විද්‍යුත් මාධ්‍ය පක්ෂග්‍රාහීත්වය


එළඹෙමින් තිබෙනුයේ මැතිවරණ කාල සමයකි. මේ වසර අගදී පැවැත්වෙන ජනාධිපතිවරණයත්, ලබන වසර මුලදී පැවැත්වීමට ඉඩ තිබෙන පාර්ලිමේන්තු මැතිවරණයත් එයින් ප්‍රධාන වේ. 
මැතිවරණ සඳහා ඉදිරිපත්වන දේශපාලන පක්ෂවලට සහ දේශපාලනඥයන්ට කෙතරම් විවේචන එල්ල වුවද මෙතෙක් කලක් මැතිවරණවලට එල්ල වූ චෝදනාවලින් මැතිවරණ මුදා ගැනීමට අප රටක් හැටියට දැන් සමත්වී තිබේ. එය 2015 මහමැතිවරණයත් සමග උදා වූ අලුත් තත්ත්වයකි. 

වසර හතරකට පෙර පැවැත් වූ එම මහමැතිවරණය තෙක්ම අප රටේ පැවැත් වූ සෑම මැතිවරණයක්ම දූෂිත මැතිවරණ වේ. ඡන්ද මංකොල්ල, හොර ඡන්ද දැමීම්, ඡන්ද සහ මනාප හොරකම් කිරීම්, බලහත්කාරී ඡන්ද වර්ජන ආදියෙන් අප රටේ මැතිවරණ ඉතිහාසය අපකීර්තිමත් වී තිබිණි. 2015 වසරෙන් පසු බලවත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටුවීමෙන් පසු පුරවැසියාගේ සර්වජන ඡන්ද බලයේ අයිතියට නිසි ගෞරවය හිමි වී තිබේ. එය රටක් වශයෙන් අප ලැබූ ජයග්‍රහණයකි.

නමුත් ඡන්දය පැවැත්වෙන දිනයේ කටයුතු පමණක් නිදහස්, යහපත් සහ සාධාරණ වීමෙන් පූර්ණ සාධාරණ මැතිවරණ පැවැත්වෙනුයේ යැයි අපට උදම් අනමින් සතුටු විය නොහැකිය. පූර්ව මැතිවරණ ක්‍රියාවලියද සාධාරණ විය යුතුය. 

වර්තමානයේ මැතිවරණ දූෂණ සිදුවන්නේ මැතිවරණ දිනයේ නොව පූර්ව මැතිවරණ ක්‍රියාවලිය තුළය. පූර්ව මැතිවරණ ක්‍රියාවලියක අන්ත දූෂිත ස්වරූපය අප සමාජය අත්දුටුවේ පසුගිය ජනාධිපතිවරණයේදීය. සිල්රෙදි, පින්පොත්, ලිත්, මහන මැෂින්, උයනපිහන හැළිවළං, ඔරලෝසු, සාරි, චීත්ත ආදී බඩු භාණ්ඩ නැව් පිටින් ගෙනැවිත් මහජනයාගේ දුර්වල ලක්ෂණයක් වූ සුළු දේපොළ කාමය අවුස්සාලමින් ඒවා ඡන්ද අල්ලස් ලෙස එහිදී බෙදා දුන්නේය. බේබදු පාක්ෂිකයනට අරක්කු බෙදා දුන්නේ අරලියගහ මන්දිරයේ ඡන්ද අල්ලස් ලෙස බෙදා දුන් දන්සැල් කෑම සංග්‍රහයෙන් අනතුරුවය.

විරුද්ධ පක්ෂ අපේක්ෂකයාට රැස්වීම් වේදිකාවක් තනමින් සිටි රත්නපුරයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙකු මරා දැමිණි. රාජ්‍ය දේපොළ හා රාජ්‍ය නිලධාරීන් අවභාවිතය ගජරාමෙට සිදුවිය. මේ ආකාරයට ඡන්ද බලය කොල්ල කෑමේ පූර්ව මැතිවරණ දූෂණ ක්‍රියා තොගයකින් පසු වුවද ආණ්ඩු පක්ෂ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට එම ජනාධිපතිවරණය දිනා ගැනීමට හැකි වූයේ නැත.

2015දී ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් අනතුරුව මෙකී පූර්ව මැතිවරණ දූෂණවලටද වැටබැඳී තිබේ. එහෙත් මැතිවරණ කොමිසමට මේ දක්වාත් මර්දනය කළ නොහැකි වූ බරපතළ මැතිවරණ දූෂණ ක්‍රියාවලියක් තවමත් ඉතිරි වී ඇති අතර, එහි පරිමාව එන්න එන්නම වැඩිවෙමින්ද තිබේ. 

ඒ අනෙකක් නොව විද්‍යුත් ජනමාධ්‍ය මගින් සිදුකරන්නා වූ පූර්ව මැතිවරණ දූෂණ ක්‍රියාකාරකම්ය. මෙවර ජනාධිපතිවරණය ප්‍රකාශවීමටත් පළමුව විද්‍යුත් ජනමාධ්‍ය මැතිවරණ දූෂණ ක්‍රියා ආරම්භ කර තිබේ. සාමාන්‍යයෙන් ජනමාධ්‍යයෙන් බලාපොරොත්තු වනුයේ සමාජයෙහි පවතින දූෂණ එළිදරව් කිරීමය. එහෙත් අප රටේ ජනමාධ්‍යම මැතිවරණ දූෂණයෙහි මූලාශ්‍රය බවට පත්වෙමින් තිබේ.

