"මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ" අවසන් වාර්තාව, එහි සභාපති සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, 2022.06.22 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙරට පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් නිරීක්ෂණ 25ක් හා නිර්දේශ 15ක් ඊට ඇතුළත්ය.
එම නිරීක්ෂණ හා නිර්දේශ පහත දැක්වේ.
නිරීක්ෂණ
1. වසර තුනකට වඩා වැඩි කාලයක් තිස්සේ පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම තුළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිශේධනය වේ.
2. පළාත් පාලන ආයතනවල පවත්නා අස්ථාවරභාවය සහ පළාත් පාලන ආයතන සභිකයන් සංඛ්‍යාව 2018 වසරේ පවත්වන ලද අවසන් මැතිවරණයෙන් සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇත.
3. පළාත් සභා සහ පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය ඉතා අඩු මට්ටමක පවතින අතර මැතිවරණ ක්‍රියාවලිය තුලින් කාන්තා නියෝජනය ස්ථාපිත කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතී.
4. පළාත් පාලන ආයතන මැතිවරණය තුලින් තරුණයින් සඳහා වෙන්කරන ලද අනිවාර්ය පංගුව (කෝටාව) 2017 අංක 16 දරන පනත මගින් ඉවත් කොට තිබෙන අතර ස්ථර තුන තුළම තරුණ නියෝජනය ප්‍රමාණවත් නොවේ.
5. මැතිවරණ කොමිෂන් සභාව තුල ලියාපදිංචි වී ඇති එහෙත් කිසිඳු මැතිවරණයකදී තරඟ නොකරන දේශපාලන පක්ෂ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය විය.
6. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම කෙරෙහි හානිකර බලපෑමක් ඇතිවීම වැළැක්වීම සඳහා මාධ්‍ය මගින් මාධ්‍ය උපමානවලට අනුකුලව කටයුතු කීරීම සහතික කිරීමේ සාධනීය යාන්ත්‍රණයක් අවශ්‍ය වේ.
7. දේශපාලන පක්ෂ විසින් සන්ධාන පිහිටුවා ගැනීමේදී හා එලෙස පිහිටුවා ගැනීමෙන් අනතුරුව ගැටළු ගණනාවක් පැන නැගීම සිදුවේ.
8. පෞද්ගලික හිමිකාරිත්වයක් සහිත විද්‍යුත් මාධ්‍ය මගින් අය කරනු ලබන අධික මිල ගණන් හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ පහසුකම් සෑම අපේක්ෂකයකු හටම එක හා සමාන නොවේ.
9. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය විසින් සිදුකරනු ලබන සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීම, තොරතුරු සඳහා වැරදි අර්ථකථන ලබා දීම, හා මැතිවරණ ප්‍රචාරණ කටයුතු
10. වත්මන් මැතිවරණ ව්‍යාපාරය තුළදී එක් අපේක්ෂකයකු විසින් දැරිය යුතු වන අධික මුදල් ප්‍රමාණය හේතුකොට ගෙන දේශපාලන ක්‍රමය තුළ දුෂණය සඳහා වන අවස්ථා ඉහළ නංවන අතර එතුලින් ප්‍රචණ්ඩත්වය ඇතිවීම ද සිදුවේ. දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් අතර මනා තරගකාරිත්වයක් සහ තරග කිරීමට සම බිමක් පවත්වාගැනීම ඉන් නිශේධනය වන බැවින් නිදහස් හා සාධාරණ මැතිවරණ කෙරෙහි එමගින් හානිකර බලපෑමක් නිර්මාණය විය හැකිය.
11. චර්යා ධර්ම සංග්‍රහය ගැසට් පත්‍රයේ පළකොට තිබුණද, මැතිවරණ කාලසීමා තුලදී දේශපාලන පක්ෂ/ස්වාධින කණ්ඩායම්/ අපේක්ෂකයන් විසින් එය අනුගමනය කරනුයේ කලාතුරකිනි.
12. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම වළක්වාලීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විවිධ නියෝග ගැසට් පත්‍රවල පළ කළ ද මැතිවරණ ප්‍රචාරක කටයුතු හෝ දේශපාලනික අරමුණු වෙනුවෙන් ඒවා යොදා ගන්නා අවස්ථා බහුලව දැකිය හැකිය.
13. වත්මන් අවශ්‍යතාවන්ට අනුව දැනට පවත්නා දේශපාලන ප්‍රචාරණ විධික්‍රම සහ නීති නොගැලපෙන බවත් මැතිවරණ කාලසීමාව තුළ දේශපාලන පක්ෂ / ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයන් හට සාධාරණ දේශපාලන ප්‍රචාරණ යාන්ත්‍රණයක් තිබිය යුතු බව නිරීක්ෂණය කර ඇත.
14. ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි අත්‍යවශ්‍ය සේවාවල නිරත සේවකයන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඇතුළු දහස් ගණනක් ඡන්දදායකයන් හට ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳීමට නොහැකි වී ඇත.
