එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරියකව සිටි විජයකලා මහේෂ්වරන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය පිළිබඳ සමාජය ඉදිරියේ දේශපාලනඥයන්, විද්වත් ප්‍රජාව හා පුරවැසියා ස්වකීය මත ප්‍රකාශ කළද, සැබෑ ලෙස එය රාජ්‍යයේ එකීයත්වයට හානියක් වනවාද, නැද්ද එවන් අවස්ථාවක රටක දේශපාලනඥයන්, බුද්ධිමතුන් ක්‍රියා කළ යුත්තේ කෙෙස්ද යන්න පිළිබඳ වීමසීම සඳහා ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා අදට සම්බන්ධ කර ගත්තෙමු. ඔහු ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.
විජයකලා මහේෂ්වරන් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරියක්. යහපාලන ආණ්ඩුවේ මෑතක් වනතුරුම රාජ්‍ය ඇමතිවරියක්. පසුගියදා වීරසිංහම් ශාලාවේ පැවැති ආණ්ඩුවේ වැඩසටහනකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත කරළියට ගෙන ආ යුතු බවටත්, දෙමළ ජනයාට බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් විය හැක්කේ නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය පණගැන්වීමෙන් බවටත් ප්‍රකාශ කර සිටියා. ඇය මේ ප්‍රකාශය කරන විට රජයේ ප්‍රධාන ඇමතිවරු දෙදෙනෙක් ඒ උත්සව ශාලාවේ සිටියා. උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහතා, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ජේ. සුමන්දිරන් මහතා, ඒ වගේම මාවෙයි සෙනාධිරාජා යන මන්ත්‍රීවරයා එහි සිටියා. උත්සවයේදී ඒ කවරෙකු හෝ විජයකළා මහේෂ්වරන්ගේ ප්‍රකාශය විවේචනයට ලක්කළේ නැහැ. විරෝධය පළකළා තබා අඩුම තරමේ තමන් එයට එකඟ වනවාද, නැද්ද යන්න පිළිබඳවත් කියා සිටියේ නැහැ.
විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය එවැනි ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. ඇය මන්ත්‍රීවරියක් වශයෙන් පත් වීමෙන් පසුව අවස්ථා කිහිපයකදීම සමාජය කම්පනය කරමින් මෙවැනි මහත් කලබැගෑනියක් ඇති කරන ප්‍රකාශ කළා. එක් අවස්ථාවක ඇය ප්‍රකාශ කළා මිලිටරි වශයෙන් එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීම ගැන තමන් කනගාටුවට පත්වන බවට. තවත් අවස්ථාවක එනම්, 2016 දෙසැම්බර් මාසයේදී ඇය ප්‍රකාශයක් කළා, දෙමළ ජනතාවගේ වීරයෙකු වන ප්‍රභාකරන් මන්ත්‍රීවරයෙකු හෝ අගමැතිවරයෙකු ලෙස පත්වීමට සුදුසුකම් තිබූ බවටත්, ඔහුට එවැනි තත්ත්වයකට පැමිණීමට නොහැකි වීම ගැන කනගාටුවට පත්වන බවටත්. ඊටත් වඩා බරපතළ ප්‍රකාශයක් ඉන් අනතුරු කාලයක ඇය විසින් සිදු කළා. එහිදී ඇය කියා සිටියේ ප්‍රභාකරන්ගේ නිර්දෝෂීකමට හා පෞරුෂයට සම කරන්න වත්මන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සමත් නොවන බව. මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් ඇය අයත් පක්‍ෂයේ නායකයන් ඇයගෙන් ප්‍රශ්න කළ බවට කිසිදු සාක්‍ෂියක් අප දන්නේ නැහැ. තමන්ගේම පක්‍ෂයේ නායකයා හා රාජ්‍ය නායකයා හෑල්ලුවට ලක්කිරීම සම්බන්ධව ඇත්තෙන්ම ඇයට යම්කිසි ලෙසකින් විනය පරීක්‍ෂණයක් කළ යුතුව තිබුණා.
