වැස්ස හා ජන සංස්කෘතිය


මෙවර වැසි චක්‍රය වෙනස් වූයේ අමුතුම පිළිවෙළකටය. කලට වැසි නොවැස්සේය. වැස්සද අකලට ගියේය. කලට, කන්නෙට, කතාවට කළ ගොවිතැන් සම්ප්‍රදායක් ගැන අදත් පාරම්පරික ගොවීහු සිහිපත් කරති. එකල ගොවිතැන සොබාදහමට එකඟ වූවකි. එහෙයින්ම ස්වාභාවික උපද්‍රව අවම විය. කලට වැසි වැස්සේය. ගොවිතැන යනු හුදු ජීවනෝපාය සරි කළ මගක් පමණක් නොවිණි. එය සපුරාම මෙරට ජනජීවිත හා බැඳුණු ජීවන දහමක් වී තිබිණි. එහෙයින්ම ඒ වටා සංස්කෘතික වටිනාකම් රැසක් රොද බැන්දේය. වැස්ස විවිධාකාරයෙන් ලාංකික ජනජීවිතයට බලපෑම් කරන වග රහසක් නොවේ. එහෙයින්ම වරෙක ආශිර්වාදයක් වූ තවත් වරෙක සාපයක් වූ වැස්ස සඳහා ලාංකීය ජනශ්‍රැති ක්ෂේත්‍රය තුළ ලැබී ඇති ස්ථානය අද්විතීය එකකි. මේ එම වටිනාකම් පිළිබඳව කෙරෙන විමසුමකි. 

සාම්ප්‍රදායික ගැමියන් ගොවිතැන් බත් කිරීමේදී ඒවා කලට වේලාවට කිරීමේ අවශ්‍යතාව දැන සිටියේය. ඒ වැස්ස ලැබෙන හා නොලැබෙන අවධීන් පිළිබඳව ඔවුන් මනාව දැන සිටි හෙයිනි.‍ එසේම හිටිහැටියේම කඩා හැලෙන වැස්ස පිළිබඳව යම් තරමකට හෝ ලකුණු දැන සිටීම ගොවියාට ඉතා අවශ්‍ය විය. %කුසේ සිටින දරුවත් අහසේ තියෙන වැස්සත් ගණන් ගන්න බෑ^ යනුවෙන් සාම්ප්‍රදායික ගැමියන් පැවසුවේ වැස්ස හා බැඳුණු අවිනිශ්චිතතාව හඟවමිනි. වියළි කලාපයේ වෙසෙන උදවිය වැස්ස සැලකුවේ තමන් වෙත එන ආශිර්වාදයක් ලෙසය. වරෙක ආශිර්වාදයක් වූ වැස්ස තවත් වරෙක සාපයක්ද වන වග ගැමියන්ගේ පිළිගැනීමයි. උන් හිටි තැන් අහිමි කර, විටෙක වගා බිම් පාළුකොට සන්තකය උදුරා ගනු ලබනුයේද වැස්ස විසින්මය. මේ නිසාමදෝ ගැමියෝ වැස්සට අධිපති දෙවියෙකු ඇතැයි විශ්වාස කළහ. වැස්ස වලාහකයා, වැස්ස වලාහක දෙවියෝ වැනි නම් ගැමියන් වැස්සට පටබඳින්නට ඇත්තේද එනිසාම වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. 