15. අපේක්ෂකයන් විසින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අදාල නීති සකස් විය යුතුය.
16. ඇප මුදල්වලට අදාල නීති 1981 වසරෙන් පසු සංශෝධනයට ලක් වී නොමැති අතර රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට සරිලන පරිදි මෙම විධිවිධාන සඳහා කාලානුරූපී සංශෝධන ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇත.
17. දේශපාලන පක්ෂ / ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කරන සමස්ත නාමයෝජනා ලැයිස්තු තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීම.
18. සමස්ත මැතිවරණ ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාල සීමාවක් ගත වීම හේතුවෙන්
දේශීය ආර්ථිකයට එල්ල වන සෘණාත්මක බලපෑම.
19. මීළඟ වසර 5-10 ඇතුලත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මැතිවරණ ක්‍රියාවලියට විවිධාකාරයෙන් වැදගත් වන ක්‍ෂේත්‍රයක් වන බැවින් අදාල ආයතන සමඟ එක්ව
ඒ පිළිබඳව නියාමනයක් සිදු කිරීම අවශ්‍ය වේ.
20. ඡන්ද ගණනය කිරීමේදී සහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදු වන ප්‍රමාදයන්.
21. ඡන්ද විමසුම් හා සම්බන්ධ අධිකරණ කටයුතු සඳහා අධික කාලයක් ගත වන අතර
ඒ හේතුවෙන් සිදු වන ප්‍රමාදයන් නිසා යුක්තිය නිශේධනය විය හැක.
22. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසුව ද පළාත් පාලන සහ පළාත් සභා නියෝජිතයන් එම ධුර ඉසිලීම මඟින් සියලු අපේක්ෂකයන් හට සමතල බිමක තරඟ වැදීමට ඇති අවකාශය අවහිර වන අතර මැතිවරණය සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමට අනුබල දීමක් ද ඉන් සිදු වෙයි.
23. වාර්ෂික අයවැය අනුමත කර ගැනීමට අසමත් වීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ඉවත් කෙරෙන අවස්ථා පවතී.
24. අපේක්ෂිත අරමුණුවලට පටහැණිව ජාතික ලැයිස්තු සඳහා පත් කිරීම් සිදු කෙරෙන අතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයෝ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත් කෙරෙති.
25. දැනට පවත්නා සීමා නිර්ණයන් වත්මන් තත්ත්වයට නොගැලපෙන හෙයින්
ඡන්ද කොට්ඨාස සීමා අලුතින් නිර්ණය කිරීමේ අවශ්‍යතාව අතිශය වැදගත් සාධකයක් ලෙස හඳුනා ගැනිණ.
නිර්දේශ
(1) මැතිවරණ ක්‍රම
(අ) පළාත් පාලන මැතිවරණ
2017 අංක 16 දරන පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත අනුව 2018 වසරේදී පවත්වන ලද පළාත් පාලන මැතිවරණය මගින් දෙගුණයකින් පමණ වැඩිවූ සමානුපාතික නියෝජනය යටතේ තේරී පත්වන පළාත් පාලන ආයතන නියෝජිතයන් සංඛ්‍යාව අඩු කරනු ලැබිය යුතු බව කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද බහුතර අදහස් වලින් ප්‍රකාශ විය. කාරක සභාවේ අවධානයට ලක් වූ අනෙක් කරුණ වූයේ ස්ථාවර සහ කාර්යක්ෂම පළාත් පාලන ආයතනයක නෛතික අවශ්‍යතාවයි.
සුළුතර පක්ෂ සහ බැඳියාවන් සහිත ප්‍රජාවන් වර්තමාන මැතිවරණ ක්‍රමයට සිදු කරනු ලබන යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන් තම අවධානය යොමු කළ අතර යෝජිත ක්‍රමය තුළ ප්‍රජාවන්ට සහ නියෝජනය නොවන පාර්ශ්වයන්ට සාධාරණ නියෝජනයක් සහතික කරන ලෙස කාරක සභාවෙන් ඉල්ලා සිටියහ.
ඔබ කාරක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සහ පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ සමාලෝචන කමිටුවේ වාර්තා මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සමඟ පිළිගත් දේශපාලන පක්ෂ, සංවිධාන සහ මහජනතාවගෙන් මේ සම්බන්ධයෙන් ලැබුනු නියෝජනද සලකා බලන ලදී.
පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වන සභික සංඛ්‍යාව අඩු කළ යුතුය යන කරුණ සම්බන්ධයෙන් කාරක සභාවේ සියළු සාමාජිකයෝ එකඟත්වය පල කරති.
වැඩිදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු, සාමාජිකයන් බහුතරයකගේ මතය වූයේ;
• 2018 වර්ෂයේදී පැවති පළාත් පාලන මැතිවරණයේදී ප්‍රථම වතාවට ක්‍රියාත්මක කරන ලද 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මගින් හඳුන්වා දෙන ලද වර්තමාන පළාත් පාලන මැතිවරණ ක්‍රමය (කොට්ඨාශ හා සමානුපාතික නියෝජන ක්‍රම වලින් සමන්විත) අවශ්‍ය සංශෝධනයන්ට යටත්ව තව දුරටත් යොදා ගැනීම යෝග්‍ය වේ.
• කේවල ක්‍රමය (60%) සහ සමානුපාතික නියෝජනය (40%) සඳහා දැනට පවතින අනුපාතිකය තවදුරටත් යොදා ගැනීම.
• සමානුපාතික නියෝජන සභික සංඛ්‍යාව අඩු කිරීම සඳහා එල්ලන ලද ආසන (overhang seats) ඉවත් කළ යුතුය.
• එක් එක් පළාත් පාලන ආයතනයේ සභික සංඛ්‍යාව ස්ථිරව නියම කළ යුතුය. එහිදී, අවම ප්‍රතිශතය ( cut off) නියම කිරීම අවශ්‍ය නැත.
• අස්ථාවරභාවය පිළිබඳ ගැටළුව විසඳීම සඳහා ජයග්‍රාහී පක්ෂයට ප්‍රසාද ආසන ප්‍රදානය කිරීමට ඔබ කාරක සභාව ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ විය. ප්‍රසාද ආසන පහත සඳහන් ආකාරයට බෙදා දෙනු ලැබේ;
- සභිකයන් 19 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් සහිත පළාත් පාලන ආයතනයක ජයග්‍රාහී පක්ෂයට එක් ප්‍රසාද ආසනයක් වෙන් කිරීම, සභිකයන් 20 සිට 39 දක්වා වූ සංඛ්‍යාවක් සහිත පළාත් පාලන ආයතනයක් සඳහා ප්‍රසාද ආසන දෙකක් වෙන්කිරීම සහ සභිකයන් 40 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත පළාත් පාලන අයතනයක් සඳහා ප්‍රසාද ආසන 3ක් ද වෙන් කෙරේ.
- ඉන් පසු ගණනය කරන ලද සාමාජිකයන් වෙන් කිරීම සමානුපාතික නියෝජනයේ ගණනය මත පදනම් ව සිදු කරන බැවින් සමස්ථ සාමාජික සංඛ්‍යාව නොවෙනස්ව පවතී.
(ආ) පළාත් සභා මැතිවරණ
• නීතිපතිවරයාගේ මතය වූයේ ඔබ කාරක සභාව පළාත් සභා මැතිවරණය පෙර පැවති ක්‍රමය (සමානුපාතික නියෝජන ක්‍රමය) යටතේ පැවැත්වීමට එකඟ වන්නේ නම් 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත මගින් පරිච්ඡින්න කරන ලද උපලේඛනයන් සහ ආකෘති ද ඇතුළුව මූලික ප්‍රඥප්තියේ ප්‍රතිපාදන සුදුසු නීති පැනවීම මගින් නැවත ක්‍රියාත්මක කළ යුතු බවයි.
• 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත පැනවිමට පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වීමට කාරක සභාව එකඟ විය. මූලික වශයෙන් පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනතේ සදහන් අනුපාතිකය අනුව අවශ්‍ය සීමා නිර්ණය සහිතව මිශ්‍ර ක්‍රමයක් සඳහා නීති කෙටුම්පත් කරන තෙක් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පළාත‍් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවන පරිදි යෝග්‍ය නීති පැනවීමට ඔබ කාරක සභාව නිර්දේශ කළේය.
• පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා යෝජිත නීති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බවට ඔබ කාරක සභාව වැඩිදුරටත් නිර්දේශ කරයි.
(ඇ) පාර්ලිමේන්තු මැතිවරණය
• මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව 225 ලෙසට පවත්වා ගෙන යායුතු බව ඔබ කාරක සභාවේ අදහස විය.
• අනාගතයේදී (70% කොට්ඨාශ : 30% සමානුපාතික නියෝජනය/ 65% කොට්ඨාශ: 35% සමානුපාතික නියෝජනය හෝ 60% කොට්ඨාශ: 40% සමානුපාතික නියෝජනය) සහිත මිශ්‍ර ක්‍රමයක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හඳුන්වාදීමට කාරක සභාව යෝජනා කරයි.
මෙම යෝජනාව ක්‍රියාවට නැංවීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන සමග අදාළ නීති ගෙන ආ යුතුය.
• ජාතික ලැයිස්තුව පවත්වාගත යුතුය.
පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට ගෙන එනු ලබන කිසියම් වෙනස්කමක් මගින් සුළුතර ප්‍රජාවන්ගේ නියෝජනයට දැඩි ලෙස බලපෑමක් ඇති විය හැකි බව කාරක සභාවේ සමහර සාමාජිකයන්ගේ මතය විය.