ඇයට එවැනි ප්‍රකාශ කරන්න විවිධ හේතු ඇති. නමුත් ඒවා හේතු සාධක සහිතව සනාථ කළ යුතුයි. අවි දරාගෙන කිසිදු ඉවක්බවක් නැතිව ගැහැනු, පිරිමි හා ළමයින්, සියලු ජන කොටස්වලට අයත් ජනයා ඔවුන්ගේම වර්ගයට අයත් නායකයන් ඝාතනය කළ පුද්ගලයෙකු රටේ රාජ්‍ය නායකයා හා සම නොවන බවට කළ ප්‍රකාශයක් කොයි තරම් බරපතළ විය හැකිද?
ඉතින් එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය කිසිදු දෙයක් සිදු නොකිරීම නිසා මෙය නැවතත් රජයේ නිල නොවන උත්සවයකදී කියන්නට හේතු වුණා. එල්.ටී.ටී.ඊ.ය නැවත ගෙන ආ යුතු බව කීම මගින් නැවත වරක් මේ රටේ සන්නද්ධ සටනක් ආරම්භ වෙන්න ඕන කියන එක ඒ තුළින් කියැවුණා, නැවත වරක් මේ රටේ පිරිසක් රටේ කොටසක් පාලනය කළ යුතුයි කියන එක.
ප්‍රචණ්ඩත්වයන් ප්‍රශ්න විසඳීම එල්.ටී.ටී.ඊ. සංවිධානයට දිය යුතුයි කියා තමයි මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ. ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල කලබගෑනියක් ඇති වුණා. ඒ නිසාම විජයකලා මහේෂ්වරන්ට තමන්ගේ ඇමති ධුරයෙන් ඉවත් වෙන්න සිදු වුණා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම්, රට දෙකඩ කිරීමට ක්‍රියා කළ තවමත් ඇතැම් විදේශ රටවල තහනම් සංවිධානයක්ව පවතින එල්.ටී.ටී.ඊ.ය නැවත පණගැන් වීම විය යුතුයි කියන ප්‍රකාශයට එරෙහිව ක්‍රියා කළ යුතුය යන්නයි මගේ අදහස. එය ඉතා අසීරු සංකීර්ණ කාර්යයක්. නමුත් නීතිය ක්‍රියාත්මක කරනවා නම්, කුමන බාධක සංකීර්ණව තිබුණත් එහි ලිහිල් බවක් සිදු වෙන්නේ නැහැ. මෑතකදී සිදු වුවා එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සිරගත කරන විට ඒ හාමුදුරුවන්ට සිරකරුවෙකු ලෙස නියමිත ඇඳුම ඇන්දවීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුව. මෙහිදී අධිකරණ ඇමති ප්‍රසිද්ධියේ පැවසුවා කවරෙකු වුවත් සිරගෙට ගියහොත් සිරගෙවල් ආඥා පනතේ තිබෙන ලෙසටයි තීරණය කළ යුත්තේ කියා. භික්ෂූන් වහන්සේට එහෙම නම් විජයකලා මහේෂ්වරන්ට මන්ත්‍රීවරියක් වශයෙන් සිටිමින් මේ රටේ එ්කීයත්වය රකින බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රතිඥා දීමෙන් අනතුරුව මෙවැනි ප්‍රකාශයක් කිරීමට ඉඩ දීම. එය ඇත්තෙන්ම බරපතළ ප්‍රශ්නයක්. මෙන්න මේ ආකාරයට තමයි නීතියේ පාලනයෙන් ඔබ්බට සිදු වෙන්නේ. වත්මන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නෙ.