වසරේ මුල් කාල සමයේ යෙදෙන යල කන්නයේදී ගොවිතැනින් සිය ජීවිකාව සරිකරගත් ගැමියෝ හේන් වගා කටයුතුවල නියැලුණහ. ඒ සාමාන්‍ය වශයෙන් වසරේ මෙම කාලසමය තුළ ලැබෙන වර්ෂාවේ අඩුකම නිසා යැයි සිතාගැනීම එතරම් අපහසු නැත. 'නවම් මහට පොල් අතු නවයක් වැටෙනවා', 'මුහුදේ වතුර නව වළල්ලක් හිදෙනවා' වැනි ගැමි කතාබස් තුළින් මෙසමයෙහි වියළි ස්වභාවය කොතෙක්ද යන්න සිතාගත හැකිය. මැදින් මහ ඉකුත්ව උදාවන බක් මාසය තමන්ට වසන්තය උදාකරන කාලසමය ලෙස ගැමියෝ සැලකූහ. බක් නොමැති නම් භාග්‍යවන්ත මාසය මේ ආකාරයෙන් හඳුන්වන්නට නොයෙක් ආකාරයේ හේතු කාරණා බලපෑවද ඒ ආකාරයෙන් බලපෑ හේතු කාරණා අතර, වර්ෂාවද ප්‍රධාන කරුණක් වූ බව රහසක් නොවේ.

'බක් මහට අකුණු හැටයි - වැහි හැටයි', 'බක් මහට අකුණු ගහන් නැහැ' වැනි ජනවහරෙහි එන කියමන් තුළින් මෙසමයෙහි වර්ෂාවේ බලපෑම කොතෙක්දැයි තහවුරුකොට දක්වනු ලබයි. බක් මාසයේ සිදුවන සුවිශේෂීතම සිදුවීම වන සිංහල හින්දු නව අවුරුදු උදාවත් සමගම වැසි ඇදහැලේවි යැයි ගැමියෝ කල්පනා කළහ. හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන සංක්‍රාන්ති කාල සමය තුළ ඇදහැළෙන මහ වැසි තුළින් ලැබූ අත්දැකීම ගැමියන් මේ ආකාරයේ විශ්වාසයන් වෙත පෙළඹුවේ යැයි අනුමාන කළ හැකිය. 

යල් කන්නය ඉකුත්ව ගිය පසුව වසරේ අවසන් කාල සමය තුළ උදාවනුයේ මහ කන්නයයි. මහ කන්නයේ අවසන් භාගයේ ලැබෙන මහ වැසි ආධාරයෙන් එකල ගැමියෝ වී ගොවිතැනෙහි නියැලුණහ. හැම අවුරුද්දකදීම ඒකාකාරී කාලානුබද්ධ වර්ෂාවක් නොලැබීම ස්වාභාවයයි. මාස ගණනාවක් අඛණ්ඩව වැසි නොලබා අනතුරුව වැටෙන වැස්ස එතරම් ප්‍රතිඵලදායක නොවේ. මේ අකාරයෙන් වැටෙන වැස්ස %උණු කබලට දිය ඉසින්නාක් මෙන්^ යැයි ගැමියන් පැවසුවේ එහි ප්‍රතිඵල විරහිත බව හඟවමිනි.

වැහි කළුවක් මුදුන් වී සෙමෙන් වැටෙන වැස්ස 'පොද වැස්ස' ලෙස ගැමි වහරට එකතුව ඇත. සිහින් වැහි බිදු සහිතව තුනීවට ඇදහැළෙන වැස්ස %කුඩුපොද වැස්ස^ ලෙසයි ගැමියන් හැඳින්වූයේ. පොද වැස්ස මඳින් මඳ විශාල වී ක්ෂණිකව ඇදහැලෙන වැස්ස %නා කපන වැස්ස^ ලෙසින් නාමගතව ජනවහරට එකතුව තිබේ. මේ ආකාරයෙන් විවිධ කාලවලදී විවිධාකාරයෙන් ඇදහැලෙන වර්ෂාව විවිධ නාමයන්ගෙන් හැඳින්වීම මගින් තහවුරු වනුයේ ගැමියාගේ නිරීක්ෂණමය හැකියාවයි. ගැමි ජනතාව පරිසරය කෙරෙහි කොතරම් ළැඳිව සංවේදීව සිටියේද යන්න මෙමගින් මනාව සනාථ වේ. 