(ඈ) සීමා නිර්ණය
• දිස්ත්‍රික්ක සඳහා කේවල කොට්ඨාශවල සීමා නිර්ණය සිදු කළ යුතුය.
• විශේෂ කොට්ඨාශ/ දිස්ත්‍රික්ක සඳහා බහුවාර්ගික නියෝජනය සහතික කිරීම සඳහා බහු මන්ත්‍රී කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දිය යුතුය.
(2) කාන්තා නියෝජනය
වර්තමාන ශ්‍රී ලාංකික දේශපාලනය තුළ දක්නට ඇති එක් ඉතා බරපතල ගැටළුවක් වනුයේ දේශපාලනය තුළ නිරත වන කාන්තාවන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමයි. ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට පනස් දෙකක් කාන්තාවන්ගෙන් සමන්විත වුවද, දේශපාලන ආයතන තුළ ඔවුන්ගේ නියෝජනය ඉතා පහළ මට්ටමක පවතී. 2019 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රීවරු 213 ක් තෝරා පත් කර ගනිද්දී, එම මැතිවරණයේදී තේරී පත් වූයේ මන්ත්‍රීවරියන් 12 දෙනෙකු පමණි.
කාන්තාවන් සඳහා 25% ක ආසන පංගුවක් (කෝටාවක්) සඳහා විධිවිධාන සලසනු ලබන 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ 7 වගන්තිය අනුව පළාත් පාලනය සඳහා කාන්තාවන්ගේ ඇතුලත් වීම සම්බන්ධයෙන් මෑතකාලීන ප්‍රගතියක් ඇති වී තිබේ. කෙසේවුවද, කාන්තා දේශපාලන සහභාගිත්වය සඳහා වන නෛතික රාමුව තුළ ඔවුන් දේශපාලන පක්ෂ වලට ඇතුලත් කිරීම පිළිබඳ ප්‍රමාණවත් අවස්ථා නිර්මාණය නොකරන අතර නියාමනය නොකරන ලද මැතිවරණ ප්‍රචාරණ වියදම් සහ මනාප ඡන්ද ක්‍රමය කාන්තා අපේක්ෂකත්වයන් කෙරෙහි තවදුරටත් බාධා පමුණුවයි.
එබැවින්, පළාත් පාලන ආයතන සඳහා දැනට පවත්නා පනතෙහි විධිවිධාන ප්‍රකාරව කාන්තාවන් සඳහා අවම වශයෙන් 25% ක පංගුවක් (කෝටාවක්) වෙන් කිරීම සම්බන්ධයෙන් වන අනිවාර්ය විධිවිධාන ඒ අයුරින් පවත්වා ගැනීමට කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබේ. මැතිවරණ ක්‍රියාවලිය ඔස්සේ තමන් සඳහා මැතිවරණ ක්‍රියාදාමය තුල දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට කාන්තාවන්ට ඉඩකඩ සළසමින් නාමයෝජනා ලැයිස්තු තුළ කාන්තාවන් සඳහා කොට්ඨාශ මට්ටමින් 20% ක පංගුවක් (කෝටාවක්) වෙන් කිරීම අනිවාර්ය කිරීමට අවශ්‍ය නීති සම්පාදනයන් සිදු කරන ලෙසට ඔබගේ කාරක සභාව විසින් වැඩිදුරටත් නිර්දේශ කරනු ලබන අතර සියළුම මැතිවරණවලදී මෙම විධිවිධානය අනිවාර්ය කළ යුතුය.
අතිරේක ලැයිස්තුවේ (සමානුපාත නියෝජන ලැයිස්තුව) කාන්තාවන් සඳහා 50% කෝටා ක්‍රමය නොවෙනස්ව පැවතිය යුතුය.
පක්ෂ ලේකම්වරයෙකු විසින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුවට නම් කරනු ලබන සෑම තෙවන අපේක්ෂකයාම කාන්තාවක් වීම අනිවාර්ය කිරීමට අවශ්‍ය නීති සම්පාදනයන් සිදු කළ යුතු බවද කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබේ.
(3) යොවුන් නියෝජනය
පළාත් පාලන මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ වල නාම යෝජනා ලැයිස්තු තුළ යොවුන් නියෝජනය සඳහා 25% ක පංගුවක් (කෝටාවක්) වෙන් කිරීම අනිවාර්ය කිරීම උදෙසා නෛතික විධිවිධාන හඳුන්වා දිය යුතු යැයි ඔබගේ කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබේ. වයස අවුරුදු 35 ට අඩු පිරිමි සහ කාන්තා යන දෙපාර්ශවයම යොවුන් නියෝජනයට ඇතුලත් විය යුතුය.
(4) දේශපාලන පක්ෂ පිළිගැනීම
දේශපාලන පක්ෂ පිළිගැනීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ යෝජනාව ඔබගේ කාරක සභාව විසින් සලකා බලන ලද අතර ඡන්දදායකයන්ගේ පිළිගැනීම මත දේශපාලන පක්ෂ පිළිගැනීම සිදු කළ යුතු බවට නිර්දේශ කෙරේ.
