රාජපක්ෂ පාලනය වෙනුවට පත්කර ගත් යහපාලනය ජනතාවට වහකදුරු වන තත්ත්වයට පත්වෙමින් යහපාලනයට විකල්පයක් ලෙස නැවත රාජපක්‍ෂවරයෙකුම මතුවෙමින් පවතී. වසර 70ක් තිස්සේ විකාශනය වෙමින් පවතින ශ්‍රී ලංකා දේශපාලනය තුළ තවමත් ජනතාවට තෝරා ගැනීමට සිදුව ඇත්තේ දෙකෙන් එකකි. සැබැවින්ම මෙවර විකල්පයද රාජපක්‍ෂවරයෙකුම වූයේ ඇයිද යන්න පිළිබඳ මෙම විග්‍රහය ගෙන එන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති, මහාචාර්ය මයුර සමරකෝන් මහතාය.
ඉතිහාසයේ පටන් ඒක නැත්නම් මේක න්‍යාය
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ගත්තොත් ඒ ඉතිහාසය පුරාවටම බලය හුවමාරු වුණේ ප්‍රධාන පක්‍ෂ දෙකක් අතරයි. එහිදී ඩී.එස්. සේනානායකයන්ගෙන් ඇරඹුණු එක්සත් ජාතික පක්‍ෂය වැඩි වාර ගණනක් තනි පක්‍ෂයක් විදියට බල හුවමාරුවේ යෙදෙද්දී පසුකාලීනව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනත් කණ්ඩායම් සමග එකතු වෙලා බල හුවමාරුවේ යෙදුණා. මගේ මතකය අනුව 1970 වසරෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිදු අවස්ථාවක තමන්ගේ නිත්‍ය ලකුණ වුණු අත ලකුණින් තරග වැදුණේ නැහැ, ඔවුන් වෙනත් පක්‍ෂ සමග සන්ධානගත වී තරග වැදුණු නිසා. පසුකාලීනව ප්‍රභූ පන්තිය නෑකම් කියූ දේශපාලන ධාරාව වෙනස් වෙලා ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග සහ මහින්ද රාජපක්‍ෂ වැනි චරිත ඉස්මතු වුණත් ඔවුන් ඉස්මතු වුණෙත් මේ ප්‍රධාන පක්‍ෂ ද්විත්වය හරහායි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට කොමියුනිස්ට් පක්‍ෂය වගේම සම සමාජ පක්‍ෂය එක්වීම තුළ යම් යම් තීරණාත්මක අවස්ථා මතු වුණත් ඔවුන්ට කවදාවත් හැකියාව ලැබුණේ නැහැ තනි පක්‍ෂයක් ලෙස තරග කරන්න. උදාහරණයක් ගත්තොත් සන්ධානයකින් තරග කළත් එහිදී වැඩිම බලයක් පැවැතියේ සහ නායකත්වය සෑම විටම හිමිවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයටයි. ඒ තත්ත්වය තුළ අනෙකුත් පක්‍ෂවලට අවස්ථාව හිමිවුණේ නැහැ. ඒ නිසයි මේ බලකේන්ද්‍රය ප්‍රධාන පක්‍ෂ දෙකක් වටා පමණක් සිදු වුණේ.
සෙවණැල්ලත් ඇද වූ, අත්හැරෙන එජාප, ශ්‍රීලනිප දීගය
වර්තමානයේ පවතින දේශපාලන වියවුල්භාවයට අවධානය යොමු කළොත් වසර 10ක පමණ කාලයක් බලය ගෙනගිය මහින්ද රාජපක්‍ෂ රජයට එතරම් කාලයක් ගැටලුවකින් තොරව බලය ගෙනයන්න හැකියාව ලැබුණේ විධායකයේ බලය, පාර්ලිමේන්තු බලය, පළාත් සභා හා ප්‍රාදේශීය සභාවල බලය ආදිය මහින්ද රාජපක්‍ෂට පැහැදිලිව තිබීම නිසා. නමුත් අද, මතුපිටින් එකිනෙකට දැඩි නොගැළපීමක් පවතින ප්‍රධාන පක්‍ෂ දෙකක් විසින් තමයි බලය ගෙන යන්නේ. මේ දෙපිරිස අතර බලය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් වගේම ගැටීමක් පැහැදිලිවම දකින්න ලැබෙනවා.