විද්‍යුත් මාධ්‍ය මැතිවරණ දූෂණයෙහි යෙදෙනුයේ විද්‍යුත් මාධ්‍ය දරන්නා වූ දේශපාලන පක්ෂග්‍රාහීත්වය හේතුවෙනි. විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන සංඛ්‍යාත වනාහි මහජන දේපොළකි. විද්‍යුත් මාධ්‍ය ආයතන මගින් මේවා මිල ගෙවා බදු පදනමට තාවකාලිකව අත්පත්කරගෙන ඇති මුත් ඒ කරුණ මත මේවා විෂයෙහි පවතින මහජන අයිතිය අවලංගු වන්නේ නැත. රාජ්‍ය මාධ්‍යයක් වුවද, පුද්ගලික මාධ්‍යයක් වුවද ඒවා භාවිතා කරන සංඛ්‍යාත වනාහි මහජන දේපොළකි. 

1995 වර්ෂයේදී ඉන්දියානු රජය සහ බෙංගාලි ක්‍රිකට් සංගමය අතර ඇති වූ නඩුවකදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. බීස්වාන්ත් සහ විනිසුරු එස්. මෝහන් විසින් ප්‍රකාශයට පත්කරන ලද ලෝ සුපතළ නඩු තීන්දුවෙන් මේ අදහසට විශාල නෛතික පිළිගැනීමක් ඇතිවිය.

කිසියම් විද්‍යුත් මාධ්‍යයක් තම ආයතනික උවමනාවන්ට අනුව දේශපාලන පක්ෂග්‍රාහීත්වයක් දක්වන්නේ නම් එතැන සිදුවනුයේ මහජන දේපොළ අවභාවිතාවකි. අපයෝජනයකි. මැතිවරණයකට අදාළව පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ නම් එතැන සිදුවනුයේ මැතිවරණ දූෂණයකි.
උදෑසන සිට රෑ වනතුරු සමාජයේ අනෙකුත් ක්‍ෂේත්‍රවල පවතින දූෂණ සහ අවකල් ක්‍රියා පිළිබඳ තොරතෝංචියක් නොමැතිව කෑගසන විද්‍යුත් මාධ්‍ය තමන් විසින් කරනු ලබන්නා වූ මෙම බරපතළ දූෂණ ක්‍රියාව පිළිබඳ කිසිවක් නොකියන්නේ මන්ද?

දැන් අප රටේ මැතිවරණ දූෂණ සිදුවන ප්‍රධානම ආකාරය නම් මෙකී විද්‍යුත් මාධ්‍ය පක්ෂග්‍රාහීත්වයයි. අප මේ ප්‍රශ්නය මතුකරන විට තමන්ට මෙය වැළැක්වීමට ඇති නීතිරීති ප්‍රමාණවත් නැතැයි පැවසීමට අප හිතවත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඔහුටම ආවේණික උපහැරණ කතාද සමගින් පිළිතුරු දෙනු ඇතැයි අපට සිතිය හැකිය. එහෙත් මහින්ද දේශප්‍රිය මහතා පවතින නීති රාමුවෙන් ඔබ්බට ගොසින්ද මැතිවරණ දූෂණ වැළැක්වීමට කටයුතු කිරීමේ හැකියාවක් පෙන්නුම් කළේ දණහිසින් ඉහළට වෙඩි තැබීමේ කතාව කියූ මොහොතේදීමය.
මැතිවරණ කාලයකදී විද්‍යුත් මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කරන්නේ නම් පුද්ගලික මාධ්‍ය වේවා, රාජ්‍ය මාධ්‍ය වේවා ඒවාට එරෙහිව පියවර ගැනීම සඳහා %විද්‍යුත් මාධ්‍ය සංඛ්‍යාත වනාහි මහජන දේපොළකි^ යන නීතිමය සංකල්පය පමණක් වුවද ප්‍රමාණවත් බව අපගේ හැඟීමයි.

මේ වනවිටත් විද්‍යුත් මාධ්‍ය මැතිවරණ දූෂණය අරඹා හමාරය. අපේක්ෂකයන් බෙදා ගනිමින්, තෝරාගත් අපේක්ෂකයන්ට පමණක් විශේෂයෙන් සලකමින් මහජනයාගේ සර්වජන ඡන්ද බලයේ අයිතියට නිග්‍රහකිරීම මේ මාධ්‍ය ආයතන විසින් කිසිදු හිරිකිතයකින් තොරව සිදුකරනු ලබමින් සිටියි. 

එවැනි බරපතළ දූෂණ ක්‍රියාවක නියැළෙන මේ මාධ්‍ය ආයතනවලට රටේ අනෙකුත් පුද්ගලයන්ගේ දූෂණ වංචා පිළිබඳ කතා කිරීමේ සදාචාරාත්මක අයිතියක් නොමැත. ස්වාධීන ජනමාධ්‍ය නියාමන යාන්ත්‍රණයක් කවදා හෝ බිහිවනතුරු මැතිවරණ කාලයකදී හෝ මේ ජනමාධ්‍ය දූෂණ ක්‍රියා වැළැක්වීමට මැතිවරණ කොමිසම අඩියක් පෙරට තබා කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

 



Recommended Articles