ඒ අනුව, පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කළ යුතුවේ.
i) 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කරන ඕනෑම සංවිධානයක් “ලියාපදිංචි දේශපාලන පක්ෂයක්” ලෙස සැලකෙන අතර ලියාපදිංචි දේශපාලන පක්ෂයකට පක්ෂ ලාංඡනයක් පමණක් ලබා දේ.
ii) මැතිවරණ වලට තරඟ කිරීම මගින් හා දේශපාලන කටයුතු වල නිරත වීමෙන් පසුව එහි කටයුතු පිළිබදව මැතිවරණ කොමිෂන් සභාව සෑහීමකට පත්වීමෙන් පසුව එවැනි පක්ෂයක් “පිළිගත් දේශපාලන පක්ෂයක්” ලෙස ලියාපදිංචි කෙරේ.
iii) පවත්නා නීති යටතේ සන්ධාන පිළිගැනීමට කාරක සභාවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟත්වය පළ විය.
iv) ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සකස් කළ යුතුය.
(5) මාධ්‍ය
(අ) මාධ්‍ය උපමාන*
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ) ව්‍යවස්ථාව (සංශෝධිත පරිදි) ප්‍රකාරව රජයට අයත් මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය සඳහා එකම ආකාරයට උපමාන නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව වෙත බලතල ලබාදෙනු ලැබේ. මෙම උපමානවලට අනුකූලව කටයුතු නොකරන රජයට අයත් මාධ්‍ය එසේ කටයුතු නොකිරීම මත වගකීමට යටත් කළ හැකි වුවද, උපමානවලට අනුකූලව කටයුතු කරන බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගැනීමට පුද්ගලික මාධ්‍ය වෙත යුතුකමක් පමණක් පවරනු ලැබ ඇත. එසේ හෙයින් පුද්ගලික මාධ්‍ය විසින් මෙම උපමාන උල්ලංඝණය කරනු ලැබීමකදී මැතිවරණ කොමිෂන් සභාවට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගනු ලැබිය නොහැකිය. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5)(ඇ) (iii) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම මාර්ගෝපදේශ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොමැත.
පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා මෙම උපමාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු බවට සහ එකී උපමාන කලින් කලට අධික්ෂණය කිරීම සඳහා ඵලදායි යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බවට නිර්දේශ කරනු ලැබේ. මාධ්‍ය උපමානවලට අනුගත වීම සහතික කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සම්පාදනය කල යුතු යැයි කාරක සභාව වැඩිදුරටත් නිර්දේශ කරයි.
පුද්ගලික මාධ්‍ය, මාධ්‍ය උපමාන වලට අනුකුලව කටයුතු කිරීම සහතික කිරීම උදෙසා මැතිවරණ කොමිෂන් සභාව ශක්තිමත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සමග අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කල යුතුයැයි තවදුරටත් නිර්දේශ කෙරේ.
(*මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ නිගමන මත පදනම්ව)
(ආ) විද්‍යුත් මාධ්‍ය තුළින් දේශපාලන ප්‍රචාරණ කටයුතු සිදු කිරීම
විද්‍යුත් මාධ්‍ය විසින් අයකරනු ලබන අධික ගාස්තු නියාමනය කිරීම මගින් දේශපාලන ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා සෑම අපේක්ෂකයකුටම සමාන අවස්ථාවක් ලබාදීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතු බවට ඔබගේ කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබේ.
(ඇ) මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය වේදිකාවන් විසින් සිදු කරනු ලබන මැතිවරණ ප්‍රචාරණ කටයුතු, තොරතුරු වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම සහ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීම
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය වේදිකාවන් විසින් සිදු කරනු ලබන මැතිවරණ ප්‍රචාරණ කටයුතු, තොරතුරු වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම, ව්‍යාජ තොරතුරු ප්‍රචාරණය කිරීම වළක්වාලීම සඳහා නීති සම්පාදනය කළ යුතු බවට ඔබ කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබේ.
(6) මැතිවරණ ප්‍රචාරණ කටයුතු*
(අ) මැතිවරණ වියදම් පාලනය කිරීම
අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද 2021.11.16 දිනැති ‘’මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සලසන නීති සම්පාදනය කිරීම’’ යන මැයෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය සළකා බැලීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් 2021.11.29 වැනි දින පවත්වන ලද සිය රැස්වීමේදී වර්තමාන අවශ්‍යතාවයට සපුරාලිය හැකි වන පරිදි මැතිවරණ වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය ප්‍රතිපාදන කඩිනමින් සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් කෙටුම්පත් කිරීමේ කාර්යය නිමකිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට තීරණය කරන ලදි.