විජයකලා මහේෂ්වරන් ඇමතිවරිගේ ප්‍රකාශය අපේ දේශපාලනයේ නිරත චරිත සමග බැලූ විට අපේ බුද්ධිමතුන්ගේ චර්යාව හෙළිදරව් කරන පැතිකඩක් මෙය. විජයකලාගේ ප්‍රකාශය කළ විට දෙමළ සන්ධාන නායකයා එය සාධාරණීයකරණය කළා. උතුරු පළාතේ මහඇමති විග්නේෂ්වරන් මෙය ප්‍රකාශ කළා. ඒ නිසා විග්නේෂ්වරන් මහතා පිළිගන්නවා උතුරු නැගෙනහිර සන්නද්ධ පාලනයකට යටත් වී තිබුණේ කියන කාරණය. විශිෂ්ට රාජ්‍යයක අවි දරන්න පුළුවන් එකම ආයතනයකට පමණයි. එය දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්තයක්. අවි දරන්න පුළුවන් රාජ්‍ය නමැති ආයතනයට පමණයි. 20 වැනි සියවසේ මුල් වකවානුවේ ජර්මනියේ ජීවත් වූ විශිෂ්ට ගණයේ සමාජ විද්‍යාඥයෙක් ෆ්‍රැන්සිස් බෙකන්. ඔහු සඳහන් කරන ලෙස රාජ්‍ය හඳුන්වන්නේ අවිදැරීමේ නීත්‍යනුකූල අයිතිය ඇති එකම ආයතනය ලෙසයි. කිසියම් රටක රාජ්‍යයේ වෙනත් අය අවි දරනවා නම්, අස්ථාවරත්වය හා නීතිය හා සාමය කඩවීම ප්‍රදර්ශනය කරන ලක්‍ෂණයක්. රාජ්‍යයේ කාර්යය නම්, රාජ්‍ය තුළ නීතිවිරෝධී ලෙස අවි දරන අනෙක් අය පාලනය කිරීමයි. එසේ විජයකලාගේ ප්‍රකාශය සාධාරණීකරණය කරනවා නම්, විග්නේෂ්වරන්, සුමන්දිරම් හා දෙමළ නායකයන් ළඟ අපි කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවාද යන ගැටලුව අපට මතු වෙනවා. ආණ්ඩුවේ සමහර නායකයන් පවසන්නේ විජයකලා එම ප්‍රකාශය කෙළේ සිතේ අමාරුවෙන් බවයි. මීට දින කිහිපයකට පෙර දැරියක් ඝාතනයට ලක්වීම නිසා ඇති වූ හිතේ අමාරුවට එල්.ටී.ටී.ඊ. සංවිධානය හිටියා නම් එසේ වන්නේ නැහැයි කියා කියන්න නම් මේ රටේ අධ්‍යාපන ඇමතිවරයත්, විජයකලා වගේම වංචනික ලෙස තමයි ක්‍රියාකර තිබෙන්නේ. මේ වෙද්දි ඒ තර්ක ක්‍රමය අනුව නායකයා කියා පැවසිය හැකි ප්‍රභාකරන් මීනිමරුවෙක්, දළදා මාලිගාවට බෝම්බ ගැසුවේ, අනුරාධපුරය වන්දනාවේ පැමිණි මිනිසුන් ඝාතනය කළේ, කාත්තන්කුඩි පල්ලියේ මිනිසුන් ඝාතනය කළේ හිතේ අමාරුවට, ඒ නිසා අප ඒවා අමතක කළ යුතුයි කියන තැනට ඔවුන් එන්න පුළුවන්. මෙහිදී මම දකින දෙයක් තමයි විජයකලා ඇතුළු දෙමළ සන්ධානයේ නායකයන් කොහොමද කියන්නේ එල්.ටී.ටී.ඊ.ය සිටි කාලයේ මීට වඩා නීතිය හා සාමය රකිනවා කියලා. එල්.ටී.ටී.ඊ. සංවිධානය විශේෂයෙන් උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ යම් ප්‍රමාණයකට රාජ්‍ය බලය තමන් අතට පැහැරගෙන සිටියේ. ඔවුන්ගේ මත, අණසක තමයි නීතිය විදිහට ක්‍රියාත්මක කළේ. ඔවුන් ඉවක් බවක් නැතිව මිනිසුන් ඝාතනය කළා.