2015 වසරේදී එක්සත් ජාතික පක්‍ෂයට මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට තනිව හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසයි ඔවුන් මෛත්‍රීපාල සිරිසේනව තෝරා ගන්නෙ. එහිදී ගම්මට්ටමින් සහ මතවාදී අරගල ගෙනයමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ ඉන්දවීමේ භාරදූරම වගකීම ඉටුකරනු ලැබුවේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් විසිනුයි. එම සහයෝගය නොමැති වුණා නම් කවදාවත් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති වරමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි එක්සත් ජාතික පක්‍ෂයටත් මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ඉදිරිපත් කළ හැකි ප්‍රභල චරිතයක් සිය පක්‍ෂය තුළ සිටියේ නැහැ.
කෙසේ හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්වෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ ආශීර්වාදය සහිතවයි. ඔහු මහින්ද රාජපක්‍ෂ යටතේ තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වෙලා ඇවිල්ලා කරපු පළමු කතාවේදීම ඉතා හැඟීම්බර කතාවක් කරමින් රනිල් වික්‍රමසිංහ වෙත දැඩි සේ ස්තුතිවන්ත වෙනවා රනිල් වික්‍රමසිංහ වෙත ලැබීමට ගිය අවස්ථාවක් තමයි මට මේ ලැබුණේ යැයි කියමින්. නමුත් එසේ කියන ජනාධිපතිවරයාම එක්සත් ජාතික පක්‍ෂයට දැඩි සේ පහර ගහන්න කටයුතු කළා. ඒ සඳහා හොඳම උදාහරණය තමයි පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණ වේදිකාවලදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්‍ෂයට එල්ල කළ වාග් ප්‍රහාරයන්. ඒ වගේම පසුගිය කාලයේ අපට හොඳින්ම දකින්නට ලැබුණු හාස්‍යජනක කාරණයක් තමයි එක්සත් ජාතික පක්‍ෂය ගෙන එන ඇතැම් තීන්දු සහ තීරණ පැය කිහිපයක් තුළ ජනාධිපතිවරයා විසින් තමන් ඒ පිළිබඳ දැනුවත් නැහැ කියමින් නිශේධනය කරදැමීම. මේ ඔස්සේ දෙපාර්ශ්වය අතරම දැඩි අර්බුද මතුවෙලා තිබෙනවා. මෙතැනදී ඉතාමත් පැහැදිලිවම පෙනෙනවා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර එකඟතාවක් හෝ සහයෝගයක් නොමැති බව. මේ සාධක සියල්ල එකතු වෙලා අද විශාල සමාජ අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා.
විශිෂ්ටත්වයට යෑමට තිබූ ගමන මෛත්‍රී අහුරා ගත් හැටි
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මේ රටේ බිහිවුණු විශිෂ්ටතම ජනාධිපතිවරයෙකු වීමේ හැකියාව තිබුණා. ඔහුට ජනාධිපති ධුරය ලැබුණේ ඔහුවත් බලාපොරොත්තු වූ හෝ සැලසුම් කළ ආකාරයකට නොවෙයි. ජනාධිපති ධුරයට පත්වූ වහාම ඔහු ප්‍රකාශ කළ දෙයක් තමයි නැවතත් තමන් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව. කාරණා එසේ නම්, ඔහුට හැකියාව ඕන තරම් තිබෙනවා ජනප්‍රිය මතවල එළඹ නොසිට රටේ සුබසාධනය වෙනුවෙන් නිසි තීන්දු තීරණ ගන්න. නමුත් ජනාධිපති ධුරයට පත් වූ වහාම ඔහු නොකළ යුතු දෙයක් කළා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිත්වය භාර ගැනීම. නිර්පාක්‍ෂිකයෙක් විදියට සහ ස්වාධීනව බලයට ආපු ඔහුට එතැනදී සිදු වුණා නැවතත් එක් පක්‍ෂයක් ගන්න. එතැනදී තමයි ඔහුත් තවත් ජනවරමක් බලාපොරොත්තු වන ජනාධිපතිවරයෙක් බවට පත්වුණේ. අනෙක් අතට මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිත්වය භාරගත්තා කියලා අත්වූ සුගතියකුත් නැහැ.