කාරක සභාව විසින්, අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද ඉහත කී තීරණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන සැලසීමට නීති පැනවීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බවට නිර්දේශ කරනු ලැබේ.
(ආ) චර්යා ධර්ම පද්ධතිය
මැතිවරණ කාල පරිච්ඡේදයක දී සියලු ම දේශපාලන පක්ෂවලට / ස්වාධීන කණ්ඩායම්වලට / අපේක්ෂකයින්ට චර්යා ධර්ම පද්ධතියට අනුකූලව කටයුතු කිරීමට බලපෑම් කෙරෙන නීති පැනවිය යුතු බවට සහ එම නීතිවල සඳහන් යම් විධිවිධානයක් උල්ලංඝනය කිරීම මැතිවරණ වරදක් ලෙස සැලකිය යුතු බවට කාරක සභාව නිර්දේශ කරයි.
(ඇ) මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත කරනු ලැබීම වැළැක්වීම සඳහා වූ විධාන
මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට හෝ දේශපාලන කටයුතුවලට රාජ්‍ය නිලධාරීන් යෙදවීම සහ රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපළ හෝ රජයේ වාහන, ගොඩනැගිලි හෝ නිල බලය යොදා ගැනීම වැළැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති විධානයන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවට සහ එම විධාන උල්ලංඝනය කිරීම මැතිවරණ වරදක් ලෙස සැලකිය යුතු බවට කාරක සභාව නිර්දේශ කරයි.
(ඈ) මැතිවරණ ප්‍රචාරණය පිළිබඳ නීතිය
වත්මන් අවශ්‍යතා සපුරාලන ආකාරයේ සාධාරණ මැතිවරණ ප්‍රචාරක ක්‍රම සහ නීති ක්‍රියාත්මක කළ යුතු බව කාරක සභාව නිර්දේශ කරයි.
(*මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ සහ නිගමන මත පදනම්ව)
(7) ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය
(අ) පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම
මැතිවරණ කොමිෂන් සභාව, දේශපාලන පක්ෂ සහ අනෙකුත් ප්‍රමුඛ පෙළේ සංවිධාන විසින් ප්‍රකාශ කරන ලද අදහස් සැලකිල්ලට ගත් ඔබ කාරක සභාව, ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ දී ඡන්ද මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි වන සහ තැපැල් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් නොලබන සෞඛ්‍ය සේවා, ගුවන් තොටුපළ, මහාමාර්ග, ජල සම්පාදන, විදුලිබල, රේගු සහ නිරීක්ෂක සංවිධාන නියෝජිතයින්ට වැනි අත්‍යාවශ්‍ය සේවාවල නියැළී සිටින සේවකයින්ට තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා ඉඩ සැලසෙන පරිදි, සහ තමන් ලියාපදිංචි වී සිටින ඡන්ද මධ්‍යස්ථානවලට දුරබැහැර ප්‍රදේශවල ජීවත් වන, ආයෝජන කලාපවල, මාධ්‍ය ආයතනවල, ඖෂධ අලෙවිසැල්වල, සංචාරක අංශයේ, හෝටල්වල, ආපනශාලාවල සහ සුපිරි වෙළඳසැල් ආදියෙහි සේවක සේවිකාවන්ට සහ ගෘහ සේවක සේවිකාවන්ට මැතිවරණ දිනයේ දී ඔවුන් සේවය කරන මැතිවරණ දිස්ත්‍රික්කය තුළදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීම සඳහා විකල්ප ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට හැකි වන පරිදි සහ සංචරණය වීමේ හැකියාව නොමැතිවීම හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි ඡන්දදායකයින්, රෝහල්වල, නිරෝධායන මධ්‍යස්ථානවල සහ දීර්ඝ කාලීන රැකවරණ මධ්‍යස්ථානවල නැවතී සිටින පුද්ගලයින්ට සහ රිමාන්ඩ් සිරකරුවන්ට ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට හැකි වන පරිදි පවතින නීති රීති සංශෝධනය කළ යුතු බවට නිර්දේශ කරයි.
(ආ) ආබාධ සහිත පුද්ගලයන් සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය
ආබාධිත පුද්ගලයන් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කොට ඇති නීති ප්‍රතිපාදනයන් ඉවත් කිරීම සහ ජංගම ඡන්ද මධ්‍යස්ථාන හරහා ඔවුන්ට ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව ලබා දීමට නිර්දේශ කෙරේ.
අන්ධ පුද්ගලයන් සඳහා බ්‍රේල් ක්‍රමය යටතේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩකඩ සැලසීමට වැඩිදුරටත් නිර්දේශ කෙරේ.