සීතල උදුවප් මහේ නොමැති නම් දෙසැම්බර් මාසයේ ඇදහැලෙන වැසි වර්ග කිහිපයක්ද හඳුනාගත හැකිය. නත්තල් කුණාටුව, හත්දාමාරිය, උදුකුඩු වර්ෂාව වැනි නම් මගින් හැඳින්වෙන මේවාට ගැමියන් දැක්වූයේ ඉමහත් බියකි. අඛණ්ඩව ඇදහැලෙන මේ වර්ෂාව හේතුවෙන් ඔවුනට කිසිදු කටයුත්තක් සඳහා නිවසින් බැහැරට යන්නට ඉඩකඩ ලැබෙන්නේ නැත. මේ ආකාරයෙන් නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ගැමියෝ මෙසමයෙහි සමාජ, ආර්ථික, පාරිසරික මෙන්ම සෞඛ්‍යමය ප්‍රශ්න රැසකට මුහුණ දෙති. මේ නිසාම මේ කාලසමය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමිහිරි කාලපරිච්ඡේදයක් ලෙසයි සමහර ගැමියෙකු දුටුවේ. මෙසමයෙහි වැස්ස හා උරණ වන සමහර ගැමියෙකු %සිඟමන් යදින්නට සිදුවුවද නියඟය වාසනාවකැයි^ පැවසුවේ මේ හේතුව නිසා වන්නට ඇත. 

සාම්ප්‍රදායික ගැමියන් තමා අවට සිදුවන පාරිසරික වෙනස්කම් වලට අනුව වැස්ස වැටීම, නොවැටීම, නියඟය කොතෙක් කල් පවතීද යනාදිය පිළිබඳව මනා අවබෝධයෙන් සිටි වගට සාධක බොහෝ වේ. ගැමියන්ගේ අනාවැකි කීමට අනුව කෑදැත්තා, ඇටිකුකුළා වැනි සතුන් කෑගසන විට එයින් ඇඟවෙන්නේ වැස්ස ඉතා ළඟ බවය. එමෙන්ම ගෙම්බෝ ඉතා අධික ලෙස කෑගැසීම, වෙල් එළි, බඩවැටි ආදියේ සිටින මීහරකුන් අහස දෙස බලාගෙන සිටීම, ලිහිණියන් උඩ අහසේ ඉගිලීම, පොළවේ හුඹස් ආදියේ සැඟවී සිටින මෙරුවන් විශාල වශයෙන් උඩට මතුවීම, නියංකොබෙයියාගේ ඉගිලීම ආදී සතුන්ගේ ඉරියව් වලින් ප්‍රකාශ වන්නේ නියඟය ඉතා ළඟ බවය. වඩුකුරුළු කූඩු බැදීමේ කලාවද ගැමියන්ගේ අනාවැකි කීමේ ඥානයට හොඳ නිදසුනකි. වඩුකුරුළු කූඩු ගසක ඉහළ අතුවල බැඳ ඇත්නම් එම කන්නයේ වැහි ඵල වැඩිය. පහළ අත්තක කූඩු බැදීම මගින් හැඟවෙනුයේ වැහි ඵල අඩු වගකි. 

තිසා වැවෙන් දිය ගෙන ශ්‍රී මහා බෝධියෙ දෝවනය කිරීම සඳහා පවත්වන පැන් පෙරහර වැස්ස හා බැඳුණු චාරිත්‍රයකි. ශ්‍රී මහා බෝධියට මෙන්ම දළදා වහන්සේට වැසි ලබාදීමේ බලයක් ඇතැයි යන්න ගැමියන්ගේ විශ්වාසයයි. ග්‍රාමීය මට්ටමින් බලන විට යම් යම් පුදපූජා හා ක්‍රීඩා වැස්ස සම්බන්ධයෙන් ඇති බව පෙනේ. වැස්ස ලබාගනු වස් කරන ශාන්තිකර්ම අතර කොහොඹා කංකාරිය, පාම්මඩු, ගම්මඩු යනාදිය දැක්විය හැකිය. එසේම ක්‍රීඩා වශයෙන් පොරපොල් ගැසීම, අං කෙළිය, සොකරි නාටකය ආදියද මෙහිදී සඳහන් කළ හැකිය. ගැමියන් වැස්ස වලාහක දෙවියන් ලෙස සලකන වරුණ දෙවියා උදෙසා සෙත් කවි කියන චාරිත්‍රයක් ගම්බද පෙදෙස්වලින් අසන්නට ලැබේ. මෙසේ වැස්ස වලාහක දෙවියන්ට පුරා දින හතක් තිස්සේ සෙත් කවි ගායනා කිරීමෙන් අනතුරුව වැස්ස ලැබෙනු ඇතැයි යන විශ්වාසයක් ගැමියන් අතර පැවතී තිබේ. නියඟය මගින් ඇතිකරන වඳුරු වසංගත, අපල උපද්‍රව ආදිය නිමාකොට වැහි ඇදවැටීම උදෙසා වැව්තාවුල්ල මත සිදුකෙරෙන වැහි පිරිත් දේශනයද ප්‍රකට, පිළිගත් චාරිත්‍රයකි. 