අනෙක් කාරණය වන්නේ ඔවුන් උතුරේ දරුවන් පැහැරගෙන ගොස් ළමා සොල්දාදුවන් ලෙස යොදා ගත්තා. ඒ සොල්දාදුවන් ජීවිතක්‍ෂයට පත්වුණා. ඉන් සමහරක් අය මානසික රෝගීන් බවට පත්වුණා. නමුත් විජයකලා කියන්නේ ඒ සංවිධානය නිවැරදියි කියලා. ඉන් වඩාත්ම හාස්‍යජනක දේ තමයි විජයකලා මහේෂ්වරන් මහත්මිය ත්‍යාග රාජා මහේෂ්වරන් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්. යුද කලබල කාලයේ ඔහුව ඝාතනය කරන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කොළඹදී. ඝාතකයා අධිකරණයේ වැරදිකරුවෙකු වී දැන් සිරදඬුවම් ලබනවා. තමන්ගේ සැමියා ඝාතනය කළ සංවිධානය නැවත පැමිණීම නිසා දෙමළ ජනයාට නිදහසේ සැකෙන් බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කියා කියනවා නම් යම් අයෙකු ඔහු හෝ ඇය මානසික විකෘතියකින් පෙළෙන්නෙකු වෙන්න ඕනෑ. මෙතැනදී මම දෙමළ ජනයාට ප්‍රශ්න නැහැ කියා කිසිවෙකුට යෝජනා කරන්නේ නැහැ. දෙමළ ජනයාට තිබෙන ප්‍රශ්න සැලකිය යුතු කොටසක් සිංහල දුප්පතාටත්, මුස්ලිම් දුප්පතාටත් එහෙමයි. මෙහිදී මම ජනතාව ලෙස අදහස් කරන්නේ සාමාන්‍ය ජනතාව. ගොවියන්, කම්කරුවන්, ධීවරයන්, තේ දළු නෙළන අය, රබර් කිරි කපන අය යනාදී සියලු දෙනා මෙයට අයිතියි. ඒ අයට ප්‍රශ්න තිබෙනවා. මම කතා කරන්නේ නැහැ මවුන්ස් එලිසබෙත්වලට යන අය ගැන. ලක්‍ෂ ගණන් දීලා මසකට කුලී ගෙවන්න නිවාස මිලදී ගන්නා අය ගැන නොවෙයි මම කතා කරන්නේ. ඒ සාමාන්‍ය ජනතාවට සිංහල, දෙමළ, මුස්ලිම් නැතිව ප්‍රශ්න තිබෙනවා. දිළිඳුකම, විරැකියාව, මන්දපෝෂණය, නූගත්කම, ලෙඩරෝග, සමාජයෙන් කොන්කර තිබීම යනාදී ගැටලු තිබෙනවා. ඒවා ඇති වෙන්නේ විෂම ආර්ථික, සමාජ සාධක නිසා. ඒ සියල්ල අමතක කරලා තමයි මේ දෙමළ සන්ධානයත් විජයකලා වැනි අයත් කතා කරන්නේ. එමෙන්ම දෙමළ ජනයාට තිබෙනවා ඔවුන්ටම සුවිශේෂී වූ ප්‍රශ්න. ඒ ප්‍රශ්න සියල්ලම පාහේ නිර්මාණය වෙන්නේ තිස් වසරකට ආසන්න කාලයක් තුළ ගෙවුණු යුද්ධය නිසා. ඔවුන්ගේ ජීවනෝපාය බිඳ වැටීම, ඥාතීන් අතුරුදන් වීම, දරුවන් පැහැරගෙන යෑම නිසා ඇති වූ ප්‍රශ්න ආදී මේ සියල්ලම තිබෙනවා. ඒවා ආමන්ත්‍රණය කිරීම සඳහා වෙනම වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. නමුත් විජයකලා හෝ දෙමළ සන්ධානය කියන ආකාරයට එල්.ටී.ටී.ඊ.ය පණගැන්වීම තුළින් එවැනි ප්‍රශ්න උග්‍ර වෙනවා මිස සමනය වෙන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. පාලනයට උතුර යටත්ව තිබූ කාලයේ මොනවද උතුරේ ජනතාව වෙනුවෙන් කරපු දේ? එක පාරක්, එක බොක්කුවක්, එක රෝහලක් හෝ ඉදිකෙරුවද? ඔවුන්ට මුදල් ගලා ආවා නොයෙක් මාර්ගවලින්. නමුත් ඔවුන් ඒවා වැය කළේ තමන්ගේත්, අනුන්ගේත් විනාශය සඳහා.