(ඇ) විද්‍යුත් ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හදුන්වාදීම
ජන්දවල රහස්‍යභාවය ආරක්ෂා කරමින් සහ මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳ ජනතා විශ්වාස ඇති කරමින් මැතිවරණවලදී මිනිස් ශ්‍රමය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් කරන අධික වියදම් සැළකිය යුතු අන්දමින් අඩු කිරීමේ සහ මැතිවරණ ප්‍රතිඵල ලබා දීමේ ඇතිවන ප්‍රමාදවීම් වැළැක්විමේ අදහසින් විද්‍යුත් ජන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හදුන්වා දීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇත.
එමනිසා බොහෝ දකුණු ආසියාතික රටවල ක්‍රියාත්මක කෙරෙන ලෙසින් විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීමට නිර්දේශ කෙරේ.
(8) නාමයෝජනා ක්‍රමවේදය
(අ) නාමයෝජනා භාර දෙන අවස්ථාවේ/ භාර දෙන දින වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම
අපේක්ෂකයෙකු මැතිවරණයකට තරඟ කිරීම සඳහා නාමයෝජනා භාර දෙන අවස්ථාවේ/ භාර දෙන දින වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය අංගයක් බවට පත් කළ යුතුය.
අපේක්ෂකයන්ට හා තේරීපත් වූ සභිකයන්ට වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත් කිරීමට භාවිතා කිරීම සඳහා ඇති ආකෘතිය වර්තමාන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි යාවත්කාලීන කළ යුතු බව ඔබගේ කාරක සභාව නිර්දේශ කරයි.
ආ) ඇප මුදල්
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සියල්ල ඇප තැන්පත් කළ යුතු අතර රටේ පවතින මූල්‍ය තත්වයට ගැලපෙන පරිදි දැනට ඇති තැන්පත් මුදල් ප්‍රමාණය සැළකිය යුතු ලෙස සංශෝධනය කරන ලෙස නිර්දේශ කෙරේ.
ඇ) නාමයෝජනා ප්‍රතික්ෂේපවීම
නාමයෝජනාවල ඇති තාක්ෂණික අඩුපාඩු නිවැරදි කිරිමට දිනක (පැය 24ක) කාලයක් ලබා දිය යුතු බව කාරක සභාව නිර්දේශ කෙරේ. මෙමගින් ජන්ද පත්‍රිකාවේ දිග අඩු කර ගැනිමට හැකිවීම මගින් මැතිවරණ ක්‍රියාදාමයට අදාළ පිරිවැය අඩු කර ගැනීමට හැකි වේ. නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කළ අපේක්ෂකයන් පත් කර ගැනීම සඳහා කාන්තා අපේක්ෂිකාවක් ඇතුළුව අතිරේක නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට කාරක සභාව යෝජනා කරයි.
නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සඳහා බලය මැතිවරණ කොමිෂන් සභාවට පවරන ලෙස කාරක සභාව වැඩිදුරටත් නිර්දේශ කෙරේ.
(9) මැතිවරණ ක්‍රියාදාමය
(අ) මැතිවරණ සඳහා ගත වන කාලය
ආර්ථිකයට සිදු වන නිශේධනාත්මක බලපෑම් අවම කිරීම සඳහා මැතිවරණයක් පවත්වන සමස්ත ක්‍රියාදාමය සඳහා ගත කරන දිගු කාලය අඩු කළ යුතු බව ඔබගේ කාරක සභාව නිර්දේශ කරයි.
(ආ) මැතිවරණ ක්‍රියාවලියේ දී තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම
මැතිවරණ ක්‍රියාවලියේ දී තොරතුරු තාක්ෂණය භාවිතය ඉදිරි අවුරුදු 5-10 තුළදී වර්ධනය වන අතර එය අදාළ බලධාරීන්ගේ සහයෝගය ඇතිව සුදුසු නෛතික ප්‍රතිපාදන සකස් කිරීම මගින් නියාමනය කළ යුතු බවට නිර්දේශ කරනු ලැබේ.
(ඇ) ඡන්ද මධ්‍යස්ථාන තුළදී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ දී ඡන්ද ගණන් කිරීම
2018 වර්ෂය තුළ දී පවත්වන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී අනුගමනය කරන ලද , ප්‍රකාශිත ඡන්ද අදාළ ඡන්ද මධ්‍යස්ථානය හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළදී ගණන් කිරීමේ ක්‍රමය ප්‍රතිඵල කඩිනමින් ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දෙන කාර්යක්ෂම ක්‍රමයක් බවත් එමඟින් වියදම අඩුකර ගැනීම ද කළ හැකි බවත් ඔබගේ කාරක සභාවේ අදහස විය.
එසේ හෙයින්, මෙම ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසත් අනෙකුත් මැතිවරණවලදී ද එය අනුගමනය කරන ලෙසත් ඔබගේ කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබේ.
(10) මැතිවරණ විනිශ්චය සභාව
මැතිවරණ පැමිණිලි විභාග කිරීමට සහ අධිකරණ ක්‍රමයෙන් පරිබාහිරව ආරවුල් නිරාකරණය කර ගැනීම සඳහා මැතිවරණ විනිශ්චය සභාවක් ස්ථාපිත කරන ලෙසත් ඒවායේ අපක්ෂපාතී භාවය තහවුරු කිරීම සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙසත් නිර්දේශ කරනු ලැබේ.