හිටපු ජනාධිපතිවරයාට වඩා සුළු ජාතික සහයෝගය මෛත්‍රීපාල ජනාධිපතිවරයාට තිබුණා. ඒ වගේම මේ ජනාධිපතිවරයාට පෙර රජයටත් වඩා එහාගිය සමාජ සුබසාධන වැඩපිළිවෙළක් ඉටු කරමින් රට ඉදිරියට ගෙන යන්න අවස්ථාවක් තිබුණා. ඔහුට තිබුණා සොරකම් කළා කියන පිරිස් හුදෙක් මාධ්‍ය සන්දර්ශන නොපෙන්වා අත්අඩංගුවට ගන්න, වන්දිභට්ටයන් ඉවත් කරන්න, එක් පක්‍ෂයකට ගැති නොවී රටේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගන්න, ඥාති සංග්‍රහයන් නවත්වන්න. ඒ කරුණු නිසි ලෙස ඉටු වූවා නම් ජනතාවගේ ආරාධනයෙන්ම ඔහුට නැවත ජනාධිපති අපේක්‍ෂකත්වය හිමිවෙන්න තිබුණා. නමුත් අවාසනාවන්තම සිදුවීම තමයි ජනතාව වැඩිම බලාපොරොත්තුවක් තැබූ ජනාධිපතිවරයා, රටේ සැබෑ වෙනසක් ඉටුකරයි කියා ජනතාව අපේක්‍ෂා කළ ජනාධිපතිවරයා වේදිකාවට ඇවිල්ලා අගක් මුලක් නැති කතා පවත්වන තවත් එක් සාම්ප්‍රදායික ජනාධිපතිවරයෙක් පමණක් වීම.
ආණ්ඩුව කටින් හිටවූ බතල, රාජපක්‍ෂවරුන්ව විකල්පය බවට පත්කරයි
මහින්ද රාජපක්‍ෂට විකල්පයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කළාට පස්සේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවට නැවතත් රාජපක්‍ෂවරයෙකු විකල්පයක් ලෙස ඉදිරිපත් වීමට හේතු කිහිපයක් හඳුනාගන්න පුළුවන්. මේ ආණ්ඩුව කියන ආකාරයට චීනයෙන් ණය ගනිමින් හෝ චීනයට රට උගසට තබමින් මහින්ද රාජපක්‍ෂ රජය සමයේ පැහැදිලිවම ජනතාවට දැනෙන ආකාරයේ සංවර්ධනයක් කෙරුණා. මෙය ඕනෑම අයෙකුට ඕනෑම ආකාරයකින් නිර්වචනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම යුද්ධයේ අවසානයත් සමග ජනතාවට විශාල සැහැල්ලුවක් දැනෙන්න පටන් ගත්තා. මර බියකින් කොටුවී සිටි උතුරේ සහ දකුණේ ජනතාව නිදහසේ රට පුරා ගමන් කළා. ඒ වගේම දැවැන්ත මාර්ග පද්ධති සහ ක්‍ෂේත්‍ර ගණනාවකම සිදු වුණු සංවර්ධනයත් සමග මහින්ද රාජපක්‍ෂට සහ ඔහුගේ සහෝදරයන්ට හැකි වුණා මේ ජනසමාජය තුළ ඔවුන්ගේම ලකුණක් සනිටුහන් කරන්න. නමුත් 2015 වසර වෙද්දී මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ වටා සිටි අනෙකුත් අනුගාමිකයන්ගේ ක්‍රියාකලාපයන් ජනතාවට එතරම් රුචි වුණේ නැහැ. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ කුමන හෝ හේතුවක් මත අසමත් වුණා තම අනුගාමිකයන්ගේ ඒ හැසිරීම් පාලනය කරන්න. එම තත්ත්වය තමයි පැහැදිලිවම ඔහුට ජනාධිපති පදවිය අහිමි කරන්න හේතු සාධකය බවට පත්වුණේ.