කෙසේ වෙතත් එකල ගැමි දරුදැරියන්ට නම් වැස්ස මහත් සේ විනෝදය ලබාදුන් කාරණාවක් වී ඇත. ගේ දොරකඩ බලා හිඳින ඔවුහු කවි ගායනා කරමින්, ඒ අනුව සිය අත් පා චලනය කරමින් වැස්ස ආස්වාද කළෝය.

'වැහැපං මුත්තේ - කහපැන් දෙන්නන්'

'දොරකඩ පොල් ගස - නින්දෙම දෙන්නන්'

'වැස්ස පාං පාං - ගොරක ඩේං ඩේං'

මිනිසා නොයෙක් වර වැහි අපේක්ෂාවෙන් සිටී. මෙහෙයින්ම ඔවුන් කිසියම් කටයුත්තක් ආරම්භ කිරීමට මත්තෙන් නැකැත් සේම පෝය ලබන හා ගෙවෙන වේලාවල් පිළිබඳව අවධානය යොමුකොට ඇත. වර්ෂාව පාදකකොටගෙන ගැමි වහර තුළ අන්තර්ගතව ඇති සමහර වැකි හා කියමන් ඉතා රසවත් සේම යම් සංසිද්ධිගත අර්ථයක් උද්දීපනය කොට ඇති බව පෙනී යයි. 

'ඇහැළ පෙරහරේ කප් සිටුවන මංගල්ලෙට කොහොමත් වහියි'

'කසාද බඳින දාට වහින්නේ මනමාලි ගලේ පොල් කාපුවහම'

'හා හා හැබැයි රජෝ ගලේ පොල් කන්ඩ එපා කසාදෙ දාට වහියි'

වැනි කියමන් තුළින් පමණක් නොව ජනශ්‍රැතියේ ප්‍රධාන අංගයක් සේ සැලකෙන තේරවිලි කවි වලටද වර්ෂාව බලපා ඇති ආකාරය යම් යම් අවස්ථාවලදී අසන්නට ලැබේ. 

යොදුන් ගණන් උස ගිය අය පාත එතේ

ගණන් නැති දනෝ ඒ අය මගහරිති

බොහෝ සෙනඟ මේ මිතුරට කැමැති වෙති

කියපං මාමේ දැනගන්නට පිං ඇති

මොකද බෑනෝ ඇත්ත නොදන්නේ

වැව්, ළිං, පොකුණු සේම තැනිවලද සිටින්නේ

සව්සිරි සැපෙන් අපි හැමදෙන රකින්නේ

මේඝ ජලෙන් එන වැහි පොද බොලන්නේ

මේ අයුරින් මිනිසාගේ පැවැත්ම සහ සෞභාග්‍යය උදෙසා මහෝපකාරී වන වැස්ස පාදක කොටගෙන සිහල ගැමියා හෙළිදරව් කරන සිය නිර්මාණශීලී ස්වභාවය සුළුවෙන් තැකිය නොහැකිය. එය දේශීය සංස්කෘතිකාංග සුරකින මහා පවුරක් බඳුය. 

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග



Recommended Articles