයානකත්වයත්, එම ධුරය ඕනෑම යහපත් යැයි ‍සැලකෙන මිනිසෙකු අතට ගියහොත් ඇතිවන ඛේදවාදකයත් කිසිසේත් අමතක කළ යුතු නොවේ. ඒ නිසා ප්‍රා‘යෝගිකව මේ මොහොතේ කළ යුත්තේ &විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු*. &ඊට සමාන්තරව ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති කරගත හැකි මැතිවරණ ක්‍රමයක්ද හඳුන්වා දෙමු*. &එය ක්‍රියාත්මක කරමු* යන සටන් පාඨය පෙරටගෙන ඒමයි. එසේ හඳුන්වා දෙන මැතිවරණ ක්‍රමය ප්‍රා‘යෝගිකව ක්‍රියාත්මක කළ හැකි, හැකි උපරිමයෙන් අශිෂ්ටයන් සහ ව්‍යාපාර උදෙසාම දේශපාලන තනතුරු ලබා ගන්නත් පාර්ලිමේන්තුවට තෝරා පත් නොවන ක්‍රමයක් විය යුතුය. 

එසේ නොවුණහොත් නැවතත් රට දැඩි ව්‍යාකූලත්වයකට ඇද වැටීම වැළැක්විය හැකි නොවේ. වරක් ලිබරල් පක්ෂයේ නායකව සිටි දැනට ජීවතුන් අතර නොමැති චානක අමරතුංග මහතා මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් යෝජනා කරමින් පැවසුවේ විවිධ පක්ෂවල නියෝජිතයන්ට ඡන්දය දිය හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයි. 

ඉන් ඔහු අදහස් කළේ ඡන්දදායකයෙකුට තමා කැමති ඕනෑම පුද්ගලයෙකුට පක්ෂ භේදයෙන් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසෙන ආකාරයේ ප්‍රතිසංස්කරණයකි. එවැන්නක් පිළිබඳ නැවත සිතීමේ මොහොත පැමිණ තිබේ. 



Recommended Articles