නමුත් දූෂණය, වංචාව, හිංසනය පිටුදකිනවා කියමින් මහින්ද රාජපක්‍ෂ රජය සමයේ සිදු වූ සංවර්ධනය මෙන් හය ගුණයක වේගවත් සංවර්ධනයක් කරන බවට ජනතාවට ප්‍රතිඥා දුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සම්මුති යැයි කියාගත් විසම්මුති ආණ්ඩුව පැහැදිලිවම ඒ කාර්යයේදී ඔවුන් අසමතුන් බව පෙන්නුම් කළා. පැවැති රජයේ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති ඇනහිටියා. උදාහරණයක් විදියට අපි දැක්කා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වී ගබඩා කරන්න භාවිත කරනවා. අපි විශ්වාස කරනවා එය කිසිදු රාජ්‍ය නායකයෙක් හෝ රජයක් නොගන්නා අදූරදර්ශී තීරණයක්. රාජපක්‍ෂ ජනාධිපතිවරයාගෙන් පළිගැනීමට එවැනි ජාතික සම්පතකට හානි කිරීම අනුවණ ක්‍රියාවක්. එයින් ගම්‍ය වුණු තවත් කාරණයක් තමයි ඒ වෙද්දී එසේ වී ගබඩා කිරීමට තරම් කෘෂිකාර්මික අංශයේ දියුණුවක් රටේ පැවැති බව. නමුත් වසරක් පමණ ගත වූ තැන සහල් මිල ජනතාවට දරා ගැනීමට නොහැකි අධික මිලක් වාර්තා කළා. මේ අසමත් වීම ජනතාව අවබෝධ කරගත්තාට පස්සේ ජනතාවට තෝරා ගැනීමට තවත් විකල්පයක් තිබුණේ නැහැ. ඒ හරහා ඇතිවූ රික්තකය හමුවේ නැවතත් රාජපක්‍ෂවරුන්ට අවස්ථාව හිමි වුණා.
ඉතිහාසයක් ඇති ප්‍රභලයෝ රාජපක්‍ෂ අනුගාමිකයන් වීම
දක්‍ෂතා පෙන්වීමට හැකි පිරිසක් නොසිටීම, නායකත්වයට පත්වීමට වඩා අනුගාමික මට්ටමේ සිටීමට කැමැත්ත ඇති පිරිසක් සිටීමත් මීට හේතු වෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි ඉතිහාසයක් ඇති දැවැන්ත දේශපාලන නායකයන් පවා රාජපක්‍ෂ රජයේ අනුගාමිකයන් ලෙස සිටීමට අදටත් කැමැත්ත පළකර සිටිනවා. ඒකාබද්ධ විපක්‍ෂයට වුණත් අද වෙද්දී මහින්ද රාජපක්‍ෂගෙන් තොර නායකත්වයක් සොයා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම එම පක්‍ෂයේ සභාපතිවරයා වන ජී.එල්. පීරිස් පවා සිය සභාපතිත්වය මහින්ද රාජපක්‍ෂට පවරන්න කටයුතු කරනවා. මේ ආකාරයේ ප්‍රභල දේශපාලනඥයන්ගේ හිඟතාවක් සමාජය පුරා දකින්න ලැබෙනවා.
ජවිපෙ කොයිබටද?