මැතිවරණ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරිය යුතු බවට ද නිර්දේශ කරනු ලැබේ.
(11) මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව, පළාත් පාලන ආයතන වලට හා පළාත් සභාවලට තේරී පත් වී ඇති නියෝජිතයන් නිලතල දැරීම හා ඔවුන් වෙත පැවරී ඇති බලතල හා කාර්යයන් තවදුරටත් ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම
මැතිවරණය අවසන් වනතුරු පළාත් පාලන ආයතනවල හා පළාත් සභාවල බලතල කොමසාරිස්වරයා /ලේකම්වරයා හා පළාත් ලේකම්වරයා වෙත අභිනියෝජනය කළ යුතු බවට නිර්දේශ කරනු ලැබේ.
(12) පළාත් පාලන ආයතනයක් මගින් වාර්ෂික අයවැය අනුමත කිරීමට අසමත් වීම
පළාත් පාලන ආයතනයක වාර්ෂික අයවැය අනුමත කිරීමට අසමත් වීම හේතුවෙන් එහි සභාපතිවරයා ඉවත් කළහොත් එහි උප සභාපතිවරයා හෝ පාලක පක්ෂයේ වෙනත් සාමාජිකයෙකු එහි සභාපතිවරයා ලෙස පත් කිරීමට පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුලත් කළ යුතු බවට නිර්දේශ කෙරේ.
(13) පළාත් පාලන මැතිවරණ වලට තරඟ කිරීමට ක්ෂේත්‍ර නිලධාරීන්ට ඇති සීමාව
2017 අංක 16 දරන පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනතේ විධිවිධාන වලට අනුව පළාත් පාලන මැතිවරණයට අවම වශයෙන් වසරකට පෙර නාම යෝජනා ඉල්ලා සිටින පළාත් පාලන ප්‍රදේශයේ සේවය අවසන් නොකළ ක්ෂේත්‍ර නිලධාරීන් මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු වීම අසාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි බව කාරක සභාව නිරීක්ෂණය කර ඇත.
එබැවින් ක්ෂේත්‍ර නිලධාරීන් වෙත පනවා ඇති මෙම සීමා කිරීම ඉවත් කරන ලෙසට නිර්දේශ කෙරේ.
(14) ජාතික ලැයිස්තුව
ජාතික ලැයිස්තුව සංවෘත ලැයිස්තුවක් විය යුතු බවට සහ බුද්ධිමතුන්, විශේෂඥයන් සහ ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය කරනු නොලැබූ පක්ෂ පමණක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරනු ලැබීමට අවස්ථාව ලබාදිය යුතු බවට කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබේ.
පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවට පත්කිරීම එක් වාරයකට සීමා විය යුතු අතර සිය ධූර කාලය අවසානයේදී එම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයාට මැතිවරණයට තරඟ කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවට ඔබ කාරක සභාව වැඩිදුරටත් නිර්දේශ කරයි.
ජාතික ලැයිස්තුවේ කාන්තාවන් සඳහා වෙන් කර ඇති අනිවාර්ය පංගුව පිළිබඳව මෙහි 2 වන නිර්දේශය යටතේ වන කාන්තා නියෝජනය ප්‍රවර්ධනය කිරීම යටතේ දැනටමත් විස්තර කර ඇත.
(15) සීමා නිර්ණය
කේවල සීමානීර්ණය කොමිෂන් සභාවක් පිහිටුවීම
එක් එක් කාර්යයට වෙන් වෙන්ව කාරක සභා පත් කිරීම වෙනුවට වරින් වර සීමා නීර්ණය සමාලෝචනය හා සංශෝධනය කෙරෙන ස්ථාවර ව්‍යුහයක් සකසා ගැනීමේ අවශ්‍යතාවයක් පවතී.
එබැවින් ජාතික සංගණනයක් පැවැත්වීමෙන් අනතුරුව තෝරාපත් කර ගැනෙන ආයතනවලට අදාළ සියළු සීමා නිර්ණය කටයුතු සිදු කිරීමේ නෛතික අධිකාරිය ලෙස කේවල සීමා නීර්ණය කොමිෂන් සභාවක් පත් කරන ලෙස කාරක සභාව නිර්දේශ කරයි.
දැනට පවතින ව්‍යුහයේ තිබෙන විෂමතා ඉවත් කිරීම පිණිස අලුතින් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමක් සිදු කළ යුතු බවට සහ එහිදී පවතින ව්‍යුහය සහ ජනගහනය, භූගෝලීය සාධක සහ විසිර ගිය ප්‍රජාවන්ගේ ශුභසිද්ධිය ද සැලකිල්ලට ගතයුතු බව ඔබ කාරක සභාව නිර්දේශ කරයි.