ශ්‍රී ලංකාවේ නවෝත්පාදන සිදුවීම ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂ ලෙස ඉතා පහළ මට්ටමක පවතී. ගෝලීය නවෝත්පාදන දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පවතින්නේ 88 වැනි ස්ථානයේය. ස්විට්සර්ලන්තය මෙම දර්ශකයේ අංක එකට සිටී. ඉන්පසුව නෙදර්ලන්තය, ස්වීඩනය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය වැනි රටවල ක්‍රියාත්මක වෙයි.
මෙම සෑම රටකම පාහේ ජනතාව කටයුතු කරන්නේ තමන්ගේ මවු භාෂාවෙනි. එක්සත් රාජධානියේ ජනතාව ඉංග්‍රීසියෙන් වැඩකටයුතු කරන අතර, නෙදර්ලන්තයේ ජනතාව ඕලන්ද බසින් වැඩකටයුතු කරති. ෆින්ලන්ත ජනතාව ෆිනිෂ් භාෂාවෙන් වැඩ කරන අතර, ජර්මනියේ ජනතාව ජර්මන් බසින් වැඩ කරති. ශ්‍රී ලංකාවද යම් දිනකදී දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමට නම් ජනතාවන්ගේ මවු බසට ඉඩ සැලසිය යුතු වේ.
එහෙත් මෙරට සිංහල බසින් ඉගැන්වෙන විද්‍යා හා තාක්ෂණ විෂයයන් සම්බන්ධයෙන් ඇත්තේ ඉතා ගැටලු සහගත තත්ත්වයකි. එම විෂයයන් සඳහා සිංහල බසින් මෙතෙක් නිර්මාණය කරගෙන ඇති පද ශිෂ්‍යයෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකි වේ. ඉංග්‍රීසියෙන් programme යන්න සඳහා නිර්මාණය කරගෙන ඇත්තේ %පැක්ම^ යන්නයි. මුද්‍රණාලය සඳහා සාදාගෙන ඇති තාක්ෂණික පදය පහරුව යන්නයි. රේඩියෝව සඳහා රෙදව්ව යන්න නිර්මාණය කරගෙන තිබේ.
සාමාන්‍ය ජීවිතයෙන් විතැන් වූ අමුතු ආකාරයේ වදන් රැසක් භෞතික, රසායන, උද්භිද, සත්ත්ව ආදී විද්යාවන්හිදී හමු වේ. කිසියම් ශිෂ්‍යයෙකුට මෙවැනි අසීරු වදන් සමග බොහෝ කාලයක් පොර බැදීමට සිදුවන අතර, ඒවායෙන් සත්‍ය වශයෙන් ඇඟවෙන්නේ කුමක්දැයි පැහැදිලි අදහසක් ඔවුන්ගේ සිත තුළට කිඳා බසින්නේ නැත.
මෑත ඉතිහාසයේ ලොව තුළ සුවිශාල විද්‍යා හා තාක්ෂණ විප්ලවයක් සිදුකළ ජපානය ගත් විට සෑම බසකින්ම ඍණිත වචන (loan words) ලබා ගැනීම සඳහා විවෘත වී තිබේ. තාක්ෂණික වචන විශාල සංඛ්‍යාවක් මුල් බසට සමීප වන ලෙසින් සකස් කර ගනී. චීන බසින් පැමිණි වචන ඍණිත වශයෙන් නොව ජපන් බස ලෙසම සැලකීමට ඔවුහු පුරුදුව සිටිති. මයික්‍රෆෝනය සඳහා ජපනුන් නිර්මාණය කරගෙන ඇත්තේ මයිකු යන පදයයි. මැෂිමට මිෂීන් යැයි පදයක් නිර්මාණය කරගෙන ඇත. මේ ආදී වශයෙන් තමන්ගේ බසේ උරුවට විදෙස් බසින් පද ලබාගනිමින් වඩාත් ප්‍රායෝගික පාරිභාෂික නිර්මාණය කර ගැනීමට ජපනුන් ක්‍රියාකර ඇති බැවින් ඔවුන් තමන්ගේ බසින් වැඩ කරමින් ලෝකය සමග ඉදිරියට යන ආකාරය දැක ගැනීමට හැකිය.
ශ්‍රී ලංකාවේ පරිගණක විද්‍යාව තුළද මීට සමාන තත්ත්වයක් යම් තරමින් දැකගත හැකිය. මවුසය සඳහා මූසිකය ආදී අපභ්‍රංස පද නිර්මාණය කර ගත්තද ඒවා සාර්ථක වී නැත. පරිගණක විද්‍යා සිසුන් මුල් බසෙහි පද අනුව සිය හැදෑරීම් සිදු කරගෙන යන ආකාරය දැක ගැනීමට හැකිය. මදර් බෝඩ්, සීපීයූ, වීජීඒ, ප්‍රොසෙසර්, රැම් ආදී පද නොදන්නා දරුවෙක් නැති තරම්ය. මේ නිසා ගම්බද දරුවෝ ද මෘදුකාංග නිර්මාණය කරති, වෙබ් අඩවි හැක් කරති, වෛරස් නිෂ්පාදනය කරති. පණ්ඩිතයන් විසින් මදර් බෝඩ් සඳහා මාතෘ ඵලකය ආදී නම් හදා ගැනීමට පෙර විෂයය ජනප්‍රිය වීම පරිගණක විද්‍යා හදාරන දරුවන් ලැබූ ජයග්‍රහණයකි.
දර්ශන අශෝක කුමාර