ජනතා විමුක්ති පෙරමුණ ගෙනයන දේශපාලන මතවාදය වර්තමානයට වලංගු නොවූ තත්ත්වයක් පවතිනවා. ලෝකයේ අද දියුණු යැයි සම්මත, ලෝකයේ මිනිසුන් පදිංචි වීමට කැමැතිම සහ හොඳින්ම මානව හිමිකම් ස්ථාපිත වී ඇති රටවල් යැයි සැලකෙන පින්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ කැනඩාව ගත්තොත් ඒ සියලුම රටවල් ධනවාදී රටවල්. නමුත් සමාජවාදී කියාගන්නා රටවල් මෙතැනදි සඳහන් වෙන්නේ නැහැ.
මිනිස්සු අද ජර්මනියට පලා ගියත් රුසියාවට පලා යන්නේ නැහැ. අනෙක් අතට රුසියාව සහ චීනයත් අද ධනවාදයට නැඹුරුවී ඇති බව පැහැදිලිවම පෙනෙනවා. මේ තත්ත්වයන් යටතේ %සමාජවාදී රාජ්‍ය^ කියන සංකල්පයම අද ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමාජවාදී රාජ්‍යකින් බලාපොරොත්තු වුණු සුබසාධනමය සේවාවන් සහ ගුණාත්මක රැකියා ආදිය අර ධනවාදී රටවල් පූර්ණ ධනවාදීත්වය යටතේ ජනතාවට ලබාදී තිබෙනවා. ඒ සමගම සමාජවාදය අද වලංගු නැති තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණට පැහැදිලිවම තනිවම බලය ලබාගන්න හැකියාවක් නැති වුණත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ජනතාවට යම් ප්‍රසාදයක් පවතිනවා, ඔවුන්ගේ විවේචන, සංඛ්‍යා දත්ත සහ න්‍යායන් සමග ඔවුන් කරන හරඹ, ඔවුන්ගේ ආකල්ප සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදයක් සහ ආකර්ෂණයක් පැහැදිලිවම තිබෙනවා. නමුත් ජනතාවට ඔවුන්ගෙන් පාලනය වෙන්න තරම් අවශ්‍යතාවක් නැහැ. ජනතාවට ජනතා විමුක්ති පෙරමුණෙන් එන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ කැබිනට් මණ්ඩලයක් යටතේ පාලනය වෙන්න උවමනාවක් නැහැ. ජනතාවට අද නිරන්තරයෙන් අවශ්‍ය වෙලා තියෙන්නේ පවතින ක්‍රමය තුළ තමන්ට සුබවාදී වූ ප්‍රතිසංස්කරණයක් පමණයි. එසේ නොමැතිව ක්‍රමයේ වෙනසක් අපේක්‍ෂා කරන පිරිසක් අද නැහැ.
ජාතිකවාදී පක්‍ෂ, හීන්සැරයේ කටුස්සාගේ භූමිකාව රඟදක්වයි
මේ ජාතිකවාදී පක්‍ෂ වටා මහා පිරිසක් ඒකරාශී වෙලා ඉන්නවා කියලා මතුපිටින් පෙන්නුම් කළත් අවසානයේදී ඔවුන් සෑම විටම හුදකලා වෙනවා. එක්තරා ආකර්ෂණීය තත්ත්වයක් යටතේ කෙටි කාලයක් පැවැත්ම හදාගත්තත් දිගුකාලීනව ඔවුන්ට පැවතෙන්න හැකියාවක් නැහැ. ඇත්ත වශයෙන්ම බහුතරයක් මේ ජාතිකවාදී පක්‍ෂවලට අද වනවිට විශාල බලපෑමක් කරන්න හැකියාවක් නැහැ. ඔවුන් කරන්නේ දිනන පක්‍ෂයකට හේත්තු වෙලා %අපි තමයි දිනෙව්වේ^ කියමින් ඒ මතය සමාජගත කිරීමයි. එහෙම නම් ජනාධිපතිවරණයකින් පත්වන ජනාධිපතිවරයෙක්ගේ හිසේ උකුණෙක් හිටියොත් ඒ උකුණටත් පුළුවන් අපි තමයි දිනෙව්වේ කියන්න. නමුත් යම් මතයක් සමාජගත කරමින් ප්‍රබල බලපෑමක් කරන්න ඔවුන්ට පුළුවන්. හොඳම උදාහරණය තමයි 2015 වසරේ ජනාධිපතිවරණයේදී එක්තරා ජාතිකවාදී සංවිධානයක ක්‍රියාකාරීත්වය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පරාජයට වක්‍රව වුණත් සැලකිය යුතු මට්ටමකින් දායක වුණා.