මේ විජයකලාගේ ප්‍රකාශයෙන් මම දකින දෙයක් තමයි මේ රට පීඩාවට පත්කළ මේ බෙදුම්වාදී ප්‍රභවය හඳුනා ගන්න අපට උදව්වක් ලැබෙනවා. දෙමළ සන්ධානය, විජයකලා වැනි අය ප්‍රකාශ කරන්නේ දෙමළ තරුණයන් අවිය අතට ගත්තේ සිංහල ආණ්ඩුවෙන් අසාධාරණයක් වූ නිසා කියලා. අපි මෙම ප්‍රකාශය නිවැරදියි කියා මොහොතකට සිතමු. කවදා ඉඳලද ලංකාවේ සිංහල ආණ්ඩු බිහි වෙන්නෙ. ඒ නිදහස ලැබීමෙන් පසු කාලයේදී. නමුත් ඊට පෙර දෙමළ සමාජයේ නායකයන් තමන්ට වෙනම පාලන බලයක්, රාජ්‍යයක් අවශ්‍ය බවට ප්‍රකාශ කළා. 1947 පළමු පාර්ලිමේන්තුව පත්වීමෙන් පසුව තිබුණු රාජාසන විවාද කතාවේදී එස්.වී.ජී. සෙල්වනායගම් ප්‍රකාශ කරන්නේ, %සිංහල මිනිසුන්ට ඉංග්‍රීසි පාලනයෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් දෙමළ මිනිස්සු සිංහල මිනිසුන්ගෙන් නිදහස් වීමේ වරද කුමක්ද^ යනුවෙන්. ඒ අාකාරයට තමයි මුලින්ම මේ ප්‍රශ්නය ආරම්භ වෙන්නේ. ඔහු ප්‍රකාශ කරන්නේ සිංහල - බුද්ධාගම පමණක් රාජ්‍ය භාෂාව කිරීම නිසා තමයි දෙමළ ජනයා කිපෙන්නේ කියා. නමුත් ඉලෛංගෙයි තමිසු අරුසු කච්චි නම් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය බිහි වෙන්නේ රාජ්‍ය භාෂාව සිංහල කරන්න අවුරුදු හතරකට පමණ පෙර 1951 වර්ෂයේදී. සමාජයේ සාමාන්‍ය ජනයාට මෙම අවශ්‍යතාව තිබුණේ නැහැ. නමුත් ඔවුන් එය සාමාන්‍ය ජනතාව කරා ගෙන ගියා. මේ ආකාරයට ඇතිකළ මතයේ ප්‍රතිඵලයක් ලෙස අප සියලු දෙනා විනාශයට පත්කළ බෙදුම්වාදී යුද්ධය ඇති වෙන්නේ. මේ යුද්ධය අවසන් වූ පසුත් දමිළ ප්‍රභූ පන්තිය තමන්ට වෙනම රාජ්‍යයක් ගොඩනගා ගැනීමේ උත්සාහය අත්හැර නැහැ. ඒ අනුව යමින් ඔවුන් 2010 වර්ෂයේදී එවකට සිටි ත්‍රිවිධ හමුදාපතිවරයාට එනම් සරත් ෆොන්සේකට ඡන්දය දැම්මේ. ඒ අනුව තමයි ඔවුන් යහපාලන ව්‍යාපෘතියට මුලින්ම ඡන්දය දෙන්නේ. එම අරමුණ බාධා පැමිණෙන නමුත් කෙමෙන් කෙමෙන් සපුරා ගනිමින් සිටිනවා. මම මෙය දකින්නේ මහා ඛේදවාචකයක පටන් ගැන්මක් ලෙසින්. මේ කුඩා රටේ ෆෙඩරල් ව්‍යූහයක් නිර්මාණය කළ විට කෝටි 70ක් පමණ ජනගහනයක් සිටින තමිල්නාඩුව වගේ වෙනම පාලනයක් බිහි වීම වළක්වන්න බැහැ. එතැනින් මේ ප්‍රශ්නය විසඳේ යැයි සිතිය නොහැකියි. නමුත් මෙයින් සිදු වෙන්නේ තවත් වටයක ආරම්භයක් පමණි.