විජයකලා දඬුකඳේ ගැසීමට යාම ඒකාබද්ධයට පාරාවළල්ලක් වනු ඇත
පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් සැලකිය යුතු නැති විජයකලා මහේෂ්වරන්ගේ ජාතිවාදී ප්‍රකාශ මහා අර්බුදයක් කොට සලකමින් ඒකාබද්ධ විපක්‍ෂය විසින් දකුණේ ජන සමාජය පිනවන්න ඇයව දඬුකඳේ ගහන්න යනවා. එතැනදී අපි අමතක නොකළ යුතුයි මානව කේන්ද්‍රීයවාදය පිළිබඳ. තමන්ගේ ජාතිය උසස්ය යන හැඟීම සෑම ජාතියක් තුළම තිබෙනවා. ඒ ඔස්සේ ඇයගේ ප්‍රකාශ සාධාරණ බව සිතන්න ජාතිවාදී නොවන උතුරේ ජනතාවත් පෙළඹේවි.
ඒ නිසා ඒකාබද්ධය විජයකලාට දිගින් දිගටම පහර ගැසීමට යාම ඔවුන්ටම පාරාවළල්ලක් වෙනවා අනිවාර්යයෙන්ම. ඔවුන්ගේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයාට එය විශාල අවාසියක්. මොකද, ඒ ජනාධිපතිවරයාට අනිවාර්යයෙන්ම උතුරේ, කඳුකරයේ දෙමළ ජනතාවගේ වගේම මුස්ලිම් ජනතාවගේත් යම් ඡන්ද ප්‍රතිශතයක් අත්‍යාවශ්‍ය වෙනවා. ඒ අනුව සුළු ජාතික ඡන්ද අද තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන බව පැහැදිලියි.
%ඒක නැත්නම් මේක^ න්‍යායේ ආයුෂ අනාගතයේදී අවසන් වනු ඇත
පැහැදිලිවම මේ පවතින පක්‍ෂ දෙකටත් ඉදිරියට දෙකෙන් එකක් කියන තත්ත්වයෙන් පැවතෙන්න හැකියාවක් නැහැ. මොකද, මේ වෙද්දී ජනතාවගේ සංවිධානය වීමක් වගේම මේ ක්‍රමයන් පිළිබඳ ප්‍රශ්න කිරීමක් දකින්නට ලැබෙනවා. අනාගතයේදී ජනාධිපතිවරණයක් ගත්තොත් මේ ප්‍රධාන පක්‍ෂ දෙකට හැරෙන්න වෙනත් විකල්පීය බලවේගයකට අවස්ථාව පවතිනවා. ජනතාව සහ සමාජය ඊට සූදානමක් පෙන්නුම් කළත් ඊට සුදුසු අපේක්‍ෂකයෙක් නොමැති වීමේ අඩුවක් පවතිනවා. ශ්‍රී ලාංකේය ජනසමාජය විකල්ප බලවේගයක් සමග එන සැබෑ නායකයෙක් මේ වෙද්දී ඉල්ලා සිටින බව පැහැදිලියි. ඒ පිළිබඳව මේ සියලු පක්‍ෂ හොඳින් සිහි තබාගත යුතුයි.
සාකච්ඡා සටහන - නඳුන් ශ්‍යාමාල් ඡායාරූප- ශමීර රාජපක්ෂ