මේ ප්‍රකාශයත් සමගම හොඳින් අවබෝධ වෙනවා අපේ රටේ බුද්ධිමතුන් කියන පිරිසගේ මගඩි රංගනය. එසේත් නොමැති නම් දෙබිඩි ස්වභාවය. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්‍ෂගේ උපන්දිනය වෙනුවෙන් පැවැති පිංකමකදී මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් කළ ප්‍රකාශය, එනම් %හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට බේරා ගන්න^යැයි කියූ ප්‍රකාශය අල්ලාගෙන විශාල ඝෝෂාවක් ඇති කළා. එහිදී සමහරක් ආචාර්යවරු, මහාචාර්යවරු හාමුදුරුවන්ට අවමන් කළා. බොහෝ විට ඒවා ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වුණා. අපේ රටේ ඉංග්‍රීසියෙන් ලියන බොහෝමයකට තිබෙනවා උපන්ගෙයි බෞද්ධ විරෝධයක්. එය පැහැදිලි ලක්‍ෂණයක්. මම විශ්වාස කරන්නේ නැහැ ඒ අනුනායක හාමුදුරුවන් ගෝඨාභය හිට්ලර් කෙනෙක් විය යුතු යැයි පැවසුවා කියා. උන්වහන්සේ ප්‍රකාශ කළා වගේ ප්‍රකාශ සිංහල භාෂාවේ ඕනෑතරම් කියවෙනවා. එසේ වුවත් ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් විවේචන තිබුණේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ආචාර්යය උපාධි තිබෙන අය, දේශපාලනඥයන් ආදීන්ගෙන්. ඇයි ඔවුන් විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එසේ නොකරන්නේ. විජයකලා ගේන්න යෝජනා කළේ ප්‍රභාකරන්ව. හිට්ලර් වගේම ප්‍රභාකරන් අන්‍ය මතය විමසුවේ නැහැ. උතුරේ තිබුණු අනෙක් සංවිධාන සියල්ලගේම නායකයන් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කළා. මේ රටේදී පමණක් නොව වෙනත් රටවලදී පවා ඔවුන්ව ඝාතනය කළා. මධ්‍යස්ථව සිටි දෙමළ නායකයන් සියල්ල ඝාතනය කළා. මේ සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන් නැවත ගේන්න අවශ්‍ය බව විජයකලා කියන විට, වන්දනා කරන විට බුද්ධිමතුන් නිහඬයි. එසේ නම් මේ බුද්ධිමතුන්ට තිබෙනවා වෙනම න්‍යාය පත්‍රයක්. ඔබ අසාධාරණයට විරුද්ධ නම් සෑම අසාධාරණයකට විරුද්ධ විය යුතුයි. ඔබේ පියා කරන අසාධාරණයටම පවා ඔබ විරුද්ධ විය යුතුයි. ඔබ ප්‍රජාතන්ත්‍රවාදයට පක්‍ෂ නම් සෑම විටම ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මේ නිසා දේශපාලනඥයන් පමණක් නොවේ බුද්ධිමතුන් සේ පෙනී සිටින අයත් ජනතාවගේ සතුරන් ලෙස තමයි මේ සමාජයේ හැසිරෙන්නේ. මෙය මහා ඛේදවාචකයක්. මේ අභාග්‍යසම්පන්න අගාධයට රටම තල්ලු වීම වළක්වන්නට නම් එහි යථාර්ථය තෙරුම්ගත යුතුයි. සත්‍ය සාධක පදනම් කර ගනිමින් ප්‍රශ්න දෙස බැලිය යුතුයි. අාගම්වාදී ප්‍රතිපත්තිවලින් ඉවත් විය යුතුයි. මෙය පැවසීමට පහසු නමුත් සිදුකිරීම මහත් අපහසු දෙයකි. මොකද සෑම කෙනෙකුටම තිබෙන්නේ තමන්ටම උරුම වූ පෞද්ගලික දේශපාලනයක්.
ෂෙහානි දිල්රුක්‍ෂිකා